අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට නියෝග

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී ඔහු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නඩුව එළැඹෙන අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා.

අල්ලස් ගත් අම්පාරේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවත් ඉන් සිව් දෙනෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවත් මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් සිව් දෙනෙකු හෙට (23) දිනයේදී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවයි විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති බවට UN අනතුරු අඟවයි

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.

එහි නවතම තත්ත්වය : 11.15 AM

* ඉරානයේ නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා.

* ප්‍රහාරයෙන් පසුව ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, මෙහෙයුම සාර්ථකවීම සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාවට ප්‍රශංසා කරන බවත් ඉක්මනින් සාමය ඇති කර ගැනීමට හෝ වඩා විශාල ප්‍රහාරවලට මුහුණදීමට සූදානම්වන ලෙස අනතුරු අඟවන බවයි.

* මේ අතර සිය රටට ප්‍රහාර එල්ල වූ බව ඉරානය විසින් පිළිගෙන ඇති අතර සිදුවූ හානිය සම්බන්ධයෙන් ඔවුන් මේ වන තෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

* කෙසේ නමුත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෝඩෝ න්‍යෂ්ටික භූමිය විනාශ කිරීම ගැන අසත්‍ය ප්‍රකාශ කරන බවත් ෆෝඩෝ පිවිසුමේ සහ පිටවීමේ උමං මාර්ග දෙකකට පමණක් හානි සිදුවී ඇති බවයි.

* ‍ප්‍රහාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ, මෙය භයානක තත්ත්වයක් බවත් මෙම ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති අතර මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ මිලිටරි යුද්ධයක් නොව රාජ්‍ය තාන්ත්‍රිකභාවය බවත් එකම බලාපොරොත්තුව සාමය බවයි.

* හමාස් සංවිධානය අමෙරිකාවේ ප්‍රහාරය හෙළා දකිමින් නි‍වේදනයක් නිකුත් කර තිබෙනවා.

* ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි, ප්‍රහාරය සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් අද උදෑසන සිදුවීම් ප්‍රකෝපයට පත් කරන බවත් සදාකාලික ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවත් එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය “බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

* ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පහර දීමෙන් පසු පිටත විකිරණ මට්ටම්වල වැඩිවීමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය හා  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසනවා.

යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.

බදුල්ල බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊ‍යේ (21) පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී බස් රථය පෙරළී ගොස් ඊයේ මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවයි පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.

news images

news images

news images

ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක් දඩ

ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ දුඹුරු සීනි සඳහා වර්ණක යොදා තිබේද යන්න සිදුකළ පරීක්ෂාවකදී, සීදුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් සාම්පල ලබා ගෙන පරීක්ෂා කර තිබුණු අතර, එම සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල නොවන බවට ලැබුණු පරීක්ෂණාගාර වාර්තා අනුව තහවුරු වී තිබෙන බවයි සඳහන් වන්නේ.ඒ අනුව, එම දුඹුරු සීනි විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීම යන චෝදනා දෙකක් යටතේ 2023 වසරේදී ඔවුන්ට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ අතර, පසුගිය 19 වැනි දින එම වැරදි සඳහා වරද පිළිගත් අදාළ ආයතනයට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ වීසා බලපත් කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ

දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර සිටියා.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ගේ, මෙම වසරේ ජූනි 12 වැනිදාට පසුව අවසන් වන සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක්, 2025 නොවැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සති දෙකක කාලයක් තුළ තම ඉඩම් වගා නොකිරීමට හේතු දක්වන ලෙස වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම් ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට හඳුනාගෙන ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ පවසා සිටියේ.

මෛත්‍රී ට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක මුදලක් අවභාවිත‍ා කිරීමේ සිදුවීමක් ගැන එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මෙම ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් අනුව, මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ ජනවාරි මස එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවත් පැමිණිලිකරු පෙන්වා දෙනවා.

ඒ අනුව, ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 07ක් කඩා ඉවත් කර ඇති බවත්, එහි තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු, ෂීට් ඇතුළු භාණ්ඩ අස්ථානගත වී ඇති බවත් පැමිණිලිකරු සඳහන් කර තිබෙනවා.

ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බවත්, යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත්, පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් පැමිණිල්ලේ සඳහන් වන බවයි පැවසෙන්නේ.

මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවද, නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පැවැති කඩ කාමරවල තිබූ භාණ්ඩ රැගෙන ගියේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද, මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසද එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන අදාළ පැමිණිල්ල මගින් දක්වා තිබෙනවා.

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාරයෙන් මුදාහැර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇයව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා ඊයේ (19) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබුණා.