පාසල් ළමුන්ගෙන් මත්ද්‍රව්‍යට වැඩිපුර නැඹුරුවන්නේ බස්නාහිර පළාතෙන් බවට අනාවරණයක්…

මෙරට පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වන්නේ බස්නාහිර පළාත තුළ සිටින ළමුන් බවට අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, දෙහිවල, ගල්කිස්ස, හික්කඩුව ඇතුළු නගර රැසක අඩු ආදායම් ලාභි පවුල් ජීවත්වන ප්‍රදේශවල ළමුන් මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටී.

මීට අමතරව පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවන ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ද අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.

මිතුරන්ගේ බලපෑම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සදහා යොමුවීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස හඳුනාගෙන තිබේ.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති පාසල තුළ ක්‍රියාත්මක නොවීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් විදුහල්පති, කලාප අධ්‍යාපන කාර්යාල වැනි තැන්වල ඇති අඩු උනන්දුව යන කරුණු ද පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීමට හේතු වී ඇති බව හඳුනා ගෙන ඇත.

මීට අමතරව, පාරිසරික සාධක ලෙස බිඳුනු පවුල් පරිසරයන් තුළ ඇති ආතතිමය තත්ත්වයන්, දරුවන් නොසලකා හැරීම, පවුල හා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සුලභතාවය, දිළිඳු භාවය හා ඌණ පෝෂණය ඇතුළු කරුණු ද බලපාන බවට හඳුනාගෙන තිබේ.

පාසල් ළමුන් හා තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජාත්‍යන්තර ප්‍රමීතින් දේශීයකරණයට ලක්කර ධාරා 6ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව, පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, තාරුණ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවරණය අධ්‍යාපනය හා පුහුණුව, පවුල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, වැඩබිම් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, පාරිසරික පාදක මත්ද්‍රව්‍ය අධ්‍යාපන පුහුණුව හෙවත් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපන හා පුහුණුව යන ධාරා ඔස්සේ ඒවා ක්‍රියාත්මක වේ.

එමෙන්ම දැනට මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති දරුවන් වෙනුවෙන් අනාවරණ පරීක්ෂණ සිදුකිරීම, තක්සේරු පරීක්ෂණ සිදුකිරීම හා රෝග නිවාරණය සඳහා උපදේශනය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය හා පසු රැකවරණ සේවා මගින් අඛණ්ඩව අධ්‍යයනයට යොමුකිරීම ඉලක්ක කර ගනිමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවු පාසල් සිසුන් ඉන් මුදවා ගැනීම සම්බන්ධයෙන් ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ක්‍රියා කරන අතර ඒ සඳහා වූ පාසල් උපදේශක ගුරුවරු පුහුණු කර ඇත්තේ අනාවරණ පරික්ෂණයකින් අනතුරුව පියවර තුනක් ඔස්සේ ක්‍රියා කිරීමටය.

ඒ අනුව, අඩු අවදානමක් සහිත සිසුන් සඳහා උපදේශන හා මැදිහත්වීම් සිදු කිරීම පළමු පියවර ඔස්සේ සිදු කරනු ලැබේ.

දෙවන පියවර ඔස්සේ මැදි අවදානමක් සහිත සිසුන් හඳුනා ගැනීම සහ ඉහළ අවදානමක් සහිත සිසුන් හඳුනාගෙන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් වෙත යොමු කිරීම සිදු කර‍යි.

අවසන් පියවර ලෙස අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ යොවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ක්‍රියාවලියට ලක්කර නැවත පාසල් අධ්‍යාපනයට හෝ ඔවුන්ගේ කැමැත්ත පරිදි වෘත්තිය අධ්‍යාපනයට යොමුකරවීමට මාර්ගය සැලසීම සිදුකරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර වසරේ ජනවාරි මස පළමුවනදා සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව ළමුන් 206 දෙනෙකු පොලීසිය සිය භාරයට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඉන් ළමුන් 39 දෙනෙකු පරිවාස භාරයට පත්කර ඇති බවය.

ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීම  වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් පාසල් සහ ඊට අදාළ ආයතනයන්හි වැඩසටහන් 15,652ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

ආයතන 457ක නියෝජිතයින්ට කෝප් කමිටුවෙන් කැඳවීමක්…..

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළ සියලු ආයතන වෙත කෝප් කමිටුවෙන් කැඳවීමක් සිදුකර තිබේ.

ලබන ඔක්තෝබර් මස 02 වන දින මෙම කැඳවීම සිදුකර ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.

කෝප් කමිටුවේ සිදුවන කාර්යය භාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම කැඳවීම සිදුකර ඇත.

මේ වන විට පොදු ව්‍යාපාර පිළිබඳ කාරය සභාව හෙවත් කෝප් කමිටුවට රාජ්‍ය ව්‍යාපාර 457ක් අයත් වන අතර එම ආයතනවල ලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒ වායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලිකව තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඔක්තෝබර් මස 02 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ජනතාවට වග කියන සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමති කියයි…

ජනතාවගේ සුවතාවය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය භාර ගන්නා සේම ජනතාවට වගකියන සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.

රජයේ සුවපත් රටක් උදෙසා නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන 100ක් ජනගත කිරීමට නියමිත අතර ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ලෙසද නම් කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අතීතයේ පටන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග රැසක් පැවතිය බවත් එම අභියෝග ජයගෙන සුවතාවට පවත්වාගෙන යාමේ අභියෝගය ජය ගැනීමට කටයුතු කරන බවත්ය.

මේ සඳහා සියලු ප්‍රජාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය පවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයද ලබා දෙමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ජනතාවට පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබා දීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.

මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර සහන, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුප්ථාපන සේවා මෙන්ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමක සෞඛ්‍ය සත්කාර සේවා රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමටද නියමිත අතර ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මූලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේනික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන්ද ස්ථාපිත කිරීමට යෝජිතය.

 ගාල්ල – රවීන්ද්‍ර

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් තුවාල ලබා සිටි තවත් හිමිනමක් අපවත් වෙයි….

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ.

උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

ඒ අනුව මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම සිද්ධියෙන් තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

එම ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේය.

අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා 13 නමක් සිට ඇති බවත් වාර්තා විය.

අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු විදෙස් ජාතික හිමිවරුන් වූ අතර එම හිමිවරුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ හිමිවරුන් විය.

ඩක්කුව කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි භික්ෂුන් වහන්සේලා 13 නමකගෙන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබුණි.

නා උයන ආරණ්‍ය සෙනසුනේ අපවත් වූ හිමිවරුන්ගේ භූමදාන පූජෝත්සවය අද….

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී අනතුරකට ලක්වීමෙන් අපවත් වී වදාළ හිමිවරුන්ගේ දේහ පිළිබඳ භූමදාන පූජෝත්සවය අද (27) පස්වරුවේ සිදුකෙරේ.

භික්ෂූන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, සැදැහැවතුන් ඇතුළු විශාල පිරිසක්  ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ සිටී.

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩාවැටී හිමිවරු 07 නමක් පසුගිය 24 වැනිදා අපවත් වූහ.

පූජ්‍ය රුමේනියාවේ ධම්මරන්සි හිමි, පූජ්‍ය රුසියාවේ ධම්මරක්ඛිත හිමි, පූජ්‍ය ඉන්දියාවේ ධම්මගවේෂි හිමි, පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි සහ පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි යන භික්ෂූන් වහන්සේ මෙලෙස අපවත් වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ (26) රාත්‍රියේද, සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පෙරවරුවේද මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ අපවත් වූ භික්ෂූන් වහන්සේට අවසන් ගෞරව දැක්වූහ.

මේ අතර  අපවත් වී වදාළ ඉන්දියානු සහ රුමේනියානු හිමිවරුන්ගේ දේහ එම හිමිවරුගේ ඥාතීන්ගේ ඉල්ලීම මත මහ කොමසාරිස් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් එම රටවල් වෙත වැඩම කරවීමට නියමිතව ඇත.

රුසියානු ජාතික භික්ෂුවගේ අවසන් කටයුතු මෙරටදී සිදුකිරීමට උන්වහන්සේගේ පාර්ශ්වයෙන් කැමැත්ත පළකිරීමත් සමග එම දේහය ඊයේ රාත්‍රියේ ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කෙරුණි.

ඒ අනුව අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේ සිව්නමගේ සහ රුසියානු ජාතික භික්ෂුවගේ දේහය භූමදානය අද ප.ව. 4ට පන්සියගම සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

සුළං බලාගාරයෙන් උණුසුම් වූ මන්නාරම….

මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ (27) රාත්‍රියේ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් පලකර තිබේ.

සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් ජනතාව විරෝධතාවල නිරත වූ බව සදහන්ය.

කෙසේවෙතත් පොලිස් කැරලි මර්දන කණ්ඩායම් උපයෝගී කරනගනිමින් මන්නාරම නගරය වෙත සුළං බලාගාරට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගත් වාහන රැගෙන ඒම සිදුකළ බව සදහන් වෙයි

මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නතර කරන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැනීම නවත්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ මන්නාරම නගරය මධ්‍යයේ විරෝධතාවල නිරත විය.

කෙසේවෙතත් සුළං බලාගාරයට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග එම විරෝධතා උත්සන්න වූ අතර, උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.

එහිදී විරෝධතාකරුවන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, ජනතාව චෝදනා කරන්නේ පොලීසිය විසින් එම පහරදීම් සිදුකළ බවය.

සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලීසියෙන් සිදුකළ විමසීමේදී පැවසුවේ මන්නාරම නගරය වෙත සුළං බලාගාර ඉදිකිරීමේ උපකරණ රැගෙන එන අවස්ථාවේ ජනතාව පිරිසක් විරෝධතාවක් පැවැත්වූ බවය.

එහිදී පොලීසිය මැදිහත්ව තත්වය පාලනය කළ බවත්, කිසිදු අවස්ථාවක සිවිල් වැසියන්ට පහරදීමක් සිදු නොකළ බවත්ය.

මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගැටලුව වෙනුවෙන් මන්නාරම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පසුගිය අගෝස්තු 13 වැනිදා සාකච්ජාවක් ද පැවැත්වීය.

එහිදී මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් නැවත සළකාබලන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත්, අදාළ පොරොන්දු ඉටුකිරිමට කටයුතු නොකළ බවයි.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් වැසි සමයේ නගරයේ වැසි ජලය ගලාගෙන යාමට නොහැකි වන බවත්, ඒ හේතුවෙන් මන්නාරම නගරයේ බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව හටගන්නා බවත් විරෝධතාකරුවන් පැවසීය.

ජනපති අනුර හා ප්‍රංශ ජනපති අතර හමුවක්…

BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා නිව්යෝර්ක් හිදී පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබේ.

අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්වූ අවස්ථාවේදී මේ සඳහා සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුම මෙලෙස ‘BBNJ’ ලෙසින් හඳුන්වනු ලැබේ.

ඒ සඳහා රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන් රැසක් ඒ සඳහා එක්ව ඇත.

මෙම ගිවිසුමට එක් වූ 58වන සාමාජික රට ශ්‍රී ලංකාව වන අතර, 2025 සැප්තැම්බර් 16වනදා ඊට අදාළ ගිවිසුමට එළැඹ තිබේ.

ලෝකයේ සාගරවලින් 2/3ක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ.

මෙම ගිවිසුම 2026 ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් ගසක ගැටී බිහිසුණු අනතුරක්…

මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී තිබේ.

ඊයේ (26) රාත්‍රී 11ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

බදුල්ල ප්‍රදේශයේ පිරිසක් අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් 6ක් බදුල්ල රෝහලේ සහ තුවාලකරුවන් 5ක් මහියංගනය රෝහලේ ප්‍රතිකාර බලමින් සිටින බව වාර්තා වේ.

සහකාර පොලිස් අධිකාරි උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්….

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා ඉකුත් දා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරු සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මහතා ගොනුකර ඇති පෙතසම් තුළින් ඔවුන් සඳහන් කර සිටින්නේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරය උසස් කිරීම සඳහා පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ඉකුත් 25 වනදා 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කළ බවය.

මෙම විභාගයේදී ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත්, ඊට අමතරව අදාළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කළ බවත්, එය හිතාමතා කළ ක්‍රියාවක් බවත් පෙත්සමේ සඳහන්ව ඇත.

මීට පෙර අවස්ථාවලදී සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වය මත බව ඔවුන් සඳහන් කරයි.

එහෙත් මෙම විභාගයේදී කිසිදු වෘත්තිය සුදුසුකමක් ගැන නොසලකා ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස්වීම් ලබා දී ඇති බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් පවසයි.

මෙම විභාගයේදී විවිධ අකටයුතුකම් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පෙත්සමේ සදහන් වේ.

ඒ හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ විභාගයේ ප්‍රතිඵල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය සේවාවේ ප්‍රයෝජනයට ඩබල් කැබ් රථ 07ක්….

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07ක් ලබා දී තිබේ.

මෙම ඩබල් කැබ් රථයක මිල රුපියල් මිලියන 22ක් වන අතර අදාළ කැබ් රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෙඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබා දීමේ ඊයේ (25) සිදුව ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ වරල්ලගම සහ ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, කොළඹ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටත් අදාළ කැබ් රථ නිල වශයෙන් බාරදීම මෙහිදි සිදු කෙරිණි.

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල රෝග නිවාරණ සෞඛ්‍ය සේවා සඳහා කැබ් රථ 45ක් ලබා ගැනීමට කටයුතු සූදානම් කර තිබූ අතර 2022 ජනවාරි මාසයේදී ඉන් ඩබල් කැබ් රථ 38ක් මිලදී ගෙන එම කැබ් රථ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම වැඩපිළිවෙළේ මෑතකදී මිලදී ගත් ඉතිරි කැබ් රථ 07 මෙලෙස නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ලබා දීම සිදු කෙරිණි.