ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දෙන්න – ජනපති GMOAවෙන් ඉල්ලයි….

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (17) පෙරවරුවේ පැවැත්විණි.

2022දී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් මෙහිදි සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්‍රයක මනා පැවැත්ම අතිශය වැදගත් බවත් එය තම රජයේ මුලික අරමුණක් බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලැබිය යුතු පහසුකම් කප්පාදු කිරිමට රජය බලාපොරොත්තු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා සහ  ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදි සලකා බලන බවත් සඳහන් කළේය.

ඔබ ඉල්ලන්නා මම ලබාදෙන්නා බවට පත් නොවී සියලු දෙනා එක්ව රට ගොඩ නැගිය යුතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වැදගත් මානව සම්පතක් වන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බවද, ඒ අනුව ඔවුන්ගේ යෝජනා සහ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිම මෙම සාකච්ඡාවේ අරමුණ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එහිදි සඳහන් කළ අතර, එම යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි…..

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන අද (17)  විවාදයට ගැණුනු අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

එලෙස සම්මත් වුයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂයයි.

විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසින් ඉල්ලා සිටි අතර එහිදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 80කින් සම්මත විය.

එම වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්ද 87ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද හිමිවුණේ 7ක් පමණි.

මේ අතර අද විවාදයට ගැනුණු  අධිකරණ  සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශය වැය ශීර්ෂය ද වැඩි ඡන්ද  80කින්  සම්මත විය.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජී. ජී. පොන්නම්බලම්  යන මහත්වරුන් විසින් අධිකරණ  සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද  87ක්ද විපක්ෂව ඡන්ද 7ක්ද හිමි විය.

ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්…..

ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු හෙට (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (17)  එම නියෝගය දුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

මෙලෙස චෝදනා එල්ල වන්නේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඊයේ පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සලකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානයක් පිළිබඳව පසුගියදා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානය පසුගිය 14 වනදා පස්වරුවේ වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනුණි.

සොයාගත් ස්ටිකර් ගල්කිස්ස හා බඩෝවිට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බහුලව භාවිත කර ඇතැයි සැක කරයි.

ලොව ප්‍රකට කාටුන් සහ රූපවාහිනී කතා මාලාවන්හි එන චරිත යොදාගෙන සැකසූ ස්ටිකර් තොගයක්ද ඒ අතර වේ.

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්….

දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (17) ප.ව. 7:00 සිට හෙට (18) ප.ව. 7:00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:
අරණායක

ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
බණ්ඩාරවෙල
හපුතලේ

කළුතර දිස්ත්‍රික්කය:
වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය:
ගඟවට කෝරළය
උඩුනුවර
උඩපලාත
තුම්පනේ
පාතහේවාහැට
⁠උඩුදුම්බර
ගඟ ඉහළ කෝරළය
⁠පස්බාගෙ කෝරළය
⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
රඹුක්කන
⁠මාවනැල්ල
දැරණියගල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
මාවතගම
⁠මල්ලවපිටිය

මොනරාගල දිස්ත්‍රික්කය:
බිබළ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
අඹගමුව
හගුරන්කෙත
වලපනේ
නෝර්වුඩ්
කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
කිරිඇල්ල
⁠බලන්ගොඩ
කලවාන
කොලොන්න
රත්නපුර

මීටියාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මරුට……

මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (17) රාත්‍රි 8.30ට පමණ සිදුවු මෙම වෙඩිතැබීමෙන් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

යතුරුපැදියකින් පැමිණි දෙන්නෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වුණි.

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ඒ අනුව වසරේ මේ දක්වා සිදුව ඇති වෙඩි තැබීම් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයන් 54 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලබා තිබේ.

අම්බලංගොඩ – අනුරාධ ප්‍රියදර්ශන

වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද……

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ සිංහ තරුකාරාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස් වශයෙන් නම්කර ඇති බවය.

එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හෙට පෙරවරු 4.00 – 5.00 දක්වා කාලයේ දී ඉතා හොඳින් නිරීක්ෂණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා,

”අද රාත්‍රී කාලයේදී සහ හෙට අලුයම් කාලයේදී අපිට වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව තමයි අපි ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව කියලා නම් කරන්නේ. මේක කියලා නම් කරන්න හේතු වෙලා තියෙන්නේ මේක අපිට සාමාන්‍යයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ ලියෝ එහෙම නැත්නම් සිංහ කියන තාරුකාරාශිය ආශ්‍රිතව වීම නිසයි. වල්ගා තරුව ගමන් කරපු මාර්ගය හරහා පෘථිවිය ගමන් කරද්දී ඒ වල්ගා තරුවෙන් ඉවත් වෙලා ගිය කුඩා දූවිලි කොටස් වගේ දේවල්, පෘථිවි වායුගෝලය සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් තමයි මේ උල්කාපාත වර්ෂාව ඇති වෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධ විශේෂ කරුණක් තමයි, මේ උල්කාපාත වර්ෂාව ඇතිවන ඒ දූවිලි කොටස්වල වේගය ටිකක් වැඩියි. ඒක හින්දා මේ උල්කාපාත වර්ෂාවේදී එම කොටස් පෘථිවි වායුගෝලය සමඟ වැඩි වේගයකින් ඝට්ටනය වෙන හින්දා, අපිට මේ උල්කාපාත වැඩි දීප්තියකින් යුතුව බලන්න පුළුවන් වෙනවා. නැගෙනහිර දිශාවෙන් මේක මතුවෙලා රාත්‍රි කාලයේ ඒ කියන්නේ අලුයම් කාලය වෙද්දි මේක අහසේ දුරට ගමන් කරනවා. ඒක හින්දා මේ උල්කාපාත වර්ෂාව බලන්න සුදුසුම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් උදේ 4.00 සහ 5.00 වගේ කාලය. මේ කාලය ඇතුළත අපිට මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරනවා නම්, සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 15ක් 20ක් වගේ අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා.”

නතරවී තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ඇරඹෙයි….

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ.

පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව දෛණිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ.

එම මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර ඉදිරියේදී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර දින 14ක් ඇතුළත එය නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

ඒ සඳහා සියලුම දිස්ත්‍රික්ක මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කිරීමට සැළසුම් කර ඇති අතර මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

වේරහැර ප්‍රධාන කාර්යාලයට අමතරව හම්බන්තොට, අනුරාධපුර යන දිස්ත්‍රික්ක කාර්යාලවලද රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන අතර ඉදිරියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්….

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (16) පස්වරු 12.30ට නික්තුකරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල්…..

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් මේ වන තෙක් ඉටුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවයන්ට එළැඹෙන 21 වන දිනට නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම විරෝධය පල කරන ලෙස ඉල්ලා සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ පැවති මාධ්‍ය හමුක් අමතමිනි.

“අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරලා නැහැ. අල ගොවියට, වට්ටක්කා ගොවියට, බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිටම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා.

දැන් ඒ ජනතාව පාරටත් බැහැල. ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා. මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නැහැ. ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි.”

කුඩා ගිනිඅවියක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට…..

අඟල් 6ක් පමණ දිගැති විදෙස් රටක නිෂ්පාදිත කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගිනිඅවිය බෙල්ජියම රටේ නිෂ්පාදිතය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් බව පොලීසිය පැවසීය.

මෝටර් රථ අමතර කොටස් අළෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරුගේ නිවස වටලා කාමරයේ සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම ගිනිඅවිය මියගිය සිය පියාගෙන් තමාට ලැබුණ බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි.