මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ සේවය ඇගයීමට ලක් කෙරේ

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායකවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇතිවූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට එතුමා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාව ඔහුට පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන්, අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නි‍වේදනය පහතින්.

news images

IMF විධායක මණ්ඩලය ජුලි 01 රැස්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ජූලි 01 වනදා රැස්වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් පවසනවා.

ඒ අනුව විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන ශ්‍රී ලංකාවේ සිව්වන සමාලෝචනය එහිදී ඇගයීමට නියමිත බවයි ඇය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ වාරිකය ලෙස ඩොලර් මිලියන 344ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ප්‍රවේශය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ටිල්වින් සිල්වා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු ප්‍රධානියා අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස, චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී එහි ප්‍රධානියා වන Liu Jianchao ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පලුදු කළ නොහැකි බවත්, එම මිත්‍රත්වය පලුදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි Liu Jianchao අවධාරණය කර තිබෙන්නේ.

රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවද, කිසිදු රටක ස්වෛරීභාවයට හානිවන අකාරයේ ක්‍රියා මාර්ගවලට චීනය සූදානම් නැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

චීනය සහ ලංකාව අතරත්, ජනතා විමුක්ති පෙරමුණ සහ චී‍න කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම වසරේ මුලදී සිදු කෙරුණු ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංචාරයේදී තව දුරටත් වර්ධනය වූ බවත්, එමෙන්ම තමන් ඇතුළු පිරිස සිදු කරන මෙම සංචාරයේදී එම මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බවයි එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කර ඇත්තේ‍.

Air India ගුවන් සමාගමට අයත් ගුවන් යානයක තාත්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමනක් අවලංගු කෙරේ

Air India ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම ගුවන් යානය ගුවන්ගත කිරීමට පෙර ගුවන් ගමන අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එම යානය අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණු අතර, එම ගුවන් ගමන අවලංගු කිරීම හේතුවෙන් මගීන් 200කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ බවයි සඳහන් වෙන්නේ.

ජුනි 12 වන දින සිදුවූ මාරාන්තික ගුවන් අනතුරෙන් පසු අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටත්වීමට සූදානම් වූ පළමු ගුවන් යානය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

දුම්රිය නියාමක සංගමය සිකුරාදා සිට සංකේත වැඩ වර්ජනයකට සූදානම් වෙයි

දීර්ඝකාලීනව නොවිසඳුනු පරිපාලන ගැටලු මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කළ බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන/වාණිජ තනතුරේ බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබාදීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව නොවිසඳීම, දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

සිය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත්, 20 වැනි සිකුරාදා දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බවයි දුම්රිය නියාමක සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීමට WhatsApp අංකයක් හඳුන්වාදෙයි

‘ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය’ට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ‘සරණ’ නමින් උපකාරක සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දරුවන් විසින් නොසලකා හරින, සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙන අතර 070-7898889 යන අංකයට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ඊයේ (16) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්සගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී නිල වශයෙන් එම අංකය හඳුන්වා දෙනු ලැබුවා.

එමෙන්ම වැඩිහිටි අපයෝජනය පිළිබඳව දීප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් කොඩි පැළඳවීමක් ද සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තෙල් හිඟයක් ගැන පැතිරෙන පුවත් ව්‍යාජයි – බලශක්ති අමාත්‍යාංශය

තෙල් හිඟයක් ගැන පැතිරෙන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කරනවා – කොළඹ පුරපතිනිය

අද දවසේ තමා ලැබූ ජයග්‍රහණය ගැන ඉතා සතුටු වන බවත්, ජනතාව අතට බලය ලැබීම ගැන අවංකව සතුටු වන බවත් කොළඹ නව පුරපතිනිය බවට පත්වූ ව්‍රායි කැලී බල්තසාර් පවසනවා.

සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව එය වේදිකාවේ ලබාදුන් බොරු පොරොන්දුවක් නොවන බවත්, ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන බවයි අද (16) ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

මෙම ජයග්‍රහණය අත් කර ගැනීමට සහයෝගය ලබාදුන් සියළුම කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ ගනිමින්, මන්ත්‍රීවරු 117 දෙනා සහ ජනතාවගේ ද සහයෝගය සමඟ කොළඹ නගරය සෑදීමට කටයුතු කරන බවද ඇය ප්‍රකාශ කළා.

පොහොසත් නගරයක් සෑදීමට සූදානම් බවයි කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

2009 වසරට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නෑ – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

2009 වසරට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව 2009 වසරට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට යන බව කියන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වුවද, ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එසේම 2009 වසරට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙස මාධ්‍ය මගින් දැනුවත් කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

2025 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ 4.8%ක වර්ධනයක් වාර්තා වෙයි

2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.8%ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ, රුපියල් මිලියන 3,318,769 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,477,088 ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.7% ක පසු බැසීමක් වාර්තා කරන නමුත්, කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 9.7% ක් සහ 2.8% ක් වශයෙන් වර්ධනයන් වාර්තා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

news images