බහාලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයක් නිසා නැවතත් තදබදයක්…..

බහාලුම් නිෂ්කාශන කටයුතුවල මතුවී ඇති ප්‍රමාදයක් හේතුවෙන් නැවතත් බහාලුම් තදබදයක් හටගෙන තිබේ.

බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පෙන්වා දෙන්නේ, බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් නොමැතිකම ඇතුළු කරුණු මීට බලපා ඇති බවය.

කොළඹ වරාය පරිශ්‍රයේ ආනයනික බහාලුම් පිටකිරීමේ සහ ඒවා වරායෙන් පිටත අංගනවලදී පරීක්ෂා කිරීමේ මෙලෙස දැඩි ප්‍රමාදයක් මතුවී තිබේ.

ඊට අමතරව ඔරුගොඩවත්ත බහාලුම් පරිශ්‍රයේද තදබදයක් මතුවී තිබූ අතර, ඒ හේතුවෙන් බහාලුම් රථ රියදුරන්ද දැඩි අපහසුතාවට පත්වී සිටී.

මේ අතර, බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ, ඉදිරි මාසයේදී බහාලුම් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට නියමිත බැවින් මෙම තදබදය තවත් උග්‍රවනු ඇති බවය.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශ යොදවා හෝ මෙම තදබදය අවම කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ, මේ වනවිට බහාලුම් නිෂ්කාශනයේ යම් තදබදයක් පැවතියද එය සාමාන්‍ය තත්ත්වයක් බවය.

පොල්ගස්ඕවිට ඩිලාට දින 90ක රැඳවුම් නියෝග….

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආයුධ ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අද (20) අවසර ලබා ගෙන ඇත.

28 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු පසුගිය 17වනදා පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.

ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ සඳහා මෙම පුද්ගලයාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්…..

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ඉල්ලා සිටියේ, ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසටය.

ලිට්‍රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති වූ බව ඔවුන් පෙන්වා දෙයි.

පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර තිබේ.

අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

සමාගම අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ, ලාෆ් පාරිභෝගිකයා ලිට්‍රෝ ගෑස් වෙත විතැන්වීම මෙම තත්ත්වයට බලපෑ බවය.

“පසුගිය සතියේ දවස් දෙකක් තුනක් තිස්සේ ලාෆ් ගෑස් සමාගම, ගෑස් බෙදාහරින එක නතර කරලා තියෙනවා. ඒ නිසා ගෑස් පාරිභෝගිකයා තුළ බියක් ඇති වෙලා තියෙනවා, ඒ පාරිභෝගිකයා දැන් ලිට්‍රෝ ගෑස්වලට මාරු වෙලා තියෙනවා. ඒ නිසා ගෑස් වෙළඳපොළේ ඇති වුණ හදිසි ඉල්ලුම නිසා අද, හෙට සහ අනිද්දා  මෙට්‍රික් ටොන් 1500ක් නිදහස් කරන්න සැලැසුම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දවසකට නිදහස් කළේ, මෙට්‍රික් ටොන් 1200යි. 

ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඉරිදා එනවා එක නැවක්, අඟහරුවාදා එනවා තව නැවක්, ඒ විදිහට නැව් ටික ශෙඩුල් කරලා තියෙනවා. 

අපි ලාෆ්ගෑස් සමාගමට නිශ්චිතව දැනුම්දීලා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පෙරේදාත් ගෙනත් කතා කළා. අද ලිඛිතව භාර දුන්නා. පාරිභෝගිකයන් සිලින්ඩර අරගෙන ගෑස් නැති වුණාම ප්‍රායෝගිකව ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ නිසා වහාම ගෑස් බෙදාහැරීමේ කටයුතු කරන්න. අපි දැනගත්ත ආකාරයට 25 වැනිදා තමයි ගෑස් ටික එන්න තියෙන්නේ.”

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්…..

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව, වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවය.

එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද සමාගම සඳහන් කරයි.

මේ අතර, දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් සිලින්ඩර පිරවුම් පර්යන්තයේදී එම ගෑස් සිලින්ඩරගත කර, දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට තුළ අඛණ්ඩ එල් පී ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක කර ඇති බවට මහජනතාව වෙත ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී තිබේ.

දේශපාලන බලපෑම් ගැන රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් කළකිරීමෙන්…..

ඉඩම් රාජකාරී ඉටු කිරීමට අදාළව සිදුකරන අහිතකර දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් විසින් ඇතැම් අවස්ථාවන්හි විවිධ ප්‍රාදේශීය ලේකම්වරු වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කරන බවය.

ඉඩම් රාජකාරී සඳහා අහිතකර දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ද එම සංගමය ඉල්ලා සිටියි.

ඒ සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු හෝ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ කාර්යාලයේ ඒ සඳහා නම් කළ නිලධාරීවරයෙකු යොමු කරන ලෙස ඔවුහු පවසති.

එසේ නොවන්නේ නම් දේශපාලන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලිපියක් රැගෙන අදාළ ගැටලු නිරාකරණය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමේදී අදාළ ආරවුල් සම්බන්ධයෙන් තීරණ ගැනීම විනිවිධභාවයෙන් සිදු කිරීමට නොහැකිය.

එමඟින් ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි තබා ඇති විශ්වාස පළුදුවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එමෙන්ම ඉඩම් රාජකාරීවලදී සිදු කරනු ලබන මෙවැනි අනිසි මැදිහත්වීම් වළක්වා ගැනීමට දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් වන ඉඩම් ගැටලු අදාළ කාර්යාල වෙත යොමු කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන ලෙසට ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

බෙදුම්වාදයට එරෙහිව කටයුතු කරන ලෙස ජනපතිට බලකෙරෙන මහජන පෙත්සමක්….

බෙදුම්වාදයට හා බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (19) ආරම්භ විය.

එම මහජන පෙත්සමට අත්සන් ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී අද උදෑසන ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඒ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමිගේ මූලිකත්වයෙනි.

මෙම අවස්ථාවට ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60ක සාමාජිකයින් ද සහභාගි වී සිටියේය.

මෙම මහජන පෙත්සම ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.

මේ අතර වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මහා සඟ සමුළුව හෙට පස්වරු 2ට කොළඹ බෞද්ධ මහා සම්මේලනයේදී ආරම්භ වීමට නියමිතය.

මොනරාගල එක්සත් භික්ෂු සංසදයද අද පැවසුවේ බුදුදහම නොසලකාහරින වත්මන් ආණ්ඩුවට විරෝධය පාමින් මෙම සඟ සමුළුවට හෙට (20) සහභාගී වන බවය.

මේ අතර පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් අද මල්වතු මහ නාහිමියන් බැහැදැක සංඝයාවහන්සේට සිදුකෙරෙන ගැරහීම් සහ හෙට පැවැත්වෙන සඟ සමුළුව පිළිබඳ දැනුම්වත් කර තිබේ.

GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී….

සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට ආණ්ඩුව නිසි පියවර නොගන්නා බව තමාටද වැටහෙන්නේයැයි අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් සඳහන් කළේය.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අද (19) මල්වතු අස්ගිරි මහ විහාර වෙත පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත පැමිණ, නිදහස් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ  මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් දැනුම්වත් කළේය.

අනතුරුව ඔවුන් අස්ගිරි මහා විහාරයට වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නා හිමියන්ද දැනුම්වත් කළේය.

සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති…..

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්නූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,

“උසාවි විනිසුරුවන්ට පඩි ගන්න, නීතිඥවරුන්ට හම්බකරන්න නෙමේ. උසාවි තියෙන්නේ කාලය, මුදල් නාස්ති නොකර නඩු අවසන් කරන්න. අධිකරණවල නඩු ලක්ෂ 11ක් පමණ තියෙනවා. ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට දිනය ලැබුණේ අවුරුද්ද පැනලා. අලුත් අගවිනිසුරු යටතේ නඩු ඉවරවෙන ප්‍රමාණය වැඩියි. අපි අලුතින් අධිකරණ හදනවා. පාස්කු නඩුවට සහ අල්ලස් නඩුවලට වෙනම උසාවි තියෙනවා. තව උසාවි 07ක් ඉදිරියේදී ස්ථාපිත කරනවා.” 

ප්‍රශ්නය – අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ බිරිඳට වෙඩි තැබීමක් සිද්ධවුණා. දැන් මේ නීතිඥවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී මොකක්ද ගන්න පියවර?

“නඩුවලට පෙනී සිටීම නිසා නීතිඥ ප්‍රජාවම අනතුරේ වැටිලා නැහැ. මමත් අවුරුදු 25ක් අපරාධ නඩු මෙහෙයවූවා. අපරාධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. අකුරේගොඩ සිදුවීමට අනිවාර්යයෙන් යුක්තිය ඉටුවිය යුතුයි. නීතිඥ ප්‍රජාවම අනතුරේ කියන එක විපක්ෂය හදපු මතයක්.”

ප්‍රශ්නය – බන්ධනාගාර තදබදය අවම කරන්න ගෙන තිබෙන පියවර කුමක්ද?

“අපේ බන්ධනාගාර ධාරිතාව 10,500යි. දැනට 39,000ක් ඉන්නවා. වැරදිකරුවන් නොවූ කොටසයි ගැටලුව. වැරදිකරුවන් නොවූ සැකකරුවන් 28,000ක් ඉන්නවා. එතනිනුත් 20,000ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය. පිළිතුර බන්ධනාගාර තුළ සෙනඟ අඩු කිරීම. විනිසුරු යසන්ත කෝදාගොඩ යටතේ අලුත් පනතක් ගේන්න වැඩකරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ හරහා සෙනඟ අඩු කරන්න පුළුවන්. මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරගතවූවන්ට. දඬුවම් අඩුවීමේ ක්‍රමවේදයක් නැහැ. විනිසුරු තුරෙයි රාජා යටතේ කමිටුවක් පත්කළා. දීර්ඝකාලීනව සිරගතව සිටින්නන් දඬුවම් අඩුවීමේ ක්‍රමයක් හදනවා.”

කුලී ගෙවල් පනත සම්බන්ධව පසුගිය කාලේ ලොකු කතාබහත් ඇතිවුණා. ඒකේ ඉදිරියේදී කොයිවගේ වෙනස්කම් කරන්නද බලාපොරොත්තුවෙන්නේ?

“අඩියක් පස්සට ගෙන ජනතාවට කන්දීම පරාජයක් නොවෙයි. හදන්න ඕනේ හැමෝටම ගැළපෙන නීතියක්. අලුතින් අදහස් එවන්න ජනතාවට අවස්ථාවක් දුන්නා. කුලීහිමියාට සහ කුලීනිවැසියාට සහන ලැබෙන ලෙස. මේ පනත සංශෝධනය කරනවා. පනත පවතින ආකාරයෙන් නීතිගත කරන්නේ නැහැ. සංශෝධන පනතකින් මහජන අදහස් විමසනවා.”

UGC චක්‍රලේඛයට විරෝධය…

විශ්වවිද්‍යාල සිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා ආචාර්යවරුන් මැදිහත්විය යුතු බව පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ චක්‍රලේඛයට සිසුන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේද දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ, චක්‍රලේඛයේ අරමුණ නවකවදය වැළැක්වීම වුවත් මේ හරහා එම අරමුණ කිසිසේත් ඉටුනොවන බවය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉකුත් පෙබරවාරි 6 වැනිදා 2026/02 චක්‍රලේඛය නිකුත් කළේ විශ්වවිද්‍යාල සිසුන් සංවිධාන කරන විෂය බාහිර කටයුතු ඇතුළු සියලු ක්‍රියාකාරකම් ආචාර්යවරුන් සහ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව පවසමින්ය.

ඒ, නවකවදය වැළැක්වීම අරමුණ කරගනිමින්ය.

ඊට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් රාත්‍රී 10ට අවසන් කළ යුතු බවට පරිපාලනය ගත් තීරණයකට එරෙහිව ඉකුත් අඟහරුවාදා එම විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වුණි.

මේ අතර, පේරදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය සඳහා ආණ්ඩුව මෙවැනි අණපනත් ගෙන එන බවය.

එවැනි පසුබිමක 2026/02 චක්‍රලේඛය සුදුසු පරිදි සකස් කරන ලෙස හෝ අවලංගු කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලිපියක් යොමුකර තිබේ.

මේ අතර, 2026/02 චක්‍රලේඛයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.

අනතුරුව ශිෂ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකුට විශ්වවිද්‍යාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුණි.

නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක් -GMOA….

නීතිඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම තුළ පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව පිළිබඳ නැවත බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, රාජ්‍ය තුළ පුරවැසියාගේ සහ වෘත්තීකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීම බවය.

ඕනෑම වෘත්තීයවේදියෙකු හට බලපෑම් හෝ තර්ජනවලින් තොරව ස්වාධීනව සහ නිදහස්ව තම වෘත්තීමය සේවාවන් සැපයීමේ අයිතියක් ඇති බව එම නිවේදනයේ සඳහන්ය.

මෙරට රෝහල් පද්ධතිය තුළද වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පුරවැසියන්ගේ ආරක්ෂාව සහ වෘත්තීයමය පරිසරය තුළ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශක්තිමත් සහ විශ්වාසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.