නව පාප් වහන්සේ පත් කර ගැනීමට කාඩිනල්වරු රැස්වේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ලොව පුරා කාදිනල්වරු 130 කට වැඩි පිරිසක් වතිකානුව වෙත රැස්ව සිටිනවා.

ඒ අනුව, නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා අද (07) රෝම වේලාවෙන් පස්වරු 5.30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00) එම කාදිනල්වරුන් වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේ දී conclave නම් අවස්ථාව ආරම්භ කිරීමට නියමිතයි.

මෙහිදී නව පාප්වරයෙකු තේරී පත් වන තුරු කාදිනල්වරුන් බාහිර ලෝකය සමඟ කිසිදු සන්නිවේදනයක් සිදු නොකරන අතර, දේවස්ථානයේ දුම් කවුළුවෙන් කළු පැහැති දුමාරයක් පිට වුවහොත් නැවත ඡන්ද විමසීමක් සිදුවනු ඇති බව ද, සුදු පැහැති දුමාරයක් පිට වුවහොත් නව පාප්වරයෙකු පත් වී සිටින බව ද දැක්වෙනවා.

කෙහෙලිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (07) අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ප්‍රසන්න රණවීර මැයි 19 දක්වා රිමාන්ඩ් භාරයට

අධිකරණය වෙත භාරවූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අද (07) නියෝග කළා.

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව විරුද්ධව නඩු පවරා තිබුණු අතර, අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

හමුදාමය සංයමයකින් කටයුතු කරන ලෙස එ.ජා. සංගමයේ මහ ලේකම් ඉන්දියාව සහ පාකිස්තානයෙන් ඉල්ලයි

හමුදාමය සංයමයකින් කටයුතු කරන ලෙසට ඉන්දියාව සහ පාකිස්තානයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.

ඉන්දියාව සහ පකිස්ථානය අතර හමුදා ගැටුමක් ලෝකයට දරාගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

හමුදාමය ආකාරයෙන් විසඳුමක් ලබාගත නොහැකි බවද, ආතතීන් සමනය කිරීමට සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවද මහ ලේකම්වරයා පෙන්වා දෙනවා.

පහල්ගම් සිද්ධියට සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම පිළිගත නොහැකි බවත්, එයට වගකිව යුත්තන් වලංගු සහ නීත්‍යානුකූල ක්‍රම මගින් නීතිය හමුවට පමුණුවා ගත යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වැඩිදුරටත් පවසා සිටින්නේ.

නාමල් රාජපක්ෂ ඡන්දය භාවිතා කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (06) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර තිබුණා.

ඒ අනුව මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඔහු සිය ඡන්දය භාවිතා කළ බවයි සඳහන් වෙන්නේ.

රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් වෙඩි තබාගෙන සියදිවි නසා ගනියි

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුළී ඔහු සියදිවි හානි කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ, 59 හැවිරිදි, බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සබරගමුව නවක වද සිදුවීමට සම්බන්ධ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක් නවක වදය හේතුවෙන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා බලංගොඩ ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ඡන්දේ දාලා සාමකාමීව ගෙදරට වෙලා ඉන්න – මැතිවරණ කොමිසමේ සභාපති

ඡන්ද දායකයින් විසින් හැකි තාක් කල්වේලා ඇතිව ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

එය පෝලිම්වල තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපකාරී වනු ඇති බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ.

ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව සාමකාමීව නිවෙස්වලට වී සිටිනා ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කටුනායකදී පොලීසියෙන් වෙඩි තැබීමක්

කටුනායක, 18 කණුව ප්‍රදේශයේදී අද (06) උදෑසන 10.00 ට පමණ පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකුට මෙලෙස පොලීසිය විසින් වෙඩි තබා ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මර්වින් සිල්වා මැයි 19 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු මැයි 19 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.