කථිකාචාර්යවරියගේ ඝාතනයේ සුලමුල QR එකෙන් හෙළි වෙයි….

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකගේ ඝාතකයින් ඉන්ධන QR කේතය හරහා සොයාගැනීමට පොලීසිය සමත්වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 54 හැවිරිදි තිලීපන් දයාලිනි නමැති අයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමියන් යැයි පැවසෙන19 හැවිරිදි කාන්තාවක් සහ 21 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා දික්කසාදවීම සඳහා අයදුම් කර සිටි අය බවට ද සඳහන් ය.

මෙවන් පසුබිමක කථිකාචාර්යවරිය වන සිය මව සහ නැගණියව ඇයගේ සැමියා විසින් පැහැරගෙන ගොස් ඇති බවට මියගිය කාන්තාවගේ පුත්‍රයා යාපනය පොලීසියට පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සඳහා යාපනයේ පොලීස් නිලධාරින් මරණකාරිය ජීවත් වූ නිවසට ගොස් ඇති අතර එහි වහළ සෙවිලි කළ උළු ඉවත් කර කඹයක් ආධාරයෙන් නිවසෙන් පිටත්ව ඇති ආකාරය සහ කපන ලද හිස කෙස් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඒ අනුව සිදු කරන ලද විමර්ශනවලදී ඔවුන් විසින් පරන්තන් ඒ.ටී.එම් යන්ත්‍රණයෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණ විය.

ඉන් අනතුරුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම්හලකින් QR කේතය භාවිත කරමින් ඉන්ධන ලබාගෙන ඇති බවට ද පොලීසිය විසින් තොරතුරු හෙළි කර ගෙන ඇත.

එවන් පසුබිමක එම ඉන්ධන පිරවුම්හලේ ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන උපයෝගී කරන පොලිස් නිලධාරින් විසින් සිදු කළ විමර්ශනවලට අනුව ඊයේ (20) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී 19 හැවිරිදි බිරිඳ සහ 21 හැවිරිදි සැමියාව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අනතුරුව ඔවුන් යාපනය පොලිස් ස්ථානයට රැගෙනවිත් ප්‍රශ්න කර ඇති අතර තමන් විසින් කථිකාචාර්යවරියගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට ඇයගේ බෑනා පාපොච්චාරණය කර ඇත.

ඉන් අනතුරුව මළ සිරුර යාපනය – තනංකිලප්පු, අරුගුවෙලි ප්‍රදේශයේ ඇති වගුරුබිමක දැමූ බවට ද සැකකාර බෑනා පොලීසියට පවසා තිබේ.

ඒ අනුව සිදු කළ මෙහෙයුමකින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර ඒ වනවිටත් එය විකෘති වී තිබූ බවට තොරතුරු වාර්තා වේ.

මේ වනවිට අදාළ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න පත් කළ අමාත්‍ය කමිටුව රැස්වෙයි…

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.

මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එසේම රජයේ අත්‍යවශ්‍ය සේවාවන්ද බාධාවකින් තොරව පවත්වාගෙන යෑම පිළිබඳවත් මෙහිදී කමිටුවේ අවධානය යොමු වූ අතර, මහජනතාවට රජයේ සේවා ලබාදීම අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ රජයේ සේවකයන්ට මුහුණ දීමට සිදුවන අසීරුතා මඟහැරවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ටී. එම්. උදයංග හේමපාල, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ටී. ආර්. ඩබ්. එස්. ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. එස්. රාජකරුණා යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හංවැල්ල වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720ක් පොලීස් භාරයට….

හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේ වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720කට ආසන්න ප්‍රමාණයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය පවසයි.

එම ඩීසල් තොග විකිණීමේ අරමුණින් රැස්කර ඇති බවට අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කරයි.

අදාළ වෙළදසැල තුළ බූලි කෑන් සහ බැරල් 40කට ආසන්න ප්‍රමාණයක මෙම ඩීසල් තොගය ගබඩා කර තිබූ බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (21) දින හෝමගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සුසාන භූමියක කාණුවක් තුළ නාඳුනන පුද්ගල මළ සිරුරක්…..

ඉරට්ටපෙරියකුලම් පොලිස් වසමේ පොදු සුසාන භූමියේ කාණුවක් තුළ තිබී පිලිස්සී මියගිය නාදුනන පිරිමි පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මෘත ශරීරය හඳුනාගත නොහැකි තත්ත්වයේ පවතින බවත් එය උස අඩි 05 අගල් 06ක් පමණ වූ සාමන්‍ය සිරුරැති පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වන බවත් පොලීසිය පැවසීය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙතදැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක
ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානාධිපති – 071-8591344
ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානය – 024-2223532

විදුලි බිලත් ඉහළ යයිද ? – ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්….

රජයේ ප්‍රධානම අරමුණ අඛණ්ඩ බලශක්තිය ලබා දීම බවත් ඒ සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (20) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළේ සියලු මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු මිලදී ගැනීමේදී පවා මිල ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව සාමාන්‍ය කාලවලදි සිදුවන මිලදී ගැනීම් සඳහා ගෙවනු ලබන මිල ගණන් නොවන බවත්
පැවසූ අමාත්‍යවරයා පැවසුවේ මෙම තත්ත්වයන් මත ඉදිරිය තීරණය කිරීමට සිදුවන බවය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“අපේ ප්‍රධානම ඉලක්කය තමයි අඛණ්ඩව විදුලිය සැපයීම. ඒ සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. එක් එක් මාසවල විදුලිය පරිභෝජනයේ වෙනස්කම් තිබෙනවා. සමහර මාසවලදි විදුලි පරිභෝජනය වැඩියි. ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමහර වාර්තා විමර්ශනයට යොමු කරලා තිබෙනවා අපි ඒවා බලමු කොහොම වුණත් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම. ලෝක වෙළෙඳපොළේ සියලු දේම මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ ගල්අඟුරුවල ඉඳලා හැමදේම. අනිත් පැත්තෙන් මෙවැනි තත්ත්වයකදි අපි සිදුකරන ටෙන්ඩර්වලදි සාමාන්‍ය කාලවලදි එන මිල ගණන් නෙමෙයි මේ ගැන සලකලා බලලා තමයි තෙල් මිල වේවා, විදුලි බිල වේවා සියල්ල තීන්දු කරන්න වෙන්නේ.”

ආසන පටි නීතිය ක්‍රියාත්මක වීම කල්යයි…

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධිවේගයේ ආසනපටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිකුත් කර තිබේ.

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත 53 දෙනෙකු අත්අඩංගුවට….

මාර්තු 03 වෙනිදා සිට මාර්තු 18 දක්වා කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 53 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා ඇතුළු නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීමේ චෝදනාවලට අදාළවය.

මෙම සැකකරුවන් 53 දෙනාට අමතරව ඩිංගි යාත්‍රා දහතුනක් සහ ට්‍රැක්ටර් රථ හතරක් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

මෙම මෙහෙයුම් මන්නාරම වෙඩිතලතිව්, සවුත්බාර්, වන්කාලෙයි, පුත්තලම උඩප්පුව, උදයුර්පුති, වාකරේ කන්ඩලඩි, කළුවන්කේනී, පල්චේනයි, සවුක්කඩි, යාපනය මන්ඩතිව්, ත්‍රිකුණාමලය කින්නියා, කොකිලායි සහ ගාල්ල අකුරළ වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදු කර ඇත.

එමෙන්ම නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය, මන්නාරම, පුත්තලම, වාලච්චේනයි, මඩකලපුව, මන්ඩතිව්, නානට්ටාන්, කින්නියා හා මුලතිව් ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත සහ ගාල්ල වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.

මීගමුවේදී ඉන්දුනීසියානුවන් 76ක් අත්අඩංගුවට…..

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76දෙනෙකු අද (20) පස්වරුවේ මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ .

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලද බුද්ධි තොරතුරු මත එහි විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා පහසුකම් යටතේ මෙරටට පැමිණ ඇති අතර, ඉන් 36දෙනෙකුගේ වීසා කාලය කල් ඉකුත් වී ඇති බවද සඳහන්.

අනෙක් ඉන්දුනීසියානු ජාතිකයන් 40දෙනා, වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිට ඇති බවද වාර්තා වේ.

මෙම ඉන්දුනීසියානු ජාතිකයන් වයස අවුරුදු 25ත් 35 අතර පසුවන්නන් වන අතර ඔවුන් අතරින් 06දෙනෙකු කාන්තාවන් වේ.

ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත මෙම පිරිස, වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති අතර ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවද සඳහන්.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ සතුට තවත් අඩුවෙයි…

‘World Happiness Report – 2026’ එළිදැක්වූ නවතම වාර්තාවට අනුව ලොව සතුටින් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව දැවැන්ත ලෙස පහළට වැටී තිබේ.

අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව 134වැනි ස්ථානය දක්වා පහළට වැටී ඇත.

ගෝලීය යහපැවැත්ම සහ එය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිර්දේශ ලබාගැනීම සඳහා සිදුකන ලොව ප්‍රමුඛතම ප්‍රකාශනයක් ලෙස ‘World Happiness Report’ සැලකයෙි.

මේ සඳහා රටවල් 140කට වැඩි ගණනක දත්ත සැලකිල්ලට අදාළ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබයි.

මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ රටවල් 13ක් පමණක් වන අතර, ඒ අතර සිටින්නේ ඉතියෝපියාව, ටැන්සානියාව, ලෙබනනය, යේමනය සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල්ය.

මෙම දර්ශකයට අනුව ඇෆ්ගනිස්තානය ලොව අසතුටින්ම සිටිය රටය.

මෙම දර්ශකයේ ශ්‍රී ලංකාව 2025 වසරේ දී 133 වන ස්ථානයේද, 2024 වසරේ දී 128 වන ස්ථානයේ පසුවිය.

එමෙන්ම 2023 සහ 2022 දී පිළිවෙලින් 112 වන සහ 127 වන ස්ථානයේ පසුවිය.

සෑම වසරකම, ලෝක සතුට වාර්තාව මඟින් මිනිසුන් තම ජීවිත ගැන වඩාත්ම තෘප්තිමත් වන්නේ කොතැනද සහ ඔවුන් එසේ නොකරන තැන හෙළි කරයි.

ෆින්ලන්තය 2026 දී ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස පවතින අතර, අඛණ්ඩව නවවන වසරටත් ඉහළම ස්ථානය හිමිකරගෙන සිටී.

අයිස්ලන්තය (2 වන ස්ථානය), ඩෙන්මාර්කය (3 වන ස්ථානය), ස්වීඩනය (5 වන ස්ථානය) සහ නෝර්වේ (6 වන ස්ථානය) ද 2026 දී සතුටින්ම සිටින ඉහළම රටවල් 10 අතරට පැමිණ ඇත.

ලතින් අමෙරිකානු රාජ්‍යක්වන කොස්ටාරිකාව මෙම වසරේ කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් 4වන ස්ථානයට පැමිණ තිබීම සුවිශේෂීය.

මේ අතර, එක්සත් ජනපදය 23 වන ස්ථානයේ ද, කැනඩාව 25 වන ස්ථානයේ ද, එක්සත් රාජධානිය 29 වන ස්ථානයේ ද සිටී.

ඊට වෙනස්ව, ලැයිස්තුවේ පහළින් 147 වන ස්ථානයේ සිටින ඇෆ්ගනිස්ථානය නැවතත් ලෝකයේ අසතුටින් සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, මලාවි (145 වන ස්ථානය) සහ සියෙරා ලියොන් (146) යන රටවල් සියල්ලම ගැටුම්වලින් පීඩාවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව 2024 දී 126 වන ස්ථානයේ සිට 2025 දී 118 වන ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම වැඩිදියුණු කළ අතර, මෙම වසරේ ස්ථාන දෙකක් ඉහළ ගොස් දැනට ජීවිත ඇගයීම් ලකුණු 4.536 ක් සමඟ 116 වන ස්ථානයේ සිටී.

මේ අතර, පාකිස්තානය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන පහක් වැඩිදියුණු කර, 109 වන ස්ථානයේ සිට 104 වන ස්ථානය දක්වා ඉහළ ගිය අතර ඉන්දියාව පාකිස්තානයට පිටුපසින් 116 වන ස්ථානයේ සිටියේය.

කුලියාපිටියේ හෙල්මට් චණ්ඩියා අත්අඩංගුවට…..

කුලියාපිටිය, මීගහකොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට ආරක්ෂිත හිස්වැසුමකින් පහරදුන් බවට චෝදනා එල්ලවූ  යතුරුපැදිකරු කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය පන්නල මාර්ගයේ සිට පැමිණෙන මෙම පුද්ගලයා, කුලියාපිටියේ සිට මාදම්පේ ප්‍රධාන මාර්ගය හරහා යතුරුපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයෙකුට අදාළ පහරදීම සිදුකර තිබුණි.

එම පහරදීම අසළ තිබූ CCTV කැමරාවක පටිගත වී තිබූ අතර, ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක, රථ වාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නලින් මහීපාල යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය පවත්වනු ලැබීය.