ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට…..

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කිරීම සහ මේ වන විටත් ක්‍රියාත්මක රජයේ ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන්වල දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සාමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“ප්‍රජාශක්ති” වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන අන්දම සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, “ප්‍රජාශක්ති” මෙරට දිළිදුකම තුරන් කිරීමේ තවත් එක් වැඩසටහනක් බවට පත් කර ගැනීම වෙනුවට පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ සමඟ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් මතු කළ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් ඉදිරි වර්ෂවල රජයේ දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන වැඩසටහන් සියල්ලම ග්‍රාමීය මට්ටමේදී ප්‍රජා සංවර්ධන සභා විසින් හඳුනා ගන්නා සංවර්ධන වැඩසටහන් විය යුතු බවත්, එබැවින් දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාවට ගැලපෙන ව්‍යාපෘති හඳුනා ගැනීම වෙනුවට, ව්‍යාපෘතියේ අවශ්‍යතාව සලකා බලා ප්‍රමුඛතාගත කළ යුතු බවත්, එම ප්‍රමුඛතා අනුව ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පලාත් සභා, පලාත් පාලන ආයත  සිය ප්‍රතිපාදන වෙන් කළයුතු බවත් ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාශයේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

එමඟින්, සංවර්ධනය සඳහා වැය කරන ප්‍රතිපාදන විසිරුණු අරමුණු රැසකට වැය කරනු වෙනුවට කේන්ද්‍රීය අරමුණකට යොමු කිරීම සිදුවන බවත් පෙන්වා දෙන ලදී.

තවද මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වනුයේ ග්‍රාමීය සංවර්ධනය සඳහා දායක වීම අපේක්ෂා කරන පෞද්ගලික අංශයේ පිරිසට පවා මෙම ව්‍යුහය තුළ සම්බන්ධ වීමට අවස්ථාව සලසා තිබීම බව අවධාරණය විය.

ප්‍රජාශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීමේදී සහ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේදි දිස්ත්‍රික් ලේකම්වරුන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ප්‍රජාශක්ති වැඩසටහන පුළුල් ජාතික වැඩසටහනක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ නව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ නව උපදෙස් පිළිබඳව මෙන්ම විමධ්‍යගත අයවැය වැඩසටහන, දිස්ත්‍රික සංවර්ධන වැඩසටහන්, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන, වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන්, හදුනාගත් පාසල්, ක්‍රීඩා පාසල්හි පහසුකම් වැඩි කිරීම මෙන්ම අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා දිස්ත්‍රික් මට්ටමේ කමිටු පිහිටුවීම සහ විශේෂ අවශ්‍යතා/ ආබාධ සහිත පිරිස් ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති වැඩසටහන් ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීමද මෙහිදී සිදු විය.

මෙරට සෞඛ්‍ය, අධ්‍යාපන සහ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම වසර 2030 වන විට මෙරට දරිද්‍රතාව අවම කර ගැනීමේ ඉලක්කගත වැඩසටහන සම්බන්ධවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර ජනාධිපති අරමුදලේ කාර්යයන් විමධ්‍යගත කිරීමට අදාළ කටයුතු පිළිබඳවද සාකච්ඡා විය.

ඉදිරියේදී රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලීමේදී අදාළ රේඛීය අමාත්‍යාංශවල මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන්ද තොරතුරු ලබා ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදි අවධානය යොමු කෙරිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ සුබසාධන හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජනාධිපති අතිරේක ලේකම් (ආහාර සුරක්ෂිතතා හා ප්‍රතිපත්ති) එන්. වනසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් මිද්දෙණියෙන් සොයාගනී……

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.

ඒ අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලියෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් මේ වනවිටත් එම ස්ථානයේ විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

ජාතික ක්‍රීඩා කවුන්සිල සාමාජිකත්වයෙන් මහානාම ඉල්ලා අස්වෙයි……

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් සිදුකෙරෙන ප්‍රධානම කාර්යභාරයක් වේ.

ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට….

පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස්  අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (04) රාත්‍රි 9ට පමණ සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.

තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

පද්මේගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය ගැන තවත් අනාවරණයක්….

කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට තුළ පවත්වාගෙන ගිය බව කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ සේවය කිරීම සඳහා පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකදී කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් තොරතුරු අනාවරණය විය.

අද (04) පෙරවරුවේ කුරුඳුවත්ත නව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කළේය.

“දීර්ඝ කාලයක් මේ රටේ අපරාධ සංස්කෘතියක් වර්ධනය වෙලා තිබුණා. ඒ සංස්කෘතිය තුළ නිර්මාණය වූ ක්‍රියාකාරකම් තමා මෑතකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මගින් හෙළිවෙලා තියෙන්නේ. මේ වෙද්දී මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්තානු ජාතිකයින් ගෙන්වාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අත්අඩංගුවට ගත්ත අපරාධ කල්ලි සාමාජිකයින් යම් යම් අනාවරණයක් සිදුකරමින් තිබෙනවා දේශපාලනඥයින් ඔවුන් හදා වඩාගෙන ඔවුන් හා සබඳතා පවත්වමින් ඔවුන්ගේ කාර්යයන් ඉටුකරගත් ආකාරය ගැන. මේ තොරතුරු පිළිබඳව ඉදිරියේදී ගැඹුරු සහ විදිමත් විමර්ශන හරහා සනාථ කරගත යුතු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ගැඹුරින් සිදුකරමින් පවතිනවා.”

මේ අතර කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් යොදවා ඇති බවත්, ඊට නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවටත් තොරතුරු හෙළිවී තිබේ.

තවද ඒ සඳහා අවශ්‍ය කරනු ලබන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් වාර්තා වෙයි.

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය…..

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටු වීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමග නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ.

ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත්ව වසා දැමීමට අනුමැතිය හිමිව තිබේ.

පොලිස් නිල රථයක් ලෙස හැඩගැන් වූ ජීප් රථයක් මහනුවර දී කොටුවෙයි….

උසස් පොලිස් නිලධාරීන්ගේ නිල රථයක් ලෙසට හැගෙන ආකාරයෙන් හැඩගන්වන ලද නවීන ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය මගින් සිය භාරයට ගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (03) පස්වරුවේ දී මෙම ජීප් රථය පොලිස් භාරයට ගත් අවස්ථාවේ එහි පුද්ගලයන් දෙදෙනෙක් සිට ඇති අතර පොලීසිය භාවිතා කරන ආකාරයේ  walkie talkie කථන යන්ත්‍ර දෙකක් ද එහි තිබූ බව පොලීසිය පවසයි.

මෙම ජිප් රථයේ ඉදිරිපස වීදුරුව හැර අනෙකුත්  වීදුරු සියල්ල සම්පූර්ණයෙන් අඳුරු කොට ඇති අතර නිරන්තර මහනුවර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය කෙරෙන බව පොලීසිය පවසයි.

යම් අවස්ථාවලදී රථ වාහන හා මාර්ග රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් මෙම වාහනයේ උසස් පොලිස් නිලධාරියෙකු ගමන් ගන්නේ යැයි සිතා වාහනයට ආචාර කර ඇති බව සඳහන් වේ.

මෙම ජීප් රථය එකලස් කරන ලද්දක්ද නැතිනම් වර්ණ වෙනස් කළ එකක්ද කුමන ආකාරයේ කටයුතු සඳහා භාවිතා කළේද යන්න පිළිබඳව මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවක්ද කැඳවීමට නියමිත බව වාර්තා වේ.

මෙම ජීප් රථයේ හිමිකරු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇති බව වාර්තා වේ.

සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇතතේ මෙම ජීප් රථය, මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ මහ සොහොන් බළකාය නැමැති දේශපාලන සංවිධානයක සාමාජිකයෙකු වූ අමිත් වීරසිංහ නැමැති අයෙකුට අයත් එකක් බවය.

ඒ අනුව ඔහුට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

බූස්සෙන් STF ඉවත් කරන්නැයි ඉල්ලූ මිදිගම රුවන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ…..

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂා කිරීම් වැනි කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් නැමැත්තා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

අදාළ පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව නිකුත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සමේ සඳහන් නඩු නිමිත්ත තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරිමට පෙත්සම්කරු අසමත් වී ඇති බවය.

ඒ අනුව එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

පෙත්සම්කරු කියා සිටින්නේ, බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පරීක්ෂා කිරීම් ඇතුළු අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම බන්ධනාගාර පනතේ විධිවිධානවලට පටහැනි බවය.

ඒ අනුව අදාළ බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයෙන් – ලකුණු 198ක්….

මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව  198කි.

මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් ලබාගත් දරුවෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.

ශිෂ්‍යත්වයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණ ඉක්මවා ගිය දරුවන් සංඛ්‍යාව 51,969කි.

එය 17.11%ක ප්‍රතිශතයක් ලෙස වාර්තා වෙයි.

පසුගිය වසරට සාපේක්ෂව එය 1.06% වැඩිවීමක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

පළාත් මට්ටමින් ලකුණු 70ක් හෝ ඊට ඉහළින් ලකුණු ලබාගෙන වැඩිම සාධනයක් පෙන්නුම් කර ඇත්තේ සබරගමුව පළාතෙනි.

එහි දෙවනියට වැඩිම සාධනය දකුණු පළාතෙන් වාර්තා වී තිබේ.

පළාත් මට්ටමින් කඩඉම් ලකුණු සාධනය සලකා බැලීමේදී සබරගමුව පළාතෙන් වැඩිම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇත.

දෙවනියට ඌව පළාතත් තෙවනියට දකුණු පළාතත් වැඩිම සාධනයක් හිමිකරගත් පළාත් ලෙස වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් ලකුණු 70 හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලකුණු ලබාගත් දරුවන් වැඩි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එහි දෙවන සහ තෙවන ස්ථාන හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට හිමිවී ඇත.

සිංහරාජය හරහා මාර්ග ඉදිකිරීමට ඉඩනොදෙන බවට පරිසර ඇමතිගෙන් සහතිකයක්….

සිංහරාජ වනාන්තරය තුළ මාර්ග ඉදිකිරීමට ඉඩ ලබානොදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පරිසරය සුරැකීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය කටයුතු නොකරන බවය.

සිංහරාජ ඉලුම කන්දේ සිට සූරියකන්ද දක්වා මාර්ගය පිළිසකර කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවකට ඉදිරිපත් වී ඇති අතර, ඒ අනුව එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට නිලධාරීන් පිරිසක් ගොස් ඇති බැවින් ඒ පිළිබඳව කතා බහක් නිර්මාණය වී ඇති බවය.