සැමියා විසින් බිරිඳට හා පුතාට පහරදෙයි – පුතා මරුට….

දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19) රාත්‍රියේ ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර තිබේ.

බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවට දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අන්තර්ජාල රැවටීම් ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වීම් ඉහළ යයි….

2024 සහ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ළමුන් 43 දෙනෙකු සයිබර් අවකාශය තුළ ලිංගික අපචාරවලට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

පසුගිය වසර හා සැසඳීමේදී මෙම වසරේදී එම තත්ත්වය 50%කට ආසන්න ඉහළ යාමක් බව ඔවුන් පෙන්වා දේ.

2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇත.

2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු හා කාන්තාවන් 375ක් එලෙස සයිබර් අවකාශය හරහා ලිංගික අතවරවලට ලක්ව ඇත.

කෙසේ නමුත් මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 114 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය දෙවසරක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ළමුන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව ලැබුණු පැමිණිල්ල ගැන කොමිසමෙන් නිවේදනයක්…

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් 2014 වසරේදී අවිධිමත් ආකාරයට සිය දරුවා කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකට ඇතුළත් කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධව අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ල සම්බන්ධව අල්ලස් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙමගින් එම කොමිෂන් සභාව පෙන්වා දී ඇත්තේ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ විධානය පරිදී දූෂණ විරෝධි පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් මේ සම්බන්ධව සිදුකළ බවය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් වූ බැවින් මෙම පැමිණිල්ල පිළිබඳව ප්‍රමුඛතාවය ලබා දී කඩිනමින් විමර්ශනය කළ බවත් අල්ලස් කොමිසම සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ විමර්ශනයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ කොළඹ පිහිටි එම විද්‍යාලයෙන් වාර්තා කැඳවා ඇති අතර අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වෙත ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුව ඇති බව නිරීක්ෂණය වී තිබේ.

තවද එම වර්ෂයේ මෙම දරුවා පමණක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත මාර්ගෝපදේශ මත අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන්ද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බවද නිරීක්ෂණය වූ බවද අල්ලස් කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන් හි අක්‍රමිකතාවයක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුව නොමැති බව කොමිෂන් සභාව තීරණය කළ බවද අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

උඩුදුම්බර ඛේදවාචකය – දෙදිනකට පෙර පියාත් ලියුකේමියාවෙන් මිය ගිහින්….

ලියුකේමියාවෙන් මියගිය සිය සැමියාගේ දේහය නිවසේ තිබියදීම සිය දරු තිදෙනා සමඟ වස පානය කළ කාන්තාවක් පිළිබඳ ඛේදනීය පුවතක් උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වුණි.

සිද්ධියෙන් එම කාන්තාව මිය ගොස් ඇති අතර දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේය.

“මැරෙන්න එපා ඇස් අරින්න…ඇස් අරින්න” මේ හද කම්පා කළ වචන කිහිපයකි.

කෙළිදෙලෙන්, සහෝදරකමින් මේ මොහොතේ උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ඇඳක් උඩට වී සිටින මෙම දරුවන් තිදෙනා බලා සිටින්නේ, විසක් ශරීරගත වී ඇත්දැයි යන සැකයෙනි.

මේ දරුවන්ගේ මව ඊයේ (18) රාත්‍රියේ කිරි සමඟ වස මුසුකර දරුවන්ට පානයට කරන්නට දී ඇතත් වෙනදා මෙන් නොව එහි වූ තිත්ත රස නිසා දරුවන් කිරි කෝප්ප ප්‍රතික්ෂේප කර තිබුණි.

දරුවන් තිදෙනා එය ප්‍රතික්ෂේප කළත් මව ඒ සියල්ල පානය කිරීමෙන් පසු රෝගී වී තිබුණි.

පසුව අසල්වැසියන් විසින් දරුවන් සහ මව කඩිනමින් රෝහල් ගතකර ඇති අතර, ඒ වනවිටත් මව මෙළොව හැරගොස් තිබුණි.

රෝහල් බලධාරීන් පවසන පරිදි දරුවන්ට කිසිදු ගැටලුවක් නොමැති බව අනාවරණය වී තිබේ.

“කොප්පෙක තිබුණේ හැන්දෙන් මට පෙව්වේ. මල්ලිලා හිටියේ නිදාගෙන. මාත් නිදාගෙන හිටියේ. අම්මා ඇහැරෙව්වා. කිරි දුන්නේ. මම කටින් එළියට දැම්මා කිරි නෙමෙයි කියලා. කිරිවලට මොනවද දාලා. තිත්ත රසක් ආවා. මම කිව්වා මේවා කිරි නෙමෙයි කියලා. ඊට පස්සේ අම්මා ඒක බිව්වා. ඊට පස්සේ අම්මා ඇඳට වැටුණා.”

කොහොම වුණත් මල්වන් මේ දරුවන් පිටුපස ඇති කතාව බොහොම අවාසනාවන්ත එකකි.

මේ දරුවන් තිදෙනාම ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර, මීට දෙදිනකට පෙර දරුවන්ගේ පියා මිය යන්නේත් ලියුකේමියා රෝගයෙනි.

පියාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.

එවන් පසුබිමකයි 34 හැවිරිදි මව සිය දරු තිදෙනාටත් වස දී වස පානය කර තිබුණේ.

“පවුලේ ඥාතීන් පවසන්නේ, අපිට මේ දරුවා රැකගන්න පුළුවන්. කන්න බොන්න දෙන්න පුළුවන් සෙනෙහස දෙන්න බෑ. දෙමව්පියෝ දෙන්නා අසීමිතව මේ දරුවන්ට ආදරේ කළා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දරුවන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරලා දෙන්න කියලා.”

ප්‍රශ්නය කුමක් වුවත්,දැනෙන පීඩනය කුමක් වුවත් විසඳුම ජීවිතය අත්හැරීම ද?

තමාගේ පමණක් නොව තවත් කෙනෙකුගේ ජීවිතයට හානි කරන්නට කිසිවකුටත් ඇති අයිතිය කුමක්ද?

මේ පිළිබඳ අදහස් දක්වන  මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජයබණ්ඩාර,

“අපි කාටත් ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒ ප්‍රශ්න එක්ක ජීවිතේ කඩාවැටීම්, කලකිරීම් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට ජීවත් වුණා ඇති, මැරුණා නම් හොඳයි වගේ සිතුවිලි එන්න පුළුවන්. එහෙම සිතුවිලි නැවත නැවත එනවා නම් එය කිසිවිටෙකවත් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එයින් ඇඟවෙන්නේ ඔබට උදව් අවශ්‍ය බවයි. ඔබට උදව් ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඔබේ පවුලේ වෛද්‍යවරයාට කතා කරන එක, කුඩා දරුවන් ඉන්නවා නම් පවුල් සෞඛ්‍ය සේවිකාවකට කතා කරන්න. කවුරුත් නැත්නම් ඔබට 1926ට කතා කරන්න මානසික සෞඛ්‍ය උපකාරක සේවයට. පැය 24ම ක්‍රියාත්මකයි. ඔබට උදව් ගන්න පුළුවන් තැනක් අපි හොයලා දෙන්නම්.”

මේ අතර අම්මාත් තාත්තාත් නැතිව තනිවුණු මේ පැටවුන් තිදෙනාගේ ජීවිතය රැකගන්නට ඥාතීන්ට දැන් දැඩි සටනක් ඇරඹීමට සිදුව තිබේ.

මල් කැකුළු තුනක් වැනි මේ දරුවන්ගේ ප්‍රතිකාර නිසි ලෙස සිදුකොට ඔවුන් රැකබලාගන්නට අත දෙන්නට ඔබ කැමතියි නම් මේ ඒ සඳහා අවස්ථාවයි.

වැඩි විස්තර – 0759356506

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක්…

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුවේ .

ඒ අනුව,

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක
කළුතර දිස්ත්‍රික්කය:
– ඉංගිරිය
– ⁠හොරණ

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠දෙහිඹ්විට
නුවර එළිය දිස්ත්‍රික්කය:
– කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
– රත්නපුර

හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානියෙකු CID අත්අඩංගුවට….

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

හේමසිරි හා පූජිත්ට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්…

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද (18) කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු දෙදෙනෙකුගේ තනතුරු පුරප්පාඩු වී තිබෙන බවය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ බවය.

ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ අනුව මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම දැනුම්දීම සටහන් කරගත් විනිසුරුවරයා මෙම නඩුව යළි ඔක්තෝම්බර් මස 23 වනදා කැඳවන ලෙස නියම කළේය.

2019 වසරේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

මීට පෙර මෙම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන විත්තිකරුවන් දෙදෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

පසුව එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල ගනු ලැබූ තීරණය නිවැරදි නොවන බව පැවසුවේය.

ඒ අනුව මෙම නඩුව යළි කැඳවා විත්තිවාචකය කැඳවා අලුතින් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කළේය.

ඒ අනුව නඩුව යළි කොළඹ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවා තිබේ.

ගිලන්රථයක් අනතුරකට ලක්වෙයි….

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදී අද (18) ගිලන්රථයක් අනතුරට ලක්වී තිබේ.

අදාළ ගිලන්රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූළික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ එහි සිටි රෝගීන් දෙදෙනා වෙනත් ගිලන්රථයකින් දික්ඔය මූලික රෝහල වෙත යොමු කළ බවය.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා නෝර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නෝර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාළගුණයත් සමග හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

තණමල්විල පාසල් දරුවන්ට රට දුම්වැටි විකිණූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට….

තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුන්ට විදේශයේ සිට ආනයනය කළ දුම්වැටි විකුණු බවට සැකපිට ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ රසයෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් විකිණීමට පාසල් සිසුවෙකුට ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත.

එක් දුම්වැටියක් රුපියල් 100ක මුදලකට එම සිසුවාට ලබා දී ඇති අතර, අදාළ පාසල් සිසුවා එම දුම්වැටි රු 200ක මුදලකට පාසලේ දී විකුණා තිබේ.

පාසලේම සිසුවෙකු විසින් විදුහල්පතිවරයාට සිදුකළ දැනුම්දීමකන් අනතුරුව දුම්වැටි විකුණන සිසුවා ගෙන්වා පරීක්ෂා කොට ඇති අතර, එහිදී සිසුවා සන්තකයේ තිබී විදේශිය දුම්වැටි දෙකක් හමුවී ඇත.

පසුව තණමල්විල පොලිස් පරීක්ෂකවරයාට කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ දුම්වැටි 690ක් හා දුම්වැටි විකුණා උපයාගත් රුපියල් 3,60000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්….

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැත්තිය ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.