යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය පොහොර සමාගම මගින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

පෞද්ගලික අංශය සමග තරගකාරීව ගොවීන්ට පොහොර සැපයීමේ අරමුණින්, 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර අලෙවි කිරීමට මෙම රාජ්‍ය සමාගමට මීට පෙර (2023 ජූලි 17 දින) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණු බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ඉදිරි වගා කන්නය සඳහා අවශ්‍ය මෙම යූරියා තොගය, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම් ක්‍රමවේදය යටතේ ආනයනය කිරීමට නියමිත අතර, විවෘත වෙළෙඳපොළ තුළ සෘජු පොහොර ලෙසත්, මිශ්‍ර පොහොර ලෙසත් මෙය අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

රාජගිරියේ ව්‍යාපාරික ස්ථානයක ගින්නක්

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නි‍වීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 04ක සහ විශේෂ වියදම් ඒ්කක 02ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට නිර්දේශ කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අදාළ වාර්තා මඟින් නිර්දේශිත බඳවා ගැනීම් සිදු කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

නීති විරෝධීව දේශ සීමා හරහා යාමට උත්සාහ කළ ලාංකිකයන් තිදෙනෙක් ඇල්බේනියාවේදී අත්අඩංගුවට

ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සා හිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත්, ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ‘කාෆේ තානේ’ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 57, 51 සහ 36 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලාංකිකයින් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මාලිනී ෆොන්සේකා මහත්මිය දැයෙන් සමු ගනියි

‘හෙළ සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත්, අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මිය අද (26) පස්වරුවේ දැයෙන් සමුගත්තා.

කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා.

කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර, ඇය මිය යන විට 78 වන වියේ පසු වුණා.

1963 වසරේ ‘නොරත රත‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන දිවිය ආරම්භ කළ මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී තිරගත වූ ‘පුංචි බබා‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර, අනතුරුව ගතවූ දශක 06කට ආසන්න කාලය තුළ චිත්‍රපට 150කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් මෙරට සිනමා ක්ෂේත්‍රයට දායාද කිරීමට සමත් වුණා.

නිධානය, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ, අපේක්ෂා, ආකාස කුසුම්, ඇතුළු චිත්‍රපට හරහා සිය රංගන හැකියාව මනාව ප්‍රකට කළ ඇය පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසක් සඳහාද රංගනයෙන් දායක වුණා.

මාලනී ෆොන්සේකා මහත්මිය අන්තර්ජාතික සිනමාවකදී සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙස සැලකෙන අතර, 1976 වසරේදී 09 වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී ඇය ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකය ද දිනාගත්තා.

එසේම, සරසවි, ජනාධිපති, ස්වර්ණ සංඛ, OCIC, සුමති වැනි සිනමා උළෙලවල්වලදී හොඳම නිළිය, ජනප්‍රියම නිළිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසකට ඇය හිමිකම් කීමට සමත් වුණා.

හෙළ සිනමාවේ නිළි රැජිනියනි, ඔබට නිවන් සුව…!

news images

news images

ඩෙංගු මර්දන සතිය තුළ මදුරු කීටයන් සහිත ස්ථාන 1,470කට නීතිමය පියවර

මැයි 09 වැනිදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම විශේෂ මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 128,824ක් පරික්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145ක් හඳුනාගත් බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,777ක් මෙහිදී හඳුනාගෙන ඇති අතර, මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 3,916ක් සඳහා රතු නිවේදන නිකුත් කර තිබෙන බවත්, තවත් පරිශ්‍ර 1,470කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මර්වින් හා ප්‍රසන්න ඇතුළු සැකකරුවන් පස්දෙනා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (26) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අද ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන ජුනි 09 වැනි දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ආරුගම්බේ බිකිනි තහනමේ කතාව ව්‍යාජ පුවතක් – සංචාරක නියෝජ්‍ය ඇමති

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතනවල මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගය බලය පිහිටුවීමට සූදානම් වන අවස්ථාවක, එම ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරණය කරමින් ඇති බව සංචාරක නියෝජ්‍ය ඇමති මහාචාර්ය රුවන් රණසිංහ පවසනවා.

ඒ අනුව ආරුගම්බේ සංචාරක කළාපයේ බිකිනි තහනම් බවට පළකර තිබුණු සටහන් ව්‍යාජ ඒවා බවයි ඔහු පවසන්නේ.

ආරුගම්බේ හි මීට සති කිහිපයකට පෙර යම් පුද්ගලයෙක් මාර්ගයේ නිරුවතින් ගමන් කර ඇති බවත්, එයද යම් කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව සිදු කළාද යන්න සැක සහිත බවයි අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මුස්ලිම් ප්‍රජාවගේ ආගමික අනන්‍යතාවයට ගරු කරන බවත්, සංචාරක කර්මාන්තය පැවතුනා වුවද විදේශිකයින්ට පවා නිරුවතින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බවත්, මෙරට සංස්කෘතික අනන්‍යතාවයන්ට ඔවුන් ගරු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ආර්ථිකය නැවත ගොඩ නගන ව්‍යායාමය අඩපණ කිරීමට නැවතත් ව්‍යාජ පුවත් මැවීමේ හැකියාවක් පවතින බවයි සංචාරක නියෝජ්‍ය ඇමති මහාචාර්ය රුවන් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරේ

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබුණු අතර, මානසික ආතතියක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතු වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කර තිබෙන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණා.

***ඔබ යම් සිත් තැවුලකින් පසුවන්නේ නම් 1926 අමතා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය හරහා පැය විසිහතර පුරා ඔබට සහනයක් ලබාගත හැකියි.***

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන එයි

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ අද සිට (25) තැම්පත් කර තිබෙනවා.

ඒ අනුව දේහය අද සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා ඇති බවයි සඳහන් වෙන්නේ.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර ඇය මිය යන විට 78 වන වියේ පසු වුණා.