QR කේතයක් Override කරමින් ඉන්ධන ලබාගත් සැකකරුවෙකු CID අත්අඩංගුවට….

කාන්තාවක් සතු මෝටර් රථයක ඉන්ධන QR කේතය ‘Override’ කරමින් අදාළ මෝටර් රථයේ දත්තවලට නව QR කේතයක් සකස් කරමින් ඉන්ධන ලබාගත් පුද්ගලයෙකු CIDය මගින් නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ 1919 අංකය ඔස්සේ ලැබී තිබූ තොරතුරකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය විසින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇත.

විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

මෙම නීතිවිරෝධී QR කේතය සඳහා ඉන්ධන නිකුත් කළ අය පිළිබඳවද මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතී.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙලෙස QR කේත ‘Override’කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන සිදුකරන බවය.

තරගයට තිරික්කල පැද ගවයෙකුට දුන් වේදනාවට අයෙකු අත්අඩංගුවට….

හලාවත – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අනතුරුදායක ලෙස තිරික්කලයක් පදවමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී ගවයෙකු අනතුරට ලක්වීමේ සිදුවීමට අදාළව එක් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 22වැනිදා සවස 6.30 ට පමණ තිත්තකඩේ ප්‍රදේශයේදී මෙම අනතුරුව සිදුව තිබුණි.

එම තිරික්කලයට මාර්ගයේ ධාවනය කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා නොමැති බවත්, එය පැදවූ පුද්ගලයා ගවයාට කෘෘර ලෙස පහරදෙමින් මාර්ගයේ ධාවනය කර ඇති බවත් අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ඒ අනුව හලාවත පොලිස් ස්ථානයේ රථවාහන අංශය, අනතුරුට පත් වූ කරත්තය පැදවූ පුද්ගලයා ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් ගවයාව ධාවන තරග සඳහා පුරුදු කිරීමට මෙලෙස තිරික්කලය ධාවනය කිරීමට පෙළඹී ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔහු සත්ත්ව හිංසන නීති වගන්ති ප්‍රකාරව අද (25) හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත.

එහිදී මීලඟ නඩු දිනයට දින නියම කර, ඔහුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

එමෙන්ම මෙම අනතුරට ලක්වූ ගවයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලීසිය පවසයි.

මෙම අනතුරට සම්බන්ධ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හලාවත මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

බස් ගාස්තු ඉහළ යෑමේ වාසිය දුම්රියට….

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග බස් ගාස්තු වැඩිවීම සැලකිල්ලට ගෙන, ජනතාව වැඩි වශයෙන් දුම්රිය භාවිතා කිරීමට යොමුවී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අද (25) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ, මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දින කිහිපය තුළ ලාභ ලබමින් සිටින බවය.

තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ ප්‍රවාහනය සිදුකිරීම සඳහාද ජනතාව දුම්රිය වෙත ජනතාව යොමුවනු ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී දුම්රිය වාර ප්‍රමාණය වැඩි කරන ලෙසත් ඔහු වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

කොළඹ කොටුවට පැමිණෙන සහ ආපසු යන මගීන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

කෙසේ නමුත් මගී ඉල්ලුම වැඩි වුවද දුම්රිය ගමන් වාර කප්පාදු කිරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම පවතින ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු නොකරන්නැයි ඔහු ඉල්ලා සිටී.

ජනතාවට ඇති එකම සහනදායී ප්‍රවාහන ක්‍රමය දුම්රිය බවත් ඔහු අවධාරණය කරයි.

වලානේ ස්ථානාධිපති බව පවසමින් ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට….

ප්‍රදේශ කිහිපයක ව්‍යාපාරිකයන්ව WhatsApp මගින් අමතා තමන් වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ ලෙස පවසමින් එම ව්‍යාපාරිකයන් බියගන්වා බලපෑම් කර මුදල් ලබාගත් පුද්ගලයෙකුව අද (25) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීණ් පිරිසක් විසින් බණ්ඩාරගම අධිවේගී මාර්‌ග පිවිසුම අසළ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සොරකම් කිරීම, කොල්ලකෑම් හා කප්පම් ලබාගැනීම් ඇතුළු විවිධ දූෂණ චෝදනා යටතේ වරදකරු වී බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ සිටි “තුසිත බ්‍රහ්මරත්න” නැමති පුද්ගලයා බවය.

පොලීසිය පැවසුවේ අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ගැවසෙමින් ව්‍යාපාරිකයන්ව හෙලෙස රවටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ඉපයා ඇති බවය.

මෙම සැකකරු විසින්,  වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ නිලධාරියාගේ නිල ඇඳුමින් සැරසුනු ඡායාරූපයක් ඔහුගේ WhatsApp ගිණුමේ ඡායාරූපයට යොදා තිබී ඇත.

ඒ අනුව එම WhatsApp ගිණුමෙන් ව්‍යාපාරිකයන් අමතා, ඔවුන් විසින් සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා පිළිබදව සියලු තොරතුරු තමන් සතුව ඇති බවත්, ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම් ඔහු විසින් යොමු කරනු ලබන පුද්ගලයාට නියම කරනු ලබන මුදල් ලබාදෙන ලෙසට බිය ගන්වා මුදල් ලබාගෙන ඇත.

මීට අමතරව මෙම සැකකරු විසින්, යම් ප්‍රසිද්ධියක් උසුලන ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාට ද WhatsApp හරහා ඇමතුම් ලබා දී පවසා ඇත්තේ සිය නැගණිය එංගලන්තයේ පදිංචිව සිටින බවත්, ඇයට දානමය පුන්‍ය කර්‌මයක් සිදුකිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව, අවශ්‍ය මුදල් ලබාදීමට ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ බැංකු ගිණුම් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ මුදල් ලබාගැනීම සඳහා භාවිතා කරන ජංගම දුරකථන යෙදවුම (App) ආදී සියළු තොරතුරු සැකකරු විසින් ලබාගෙන ඇත.

පසුව එම ගිණුම්වලට මුදල් යොමු කරන බව හඟවමින් අන්තර්ජාලය හරහා ගිණුම්වලට ඇතුළු වී එහි රහස්‍ය අංකය (OTP) ලබා ගනිමින් එම ගිණුම්වල ඇති මුදල් ඔහුගේ ක්‍රිප්ටො කරන්සි හරහා ඔහුගේ ‘VOLAT’ ගිණුම වෙත බැරකර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි අනුව අධිකරණයට කරුණු වාර්තා කර විර්මශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහයන නිලධාරීන් විසින් සකස් කරන ලද සැළසුමකට අනුව මෙම විර්මශනය වලාන මධ්‍යම දූෂණ මදන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්‍ෂක චතුරංග මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

ඒ අනුව, අද දිනයේ දී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී  සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 620 ක ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

රාජ්‍ය සේවය විධිමත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව දෙවන වරටත් රැස්වෙයි….

රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.මහජනතාවට රජයේ සේවා බාධාවකින් තොරව ලබා දීම සහ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

 එසේම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, අධිකරණ යන අමාත්‍යාංශවල සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරණු අතර, ඒ අනුව නියමිත පරිදි විභාග පැවැත්වීම සහ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ බාධවකින් තොරව සැපයීම සහතික කිරීමට තීරණය කෙරිණි.

 මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු විය.

 මීට අමතරව නිවසේ සිට වැඩි කිරීම සහ පවතින සේවා වඩාත් වේගවත් කිරීම සඳහා ඩිජිටල් සේවා පද්ධති හඳුන්වාදී දීමටත්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.සියලුම අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල වත්මන් බලශක්ති කළමනාකරණ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී උපදෙස් දෙන ලදී.රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ටී. එම්. උදයංග හේමපාල, අධිකරණ, සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ටී. ආර්. ඩබ්. එස්. ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. එස්. රාජකරුණා යන මහත්ම මහත්මීහු ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පොහොර සමාගම් එකඟවෙයි…

ඉදිරි මාස 03 සඳහා අවශ්‍ය පොහොර සංචිත වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පොහොර සමාගම් ජනාධිපතිවරයා වෙත සිය එකඟතාව පළ කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේ පොහොර සමාගම් මේ බව පැවසා තිබේ.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා හමුවේ මෙවර යල කන්නයේ වී වගාව සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එමෙන්ම රටේත්, ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාව රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතාවක් බවත්, ඒ අනුව, මෙවර යල කන්නයේදී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයිය හැකි අන්දමින්, වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඉදිරියේදී මෙවන් අර්බුදකාරී අවස්ථාවලට මුහුණ දිය හැකි අන්දමින් සැලසුම් සකස් කිරීමටත්, එහිදී රජය, පොහොර සමාගම් සහ ගොවි ජනතාව යන පාර්ශ්ව තුනෙහිම යම් කැප කිරීමක අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති අතර, ඒ සඳහා අදාළ සමාගම් නියෝජිතයන්ගේ සහයෝගය අගය කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

ස්වාරක්ෂිත තොග පවත්වාගෙන යාම සඳහා කොළඹ නගරය ආශ්‍රිතව ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම, පොහොර ආනයනය සඳහා ණය පහසුකම් සැපයීම ආදී පසුගිය ආහාර සුරක්ෂිතතා කමිටුව වෙත ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡාව කර ඇත.

2026 යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහමාරක් අස්වැද්දීමට සැලසුම් කර තිබේ. වී වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 83,000ක් සහ  අනෙකුත් වගා සඳහා මෙට්‍රික් ටොන් 42,000ක් බැගින් යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් මෙවර යල කන්නය වෙනුවෙන් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබේ.

යල කන්නය ආරම්භ වූ මාර්තු පළමුවන දා වන විට සමාගම් සතුව මෙට්‍රික් ටොන් 95,000ක් සහ බෙදාහරින්නන් සතුව මෙට්‍රික් ටොන් 7,000ක්ද ලෙසින් යූරියා මෙට්‍රික් ටොන් 102,000ක් පැවති නමුත්  පසුගිය සති දෙක තුන තුළ එයින් මෙට්‍රික් ටොන් 27,000ක් පමණ නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව  මාර්තු 17 වන දා වන විට සමාගම් සතුව ඉතිරිව ඇත්තේ යූරියා මෙට්‍රික් ටොන් 68,000ක් පමණක් බවත් මෙහිදී සඳහන් කෙරිණි.

පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙම මාර්තු මාසයේදී නිකුත් කිරීමට නියමිතව තිබුණේ යූරියා මෙට්‍රික් ටොන් 11,000ක් පමණක් වුවද පොහොර හිඟයක් ඇති වනු ඇති බවට වූ මතයෙන් පොහොර තොග රැස් කිරීම නිසා මෙට්‍රික් ටොන් 27,000ක් අළෙවි වී තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

එමෙන්ම, තවත් යූරියා මෙට්‍රික් ටොන් 77,000ක් ඇනවුම් කර තිබූ බවත්, එයින් 37,000ක් මැදපෙරදිග රටවලින් පැමිණීමට නියමිතව තිබූ හෙයින්, ඒ පිළිබඳ අවිනිශ්චිතතාවක් පැවතියද, ඉතිරි මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 21,000ක් මෙම මාර්තු මස අගදී හෝ අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණීමට නියමිත බව තහවුරු කර තිබෙන බවද අනාවරණය විය.

අවශ්‍ය ඉතිරි පොහොර තොග ආනයනය කිරීමේ සැලසුම් මෙන්ම ඉදිරි මාස 03ක් සඳහා ප්‍රමාණවත් පොහොර සංචිත නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී පොහොර සමාගම්වලින් ලබා හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලීය.

වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අඛණ්ඩව සැපයීම රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමේදී වැදගත් සාධකයක් බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වී සහ එළවළු ආදී කෙටිකාලීන බෝගවලට එහිදී ප්‍රමුඛතාව ලබා දීමේ වැදගත්කමද පෙන්වා දුන් බව සඳහන් වේ.

පසුගිය සමයේ සමාගම්වලට අය විය යුතු ගෙවීම් නිසි පරිදි නොලැබීම නිසා මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී පොහොර සමාගම් නියෝජිතයන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එම ගෙවීම් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙරට වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සතියේ සඳුදා දිනෙන් වාර්තා වෙයි…

පවතින වියළි කාලගුණයත් සමග මෙරට වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සඳුදා දින වාර්තා වූ බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය බී.එල්.ප්‍රදීප් පියදර්ශන පෙරේරා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ එම විදුලි ඉල්ලුම මෙගාවෝට් 3,089ක් ලෙස වාර්තා වී ඇති බවත් එදින සිට මේ දක්වාම විදුලි ඉල්ලුම මෙගාවෝට් 3,000 අතර වාර්තා වන බවත්ය.

එමෙන්ම මේ මොහොත් විදුලි සැපයීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා දෙමින් සිටින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ අනුව මේ දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී නොමැති බවය.

පවතින වියළි කාලගුණයත් සමග විදුලි ඉල්ලුමේ වැඩිවීමක් පවතින බැවින් විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස තමන් සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.

“පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන්නේ වියළි කාලගුණික තත්වයක් තියෙන්නේ රටේ. ඒ වියළි කාලගුණික තත්ත්වයත් එක්ක විදුලි ඉල්ලුම වැඩිවෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ලංකාවේ මෙතක් අපේ පද්ධතියට දෙනු ලබන විදුලි ඉල්ලුමට දෙනු ලබන ධාරිතාවට වැඩිම ඉල්ලුම තිබුණේ ගිය සුමානේ සඳුඳා. 3089ක් මෙගාවෝට්. ඒ එක්කම අපි එනර්ජි ගත්තොත් ගිගාවෝට් පැය 60.56ක් අපි පද්ධතියෙන් ලංකාවේ පරිභෝජනය සඳහා කළමනාකරණය කරලා තිබෙනවා. වියළි කාලගුණික තත්ත්වයක් යටතේත් ඉන්ධන අර්බුදයක් පවතින මොහොතේ වුණත් ඛනිජ තෙල් සංස්ථාව අප වෙත ඉන්ධන අපේ අවශ්‍යතාවය අනුව ලබා දෙනවා. ඒ නිසා ලංකාවේ කිසිම තැනක විදුලි කප්පාදුවක් නොමැතිව විදුලි ඉල්ලුම ලබා දෙන්න. එදා ඉඳලා මේ දක්වාම වැඩිවීමක් තිබෙනවා ඒ කියන්නේ මෙගාවෝට් 3,000 කියන්නේ මේ දවස් ටිකේම රෙකෝඩ් වෙන එකක්. ඒ වගේම විදුලි ඉල්ලුම ගත්තොත් ගිගාවෝට් පැය ගාණ ගත්තොත් 58-59 මට්ටමේ. ඒ කියන්නේ අපි අඛණ්ඩ විදුලි සැපයුමක් අපි ලබා දීලා තිබෙනවා… පද්ධති පාලන මධ්‍යස්ථානය විදිහට මම ඉල්ලනවා  විදුලිය පුළුවන් උපරිමයෙන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන එක. මොකද ඒක මේ වෙලාවේදි රටක් විදිහට හැමෝම එකතු වෙලා කළ යුතු දෙයක්.”

යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක්…..

යාපනය අර්ධද්වීපයේ වායු දූෂණය අවම කිරීම සඳහා ගෙන ඇති සහ ගැනීමට නියමිත පියවර ඇතුළත් වාර්තාවක් යාපනය මහ නගර සභාව විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වෛද්‍ය උමාසුකී නඩරාජා මෙනෙවිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී  මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පසුව අදාළ වාර්තාව පරීක්ෂාවට ලක්කළ විනිසුරු මඬුල්ල අදාළ වාර්තාවේ අන්තර්ගත පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා යාපනය මහ නගර සභාවට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත අධිකරණය නියම කර ඇත.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා එම කටයුත්ත ඉටු කරන ලෙස වග උත්තරකරුවන්ට දැනුම්දුන් විනිසුරු මඬුල්ල එම කටයුතුවල ප්‍රගතිය ජූලි මස 14 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ඉදිරිපත්කර ඇති පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ යාපනය ප්‍රදේශයේ කැලි කසල ඉවත් කිරීම සඳහා යාපනය මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් එම කසල ගිනි තැබීම තුළින් එම ප්‍රදේශයේ බරපතළ වායූ දූෂණයක් සිදුවී ඇති බවය.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස යාපනය මහ නගර සභාව ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

වසර 6කට පසු හෙළිවූ ඝාතන අබිරහස….

මීට වසර 6කට පමණ ඉහත කොවිඩි සමයේදී ඝාතනය කර සඟවන ලද අඹුසැමි යුවළකගේ මෘතදේහ අද ගොඩගැනුණි.

ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක වළදමා තිබියදීය.

2020 වසරේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ පදිංචි  සුනිල් කුමාරසිංහ සහ කාමන්ද සිල්වා නම් 62 හැවිරිදි අඹුසැමි යුවළ අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

එහිදී අදාළ යුවළ සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවුණු පසුබිමක ඥාතීන් එසමයෙහිම ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඒ පිළිබඳව දැනුම්දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිද්ධිය පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණයෙන් ආරම්භ කෙරුණු විමර්ශන වලදී , අතුරුදන් යුවළ පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචි යුවළකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී. විජේතුංග මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී  අනාවරණ වී තිබුණේ අතුරුදන් වූ යුවළ පෞද්ගලික ආරවුලක් මත ඝාතනය කර නිවස අසළ වූ ඇළ මාර්ගයක වළදමා ඇති බවය.

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර අඹුසැමි යුවළ හා ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට පත්වූ පුරුෂයන් දෙදෙනාම දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවද පොලිසිය සඳහන් කළේය.

වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ  තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදුකර, කාන්තවගේ ගෙළබැඳි රන් මාලයද ගලවාගෙන අනතුරුව කොටස් කළ සිරුරු ඇළ මාර්ගයේ වළ දමා ඇති බවය.

පසුව අවස්ථා ගණනාවකදීම මළ සිරුරුවල කොටස් උඩට මතුවුවද ප්‍රධාන සැකකරු විසින් ඒවා නැවත වළදමා ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් අදාල ස්ථානයට ගෙන්වා ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිරුරු කොටස් අද ගොඩගැනුණි.

ඝාතනයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

යල කන්නය සඳහා පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයි….

මෙම වසරේ යල කන්නය සඳහා පොහොර ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ගොවිජන මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.

මේ දිනවල පවතින මැදපෙරදිග යුදමය තත්ත්වයන් තුළ ඉදිරියේදී පොහොරවල මිල ඉහළ යා හැකිව යන උපකල්පනය මත යම් යම් පාර්ශ්වයන් පොහොර රැස් කිරීමට උත්සාහ කිරීම මත රජය විසින් මෙම තීරණය ගත් බව ඒ මහතා අදහස් දක්වමින් සඳහන් කළේය.

ඒ අනුව වී වගාවට අවශ්‍ය සියලුම පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වගාකරුවන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථාන 566ක් පිහිටා තිබෙන බවත් දැනටත් ප්‍රධාන වී වගාකරන ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සඳහා පොහොර නිකුත් කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශිත පොහොර ප්‍රමාණය ගොවීන් වෙත ලබා ගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරත් සඳහන් කළේය.

ගොවිජන මධ්‍යස්ථානය සතුව සියලුම ගොවීන්ගේ නම් සහ ඔවුන් වගා කරන භූමි ප්‍රමාණය පවතින බවත් ඒ අනුව ඉඩමේ ප්‍රමාණයට සරිලන පොහොර ප්‍රමාණය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය

යල කන්නය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණය පිළිබඳව ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය සහතික කර ඇති බැවින් පොහොර පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොගත යුතු බවත් තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය අවශ්‍ය පරිදි ලබා ගන්නා ලෙසත් ඒ මහතා සියලු ගොවීන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.