ඩයනා අධිකරණයට ඉදිරිපත් වෙයි…..

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වුණි.

ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා නියෝග කළේය.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩු 07ක් ඉකුත්දා කැපවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුවුණි.

විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි…..

2015 වසරේ මහත් ආන්දෝලනයකට දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග කිරීම සඳහා නොවැම්බර් මස 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ  සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා කැඳවනු ලැබීය.

මෙහිදී  විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ දෙමළ භාෂා පරිවර්තන ලබා ගැනීම සඳහා වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, මෙම අභියාචනා කඩිනමින් විභාග කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන බවය.

ඒ අනුව අදාළ අභියාචනා විභාගය සඳහා නොවැම්බර් මස 6 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

2015 වසරේ මාර්තු මස 3 වනදා පාසල් ගොස් ආපසු එමින් සිටියදී සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු “ස්විස් කුමාර්” ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට යාපනය මහාධිකරණය විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය පනවනු ලැබීය.

විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඔවුන්ට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි….

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සැප්තැම්බර් මස 23 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න, අමාලි රණවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම  පෙත්සම්වලට අදාළ නොතීසී තමන්ට ලැබී නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කරමින් පෙත්සම් යළි සැප්තැම්බර් 23 කැඳවීමට නියම කළේය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටින තමන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින් එහි අවසන් තීන්දුවක් ලැබෙන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

සිරදඬුවම් ලැබු උතුරු මැද ප්‍රධාන ඇමැතිගේ ඇප ඉල්ලීම කල්යයි…..

දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ භාර දී ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 09 වනදා කැදවීමට දින නියම කර තිබේ.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙළඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් සහ දඩ නියම කළේය.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඇයැදුම් පත ගොනු කර තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි….

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (25) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

රජය වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියි.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ඇතුළු පිරිසක් විසින් පෙත්සම් හයක් ඉදිරිපත් කර ඇත.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ CID අත්අඩංගුවට…..

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහාය.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා ලැබී තිබූ තොරතුරක් අනුවය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්තිපතිවරයා වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කිරීමේ සිදුවීමක් සම්බන්ධවද තොරතුරු වාර්තා වූ අතර එම කරුණු අනාවරණය කර ගැනීම සඳහා  සියලු සැකකරුවන්ගේ දුරකතන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලීසියට ලබා දෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණි.

කළුතර කලමුල්ල මුහුදු තීරයේ දිය නෑ සිසුන් දෙදෙනෙක් අතරුදන්….

කළුතර කලමුල්ල ප්‍රදේශයේ මුහුදේ අද (24) පස්වරුවේ දියනැමට ගිය පාසල් සිසුන් තිදෙදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති අතර එක් සිසුවෙකු දිවි බේරාගෙන ඇති බව පයාගල පොලීසිය පවසයි.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ පානදුර එළුවිල සහ හොරණ ගල්පාත ප්‍රදේශයේ  පදිංචිව සිටී මිහින් සන්හිඳ සහ නෙතුම් නෙත්සර නමැති  15 හැවිරිදි  පාසල් සිසුන් දෙදෙනෙකි.

ඔවුන් තිදෙනා හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අතරතුර කලමුල්ල ශාන්ත අන්තෝනි මාවත කෙලවර මුහුදු වෙරලේ දියනාමින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය පවසයි.

කළුතර නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීන් සහ පයාගල පොලීසිය සමග එක්ව ධීවරයින් මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසයි.

කළුතර ගල්පාත –  චන්දන පෙරේරා

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය බෙල්ලන කියන කතාව….

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක් ඇතිව ඇති බවත් ඔහුගේ ශරීරයේ ඇති රුධිරයේ වෙනස් වීම් සහ වෙනත් සළකුණුද මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.

වෛද්‍යවරයා පැවසුවේ අධිකරණ ශාලාවේදී පැය කිහිපයක් රැඳී සිටීමේදි එහිදී ඇතිවූ විදුලි විසන්දිවීම්, ජලය පානය නොකිරීම් හේතුවෙන් ඇතිවූ සංකූලතා මත ඔහු විජලන තත්ත්වයට පත්ව ඇති බවය.

මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලින් පසුව ජාතික රෝහලට මාරුකර එවා ඇති බවත් ඒ අනුව දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වෛද්‍ය බෙල්ලන මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“හිටපු ජනාධිපතිව මම දැන් බලලා අවේ. ඔහුට යම්කිසි විජලනය තත්ත්වයක් වෙන්න ඕනේ යම් යම් වෙනස් වීම් තියෙනවා ශරීරයේ ලේවල සහ වෙනත් සළකුණුවල. ඉතිං අපි දවස් තුනක් දැඩි විවේකී තත්ත්වයක තියන්නත් ඕනේ, විජලනයට ප්‍රතිකාර කරන්නත් ඕනේ. ඒ කළේ නැත්නම් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න පුළුවන්. ඒ නිසා තමයි ඔහු දැඩි නිරීක්ෂණයක් යටතේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම් කිහිපයක් යටතේ ඔහුව මේ වෙලාවේ බලාගන්නවා. ඔහුට දවස් දෙක තුනක් යද්දි හොඳ අතට හැරෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බැරි වෙලාවත් අපි හරියට ප්‍රතිකාර කළේ නැත්නම් ඒ සංකූලතා වර්ධනය වෙන්න පුළුවන්.”

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් නිවේදනයක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරන බවය.

එමෙන්ම මෙහි ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණමට වඩා සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවන බවද එහි සඳහන් වේ.

දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන මෙම ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව සිය විරෝධය දක්වන බවද හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් තලතා අතුකෝරල මහත්මිය විසින් අදාළ නිවේදනය ප්‍රකාශ‍යට පත් කළාය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව මේ වන විට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

එහි දර්ශන ඉහතින්.