වත්කම් ඉපැයීම සම්බන්ධ වීරවංශට එරෙහි අධිචෝදනා පත්‍රයට තවත් සාක්ෂි 16ක් ඇතුළත් කෙරේ

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇමැති ධුරය දැරූ වසර 5ක කාලය තුළ උපයාගත් වත්කම් පිළිබඳ කරුණු පැහැදිලි නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය පැමිණිල්ල විසින් සංශෝධනය කර තිබේ.

තවත් ලේඛන 16ක් ඉදිරිපත් කිරීම් ලෙස සාක්ෂියට එක් කරමින් අධිචෝදනා පත්‍රය සංශෝධනය කර ඇත.

සාක්ෂි (විශේෂ විධිවිධාන) ආඥාපනත (පරිගණක සාක්ෂි) යටතේ නව ලේඛන හතරක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා බලාපොරොත්තු වන බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නාය.

විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති මෙම නඩුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ විභාග වෙමින් පවතී.

ඒ.එස්.ජී. ජිනසේන සාක්ෂි වශයෙන් ඇතුළත් කිරීමට නියමිත නව ලේඛනවල පිටපත් අධිකරණයට සහ විත්තිකරුවන්ට මෙහිදී භාර දී තිබේ.

යෝජිත කරුණු 74ක් ඇතුළත් ලේඛනයක් පැමිණිල්ල විසින් දැනටමත් විත්තිකරු වෙත ඉදිරිපත් කර ඇත.

යෝජිත කරුණු සම්බන්ධයෙන් විත්තිකරු සිය ස්ථාවරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ යුතු බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දන්වා සිටියේය.

එම ඉල්ලීමට එකඟ වූ විමල් වීරවංශගේ නීතීඥවරු පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද ලේඛනවලට ප්‍රතිචාර දැක්වීමට කල් ඉල්ලා සිටියහ.

ඒ අනුව වැඩිදුර විභාගය මාර්තු 1 වැනිදා දක්වා කල් තැබූ විනිසුරු මාරසිංහ එදිනට විමල් වීරවංශට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

විමල් වීරවංශ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියේය.

පාස්කු දින ප්‍රහාරයේ යුක්තියේ සටන , ඉතාලි රදගුරු සමුළුවේ විශේෂ අවධානයට !

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ගෙනයන සටන වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් , පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය උදෙසා ඉතාලි – ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයින් ( italiano – Sri Lankesi, forum di giustizia per le vittime dell’attentato della domenica di Pasqua) හා ඉතාලි රදගුරු සමුළුවේ සභාපති අති උතුම් කාදිනල් මතියෝ සුප්පි (Cad.Matteo Zuppi) හිමිපාණන් අතර ඊයේ (02.03) පස්වරුවේ පවත්වා ඇත.

එහිදී ඔවුන් විසින් , අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අප රට තුළ සහ ජාත්‍යන්තරවත් ගෙනයනු ලබන යුක්තියේ සටන වෙනුවෙන් උන්වහන්සේගේ සහයෝගය ඉල්ලා ඇති අතර , මේ දක්වා ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ විසින් , පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය හා විමර්ශන වල තත්වය ඇතුළත් ඉතාලි සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද ලේඛන කිහිපයක් සහ වීඩියෝ පටයක් ද උන්වහන්සේ වෙත ඉදිරිපත් කර ඇත.

අති උතුම් කාදිනල් සුප්පි සැලකෙන්නේ , ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ඉතාමත් කිට්ටු සමීපතමයෙකු ලෙසයි.

මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ශ්‍රී ලාංකීය කිතුනු සභාව , ගෙනයනු ලබන යුක්තියේ සටන සම්බන්ධයෙන් උන්වහන්සේගේ ඉමහත් ප්‍රශංසාව හිමිව තිබේ.

මේ වෙනුවෙන් ශ්‍රී ලංකා රදගුරු සමුළුවට අවශ්‍ය සහයෝගය සම්බන්ධයෙන් දැනටමත් උන්වහන්සේ ලා ක්‍රියාකරගෙන යන බවත් ,
ශුද්ධෝත්තම පාප්තුමන් ද ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත්,
ශ්‍රී ලංකානු රජය තව දුරටත් යුක්තිය හා සාධාරණත්වය ලබාදීමට අපොහොසත් වන්නේ නම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ එකඟතාවයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හා ඉතාලි රජය සමගත් විශේෂාකාරයෙන් මැදිහත් වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්,
කිසිවිටෙකත් ලාංකීය කිතුනු ජනතාව තනිනොකරන බවටත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් හා ඉතා ඕනෑකමින් සම්බන්ධ වීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

WhatsApp Image 2024-02-04 at 14.33.18 WhatsApp Image 2024-02-04 at 14.33.06 WhatsApp Image 2024-02-04 at 14.32.47

යුද්ධයේදී මියගිය හා ආබාධිත වූ හමුදා සාමාජිකයන්ට පූර්ණ වැටුප් හා දීමනා

යුද්ධයේදී මියගිය හෝ ආබාධිත වූ හමුදා සාමාජිකයන් හට පූර්ණ වැටුප් හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රියව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය, ආබාධිතව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම ප්‍රතිලාභය ලැබෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

අදාළ හමුදා සාමාජිකයා වයස අවුරුදු 55 එළැඹීමට පෙර මිය ගිය අවස්ථාවකදී, වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වාම ඔවුන්ගේ යැපෙන්නන් වෙත මෙම වැටුප් හා දීමනා ලබා දීමට නියමිතව තිබෙනවා.

කොළඹට ආසන්න දුම්රිය ස්ථාන කීපයක හෙට දුම්රිය නවත්වන්නේ නෑ – දුම්රිය දෙපාර්තමේන්තුව

හෙට (04) දිනයේදී මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, කොළඹ නගරාසන්න දුම්රිය ස්ථාන කිහිපයක නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව, හෙට පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා කාලය තුල මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවලත් දුම්රිය නොනවත්වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

හෙට (04) පැවැත්වෙන 76 වැනි නිදහස් සමරු උත්සවය සඳහා සහභාගි වන ප්‍රභූවරුන්ගේ සහ පෙළපාලිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

නිදහස් උත්සවයේ රථවාහන රාජකාරී වලට පොලිස් නිලධාරින් 1500 ක්

හෙට (04) යෙදී ඇති 76 වැනි ජාතික නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.

ආරක්ෂාව සහ වෙනත් රාජකාරි සඳහාද නිලධාරින් 4,000ක් යොදවා ඇති බවයි රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කරන්නේ.

අද සහ හෙට දෙදින තුල, ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

පැය 10කට අධික කාලයක් ප්‍රකාශ ගැනීමෙන් පසු කෙහෙළිය අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

අද (පෙබරවාරි මස 2 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනු ලැබීය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කළේය.

අමාත්‍යවරයාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටීමෙන් අනතුරුවයි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ ( පෙබරවාරි 01 වෙනිදා) අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග කළේ ප්‍රශ්නගත මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද ( පෙබරවාරි 2 වැනිදා) උදෑසන 9.00 ට පෙනී සිටින ලෙසය.
ඒ අනුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද පෙරවරුවේ පැමිණි අතර ඔහුගෙන් පැය 10 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු සෞඛ්‍ය ඇමති චුදිතයෙක් වෙන්නේ කොහොමද?

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සිවිල් සංවිධාන විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටියි.

එම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට පැමිණෙන ලෙස දැනුම් දුන්නද පසුගිය ජනවාරි 31 වැනිදා ඔහු එහි නොගියේ තමන්ට වෙනත් කටයුත්තක් මෙන්ම මහාධිකරණය හමුවේ පෙනී සිටීමට ඇති බවට CID යට ලිඛිතව ලිපියක් යොමු කරමින් ය.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (පෙබරවාරි 02) උදෑසන 9.00ට පමණ අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් (පෙබරවාරි 01 වැනිදා) නියෝග කරනු ලැබීමෙන් අනතුරුවය.

අධිකරණයේදී සිදුවුයේ කුමක්ද ?

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සෙසු සැකකරුවන් 6 දෙනා පෙබරවාරි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණි.

හිටපු සෞඛ්‍ය ඇමති චුදිතයෙක් වෙන්නේ කොහොමද?

 

‘හදිසි සහ අත්‍යවශ්‍ය වුවමනා’ බව සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඖෂධ වර්ග 183ක්, ඇගයීම් කමිටුවක් හරහා දින 4ක් තුළදී ඇගයීමකට ලක් කර ඇති බවත්, එලෙස ඇගයීමට ලක්‌ කළ ඖෂධ අතර මෙම ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ චෝදනාවට ලක්වූ තවත් ඖෂධ 3ක් තිබී ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
ඔහු කියා සිටියේ අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමුකරන විටත් ඖෂධ මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් කැඳවීම සිදුකොට ඊට අදාළ කටයුතු සිදුකර තිබෙන අයුරු මෙහිදී පෙනී යන බවයි.

“උදාහරණයක් විදිහට කෙහෙළිය රඹුක්වැල්ල චුදිතයෙක් වෙන්නේ කොහොමද කියලා අහන කොට අපිට එතන තියෙන ප්‍රශ්නේ තමයි සෞඛ්‍ය ලේකම්වරයා කැබිනට් පත්‍රිකාව අනුමත වුණා කියලා හිතාගෙන ටෙන්ඩර් පළ කරද්දී කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා තියෙන්නේ ඊට සතියකට පස්සේ කියන එක.”

“මේ කාරණා කොහොමද නිල වශයෙන් ඇමතිවරයා විසින් ලේකම්වරයාට ලබා දෙන්නේ කියන එක ගැන රටේ ක්‍රමවේදයක් නැති නිසා එතැනදී ඇමතිවරයා අහුවෙන්නේ නෑ.”

“නමුත් ලේකම්වරයාගේ ඉදන් පල්ලෙහාට ඉන්න කණ්ඩායම අහුවෙනවා ඔවුන් ලිඛිත තොරතුරු පදනම්කර ගෙන වැඩකරන කණ්ඩායමක් නිසා.” ඔහු පැවසුවේය.

‘හුඟ දෙනෙක් වහලා කතා කරන්නේ – මමයි පළවෙනි පැමිණිල්ල කලේ’

ප්‍රශ්නගත මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් මෙය දකින්නේ දේශපාලන වැඩපිළිවලක් ලෙස බවයි.

“කවුරුත් මේක දැන ගෙන නෙමේ කතා කරන්නේ.මම මේක දකින්නේ දේශපාලන වැඩපිළිවෙලක් විදිහටයි.”

“මේ සම්බන්ධව මම සියලුම කැබිනට් පත්‍රිකා, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකළ ආකාරය ඇතුළු සියලුම කරුණු CID එකට භාරදීලා තියෙනවා.”

“ඊට අමතරව දැන් තියෙන කරුණු ටිකත් මම ඔවුන්ට භාර දෙනවා.”

“කවුරුත් අමතක කරපු, ඒ වගේම හුඟ දෙනෙක් වහලා කතා කරන දෙයක් තමයි මේ නඩුවේ පැමිණිලිකරු මම කියන එක.”

“මමයි පළවෙනි පැමිණිල්ල කරන්නේ.ඊට පස්සේ තමයි අනිත් අය ගිහින් පැමිණිලි කරන්නේ ගිහිල්ලා.”

“මට අඳුනගන්න ලැබුණා හොර බෙහෙත් ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා කියලා. පස්සේ මම ඒ ගැන පැමිණිල්ලක් කළා.”

“ඊට පස්සේ මට ඒ කොම්පැනියේ අයිතිකාරයා තර්ජනාත්මකව ලියවිල්ලක් එව්වා. මම ඒ ලියමන CID එකට භාර දුන්නා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඕක තමයි ඇත්ත.” ඔහු පැවසුවේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන එල්ලවූ චෝදනා සහ විමර්ශන කමිටු පත් කිරීම

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා නිරීක්ෂණය කිරීමට යාමේ සිදුවීමක් පිළිබඳව ද සෞඛ්‍ය සේවාවන්ට අදාළ වෘත්තීය සමිති විසින් එවකට ප්‍රශ්න කරන ලදී.

රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් විදෙස් මුදල් නොතිබීම නිසා හදිසි මිලදී ගැනීම් ලෙස මෙරට රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීම සිදුකරනු ලැබුවේ ඉන්දීය රජය විසින් ලබාදුන් ණය පහසුකම යටතේය.

වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේදී රජයේ රෝහල් මගින් ප්‍රතිකාර සඳහා ලබාදුන් ඖෂධ ප්‍රමිතියෙන් තොර බාල ඒවා බවට අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල විය.

එහිදී ශල්‍යකර්ම සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධ සහ භාවිතයට ගැනුණු ප්‍රතිජීවක එන්නත් වර්ග ආසාත්මික වී රෝගීන් මිය යාමේ සිදුවීම් සහ ඇසේ සුද ඉවත් කිරීමෙන් පසු ශල්‍යකර්මයට ලක්වූ පුද්ගලයින්ට ලබා දුන් ඖෂධයක් නිසා පිරිසකගේ දෑස් නොපෙනී යෑම වැනි සිදුවීම් රැසක් වාර්තා විය.
ඒ අතර නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මියයාම මෙන්ම උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක මිය යාමේ සිදුවීම් රටේ මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබූ සිදුවීම් විය.
අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ පසුගිය වසරේ ජුලි මාසයේදීය.

එම කමිටු වාර්තාව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඉකුත් වසරේ අගෝස්තු 9 වෙනිදා භාර දුන් අතර එහිදී ආසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ වූ විශ්ලේෂණයන්ට අනුව වාර්තා වූ මරණ 6 යෙන් පහක්ම දරුණු ආසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බවට සඳහන් කර තිබිණි.

හිටපු සෞඛ්‍ය ඇමතිට එරෙහිව එල්ලවූ චෝදනා සහ විශ්වාස භංගය

ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් පසු රෝගීන් මිය යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම් පදනම් කරගෙන එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබිය.

පුරා දින 3ක විවාදයෙන් පසුව පැවති ජන්ද විමසීමේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 40කින් පරාජයට පත්කිරීමට ආණ්ඩුව සමත් විය.

‘තාක්ෂණිකව හොරකම් කරන්න පුලුවන් ක්‍රමයක් හැදිලා තියෙනවා’

සෞඛ්‍ය සේවයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ තාක්ෂණිකව හොරකම් කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේය.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ වනවිට සෞඛ්‍ය සේවයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක් බවයි.

“මේ කතාව ආරම්භ වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටළු සහගත තත්ත්වයත් එක්ක.”

“මේක කෙහෙළිය රඹුක්වැල්ලගේ කතාවට සම්බන්ධ වෙන්නේ මෑත කාලීනව. “

“සෞඛ්‍ය සේවාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉතා නරක විදිහට තාක්ෂණිකව හොරකම් කරන්න පුළුවන් විදි ක්‍රමයක් හැදිලා තිබෙනවා.”

“ඒ ක්‍රමයට අනුව සෞඛ්‍ය කේෂ්ත්‍රයට ඇවිල්ලා නියම ආකාරයෙන් ව්‍යාපාරයක් කරන්න විදිහක් නැහැ කොමිස්, අල්ලස් හෝ වෙනත් වරදාන ලබා නොදී.”

“ඒක වෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ඇතුලේ වැඩකටයුතු සිදුවන ක්‍රමවේදය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටු, ප්‍රසම්පාදන කමිටු වැඩ කරන ක්‍රමවේදය හරහායි.”

“ඖෂධ සමාගමකට එක පැත්තකින් ඒකාධිකාරියක් හදා ගන්න පුලුවන් වගේම අනෙක් පැත්තෙන් තත්ත්වයෙන් උසස් කියන ලේබල් එක ගහ ගන්න පුලුවන් මුදල් වියදම් කරලා.” ඔහු කීයා සිටියේය.

මෙවැනි කටයුතු සිදුවන බවට වෘත්තීය සමිති කණ්ඩායම් ඒ පිළිබඳව පෙන්වා දුන්නද, ඒ පිලිබඳ විමර්ශනය නොකර ඒවා හෙළි කළ තමන් ඇතුළු කණ්ඩායම චෝදනාවන්ට ලක් කොට වැඩ තහනම් කිරීම දක්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කමිටුව උත්සහ දැරූ බව රවී කුමුදේශ් මෙහිදී පැවසුවේය.

“ඒ සියල්ලම සිදුකලේ දේශපාලන මැදිහත්වීමක් එක්ක. එතකොට ඒ දේශපාලන මැදිහත්වීම් එක්ක අපට පෙනී ගිය එකක් තමයි මේකේ තාක්ෂණික ක්‍රමවේදය හරහා හොරකම් කරන්න ඉඩ හැර තිබෙනවා කියන එක.”

“ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය එක්ක ඇතැම් සමාගම් මෙය ව්‍යාපාර මොඩලයක් බවට පත් කර ගැනීමට කටයුතු කළා.” ඔහු කියා සිටියේය.

‘ගබඩා පිරිලා. ඖෂධ හා ශල්‍ය උපකරණ අඩංගු කන්ටේනර් 41ක් දාන්න ඉඩ නැහැ’

ඉල්ලුම් නොකළ ලංසු නිසා ඇතිවූ තත්ත්වය
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ සමයේදී ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී ඉන්දියාවට ගොස් එක් සමාගමක් තෝරා ගෙන ඉන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියකට යොමු වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන ලදී.

“හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඉන්දියාවට ගිහින් එක් සමාගමක් තෝරා ගෙන ඒ සමාගමෙන් විතරක් ඖෂධ මිලදී ගන්න, කැබිනට් පත්‍රිකාවක් දාලා ඉල්ලුම් නොකළ ලංසු කියන ක්‍රමවේදයට යන්න ගියා.”

“මේක ඇතුලේ අපිට පෙනුණා යම් ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා කියලා. අපි ඉතා අසීරුවෙන් සමහර කාරණා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ”

“එසේ කරද්දී සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන්න වුණා; මොකද කියනවනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය කළේ ප්‍රශ්නය ගැන හොයන්නේ නැතුව ඒක ගැන හෙළි කරන සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට එරෙහිව කටයුතු කිරීමයි.” ඔහු පැවසුවේය.

‘ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පවතින්නේ හදිසි අපදාමය තත්වයක. ඒ බව ඖෂධ නියාමන අධිකාරිය හඳුනාගෙන ඇතිබවක් පෙනෙන්නට නැහැ’

‘හොර සහතික නිකුත් කළේ කවුදැයි මෙතෙක් හෙළිවෙලා නෑ’
ප්‍රශ්න සහගත ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් හොර සහතික නිකුත් කර ඇති බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් දිගින් දිගටම සිදුකළ චෝදනා හේතුවෙන් බව ද මෙහිදී රවී කුමුදේශ් පැවසුවේය.

“ඖෂධ නියාමන අධිකාරිය එයාලගේ ගැලවීම සඳහා මේ සමහර ගණුදෙනු කරලා තියෙන්නේ හොර සහතික වලින් කියලා කියන්න ගත්තා.”

“හොර සහතික ගැහුවේ ඖෂධ නියාමන අධිකාරියද , සමාගමද එහෙම නැත්නම් අධිකාරිය දැනුවත්ව ගහපු හොර සහතික ද කියලා තවම අපි දන්නේ නැහැ. “

“ඒ ගැන හෙළිදරව්වක් වෙලා නැහැ තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන වලින්.”
“නමුත් ඒ හොර ව්‍යාජ සහතික සිදුවීමත් එක්ක තමයි අපිට හෙලිවෙන්නේ මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කියන එන්නත් ඉන්දියාවේ ඉදලා ගේනවා කිව්වට එහෙන් ගෙන්නලත් නැහැ, ඒ සමාගම මේ වගේ එන්නතක් හදලත් නෑ, ඒ වගේම මේ එන්නත් වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පස්සේ ලක්ෂ 1400 ක මුදලක් ගෙවලා තියෙනව කියන එක වගේම මේ එන්නත් රජයේ රෝහල් වලට බෙදා දීලා ඒවා ලබලා දුන්නා කියලා රෝගීන්ට.”
“හැබැයි ඒ එන්නත් දුන්න රෝගීන්ට මොකක්ද වුණේ කියලා අද වෙනකන් අපි දන්නෙත් නෑ.”

“මෙතනින් අපි අවුරුදු 4-5ක් පුරාවට කිව්ව ලංකාවේ සෞඛ්‍ය සේවයේ සිද්ධ වෙනවා කියන තාක්ෂණික හොරකම කියන එක ගැන හෙළිදරව් වෙනවා.”
“ඒ එක්කම කියන්න ඕන මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කතාවෙන් අපි අදහසක් ගන්න හොද නැහැ ලංකාවේ සිද්ධ වුන එකම ගනුදෙනුව මේක කියලා හරි ඖෂධ වලින් ගසා කෑම හරි පගා ගත්ත කියන එකම සිදුවීම මේක කියලා.” ඔහු කියා සිටියේය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා.

පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට මෙතැනින් පිවිස ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

65bcb052160a5 65bcb0520a6ed

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කෙරේ

පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළා.

පාන්වල බර ප්‍රදර්ශනය කළ යුතු බවට ගැසට් නිවේදනයක්

පාන්වල බර පැහැදිළිව පෙනෙන ලෙස සටහන් කළ යුතු බවට වන ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාන් ගෙඩියක නියමිත බර ලෙස ග්‍රෑම් 450 ක් ලෙසත්, පාන් භාගයක බර ග්‍රෑම් 225 ක් ලෙසත් දැක්විය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65bc7a4e7d74dpdf_page_1 65bc7a4e6fe4fpdf_page_0

Online Safety පනතේ අරමුණ ආණ්ඩු විරෝධී posts ටික අයින් කරලා දාන එක – හර්ෂ

ඊයේ (01) සිට බලාත්මක කරන ලද Online Safety පනතේ අරමුණ වන්නේ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය සටහන් මර්දනය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව ඒවා සමාජ මාධ්‍ය වෙත එක්කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම එහි අරමුණ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම පනත හරහා සමාජ මාධ්‍යයේ පළ වන දෑ අතුරින් සත්‍ය කුමක්ද, අසත්‍ය කුමක්ද යන්න තීරණය කරන්නේ ආණ්ඩුව බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.