තණමල්විලදී ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටී අනතුරක්

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ලොරි රථයේ පසුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් තණවල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද (25) අලුයම දිවයිනට පැමිණි නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් පිළිගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතයි.

හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා දින දෙකක නිවාඩුවක්

ජුනි මස 07 සෙනසුරාදා දිනට යෙදී ඇති හජ් උත්සවය හේතුවෙන්, ජුනි 06 සිකුරාදා සහ ජුනි 09 සඳුදා යන දින දෙක සියලුම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම නිවාඩු දින දෙන වෙනුවට මැයි 26 සඳුදා සහ මැයි 27 අඟහරුවාදා දිනයන් හිදී එම පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව, 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා වන දෙවන වාරය 26 වැනි සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු ලබන සඳුදා රාජ්‍ය ගෞරව සහිතව

ප්‍රවීණ රංගන ශිල්පිනි මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව, ඇයගේ අවසන් කටයුතු මැයි 26 වන සඳුදා දින සිදු කරන බවයි සඳහන් වන්නේ.

අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය මැයි 25 ඉරිදා පෙ.ව. 10.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ලබනවා.

“ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින” ලෙස හැඳින්වුනු මාලිනී ෆොන්සේකා මහත්මිය අද උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට ඇය 78 වන වියෙහි පසුවුණා.

නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද මෙරටට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිතයි.

ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක හා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

වින්ස්ටන් පීටර්ස් විසින් අමාත්‍ය විජිත හේරත් සමග වෙළඳ හා ආයෝජන, කෘෂි කර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතා, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

දුමින්ද දිසානායක රිමාන්ඩ්

අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයා ඊයේ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ජනපති අනුර ජුනි මාසයේ ජර්මනියේ සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන ජුනි මස 10 වැනිදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේදී ජනපති අනුර කුමාර දිසානායක විසින් ජර්මානු ජනාධිපතිවරයා හමුවීමට ද නියමිත බවයි ‍විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කර සිටියා.

හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට හෙට පත්වීම් ප්‍රදානය කෙරේ

හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) දිනයේ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරට හෙද සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රමාණයකට එකවර පත්වීමේ ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතයි.

හෙට පෙරවරු 9.30ට අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේදී අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සංචාරක උදාව 2025 ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරන “සංචාරක උදාව” ප්‍රදර්ශනය අද (23) සහ හෙට (24) දෙදින තුළ පැවැත්වෙනවා.

මෙම ප්‍රදර්ශණය මෙරට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ අවස්ථාවන් හඳුනා ගැනීමට අනගි අවස්ථාවක් වනවා.

මෙම ප්‍රදර්ශනය වෙළෙඳ කුටි 250කින් සමන්විත අතර, හෝටල්, සංචාරක නියෝජිතයන්, ගුවන් සේවා සමාගම්, සංචාරක සේවා සපයන්නන්, අධ්‍යාපන ආයතන ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයෝ ඊට එක්ව සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ජල ගාස්තු ඉහළ දමන්නේ නැහැ – අනුර කරුණාතිලක

ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසනවා.

ඒ අනුව පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමින් සිදු නොවුණු බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (23) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව පවසා සිටියා.