දිවයින පුරා වෙසක් තොරන් රැසක්

වෙසක් පොහොය දිනයට සමගාමීව තොරන් රැසක් අද (12) සිට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

මෙවරද වැඩිම තොරන් ප්‍රමාණයක් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

බෞද්ධාලෝක වෙසක් කලාපය, බුද්ධ රශ්මි වෙසක් කලාපය ඇතුළු වෙසක් කලාප කිහිපයක්ද කොළඹ ආශ්‍රිතව අද සිට ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙනවා.

මීට අමතරව තවත් ප්‍රදේශ රැසක තොරන් සහ පහන් කූඩු ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඡායාරූප – සමාජ මාධ්‍ය

news images

news images

news images

news images

දින 90 ක් සඳහා තීරුබදු අඩු කිරීමට අමෙරිකාව හා චීනය එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කරන්නේ දෙරට අතර දින 90 ක් සඳහා ඔවුන්ගේ අන්‍යෝන්‍ය තීරුබදු 115% කින් අඩු කරන බවයි.

චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙකම සති අන්තයේ ස්විට්සර්ලන්තයේ වෙළඳ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මේ බව නිවේදනය කර තිබෙනවා.

ගාලු මුවදොර ආශ්‍රි​ත ප්‍රදේශයේ අද විශේෂ රථ වාහන සැලැස්මක්

වෙසක් සිරි නැරඹීම සඳහා ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශයට විශාල ජනතාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද (12) සහ හෙට (13) දිනවල රාත්‍රී 7.00 සිට කොළඹ කොටුව, ගාලුමුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රථවාහන ගමනාගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදුකරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

<span style=’color:#000000′><span>ඔබත් වෙසක් කලාප නරඹා ගාලු මුවදොර අවට ප්‍රදේශයන්ට පැමිණෙන්නේ නම් පහත රථ වාහන සැලැස්ම පිළිබඳව අවධානය යොමුකර රථ වාහන තදබදය අවම කිරීමට සහයෝගය ලබාදෙන්න.</span></span>

news images

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කර තිබෙනවා.

“භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය  මැයි මස 10 වන දා සිට 16 වන දා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වෙනවා.

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම මැයි මස 10වන දින සිට 16වන දින දක්වා වෙසක් සතියක්  ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට අනුගතව ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර මෙම කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාරස්ථානවල සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව අවසන් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

‍මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images

ගැරඬිඇල්ලේ අනතුර පිළිබඳව ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

අද (11) උදෑසන නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී  සිදු වූ බස් රථ අනතුර පිළිබඳ පුවත ඇසීමෙන් තමන් මහත් කම්පනයට පත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළයාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වනවිට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් ක‍ර තිබෙන්නේ.

අද උදෑසන සිදුවූ මෙම බිහිසුණු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය බලවත් සංවේගය පළ කරන බවත් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එසේම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සූදානම් කිරීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බවයි ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා ඔහු එම ධූරයේ වැඩ භාරගෙන තිබුණා.

රුපියල් ලක්ෂ 600ක විදෙස් දුම්වැටි තොගයක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් සතුව තිබූ ගමන් මලු 20ක් පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇති බවයි ශ්‍රි ලංකා රේගුව සඳහන් කළේ.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 600 ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

පාකිස්ථාන ගුවන් හමුදා කඳවුරු තුනකට ඉන්දීය මිසයිල ප්‍රහාර

ඉන්දියාව තම හමුදා ගුවන් කඳවුරු තුනක් ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කළ බවට පාකිස්තානය චෝදනා කර සිටින අතර, ඉන්දියාවට එරෙහිව පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත්, ඉන්දීය ගුවන් කඳවුරු ඉලක්ක කර ගැනීම සඳහා පාකිස්තානය ද අධිවේගී මිසයිල භාවිතා කළ බවයි ඉන්දීය හමුදා චෝදනා කර සිටින්නේ.

අද (10) අලුයම සිට කාශ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමා රේඛාව දිගේ ස්ථාන කිහිපයකින් පිපිරීම් පිළිබඳ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ශ්‍රීනගර් සහ ජම්මු යන නගරවල පිපිරීම් ශබ්ද ඇසුණු බවත්, කාශ්මීරයේ උදම්පූර් සහ පන්ජාබයේ පතන්කොට් යන ප්‍රදේශවලින් ද පිපිරීම් හඬ ඇසුණු බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.එසේම, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ රාජෝරි නගරයේ අතිරේක නියෝජ්‍ය කොමසාරිස් රාජ් කුමාර් තාපා පාකිස්තානයේ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මිය ගිය බව එහි මහ ඇමති ඕමාර් අබ්දුල්ලා පවසා සිටියා.

අද රාජෝරි නගරය ඉලක්ක කර ගනිමින් පකිස්ථානු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත්, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු නගරයේ අවම වශයෙන් තවත් සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර, ඇඩම්පූර් හි ඉන්දියානු S-400 පද්ධතිය විනාශ කිරීම, සූරත් සහ සිර්සා හි ගුවන් තොටුපළ විනාශ කිරීම, නාග්‍රෝටා හි බ්‍රහ්මෝස් අවකාශය, ඩෙරන්ගාරි හි කාලතුවක්කු තුවක්කු ස්ථාන සහ චන්දිගාර් පතොරම් ගබඩාව සහ අනෙකුත් ඉන්දීය හමුදා මර්මස්ථානවලට දැඩි හානියක් සිදු කළේ යැයි සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන කාරණා අසත්‍ය බව ඉන්දියාව පවසා තිබුණා.

පාකිස්තානය විසින් පතුරුවන මෙම අසත්‍ය ප්‍රකාශ ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ.

ශිෂ්‍යත්ව ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හයේශිකා ප්‍රනාන්දු විසින් අදාළ තරුණයාට පා පහර එල්ල කළ බවත්, පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධියෙන් පසු සැකකාර ගුරුවරිය වන  හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඇයගේ සැමියා හා ඇයගේ කළමනාකරු යන දෙදෙනා කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, ප්‍රධාන සැකකාරිය වන හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබෙන්නේ.

සිසුවිය සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

කොටහේන සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ඒ් අනුව, මෙම සිදුවීමට අදාළ පොලිස් B වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බව ඊයේ (09) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියා.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා ආයතන සංග්‍රහයේ ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළ‍ේ.

මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවද, විමර්ශනය වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැර හැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.