මේ වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි……

මේ වසරේ පළමු කාර්තුව තුළදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කළේ, 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවය.

ඒ අනුව ජනවාරි මසදී ඩොලර් මිලියන 751ක් පෙබරවාරී මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී ඇත.

2025 වර්ෂයේ පළමු මස තුන තුළදී ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815කි.

විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට රාජය මුල්‍ය විශ්වාසය හා විනිවිදභාවය හා  නිත්‍යානුකූල මාර්ග ක්‍රමවේද ශ්‍රමිකයන් භාවිතා කිරිමට කාර්යාංශය විසින් උනන්දු කරවිම හේතුවී ඇති බව කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර මේ වසරේ ජනවාරි සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙ‍ෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි….

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions – TFS) ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ පවසයි.

එම සම්බාධක යටතේ, ත්‍රස්තවාදයට හෝ එයට මූල්‍ය සහය ලබාදීමට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් හෝ සංවිධාන වල බැංකු ගිණුම්, දේපළ හා අනෙකුත් වත්කම් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කිරීමට හැකි වේ.

ඒ අනුව, එම වත්කම් භාවිතය, මාරු කිරීම හෝ විකිණීමද නීතිමය වශයෙන් තහනම් වේ.

මෙම ක්‍රමවේදය, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ බලාත්මක කරන ලද 2012 අංක 01 දරන රෙගුලාසිය මගින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 1373 (2001) අනුව ක්‍රියාත්මක කෙරේ.

සම්බාධක නිකුත් කිරීමේ බලය විදේශ කටයුතු අමාත්‍යවරයා සතු වන අතර, එහි මෙහෙයුම් කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇත.

බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙම පියවර මඟින් ත්‍රස්තවාදය මුල් අවස්ථාවේදීම වැළැක්වීමට, රටේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට හැකි වන බවයි.

එසේම මහජනතාවට තොරතුරු ලබාදීම සහ විවෘතභාවය වර්ධනය කිරීම සඳහා නිසි බලධාරී කාර්යාලය විසින් www.competentauthority.gov.lk වෙබ් අඩවියද හඳුන්වා දී තිබේ.

මෙම නවීන නීතිමය හා පරිපාලන ක්‍රමවේදය මඟින් ශ්‍රී ලංකාව තුළ සාමය, ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්…..

කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබා නොදුන්නැයි උරණවී එහි පොම්පකරුට අදාළ මෝටර්රථයේ රියදුරු කම්මුලට පහරදීමක් සම්බන්ධයෙන් කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව කැස්බෑව පොලීසිය පවසයි.

අද (22) දින ක්‍රියාත්මක වන ලියාපදිංචි අංක තහඩුවේ ඉරට්ටේ සංඛ්‍යාවට ප්‍රතිවිරුද්ධ ඔත්තේ සංඛ්‍යාව හිමි එම වාහනයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදුකළ බව එම පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය සඳහන් කරයි.

මෝටර් රථයේ වම්පස අසුනේ සිටින කාන්තාව පෙන්වා ඇය තෙල් සංස්ථාවේ නිලධාරිනියක් බව පවසා රියදුරු විසින් ඉන්ධන ලබා ගැනීමට පැමිණ එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පවසයි.

පැමිණිල්ලේ සඳහන් මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුකර පහරදීමට සම්බන්ධයෙන් සැකකාර රියදුරු අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නව කමිටුවක්…..

ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන් සහ ප්‍රති – ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2021-05-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

එහෙත්, එම නිර්දේශයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමානුකූල, විධිමත් සහ ස්ථාවර ක්‍රමවේදයක් මෙතෙක් ස්ථාපිත වී නොමැති වීම හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීමට දැනට ක්‍රමවේදයක් නොමැති බව සඳහන් වේ.

එබැවින්, එම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන හා ජාතික ආරක්ෂාව පෙරදැරි කර ගත් පුළුල් සංවිධානාත්මක ව්‍යූහයකින් යුත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මත ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත මෙම නව කමිටුව පත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිපවරයා යෝජනා කර තිබේ.

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස චමින්ද පතිරාජ පත්කෙරේ…..

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පතිරාජ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන පතිරාජ මහතා, ඉකුත් 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තනතුරේ පූර්ණ කාලීනව වැඩබැලීම සඳහා පත්කිරීමට අනුමැතිය ලබාදී තිබුණි.

ඒ අනුව මහතා ස්ථිර පදනමින් ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.

2026 වසරට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණය චීන සමූහාණ්ඩුවෙන්…..

2026 වසරට අදාළව රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්ට සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් ඇතුළු ගිහි සිසුනට අවශ්‍ය කරන සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබාදීම සම්පූර්ණ කළ බවට නිල වශයෙන් දැනුම් දීම සිදුකර තිබුණි.

අද (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස 2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීම සඳහා හිමි වූ රෙදි මීටර් මිලියන 11.484ක් ලබා දී අවසන් බවට නිල වශයෙන් දැනුම් දීමේ සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍යවරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අතර සිදු විය.

ඒ හරහා පාසල් නිල ඇඳුම් ප්‍රතිලාභය හිමිවූ සිසුන් ගණන මිලියන 4.4 කට අධිකය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“චීන සමූහාණ්ඩුව විසින් අපගේ පාසල් සිසුන්ට ලබාදුන් මෙම නිල ඇඳුම් ප්‍රදානය දෙරට අතර පවතින නොබිඳෙන සහයෝගීතාවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අප රජය අපේක්ෂා කරන අධ්‍යාපන පරිවර්තනයට යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම මෙන්ම, ආර්ථික හා සමාජීය වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය සහය ද චීනය අපට නොකඩවා ලබාදෙන රටක්.

පාසල් නිල ඇඳුමක් යනු සරල දෙයක් නෙමෙයි. එය ගෞරවය සහ සමානාත්මතාවය පිළිබඳ කරුණක්. මෙම නිල ඇඳුම් බෙදාදීමේ වැඩසටහන මගින් අසමානතා අවම කරමින් දරුවන්ට විශ්වාසයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදෙනවා. එසේම ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම ක්‍රියාවලිය කිසිදු කාල ප්‍රමාදයකින් තොරව සිදුකිරීම සඳහා දැක්වූ සහයෝගයට මා ස්තූතිය පුද කරනවා.”

එහිදී අදහස් දක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා,

“මෙම පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන නොකඩවා අවුරුදු 4ක කාලසීමාවක් තිස්සේ සිදුකරමින් පවතින බවත්, ඊට අමතරව පාසල් සිසුන් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, චීන ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි විවිධ වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පරිවර්තනීය මාවතකට රැගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙමින් සිටිනවා. එය චීන සහ ශ්‍රී ලංකා ජනතාව අතර තිබෙන නොබිඳෙන මිත්‍රත්වය පෙන්වා දෙන සලකුණක්.”

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න – ජනපති….

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල සුවිශේෂී ගැටලුවකදී හැර සෙසු සියලු අවස්ථාවල එම ප්‍රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබාදීමේ කටයුතු සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීය.

පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීමේ හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බව සඳහන් වේ.

මෙම වන්දි මුදල් ගෙවීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

තවමත් කඳවුරුවල ජීවත්වන ජනතාවට නව නිවසක් ලබා දෙන තුරු තාවකාලික නිවාසවල පදිංචි කරවීම පිළිබඳවද මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

අධිඅවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ  අතර, නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු ව ඇත.

ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ?

අමෙරිකානු ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බව වාර්තා වී තිබේ.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

එහිදි පිලිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මෙම කරුණු සම්බන්ධයෙන් යම් ලිපියක් කතානායකවරයාට ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර, විමර්ශනයක් සිදුකරනවද නැද්ද යන්න කතානායකවරයා විසින් තීන්දුවක් ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රශ්නය – ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ? විශේෂ තොරතුරක් ලැබිලා තියෙනවා රජයේ මුදල් අස්ථානගත වීමක් සම්බන්ධයෙන්. ඒකට අනුව ශ්‍රී ලංකා රජය 2025 සැප්තැම්බර් මාසේ අග වනවිට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් මහා භාණ්ඩාරය 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල පියවලා තියෙනවා. 

හැබැයි මේ මුදල ගිහිල්ලා තියෙන්නේ අදාළ ණයකරුට නෙමෙයි. කිසියම් පරිගණක හැකර්වරයෙකුට. එතකොට මේ සම්බන්ධයෙන් දැන් මුදල් අමාත්‍යාංශයේ විදේශ විනිමය සම්පත් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවකුත් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් හොයන්න.මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය වගේ රටේ ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ආයතනයක මේ වගේ දෙයක් වුණේ කොහොමද? මේ සම්බන්ධයෙන් මුදල් යම් පාර්ශවයකට ගෙවන්න, මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබුනද?

පිළිතුර – “මම හිතන්නේ ඔබ කතා කරන්නේ ඔය ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා, කතානායකතුමාට ඉදිරිපත් කරපු ලිපිය පදනම් කරගෙන වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි. දැනට මේ ගැන තොරතුරු අපිට වාර්තා වෙලා නැහැ. මේ ලිපිය පමණයි මේකට පදනම් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනට මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීමක් කරයි.”

ප්‍රශ්නය- මේ වෙනකොටත් මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් සහ පරිගණක ක්‍රියාකරුවෙක් සහ තවත් කෙනෙක් වැඩතහනම් කරලා තියෙනවා. මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලලා තියෙනවා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් හරහා මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න කියලා. ඉල්ලීමක් කරලා තියෙනවා කථානායකවරයාගෙන්. මේ ඉල්ලීමට මොකක්ද රජයේ ප්‍රතිචාරය?

පිළිතුර – “මේ පිළිබඳ කරුණු හොයලා බලලා තමයි කතානායකවරයා තීන්දුව ගන්නේ. ඉතින් කතානායකවරයා තමයි ඒකට උත්තර දෙන්න ඕනේ.
පාර්ලිමේන්තුව හැටියට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවද නැද්ද කියන එක. තවමත් තිබෙන්නේ මේ ලිපිය පමණයි මගේ අතේ. මේ පිළිබඳ වැඩි විස්තර මගේ ළඟ නැහැ.

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට……

මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක්, අමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ක්‍රි.පූ. 1-2 සියවස්වලට අයත් අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා,  තායිලන්තයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතුන් වහන්සේලා හා මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය.

එම සර්වඥ ධාතූන් වහන්සේලා මැයි 2වැනිදා සිට මැයි 10වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ බස් රථයක් ගසක ගැටී අනතුරක්…..

ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ උප්පාරු ගඟ පාලම අසලදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අද (22) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා පොදු ප්‍රවාහනයේ යෙදී සිටි බස්රථයක්, ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් 20කට ආසන්න සංඛ්‍යාවක් මුතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගෙන් බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු ත්‍රිකුණාමලය මහ රෝහල ඇතුළත්කර ඇති අතර, ඉන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

තුවාල ලැබූ මගීන් තවත් කිහිප දෙනෙකු කින්නියා සහ මුතූර් රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

අනතුර හේතුවෙන් පැය කිහිපයක් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.