ජාතික වෙසක් සතිය අද සිට ඇරඹෙයි

ජාතික වෙසක් සතිය අද (10) සිට ඇරඹෙන අතර, එය ලබන 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙයට සමගාමීව, රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද සිට ආරම්භ වෙනවා‍.සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කරනු ලබන බවයි දැක්වෙන්න‍ේ.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය “කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වෙනවා.

මෙම කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

මේ අතර වෙසක් සතිය නිමිත්තෙන් මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල්, රේස් බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා තිබෙනවා.

විකිණීමට නියමිත වාහන සඳහා 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම වාහන අතර BMW මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche කේයින් මෝටර් රථ 01ක්, රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, ටොයෝටා V8 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වන බවයි සඳහන් වෙන්නේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන් හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, දෙවන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකි අතර, මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images

වීසා කාලය අවසන්ව මෙරට රැඳී සිටී බංගලාදේශ ජාතිකයන් 34 දෙනෙක් අත්අඩංගුවට

වීසා කාලය ඉක්මවා, නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලාදේශ ජාතිකයන් 34 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් ඊයේ සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අවුරුදු 19 – 54 අතර වයසේ පසුවන මොවුන්, වැලිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර, ඔවුන් කඩිනමින් බංගලාදේශය වෙත පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනාගැනේ

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවලගේ නියෝගයකට අනුව මෙම පෙරෙට්ටුව අද (09) පැවැත්වූ අතර, එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව අදාළ සැකකරුවන් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලිංගික අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිර දඬුවම්

07 හැවිරිදි දරුවෙකුගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා 30 හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

එම සිර දඬුවම වසර 10කින් ගෙවී යා යුතු බවත්, එහිදී විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම විත්තිකරුට රුපියල් 20,000ක දඩයක් ද කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

2015 වසරේ මාර්තු මස 31 වැනිදා වකුගඩු ආබාධයෙන් පෙළන සිය හත් හැවිරිදි දරුවාට සැත්කමක් සිදු කිරීම සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා, ඇය තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේදී මෙම විත්තිකරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පාප්වරයෙක් පත්වී නොමැති බව දන්වමින් තෙවන වරටත් කළු දුමාරයක්

නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව තුන්වන ඡන්ද විමසීමෙන් පසුව ද තවමත් නව පාප් වහන්සේ කෙනෙකු තෝරාපත් කරගෙන නොමැති බවට සංඥා කරමින්, සිස්ටයින් දේවස්ථානයට ඉහළින් කළු දුමාරයක් පිටවී තිබෙන බවයි ‍විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවසාන වරට පැවති, 2013 දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තෝරා පත් කරගත් සම්මේලනය ද දින දෙකක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොට‍හේන දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

කොළඹ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කර ගැනීම හේතුවෙන් මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් නිදහසට කරුණු විමසීමටත්, අපයෝජන සිද්ධියට අදාල ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ වනවිට මෙම සිද්ධියට අදාල පොලිස් විමර්ශන වාර්තාව කැඳවා ඇති අතර, එය ලද වහාම අදාල විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බල රහිත කරමින් නියෝගයක් නිකුත් කෙරේ

2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (08) රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

එහිදී කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි 2024 වසරේ මාර්තු මස 05 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත් කරන ලෙසට අධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට තවත් නියෝගයක් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පත්කිරීම අභියෝගයට ලක්කරමින් කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාකිස්ථානය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයට සිදුකරන සියලුම ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

පාකිස්ථානය විසින් සිය ගුවන් කලාපය හා ගුවන් තොටුපොළවල් කිහිපයක් වසා දැමීමට ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුවාට පහරදුන් සිසුන් 07 දෙනාට ඇප

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, එම විශ්ව විද්‍යාලයේම සිසුන් 07 දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.

එම සිසුන් අද (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, එක් අයෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.

හෝමාගම මූලස්ථාන පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව, සිදුකරන ලද විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.