නිශ්චිත වැටුප් ලබන පිරිස් පෙලෙන අසීරුතාවන් රජය තේරුම්ගෙන තිබෙනවා – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය සේවක ඇතුළු නිශ්චිත වැටුප් ලබන සියලු දෙනා සම්බන්ධයෙන් රජය අවබෝධයකින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බඩු මිල, පොලී අනුපාත සහ බදු වැඩිවීම්වලදී නිශ්චිත ආදායමක් ලබන පිරිස් අසීරුතාවන්වලට පත්වන බවත් රජය ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව රජයට ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

නිසි අවසරයකින් තොර​ව ගුරුවරුන් 5000 කට වැඩි පිරිසක් රටින් පිටව ගිහින් – ජෝසප් ස්ටාලින්

නිසි අවසරයකින් තොරව ගුරුවරුන් 5000 කට වැඩි පිරිසක් රටින් පිටව ගොස් ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, අධ්‍යාපන පද්ධතිය තුළ 40,000 කට වැඩි ගුරු හිඟයක් පවතින බවයි.

රාජ්‍ය සේවකයන්ට වසර 5 ක කාලයක් නිවාඩු රැගෙන දේශීයව හෝ විදේශියව රැකියාවට යා හැකි බවට රජය තීරණයක් ගෙන තිබූ බවත් මෙය උපයෝගී කර ගනිමින් ගුරුවරුන් විදෙස්ගතව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

පවතින බුද්ධි ගලනය ඇති කරන ලද්දේ ආණ්ඩුව විසින් බවත් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා පළාත් සභා තුළට බලය ලබාදීම මඟින් පළපුරුදු ගුරුවරුන් ලැබේද යන්න ගැටලුවක් බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ.

වියළි කාලගුණයෙන් කුඹුරු අක්කර 39,000 ක් පම​ණ විනාශයට පත්වෙලා – කෘෂිකර්ම ඇමති

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ කුඹුරු අක්කර 39,000 ක් පමණ විනාශයට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණ සමීක්ෂණය අවසන් වූ පසු විනාශ වූ ප්‍රමාණය කුඹුරු අක්කර 50,000 ක් පමණ වනු ඇති බවයි.

ඉතිහාසයේ වන්දි මුදල් ගෙවීමට සිදුවන වැඩිම ප්‍රමාණය මෙය වනු ඇති බවත් ඒ සඳහා මුදල් සොයාගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නැවත ජනතාව ගොවිතැන් සඳහා යොමු කිරීමට සහනයක් ලබාදිය යුතු බවත් මුදල් සොයා ගැනීම අභියෝගයක් වුවද ජනාධිපතිවරයාද මේ සඳහා එකඟතාව පළකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ අතිශය අමානුෂිකයි – හෝටල් සේවකයින්

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ අතිශය අමානුෂික බව හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි පවසනවා.

ඒ අනුව අර්ධ කාලීන ලෙස සේවකයින් බඳවාගැනීමේ හැකියාවක් යෝජිත කම්කරු නීති සංශෝධනය යටතේ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ මගින් කාර්යබහුල වෙලාවන්හිදී පමණක් පැය 03කට සේවකයින් බඳවා ගැනීමට හෝටල් පාලකයින්ට අයිතිය ලැබෙන බවත් මේ තුළින් පැය 8 කට ගෙවීමක් සිදු කිරීම සහ අතිකාල දීමනා ගෙවීමට හෝටල් පාලකයින්ට අවශ්‍ය නොවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

O/L පළමු අදියරේ ඇගයීම් කටයුතු අද ආරම්භ වෙයි

2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර අද (18) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පළමු අදියරේ ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් සඳහන් කළේ.

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවනවා – අධ්‍යාපන අමාත්‍යාංශ​ය

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බවත් සඳහන්.

අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් හිඟව පවතින පාසල්වලට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට ක්‍රියාත්මක වන අතර පවතින ගුරු පුරප්පාඩු පිළිබඳ සැලකිල්ලට ලක් කර මෙම තීරණය ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනයට අඩුම මුදලක් වෙන් කරන රටවල් අතර ශ්‍රී ලංකාව

අධ්‍යාපන අමාත්‍යංශය මුල් වී සිදු කළ ජාතික සමීක්ෂණයකදී මෙරට තුන්වෙනි ශ්‍රේණියේ ළමුන්ගෙන් 85% ක් සාක්ෂරතාවය සහ සංඛ්‍යා දැනුම පිළිබඳ ලබා ගත යුතු අවම ප්‍රවීණතාවය ලබා ගෙන නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම අධ්‍යාපනය සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කෙරෙන්නේ 2% කට අඩු ප්‍රමාණයක් බවත් එය අන්තර්ජාතික මිනුම් ලකුණ වන 4-6% ට වඩා අඩු මෙන්ම දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් අධ්‍යාපනය සඳහා වෙන් කරන අඩුම ප්‍රතිශතයක් බවත් වාර්තා වනවා.
ඒ අනුව පසුගිය වසර තුනක කාලය තුළදී කොවිඩ් වසංගතය ඇතුළු අවස්ථා කිහිපයකදී පාසල් වසා දැමීම නිසා ප්‍රාථමික අංශයේ පාසල් ළමුන් මිලියන 1.6 කගේ පසුබෑමට ලක්වූ අධ්‍යාපනය නැවත නගා සිටුවීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්ට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
ඒ අනුව ඔසප්වීම අවසන් වී 07 වන හෝ 10 වන දිනයේ දී පමණ සියලුම කාන්තාවන්ට පියයුරු ස්වයං පරීක්ෂාවක් සිදු කරගත හැකි බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා සඳහන් කළේ.
පිළිකා දෙවන හෝ තුන්වන මට්ටමේදී හඳුනාගෙන අතිශය බරපතළ තත්ත්වයට පත්වෙන අවස්ථා දක්නට ලැබෙන බවත් වර්තමානයේදී ද කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත්වීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළා.
සුවනාරී සායනවලට ගොස් අදාළ පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙසත් පෞද්ගලිකත්වයට සහ රහස්‍යභාවයට කිසිදු හානියක් සිදු නොවන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට එළඹෙන 19 වනදා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ලබන 19 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 20 වන ඉරිදා අලුයම 02.00 දක්වා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටයි.

දිස්ත්‍රික්ක කිහිපයක ජල සැපයුම මුර ක්‍රමයක් යටතේ

පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම මේ වනවිටත් මුර ක්‍රමයක් යටතේ සිදු කෙරෙන බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි සඳහන් කළේ.
එසේම කුරුණෑගල නගරයට ජලය බෙදා හැරීම ද සීමා කිරීමට සිදුව ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.