හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව මේ වන විට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
එහි දර්ශන ඉහතින්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව මේ වන විට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
එහි දර්ශන ඉහතින්.
පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු පවසන්නේ මේ වන විට පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීම සදහා ප්‍රදේශීය මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි 3,500ක මුදලක් රෝහල් සදහා වෙන්කර ඇති බවය.
“ගිය අවුරුද්දේ ටෙන්ඩර් නොකිරීමේ ප්‍රතිඵලය තමයි දැන් ඖෂධ සැපයෙන්නේ නැති ප්‍රශ්නේ. ගිය අවුරුද්දේ ටෙන්ඩර් කරලා තිබුණා නම් හරියට ඖෂධ එනවා. අපි දැන් ලබන වසර සඳහා ටෙන්ඩර් කරලා තියෙනවා. දැන් ඇති වෙලා තියෙන තාවකාලික ඖෂධ හිඟයට එකක් අපි රෝහල්වලට රුපියල් කෝටි 3,500ක් වෙන් කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන්න. දෙවැනි එක විටින් විට අපි සමහර රටවල් එක්ක සාකච්ඡා කරලා පරිත්‍යාග හැටියට මේක ලබා ගන්නවා සමහර රටවල් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ එ්කෙන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් කමක් තියෙනවා.”
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 9ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සදහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා ඇති බවද වාර්තා වේ.
විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වේ.
වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අතර ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසුවේ වර්ජනයේ නිරතව සිටි සාමාජිකයින් රැසක් මේ වන විට සේවා කටයුතු සදහා සහභාගී වී ඇති බැවින් හෙට දිනය වන විට තැපැල් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවන පවතින බවය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළැඹෙන සඳුදා (25) වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.
වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන සඳුදා දින උදෑසන 08 සිට දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසීය අලුත් විමර්ශන අංශයක් ආරම්භ කරන බව බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසයි.
පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද පනතට අනුව මෙම විමර්ශන අංශය ආරම්භ කිරීමට නියමිත බව ඔහු පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමිනි.
PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ට්ථාශය ලෙස මෙම අංශය නම් කර ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආරම්භ කිරීමට නියමිත මෙම නව විමර්ශන අංශය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇති බවය.
එමෙන්ම විශේෂ මෙහෙයුම්වලින් මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපල බිලියන 4.5ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව ද ඒ මහතා මෙහිදී පැවසුවේය.
ඒ අතර ගොඩනැගිලි, නිවාස, වාහන, ඉඩම්, ස්වර්ණාභරණ, බෝට්ටු සහ මුදල්වලින් රුපියල් මිලියන 57ක්ද වන බව වාර්තා වේ.
ඒ අනුව මෙම දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳ මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතින බව පොලීසිය පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම හා එහි විමර්ශන සම්බන්ධයෙන් අද (23) පැවති පොලිසීයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර, නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මේ බව පැවසීය.
එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතාට අත්අඩංගුවට ගැනීමට ද නියමිත යන්නය.
විමර්ශන ඉදිරියට සිදුවෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බව ද කාලිංග ජයසිංහ මහතා පැවසීය.
විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ මෙම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීම සඳහා එම දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූර කාලයේදී එනම් 2023 වසරේ සැප්තැම්බර් 22 සහා 23 එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත ගොස් තිබුණි.
එම සංචාරය නිම කරමින් හිටපු ජනාධිපතිවරයා නැවතට දිවයිනට පැමිණීමට පෙර ලන්ඩන් නුවරට ගොස් තිබුණේ, සිය බිරියවන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීම සඳහාය.
එම ආරාධනාව හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිඳට බ්‍රිතාන්‍යයේ වූල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටර් විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා නිල වශයෙන් යොමුකර තිබුණි.
කෙසේ වෙතත් අදාළ සංචාරයේදී රජයේ මුදල් අවභාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගීවී ඇති බවට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් ගොනුකර තිබූ බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර එම දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් හා වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද පසුගිය දා ප්‍රකාශ ලබාගනු ලැබීය.
අනතුරුව වික්‍රමසිංහ මහතාට ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.
ඒ අනුව ඔහු ඊයේ පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය.
එහිදී පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාව දහවල් 1.15ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ.
ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් අදාළ නිර්දේශය ලබාදී ඇති බව වාර්තා වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.
රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.
ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සැප්තැම්බර් මස 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබේ.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නොතීසි නිකුත් කිරීම සිදුකරනු ලැබුවාය.
මේ වනවිට සිංගප්පූරුවේ වාසය කරන බව සඳහන් වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඉකුත් වසරේ නොතිසී නිකුත් කර තිබුණත් එම නොසීසි නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බව අධිකරණයට දැනුම් දෙන්න ලැබීය.
ඒ අනුව මෙම සැකකරුට ඉංග්‍රීසි භාෂාවෙන් නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නොතිසි නිකුත් කිරීම සිදුකළාය.
2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් බැඳුම්කර පර්පචූවල් ට්‍රෙෂරීස් සමාගමට විකිණීම තුළින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ අර්ජුන මහේන්ද්‍රන් මහතාට විරුද්ධව මෙම නඩුකරය ඉදිරිපත් කර තිබේ.
තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක කෙරෙයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ආකාරයෙන් රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සුදත්ත තිලකසිරි යන අය සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ අතර සිය එක්ස් අවකාශයේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට පෙරම යූ ටියුබ් නාලිකාකරුවෙක් ඒ පිළිබඳ අනාවැකියක් පළ කිරීම අහඹු සිද්ධියක් විය නොහැකි අතර එය සැලසුම් කරන ලද්දක් දැයි සැක මතුවන බවය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අත්අඩංගුවට ගෙන දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට 0සුදත්ත තිලකසිරි යන අය විසින් ඊයේ සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදු කර තිබුණි.
හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පෙර රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයින් පිරිසක් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ අතර, සිය එක්ස් අවකාශයේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට පෙරම යූටියුබ් නාලිකාකරුවෙක් ඒ පිළිබඳ අනාවැකියක් පළ කිරීම අහඹු සිද්ධියක් විය නොහැකි අතර එය සැලසුම් කරන ලද්දක් දැයි සැක මතුවන බවය.
එසේ වූයේනම් අප පාරිශුද්ධත්වයෙන් සලකන නීතිය හා සාමය හුදෙක් පහත් රංගනයක් බවට පත්වන ශෝකජනක දිනයක් උදාවී ඇති බවද විපක්ෂ නායකවරයා තැබූ එක්ස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.