අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂගෙන් පෙත්සමක්…..

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින අල්ලස් කොමිසමේ අධ්‍යක්වරයාට ලබන 2වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

සම්පත් මනම්පේරිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර…..

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සම්පත් මනම්පේරි නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) අවසර ලබා දී තිබේ.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගරගතව සිටියි.

අම්බලන්තොට ජල පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතී…

අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ, ජල පිරිපහදු කටයුතු මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබේ.

ඒ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන ආශ්‍රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වළවේ ගඟට මුසුව තිබීම හේතුවෙන් මීට දින කිහිපයක සිට වලවේ ගඟේ මසුන් මියගොස් ඇති බවට වාර්තා වීමත් සමඟය.

මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි පර්යේෂණයක් සිදුකරන තෙක් පිරිපහදුවේ පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දී තිබේ.

එමෙන්ම මෙම තත්ත්වය මත, පවතින පිරිපහදු කළ ජල ප්‍රමාණය අම්බලන්තොට ජල පිරිපහදුවෙන් ජලය සැපයෙන ප්‍රදේශයන්ට ලබාදීමට හැක්කේ තව පැය තුනක පමණ කාලයක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ  ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙනු ලබයි.

එසේ වුවද තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වුවහොත් නැවතත් ජල පිරිපහදු කටයුතු සිදුකිරීමටත් හැකි වනු ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

පවතින තත්ත්වය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ජනපති අමෙරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි….

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ.

ඊයේ (25) රාත්‍රියේ  ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇත.

ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්…..

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් සමහර ලේඛන මෙතෙක් පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බව පැවසුවේය.

සාධාරණ නඩු විභාගයකට මුහුණදීම සඳහා එම ලේඛන ඉතා වැදගත් බව ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛනවලින් බොහොමයක් මේ වන විටත් ඔවුන් වෙත ලබාදී තිබෙන බව පැවසුවේය.

මෙතෙක් ලැබී නොමැති බවට විත්තිය විසින් සඳහන් කරන ලේඛන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ලබාදිය හැකි ලේඛන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී විනිසුරුවරිය පැවසුවේ, විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් මීළඟ දිනට පෙර ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස  18 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

ඊට අමතරව මෙම නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මෙම නඩුවේ මුල් නඩු ගොනුව මෙතෙක් තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය එම වාර්තාව වහාම තම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

නවීන ආරක්ෂක ක්‍රමවේද සහිත වාහන අංක තහඩු නොවැ. 15 සිට….

නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 වනවිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (26) පාර්ලිමේන්තුවේ ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, මේ වනවිට අංක තහඩු නොමැති වාහන ප්‍රමාණයක් වෙළෙදපොළ තුළ පවතින බවය.

එමෙන්ම පෙර පැවති වෙළෙඳ සමාගම් මෙන්ම දේශපාලන ක්‍රියාවන්හි දූෂිතභාවය හා වගකීම් විරහිතභාවය නිසා මෝටර් රථ දෙපාර්තමේනතුව වසර 10ක් වැනි කාලයක් දියුණු නොවී පවතින බවද පැවසීය.

නව රියදුරු බලපත්‍රයක්ද සකස් කරන බවත්, අංක තහඩු නොමැති වාහන සඳහා එළැඔන සතියේ දී තාවකාලික විසදුම් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුර සඳහන් කළේය.

සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් සියයට 50ක් ඇත්ත -නියෝජ්‍ය ඇමති නාමල්….

සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් 50%ක සත්‍යතාවක් පවතින බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි..

අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේය.

ආහාර බෝගවලට හානිකරන සතුන් හඳුනා ගැනීමට සහ නිසි අධ්‍යනයක් සිදුකිරීම මෙන්ම ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිදුකරන ලද මෙම සත්ත්ව සංගණනය පසුගිය මාර්තු 15 දින දිවයින පුරා සිදුකෙරුණි.

එකම වේලාවකදී සිදුකර ඇති මෙම සංගණනයේදී වඳුරා, රිළවා, මොනරා, දඬුලේනා යන සතුන් පිළිබඳ සමීක්ෂණය සිදුකර ඇති අතර, ප්‍රතිඵල අනුව ජනතාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“ප්‍රතිඵල සත්‍යාපනයේදී තහවුරු වූයේ ප්‍රජාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බවයි. ඒ අනුව සමීක්ෂණයේ අදාළ අගයන්හි 50%ක අගය නිවැරදි අගය ලෙස සැලකීමට ආහාර බෝග වගාවන්ට සිදුවන සත්ත්ව හානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කරන ලදී.”

මෙම නිල වාර්තාවට අනුව රිළවා, වඳුරා, මොනරා, දඬුලේනා යන සතුන් සම්බන්ධ ප්‍රමාණයන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නට විය.

ඒ අනුව,

රිළවුන් – 5,197,517
වඳුරන් – 1,747,623
දඬුලේනුන් – 2,666,630
මොනරුන් – 4,285,745

තවද, මෙම සමීක්ෂණයට අදාළ සතුන් නොසිටීම හේතුවෙන් යාපනයේ ඩෙල්ෆ් දූපතට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක පමණ සංගණනය සිදුකර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තලාවේ අනතුරින් මියගිය ගණන ඉහළට…

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මීරිගම හංදිය ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.

තලාව මීරිගම හංදිය ආසන්නයේ මොරගොඩ ප්‍රදේශයේදී අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ වෑන් රථයක් අද (25) අලුයම මුහුණ මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරෙන් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු සහ ලොරි රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුළත් කෙරුණි.

එහිදි වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් අනෙක් පුද්ගලයින් තිදෙනාගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කරයි.

වෑන් රථය පෞද්ගලික ඇඟලුම් කම්හලකට අයත් වෑන් රථයක් වන අතර එය ජා ඇළ ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා ගමන්ගත් ගත් එකක් බව තලාව පොලීසිය සඳහන් කළේය.

මිය ගිය පුද්ගලයින් අතර වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, අනතුරට හේතුව වෑන් රථයේ රියදුරුට නින්ද යාම බවය.

අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අයිස් මත්ද්‍රව්‍ය බෙදූ කොළඹ මහ නගර සභාවේ කා.කා.ස අත්අඩංගුවට….

කොළඹ මහ නගර සභාවේ සේවකයින්ට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ එහි කාර්යාල කාර්ය සහයකයෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිය කාර්යාල කාමරය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සූක්ෂම ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කර නගර සභා සේවකයින්ට අලෙවි කර ඇති බව පොලීසිය පැවසීය.

කැම්බල් පිටිය ආසන්නයේ පිහිටි කොළඹ මහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලේ අදාළ සේවකයාගේ කාර්යාලය පිහිටා ඇති අතර ඔහු එහි රිය සහයකයෙකු වශයෙන් කටයුතු කර ඇත.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට පසුගිය 22 වනදා ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් විසි දහසකට අධික ප්‍රමාණයක් සොයාගත් බව සඳහන්ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇත.

සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

මර්වින්ගේ නඩුවක් විභාගයට දින දෙයි….

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින්  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

ඒ අනුව අදාළ නඩුවේ විභාගය නොවැම්බර් මස 17 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කර ඇත.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියට ලබා දුන්නේය

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නොවැම්බර් මස 17 වනදා විභාගයට ගැනීමට තීරණයම කළේය.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.