කළු ගඟේ ජල මට්ටම ඉහළට – ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙස දන්වයි….

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවය.

එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් ඒ අනුව එහි ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් පවතින වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණ හොත් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බැවින් කළු ගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම්කද සිදුකර තිබේ.

මේ අතර කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාවද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිද යන්න ජනතාව දැනුවත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රජරට රැජින දුම්රියේ ගින්නක්…

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවය.

අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

අද උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ මෙම ගින්න හටගෙන තිබුණි.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක් පිටත් වීම ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

මිනුවන්ගොඩින් ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙක් මාට්ටු….

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24 ) සවස ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී ටී – 56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මාලිම්බඩ උතුර මහා විද්‍යාලයට වසර 85 ක් පිරීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක්……

මාලිම්බඩ උතුර මහා විද්‍යාලයට වසර 85 ක් පිරීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත බව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකමි විජය පද්මකුමාර මහතා පවසයි .

ප්‍රදේශයේ පාසල් අතර ඉතාමත් කීර්තියක් උසුල මෙම පාසල තුළින් වෛද්‍යවරුන්,ඉංජිනේරුවරුන්, ගුරුවරුන් ආදී ක්ෂේත්‍රවල මෙන්ම රටට වැඩදායක විශාල පිරිසක් බිහිකිරීමට මෙම පාසල හේතු වී තිබේ.
එවැනි විශිෂ්ට වූ විද්‍යාලය ආරම්භ කර වසර අසූ පහක් (85 ) සපිරීම නිමිත්තෙන් ආගමික වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.
එම වැඩසටහනට සමගාමීව 25 දින පෙරවරු 8:00 ට විද්‍යාලය අසලින් පා ගමනක්ද පැවැත්වීමට නියමිතය.
මෙම අභිමානවත් උත්සවයේ කටයුතු විද්‍යාලයේ විදුහල්පතිනි යු.එන් කරුණාවීර මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ විද්‍යාලයේ දෙමව්පියන් සහ දූ දරුවන් හා ප්‍රදේශවාසීන් විසින් වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබන බව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පැවසූහ.

තරංග ගුණරත්න – වැලිගම

 

IMG-20251025-WA0004 IMG-20251025-WA0005 IMG-20251025-WA0003 IMG-20251025-WA0002 IMG-20251025-WA0006

මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු…..

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කිරීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් අනාවැකි පළ කරන්නේ, මෙම පද්ධතිය හෙට (25) දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඔක්තෝබර් 27 වැනිදා එනම් එළැඹෙන සඳුදා වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවටය.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ, පවතින වැසි තත්ත්වය ඔක්තෝබර් 28 වැනිදා දක්වා පවතිනු ඇති බවය.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් 20,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතියි.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් තවදුරටත් විවෘතව පවතින අතර ඉන් තත්පරයට ඝණ අඩි 2,256 ජල ධාරිතාවක් කලාඔයට මුදාහැරේ.

එමෙන්ම කලාවැවේ වාන් දොරටු දෙක තවමත් අඩිය බැගින් විවෘතකර තැබීමෙන් කලාවැවෙන් කලා ඔයට තත්පරයට ඝණ අඩි 1,241 ජල ධාරිතාවක් මුදාහරින බව වාරි ඉංජිනේරුවන් පවසයි.

ඒ අනුව, කලා ඔයේ ජලය පිටාර ගැලීම හේතුවෙන් අවුකන සිට කැකිරාව මාර්ගය අවුකන විහාරස්ථානයට නුදුරින් දින කිහිපයක් තිස්සේ තවදුරටත් ජලයෙන් යටවී පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ වාර්තාවේ දැක්වුණේ කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් ඒ අවට ජනතාව ගංවතුර පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවය.

බඹරු දෂ්ට කිරීමෙන් පසු බගවන්තලාව වතු සේවකයන් හය දෙනෙකු රෝහල් ගත කර ඇත.

බගවන්තලාව ඉරණිකාඩු සහ සෙන්විජයන්ස් වතුයායේ තේ දළු නෙලමින් සිටි
සේවකයින් හය දෙනෙකු බඹරෙකු දෂ්ට කිරීමෙන් පසු බගවන්තලාව දිස්ත්‍රික්
මූලිකරෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.
මෙම සිදුවීම 2025.10.24 වන සිකුරාදා පෙ.ව. 10.30 ට පමණ සිදු වූ බව
පොලිසිය අනාවරණය කරයි ,
බගවන්තලාව සෙන්විජයන්ස් වතුයායේ තේ දළු නෙලමින් සිටි සේවකයින්
සිව්දෙනෙකුට දෂ්ට කළ බඹරුන් ඉරණිකාඩු වතුයායේ රැකියාවේ යෙදී සිටි
සේවකයින්ට ද දෂ්ට කර ඇති බව වාර්තා වේ ,
කාන්තා සේවිකාවන් 05 දෙනෙකු සහ පිරිමි සේවකයෙකු 01 දෙනෙකු තුවාල
ලබා ඇති බව පොලිසිය තවදුරටත් පැවසීය.
තුවාල ලැබූ සේවකයින්ගෙන් හය දෙනෙකු රෝහලේ නේවාසිකව බගවන්තලාව
දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයන්
පැවසීය.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය…..

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබේ.

තායිලන්ත රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඔක්තෝබර් මස 28 වන දින ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.

ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

2023 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය  Plai Sak Surin හෙවත්  ‘මුතුරාජා’ හස්තියා මෙරටින් රැගෙන යෑමට අනුගමනය කරන ලද ක්‍රියාවලියම මෙම ඇත්තු දෙදෙනා රැගෙන යෑමට භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් මෙම ඇත්තු දෙදෙනා හඳුන්වනු ලබයි.

ඉන් එක් ඇතෙකු වයස අවුරුදු 12 දී 1979 දී තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කරන ලද පළමු ඇත් පැටවා වන බව ද වාර්තා වේ.

රජයේ දන්ත වෛද්‍යවරුන් වැඩවර්ජනයකට සුදානමින්….

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

වැලිගම සභාපති ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය…..

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩිතැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් යම් යම් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

ඔහු බොහෝ දුරට ආරක්ෂක අංශයකින් පලාගිය අයෙකු බවට සැක කරන බවද පොලීසිය පැවසීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා (22) ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කළේය.

මේ වනවිට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර තිබේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් 2ක් CCTV කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් දුරකථන දත්ත ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක බවය.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු සහ ඉෂාරාට ආධාර අනුබල දුන් 4ක් රිමාන්ඩ්….

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු තවදුරටත් නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන්ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

බූස්ස බන්ධනාගාරයේ සිටින වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සූම් තාක්ෂණයේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.