රුපියල් කෝටියකට වඩා මුදල් වංචා කළ හොර දොස්තර ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට…

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙකු සහ ඔහුගේ සහායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගුරුදෙණිය සහ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31,33 සහ 38 වියැති පුද්ගලයන්  තිදෙනෙකු බව පොලීසිය පැවසීය.

දිවයිනේ පොලිස් ස්ථාන රැසකට ලද පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් සැලකිල්ලට ගෙන කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා මහතා ඇතුළු නිලධාරීන් මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ පෞද්ගලික පරිගණක විකුණුම් ආයතනයකින් වංචනික ලෙස මෙම කණ්ඩායම මුදල් ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත සහ කළුතර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඔහුගේ නම භාවිතා කරමින් මොවුන් කළුතර ප්‍රදේශයේ විවිධ ආයතනවලින් මුදල් එකතු කිරීම් සිදුකර ඇති බවටත් ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.

ඒ අනුව කළුතර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී මහත්මියගේ උපදෙස් පරිදි සැකකරුවන්ගේ දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන සිදුකළ විමර්ශනවලින් පසු අත්අඩංගුවට ගෙන ඔවුන් සන්තකයේ මෙම ජාවාරම් සඳහා භාවිතා කරන ලද  බැංකු පාස් පොත් 5ක්, ඒ ටී එම් කාඩ්පත් 6ක් සහ නීත්‍යනුකූල නොවන වායු රයිෆලයක්ද පොලිස් භාරයට ගත්බව වැටලීමට එක්වූ නිලධාරියෙක් පැවසීය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීම නියමිතය.

විජිත සහ ජයිශංකර් අතර හමුවක්….

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී තිබේ.

ඒ, එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ය.

අමාත්‍ය විජිත හේරත් මහතා ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තමබින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්වී සිටී.

ඒ අනුව අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් අතර හමුවක්ද සිදුවී තිබේ.

එහිදී ද ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

අකුරට වැඩකිරීමේ විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයි…..

ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, අද දහවල් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු වෘත්ති සමිති එක්ව අවසන් තීරණයක් ගන්නා බවය.

‘සපුමල්’ ට වෙඩි තියලා – තුවාල බරපතළයි…..

හුරුලු පාරිසරික උද්‍යානය සහ මින්නේරිය ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගෙන සිටින ‘සපුමල්’ ලෙස හඳුන්වනු ලබන ඇතාට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

කවුඩුල්ල ජාතික උද්‍යානයේ සෆාරි ජිප් රියදුරන් මේ බව දැක ඇති බව ද සඳහන්ය.

වයස අවුරුදු 25ක් පමණ වන මෙම ඇතාගේ විශේෂත්වය වන්නේ, දළ අඩි දෙකක හමාරක් පමණ දිගට වැඩි ඇති බවය.

වනෝද්‍යාන තුනක සැරිසරන මෙම හස්තියාගේ ඉදිරි දකුණු පාදයට වෙඩි දෙකක් පමණ තබා ඇති අතර, දණහිසෙන් පහළ කොටසට වෙඩි වැදී ඇති තුවාලවලින් සැරව ගලමින් පවතින බව ඇතාව දුටු සංචාරකයින් පවසයි.

ඉක්මනින් ඇතාට ප්‍රතිකාර කළ යුතු බවත් ඇතා ඉතා බරපතළ තත්ත්වයෙන් සිටින බවත් වාර්තා වේ.

වෙඩි වැදී සිටින ඇතා කොරගසමින් කවුඩුල්ල වැව් තාවුල්ලේ ගමන් කරන අයුරු ඊයේ (22) එහි ගිය සංචාරකයින් පිරිසක් විසින් පටිගත කර තිබුණි.

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප…

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව මහ නගරසභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව සැකකරු රුපියල් 50,000/- මුදල් ඇපයක හා ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා මොරටුව මහ නගරසභාවට ඇතුල්වීම වළක්වාලමින් නියෝගයක් ද නිකුත් කර ඇත.

මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගරසභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112 කට අදාළ ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ…..

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව ඒ බව දැනුම් දී ඇත.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 21 වනදා නිකුත් කෙරුණි.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා අත්සන් තබා ඇත.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.

වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කෙරේ….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන් තිදෙනෙක්ද එම සංචාරයට එක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙලෙස එක් වැඩබලන අමාත්‍යවරයෙක් පත් කරනු ලැබ ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද පත් කර තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනට සමුදෙයි….

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය.

මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු අතර, ඔහු දෙදරු පියෙකි.

නලීන් ප්‍රදීප් උඩවෙල මහතා, වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් දක්ෂ කලාකරුවෙකි.

අ.ඩො.බිලියනයක වන්දිය ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම ප්‍රතික්ෂේප කරයි….

2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම   X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය (AFP) සමග පැවති සංවාදයකදී එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් පවසා ඇත්තේ, මෙම වන්දිය ගෙවීමක් කළහොත් එයින් පවතීන සමුද්‍රීය සම්මුතීන්ට දැඩි බලපෑමක් ඇති කරන බවය.

එමෙන්ම සමුද්‍රීය වෙළෙඳාම්, නැව්ගත කිරීම් සහ ප්‍රවාහනය යන කටයුතුවලදී සිදුවන අනතුරු සඳහා සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව වන්දි ගෙවීම් සිදුකරණ නමුත් මෙම වන්දි ඉල්ලීම අදාළ සීමාවන් පැන ඇති බව ඔහු සංවාදයේදී පවසා ඇත.

මෙම ගෙවීම සිදුකළහොත් එය අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයන බවද ඔහු එහිදි පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, සිදු වූ හානීය සම්බන්ධයෙන් කනගාටු වන අතර මෙම අනතුර වෙනුවෙන් වන්දි ගෙවීම කිසිවිටෙකත් පැහැරහැරීමක් සිදුනොකර නමුත් එම වන්දි ගෙවීම් සිදුකරන්නේ අදාළ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීම් මුදලක් ගණනය කිරීමෙන් පසුව බවය.

පසුගිය ජූලි මස 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු වූ හානිය වෙනුවෙන් අදාළ නෞකා සමාගමට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසට නියම කර තිබුණි.

එමෙන්ම පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවිය යුතුය බවත් අධිකරණය නියම කළ හැකි පරිදි අනාගතයේදී “වෙනත් සහ තවත් ගෙවීම්” කිරීමටද එය සමාගමට නියෝග කර ඇති බව සඳහන් වේ.

එම වන්දි මුදල් මෙරට භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් ය.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා  තිබූ ‘එම්.වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ 2021 මැයි මස 20වන දාය.

නෞකාව දිගින් මීටර් 186ක් සහ පළලින් මීටර 34කි.

නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යෑම  ආරම්භ කළත් එය ගෙන යා හැකි වූයේ මීටර 500ක දුරකට පමණි.

නෞකාවේ පිටුපස කොටස ක්‍රමයෙන් මුහුදු ජලයෙන් යටවීම නිසා අතරමග එම උත්සාහය අත්හැර දැමුණි.

සායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන අඩංගු බහාලුම් 1,486ක් මේ නෞකාවේ ප්‍රවාහනය කෙරෙමින් පැවති අතර නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25, ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 78ක් ඊට ඇතුළත් විය.

විදුලි සේවක වෘත්තීය සමිති අවසන් තීන්දුව බදාදා….

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති මේ වන විට ආරම්භ කර ඇති ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව එළැඹෙන බදාදා දක්වා සිදුකිරීමට තීරණය කර තිබේ.

අද (22) පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා ඒ බව සඳහන් කළේය.

ඔවුන් පවසා සිටියේ, සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් ලබන 24 වන දින ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්න්ධයෙන් තීරණයකට එළැඹෙන බවය.

“24 වනදා දහවල් නැවතත් වෘත්තීය සමිති 25 රැස්වෙලා මේ දින දෙකෙහි යහපත් සාකච්ඡාවක් නැත්නම් අපි අනිවාර්යෙන්ම අන්තිම අදියරය වන වැඩවර්ජන තීන්දුවක් අපි අනිවාර්යෙන්ම බදාදාට ගැනීමට නියමිතයි. ඒක දිනක වැඩවර්ජනයක්ද, සංඛේත වැඩවර්ජනයක්ද, අඛණ්ඩ වැඩවර්ජනයක්ද කියන එක අපි පැහැදිලිව බදාදා දින ප්‍රකාශය කරනවා.”