ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….

ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත පිළිගන්වා තිබේ.

විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අමාත්‍යවරයාගේ නිර්දේශයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව මගින් සකසන ලද ප්‍රතිපත්ති කෙටුම්පත මෙලෙස බලශක්ති අමාත්‍යවරයා වෙත පිළිගන්වා ඇති බව සඳහන්ය.

2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර තිබේ.

ඉදිරියේදී මෙම ප්‍රතිපත්ති කෙටුම්පත මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියකටද යොමු කිරීමට සැලසුම් කර අතර ඉන් පසුව ජාතික විදුලි ප්‍රතිපත්තිය ලෙස සම්මත කර ගැනීමට නියමිතය.

ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

එමෙන්ම එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…

ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ මංගල අයවැය අද (16) පරාජයට පත්විය.

ඒ වැඩි ඡන්ද 01කින් වත අතර එහිදී පක්ෂව ඡන්ද 16ක් සහ විපක්ෂව ඡන්ද 17ක් හිමිවිය.

බළපිටිය ප්‍රාදේශීය සභාව අද අනුරුද්ධ මහවැලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු ද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 18 දෙනෙකු ඇතුළත්ව මන්ත්‍රීවරු 34ක් බලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරති.

ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරාගනු ලැබුවේ කුසපත් ඇදිමෙන් වන අතර ඉන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අනුරුද්ධ මහවැලි මහතා තේරි පත්විය.

ඒ අනුව බළපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා මංගල අයවැය අද සභාපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පක්ෂවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විපක්ෂවද සිය ඡන්දය භාවිත කළේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තේරි පත්වූ මන්ත්‍රීවරයා අද දින සභාවාරය සඳහා පැමිණ නොතිබුණි.

ඒ අනුව බළපිටිය ප්‍රාදේශීය සභාව සඳහා එළැඹෙන 2026 වසර සඳහා ඉදිරිපත් කළ මංගල අයවැය අද වැඩි ඡන්ද 01කින් පරාජයට පත්විය.

අම්බලංගොඩ –  අනුරාධ

රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්…..

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලදාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් සිදුවූවාද යන්න පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ෂණයක් ක්‍රියාත්මක බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පාර්ශ්වවලින් පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ අවස්ථාවේදී රාජකාරි පැහැර හැර ඇති බවට එල්ල වන චෝදනා හමුවේ මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව අදාළ විමර්ශන සම්බන්ධයෙන්ද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ වෙනකොට ඔබ දන්නවා ඇති සමහර පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ නිසා පොලීසිය පැත්තෙන් අඩුපාඩුකමක් සිදුවුණා කියලා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් වූවාද කියන එක සම්බන්ධයෙන් විමර්ෂනයකුත් සිදු කෙරමින් පවතිනවා. මේ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් වෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් තීන්දුව බලාගන්න පුළුවන්.” 

අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිව ඩිජිටලර්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනා ගෙන තිබුණි.

එම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය හඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වාදී සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ e-CMS පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහා ද අනුවර්තනය කර යොදා ගැනීම e-Court ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන අතර එමගින් ජාතික අධිකරණ දත්ත ජාලයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇත.

මෙමගින් මෙරට දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමය අකාර්යක්ෂමතා මගහැරවීමට හැකි වනු ඇති බවත් අපේකෂා කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා ක්ලීන් ශ්‍රී ලංකා උපාය මාර්ග සමග අනුකූල වෙමින් e-Court ව්‍යාපෘතිය ඵලදායිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදනවලින් e-Court ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්….

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළැඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාන්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අදාළ ගිවිසුම් පහතින් දැක්වේ.

* තීරයක් සහ මාවතක් සඳහා වන ජාතික හා ජාත්‍යන්තර විද්‍යා සංවිධාන සන්ධානය (Allisnce of National and International Science Organizations for the Belt and Road Regions ANSO) පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර දේශගුණික විපර්යාස හා පරිසර දුෂණය පිළිබඳ ජංත්‍යන්තර ජල සමුළුව පැවැත්වීමට අදාළව වන ව්‍යාපෘති ගිවිසුම.

* පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ චීනයේ හ්‍යුක් චීන විශ්වවිද්‍යාලය අතර මනුෂ්‍ය හා සත්ත්ව ප්‍රජාව තුළක්, පරිසරයේක් MRSA. රෝගය (Methicillin Resistant Stiplylococcus Aureus) සම්ප්‍රේෂණය වීම පිළිබඳව් හා ඒවායේ ක්ෂුද්‍රජීවී නායක හා *ස්ව නාශක ප්‍රතිරෝධිය පැහැදිලි කර ගැනීම ඔහ නමය විවිධත්වය අධ්‍යයනය කිරීම අරමුණු කර ගනිමින්, පර්යේෂණ සහයෝගිතා ගිවිසුම් (Research Collaboration Agreement) සහ ද්‍රව්‍ය හුවමාරු ගිවිසුම් (Materiall Transfer Agreement).

*කැලණිය විශ්වවිද්‍යාලය සහ පාෂායේ – කීහෝ තොරතුරු විද්‍යා උපාධි අධ්‍යයන විද්‍යාලය අතර අධ්‍යයන් සහයෝගිතාව ඉහළ නැංවීම්, පීඨ හා සිසුන් අතර අධ්‍යාපන, වෘත්තීය හා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් මිත්‍රත්වය ඉහළ නැංවීම සහ ඒකාබද්ධ පර්යේෂණ, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම්.

* වව්නියා විශ්වවිද්‍යාලය සහ මැඩ්‍රාස් ඉන්දියානු තාක්ෂණ ආයතනය අතර අනෝන්‍ය එඟකතාව සහිත කේෂ්ත්‍රවල අධ්‍යයන හා පර්යේෂණ සහයෝගීතාව ඇති කර ගැනීම, අධ්‍යයන තොරතුරු සහ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම, සිසුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩල හුවමාරු සහ ඒකාබද්ධ සම්මන්ත්‍රණ, වැඩමුළු සඳහා අනුග්‍රහය ලබාදීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.

* ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලය සහ වව්නියා විශ්වවිද්‍යාල අතර ආරාධිත මහාචාර්යවරුන්ගේ සේවය කොන්ත්‍රාත් පදනම මත වව්නියා විශ්වවිද්‍යාලය වෙත ලබාගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….

වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිව තිබේ.

2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 6,000ක පමණ අරමුදල් භාවිත කරමින් වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී මිලට ගත් වී තොග මේ වනවිට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ගබඩා කර ඇති බව රජය පවසයි.

ඒ අනුව, වෙළෙඳපොළ තුළ අඛණ්ඩ සහල් සැපයුමක් තහවුරු කිරීම සඳහා එම වී තොග, 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මඟින් සහල් කර, ලක් සතොස සහ සමූපකාර ජාලය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….

ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම අද (15) රාත්‍රියේ දී මෙරටින් නියමිත බව වාර්තා වෙයි.

ඔවුන් පසුගිය 03වන දා මෙරටට පැමිණි තිබුණි.

සති දෙකකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටිමින් මෙම කණ්ඩායම හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිතකල තාවකාලික විශේෂ ක්ෂේත්‍ර රෝහලක සිට හලාවත සහ තදාසන්න ප්‍රදේශවල විශාල ජනතාවකට සුව සත්කාර සේවා සපයනු ලැබීය.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන්, රසායනාගාර විශේෂඥයින්, විකිරණවේදීන්, සැපයුම්කරුවන්, සම්භන්ධීකරණ නිලධාරීන් ඇතුළුව සෞඛ්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු මෙම ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමට ඇතුළත්ය.

මේ අතර ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමේ ප්‍රධානීන් ඇතුළු කණ්ඩායමක් අද (15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම අමාත්‍යාංශයේ මුණගැසිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී අදහස් දක්වමින් මෙරට ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහන සත්කාර සිදුකිරීම සඳජහා පැමිණි පළමු හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම මෙම කණ්ඩායම වන බවත් ඔවුන් විසින් විශිෂ්ට සුව සේවාවක් ලබා දුන්බව ද පැවසීය.

දින දහයකට අධික කාලයක් මෙරට රැඳී සිට ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිකාර සේවාවන් සිදුකිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළුව රජයේ කෘතවේදීත්වය ජපන් රජයටත් එහි ජනතාවටත් පලකරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් මෙහි දී පැවසීය.

ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී IWASE KIICHIRO මහතා ද මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් විශිෂ්ට නායකත්වයත්, සහයෝගයත් ශ්‍රී ලංකාවේ ආපදාවන්ට ලක්ව සිටි ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම දීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට බෙහෙවින් ඉවහල් වු බවත්, ඒ වෙනුවෙන් තම කණ්ඩායමේ කෘතඥතාවය පළකරන බව ද පැවසීය.

එමෙන්ම  ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තව තවත් වර්ධනය වීමේ ප්‍රථිපලයක් ලෙස තමන් මෙම වැඩපිළිවෙල දකින බවත් පැවසීය.

අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ…..

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීම පිළිබඳව උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කර තිබේ.

අභියාචනාධිකරණය නියම කළේ පෙබරවාරි මස 24 වනදා දක්වා එම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන බවයි.

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස නියම කළ විනිසුරු මඩුල්ල ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරිම 30 වන දා ගොනුකරන ලෙසත් පාර්ෂවකරුවන්ට නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 22 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රුවන්ත කුරේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම කරුණට අදාළව නිකුත් කර තිබෙන තහනම් නියෝගය මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ අතුරු තහනම් නියෝගය ලබන 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස නියෝග කළේය.

මෙම පෙත්සමින් වග උත්තරකරුවන් ලෙස ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න, ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා, මහනුවර දිසා ලේකම්වරයා සහ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කර තිබුණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පවත්වාගෙන යන ඉඩම සඳහා ලබා දී තිබෙන බලපත්‍රය අවලංගු කරන ලෙස වග උත්තරකරකාර උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ද්වේෂ සහගත ලෙස ක්‍රියා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවයි.

තමන් කිසිදු ආකාරයක කොන්දේසි උල්ලංඝනය කිරීමක් හෝ නීති විරෝධී ක්‍රියාවක නිරත වී නොමැති බවත් ඒ අනුව වග උත්තරකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවේ -අධ්‍යාපන ලේකම්….

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

පළාත් බලධාරීන් විසින් මේ බව දැනුම්දී ඇතැයි ද පැවසු නාලක කළුවැව මහතා, පළාත් 6ක පාසල් හෙට දිනයේ සම්පූර්ණ වශයෙන් විවෘත වන බවද කියා සිටියේය.

හෙට දින ආරම්භ වන පළාත් වන්නේ බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද යි.

ඌව පළාතේ පාසල් 524ක්, මධ්‍යම පළාතේ 111ක් සහ වයඹ පළාතේ පාසල් 5ක් එලෙස හෙට දිනයේ විවෘත නොවෙනු ඇත.