අගමැතිනිය විශ්වවිද්‍යාල සිසුන්ට දුන් පොරොන්දුව….

මේ දිනවල දැඩි කතාබහකට ලක් වූ මල්වානේ ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගන්නා බව අග්‍රාමාත්‍ය ආචර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, අද (18) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.

ඉඩමේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුව සුදුසු කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පැමිණ සිටි සිසුන් හමුවේ අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ගැටලුවලට සවන්දීමට අවශ්‍ය ඕනෑම මොහොතක සූදානම් බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.

තීන්දු තීරණවලට එළඹිය යුත්තේ සියලු අංශ සමඟ සාකච්ඡා කොට, පුළුල් අධීක්ෂණයකින් අනතුරුව බව ද හරිනි අමරසූරිය එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

“අවුරුදු ගාණකට පස්සෙ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා අයවැයෙන් මුදල් වෙන් වෙලා තියෙන්නේ. මීට පෙර 60%ක පැවති උසස් අධ්‍යාපන අංශයේ අයවැය ප්‍රගතිය 2025 දී 80% දක්වා වර්ධනය කරන්න අපි සමත්වුණා. 

ඒ ශිෂ්‍යයන්ගේ හඬට ඇහුම්කන්දීමේ සහ රජයක් ලෙස ශිෂ්‍ය සුබසාධන ගැටලුවලට මැදිහත්වීමේ ප්‍රතිඵලයි. මල්වාන ඉඩමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගෙන, ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර අනතුරුව සුදුසු උසස් අධ්‍යාපන ආයතනයකට පවරා ගන්න අපි කටයුතු කරනවා.”

නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මාසයේදී මෙරටට……

මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා අගෝස්තු මාසයේදී නව මෙට්‍රෝ බස් රථ 104ක් මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබේ.

ඊට අදාළ ගිවිසුම අද (18) අත්සන් කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේය.

ගිවිසුම් ප්‍රකාරව මෙම නවීන බස් රථ 104ක ප්‍රමාණය එළඹෙන අගෝස්තු මාස 15 වන විට මෙරටට ආනයනය කර අවසන් කිරීමට නියමිතය.

මේ වනවිට බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කඩවත සහ රත්මලාන වැනි ප්‍රදේශවල නව මෙට්‍රෝ සේවා අංගන ඉදිවෙමින් පවති.

ඒ සමඟින් අගෝස්තු මාසයේදී මෙම බස් රථ ධාවනයට එක් කිරීම හරහා මෙරට පොදු ප්‍රවාහනයේ ගුණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ජපුර සරසවියේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…..

ශ්‍රී ජයර්වධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, අධ්‍යයනාංශයේ මහාචාර්‍ය, ආචාර්‍යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ල මඟින් වෘත්තීයමය පීඩනය, අධ්‍යයන නිදහසට බාධා කිරීම, පරිපාලන අකර්‌මණ්‍යතාවය, සහ විර්මශන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, 2024 වසරේ සිට අදාළ අධ්‍යයනාංශය සම්බන්ධයෙන් මූලික විර්මශන පහක් පවත්වා ඇති අතර, එම විර්මශන මඟින් අංශාධිපතිනියගේ පරිපාලන, වෘත්තීයමය සහ සදාචාරාත්මක ගැටලු සනාථ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම වාර්ථාවල නිර්දේශයන් ඉදිරිපත් කර ඇත.

එම විර්මශන වාර්තා අප්‍රේල් 09වන දින විශ්වවිද්‍යාල පාලක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පාලක සභාවේ සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත්කර තිබූ අතර, එම කමිටුව විසින් ද වැඩිදුර නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

අදාළ කමිටුව විසින්,
1. දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ වත්මන් අංශාධිපතිනියට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම,
2. විනය පරීක්ෂණය අවසන් වනතෙක් අදාළ තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීම,
3. වෙනත් අධ්‍යයනාංශයකින් වැඩබලන අංශ ප්‍රධානියෙකු පත් කිරීම,
4. මූලික විමර්ශනවල නිරීක්ෂණ සහ නිර්දේශ විධිමත් චෝදනා පත්‍රයකට ඇතුළත් කිරීම,

යන නිර්දේශ ඉදිරිපත් කර තිබුණි.

මේ අතර, අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම, කල්දැමීම, එම නිර්දේශ පිළිබඳ හිතාමතා වැරැදි ලෙස අර්ථකථනය කිරීම හා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සාධාරණ පරිපාලන ක්‍රියාවලිය බරපතළ ලෙස අඩාල වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් අධ්‍යයන නිදහස, වෘත්තීය ගෞරවය, සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ට හිමි සාධාරණ හා සුරක්ෂිත සේවා පරිසරය බරපතළ ලෙස බලපෑමට හා තර්ජනයන්ට ලක්ව ඇත.

ඒ අනුව, මෙම කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකර, වගකිවයුතු පාර්ශවයන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් ඉල්ලා තිබේ.

දිට්වා නිසා පීඩාවට පත්වූවන්ට සහාය වීමට ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතියක්…..

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, නෝර්වේ රාජ්‍යයේ මූල්‍ය ආධාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහ එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ සහයෝගය ඇතිව නිර්මාණය කළ, නවතම ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතිය සහ ප්‍රජා විමසීම් යාන්ත්‍රණය අද (18) නිල වශයෙන් ආරම්භ කර තිබේ.

මෙය දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට පත් ප්‍රජාවන්ට කඩිනම්, වඩාත් විනිවිද සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රජා සහාය සේවා ලබාදීමේ ක්‍රියාවලියකි.

මෙම ඩිජිටල් පද්ධති ආරම්භ කිරීම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කර තිබේ.

රජයේ නිලධාරීන්ට සහ ආපදාවෙන් පීඩාවට පත්වූ පවුල්වලට පරිපාලනමය දුෂ්කරතා අවම කරමින් කටයුතු කිරීම සඳහා මෙම වන්දි කළමනාකරණ පද්ධතිය නිර්මාණය කර ඇත.

විපතට පත් වූ අයට තම වසමේ ග්‍රාම නිලධාරිවරයා හරහා මාර්ගගතව, අන්තර්ජාලය ඔස්සේ වන්දි ලබා ගැනීමේ ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.

එමෙන්ම, අද ප්‍රජා විමසීම් යාන්ත්‍රණයද ආරම්භ කළ අතර මෙම විමසීම් යාන්ත්‍රණය ඔස්සේ ප්‍රජාවන්ට ඔවුන්ගේ විමසීම් ඍජුවම NDRSC වෙත ඉදිරිපත් කළ හැකි ය.

එම පද්ධතියට සතියේ දිනවල පෙ.ව. 9.සිට ප.ව. 4දක්වා, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ක්‍රියාත්මක 071 6 807 807 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෝ ඊට අදාළ QR කේතය හරහා විමසීම් ඉදිරිපත් කළ හැකි ය.

මූලික සමාලෝචනයකින් පසුව, සෑම විමසීමක්ම, අවශ්‍ය පියවර ගැනීමට සහ පසු විපරම් සඳහා NDRSC හි අදාළ ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් වෙත යොමු කෙරේ.

සෑම විමසීමක්ම ඉදිරිපත් කිරීමේ දී, ඉදිරිපත් කරන්නාට අනන්‍ය වූ කේතයක් ලබා දෙයි.

ප්‍රජා විමසුම් යාන්ත්‍රණයට අදාළ QR කේතය හෝ ක්ෂණික ඇමතුම් දුරකතන අංකය ඔස්සේ මෙම අනන්‍ය වූ කේතය ඉදිරිපත් කර ඔවුන්ගේ විමසීම්වල ප්‍රගතිය බලාගත හැකි ය.

මෙම ප්‍රයත්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ප්‍රමුඛතා සැලසුම් වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.

ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇති නව ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මෙම ව්‍යාපෘති වෙනුවෙන් මෙම වසරේ වෙන් කරන ලද ප්‍රතිපාදන මෙම මූල්‍ය වර්ෂය තුළදීම නිසි පරිදි යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ආයතන කිහිපයක් සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳව අදාළ ආයතන සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සහ නඩත්තුවේදී ඒ ඒ ආයතනවලට නිශ්චිත වගකීම් පැවරීම ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

කැලණි ගඟ ආශ්‍රිත ගං වතුර පාලන ව්‍යාපෘතිය ඇතුළු කොළඹ නගරයේ ජල කළමනාකරණ ව්‍යාපෘති, බේරේ වැව ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය මෙන්ම, කොළඹ ආශ්‍රිත රත්මලාන, මොරටුව වැනි ප්‍රදේශවල අඩු ආදායම්ලාභී නිවාස සඳහා විශේෂ වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, ඇතැම් ව්‍යාපෘතිවල නිසි කළමනාකරණය වෙනුවෙන් විශේෂ ආකෘතියක අවශ්‍යතාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්……

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ නව පොදු වෙබ් අඩවි වේදිකාව අද (18) නිල වශයෙන් දියත් කෙරුණි.

අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම උත්සවය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් නව තාක්‍ෂණය හඳුන්වා දීම පමණක් නොව, රජයේ ආයතන මගින් මහජනතාව වෙත සපයන සේවාවන්හි කාර්‌යක්ෂමතාවය, ප්‍රවේශ්‍යතාවය, විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම බවය.

මෙම නව ඒකාබද්ධ ඩිජිටල් වේදිකාව හරහා මෙරට පුරවැසියන්, විදේශගත ශ්‍රී ලාංකිකයින්, විදේශීය ආයෝජකයින්, සංචාරකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවතින සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල 07 ක් මෙම ඒකාබද්ධ පද්ධතියට ඇතුළත් කර ඇත.
ඒවා නම්,

නව දිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‌යාලය

වෙලිංටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

බුකාරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලියාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ විදේශයන්හි පිහිටි සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල මෙම ඒකාබද්ධ සහ ප්‍රමිතිගත ඩිජිටල් වේදිකාව යටතට ගැනීමට නියමිතය.

අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය, සාමාන්‍ය පරිපාලන අංශය සහ තොරතුරු තාක්ෂණ ඒකකය එක්ව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SLCERT), ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

මෙහි තාක්ෂණික සහයෝගීතාවය Frontwalker පුද්ගලික සමාගම විසින් සපයා තිබේ.

නවීන සයිබර් ආරක්ෂණ ක්‍රමවේද, විශ්වසනීයත්වය සහ පරිශීලක-හිතකාමී (User-friendly) බහුකාර්ය ලක්ෂණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් මෙම වෙබ් අඩවි පද්ධතිය නිර්මාණය කර ඇති අතර, මෙය පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවාවක් උදෙසා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ.

ජනාධිපති ලේකම් සහ බෞද්ධාලෝක වෙසක් කමිටු සාමාජිකයන් අතර හමුවක්….

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් 25වන වරටත් සංවිධානය කෙරෙන බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කරගෙන මැයි 30වන දා සිට ජුනි 01වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල දායකත්වය ලබා ගනිමින් මෙය උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන අතර, ඊට අදාළ පෙර සූදානම සහ ජනතාවට පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

 

කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ, නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ, භාණ්ඩාගාරික වසන්ත ද සිල්වා යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය ආයතනවල නිලධාරීහු, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අනුග්‍රාහක සමාගම්වල නියෝජිතයන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2026 වසරේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්…..

2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබේ.

ඒ අනුව මේ වසරට අදාළ ලේඛනයට ඇතුළත්වී නොමැති හෝ ලිපිනයෙහි, නමෙහි, හැඳුනුම්පතෙහි සංශෝධන ඇති, 2009.02.01ට පෙර උපන් අය තම ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් ඒ බව විමසීමක් සිදු කළ යුතුය.

ඉදිරි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පෙර තම තොරතුරු නිවැරදිව සටහන් කර ඇති බව සහතික කර ගන්නා ලෙසට කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වෙත පිවිස සිය තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කළ හැකිය.

දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩ තහනම්……

මොනරාගල දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ වන්දි ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පැවසීය.

එමෙන්ම චෝදනා එල්ල වී ඇති ග්‍රාම නිලධාරියා ද පරීක්ෂණ කටයුතුවලට පහසුවීම සඳහා වෙනත් කොට්ඨාසයකට මාරුකර ඇත.

මේ වනවිට එම සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතින බවද අදාළ නිවේදනයේ දැක්වේ.

සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි……

සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජිවීතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ නාරන්විට ආඩියාකඩවත පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි පිරිමි දරුවෙකි.

නිවසේ සොල්දරයෙහි තිබූ වතුර බටයක් ගැනීමට පියා ඊට නැග ඇති අතර එම අවස්ථාවේ දී ඔහුගේ පිටුපසින් පැමිණි දරුවා පහළට වී බලා සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේ දී සොල්දරයේ ලෑල්ලක් ගැලවීම හේතුවෙන් පියා දරුවා මතට ඇඳ වැටී ඇති බව වාර්තා වේ.

එහිදී තුවාල ලැබූ පියා සහ පුතු ගම්පොළ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව ද සඳහන්.

තුවාල ලැබූ පියා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ගම්පොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.