මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන්ද පොදු සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණය වෙයි

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය පවසනවා.

ඒ අනුව සිරකරුවන් නිදහස් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ෂණවලදී ඒ බව තහවුරු වී ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරින්ගෙන් කළ ප්‍රශ්ණ කිරිම්වලදී මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි වැඩිදුරටත් තහවුරු වී ඇති අතර, ජනපති අනුමැතියෙන් තොරව රැඳවියන් 247 දෙනෙකු නත්තල් දිනය, නිදහස් දිනය හා වෙසක් සැමරුමට සමගාමීව අවස්ථා තුනකදී නිදහස් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන් තිදෙනා ජූලි 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 13 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අප්‍රිකානු සූකර උණ රෝගය පැතිරී ගිය බැවින් හා තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව කොට්ඨාශ භාර පශු වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් සහිත ඌරන් හෝ ඌරු මස් හෝ එම නිෂ්පාදනයන් ආසාදිත හා අවදානම් ප්‍රදේශ තුල හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම මෙන්ම ආසාදිත සතුන් මස් පිණිස ඝාතනය හා අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොල පැවැත්වීම තහනම් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

news images

news images

news images

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙලෙස තාවකාලිකව ධාවනය තහනම් කළ වාහන අතර ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක් ඇතුළත්ව තිබෙනවා.

ඒ අනුව, හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේ දී වාහන 115ක් පමණ හදිසි පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී අධික ලෙස වායු විමෝචනය කළ වාහන සහ අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන මෙලෙස ධාවනයෙන් තාවකාලිකව ඉවත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ, මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත උපාංග ගලවා ඉවත් කිරීමටද මෙම වාහන පරීක්ෂාවේදි මෝටර් රථ පරික්ෂකවරුන් උපදෙස් ලබාදී තිබෙනවා.

ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගෙන ඇති අතර, එම වාහන අලුත්වැඩියා කර මේ මස 30 වැනිදා වාහන පරීක්ෂා කළ ස්ථානයටම රැගෙන විත්, යළිත් පරීක්ෂාවට ලක් කළ යුතු බවයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප සංවර්ධනයට වැඩසටහනක්

සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට Clean Sri Lanka ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහි මූලික සාකච්ඡාවක් Clean Sri Lanka ලේකම් කාර්යාලයේදී පැවැත්වුණ අතර, මෙම වර්ෂය තුළදී දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට එහිදී සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊට වියදම වශයෙන් රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කෙරෙනවා.

මෙහිදී ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දීම, වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන අයුරින් සේවා සැපයීම, සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වා දී සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම ආදිය සිදුකෙරෙන බවයි සඳහන් වෙන්නේ.

මීට අමතරව, මිත්‍රශීලීව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩි දියුණු කිරීම, තමන් ආවරණය කරන ප්‍රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීම ආදිය සිදු කිරීමටද අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්

news images

ඇප කොන්දේසි සපුරාලීම නිසා ඊයේ අත්අඩංගුවට ගත් කෙහෙළිය, ඔහුගේ බිරිඳ සහ දියණිය අද මුදා හැරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය, ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ දිනයේ ඔවුන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය කල් දැමීමට තීරණය කෙරේ

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්, අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබෙනවා.

ඒ අනුව අද (19) දුම්රිය නියාමකවරුන් හා බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නව තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව Amini Villa, Kohestan Alley, Imam Khomeini Street, Owlom, Masal, Rasht යන ලිපිනයේ තානාපති කාර්යාලය තාවකාලික ස්ථාපිත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම දුරකථන අංක +98 939 205 5161 / +98 991 205 7522 / +98 936 636 0260 හා slembiran@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම අයෙකුට තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවයි සඳහන් වෙන්නේ.

මත්තල ගුවන්තොටුපොළේ අලි වැට සම්බන්ධයෙන් සාකච්ඡාවක්

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටලු සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබෙනවා.

වන අලින්ගෙන් ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති බවයි සඳහන් වෙන්නේ.

ගුවන්තොටුපොළ මෙහෙයුම් සහ මහජන ආරක්‍ෂාව යන දෙඅංශයටම ඇති විය හැකි තර්ජනය හඳුනා ගනිමින්, ගැටලු විසඳලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම සමඟ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

සබරගමුවේ සරසවි සිසුවෙකු සිය දිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ නීතීඥ සංගමයේ පෙත්සම කැඳවීමට දින නියම කෙරේ

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් බරපතල නවක වධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 18 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.

අදාළ සිසුවා බරපතල නවක වධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි නීතීඥ සංගමය ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය, එහි ලේකම් චතුර ගල්හේන යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලය, එහි උප කුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර ඇති බවයි වැඩිදුර‍ටත් සඳහන් වන්නේ.