ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා…

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ගෘහස්ථ රැකවරණ, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇතුළු අංශයන්හි රැකියා සඳහා බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට වරින් වර අත්සන් තබා තිබුණි.

එම ගිවිසුම් යටතේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවාගැනීමට ඊශ්‍රායලය නිල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

ඒ අනුව, එම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට හැකි වන පරිදි ගනු ලැබ ඇති පියවර සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක්….

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ඒ බව අද නිවේදනය කර ඇත.

මෙම සහනාධාරය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවට අයත් ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් ලබාදීමට නියමිතය.

මෙම තීරණය සම්බන්ධයෙන් X ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජනතාවට චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළ කරන “ආදරය සහ සැලකිල්ල” මෙය මගින් ප්‍රකාශ වන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

ව්‍යවස්ථාදායක සභාව සීමාව ඉක්මවා ගිහින් – ඇමති නලින්ද….

විගණකාධිපතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව පටු අරමුණු මත රැඳෙමින් තම සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

දැනට මාස කිහිපයක සිට විගණකාධිපති ධුරය හිස්ව පැවතීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ව්‍යවස්ථාවේ පවතින ජනාධිපතිවරයාට හිමි බලතල අනුව ව්‍යවස්ථාවේ පවතින විගණකාධිපතිවරයෙකු පත් කිරීමේ සුදුසුකම් සහිත පුද්ගලයින් අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“කාටවත් මේක අභියෝගයට ලක් කරන්න බැහැ. ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සුදුසුකම් ලැබිය හැකි අය තමයි ජනාධිපතිවරයා මේ නම් කරලා යවලා තියෙන්නේ. මේ සියලුදෙනාම චාටඩ් එකවුන්ටන්ලා. ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී ඉදිරිපත් කළා.. ස්ථීර විගණකාධිපතිවරයෙක් සඳහා නාමයෝජනා දෙකක්.”

“මේ සියලුදෙනාම සුදුසුකම් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඉල්ලා සිටින නිර්ණායකවලට සුදුසු පුද්ගලයින්. ඒ වගේම තවත් නම් 2ක් ඉදිරිපත් කළා.. විගණන දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න ජ්‍යේෂ්ඨතම විගණන නිලධාරීන්.”

“මෙලෙස නම් ඉදිරිපත කරලා තිබියදීත් ව්‍යවස්ථාදායක සභාව ඒ අනුව කටයුතු නොකරනවා නම් ඉන් පෙන්නුම් කරන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය හෝ රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න හිතාමතාම ඔවුන් කටයුතු කරනවා කියන එක.”

“ව්‍යවස්ථාදායක සභාවට අයිතියක් නැහැ..එවන නම් ව්‍යවස්ථාවේ ආකාරයට සුදුසු නම්, ඒ ඕනම කෙනෙක් විගණකාධිපති ධුරයට ගැලපෙනවා නම්, ඊට වඩා සුදුසු කෙනෙක් එළියේ ඉන්නවා යැයි පවසා ඒ නම් ප්‍රතික්ෂේප කරන්න.” 

“ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලයක් තිබෙනවා. ඒ අනුව තමයි ජනාධිපතිවරයා මෙතෙක් වැඩ කළේ. ඒ අනුව ඉදිරියටත් වැඩකටයුතු කරයි. ව්‍යවස්ථාදායක සභාවට අපි කියන්නේ ඔබට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කරන්න. රට ඉදිරියට ගෙනයෑම ගැන සිතා කටයුතු කරන්න. ඔබගේ පටු සීමාවන් ඇතුළේ කටයුතු කිරීම සුදුසු නැහැ.”

එජාප සහ සජබ අතර සාකච්ඡාවක්…..

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හමුවක් සිදුව තිබේ.

අද (30) දහවල් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටියහ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඒහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට එක්ව සිටියහ.

මෙය තීරණාත්මක මට්ටමේ දේශපාලන සාකච්ඡාවක් නොවුවද පක්ෂවල පාක්ෂිකයින් හා සැලකීමේදී අදාළ සාකච්ඡාව ඉතා වැදගත් සාකච්ඡාවක් බව සඳහන් වේ.

පැය කිහිපයක් පුරා ඉතා සුහදව මෙම සාකච්ඡාව පැවති අතර තවදුරටත් අදාළ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර ඇති බවද සඳහන් වේ.

මේ අතර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් හෙට (31) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට නියමිතව තිබේ.

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක යළි ක්‍රියාත්මක කිරීම ජනවාරියේ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරන ජනන යන්ත්‍ර 2ක ජනවාරි මස 14 වනදා සහ ජනවාරි 18 වනදා ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට නියමිතව තිබේ.

විදුලි බල මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ, අංක 2 ‘B’ ජනන යන්ත්‍රය 2026 ජනවාරි මස 14 වන දින ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතික බවය.

වර්තමානය වන විට අදාළ  ජනක යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් අදියරෙහි පවතින අතර එහි නියමිත තත්ත්ව පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව විදුලි බල මණ්ඩල සඳහන් කරයි.

මේ අතර ජනක යන්ත්‍ර අංක 1 ට අයත් බොයිලේරුවේ හදිසියේ ඇතිවූ දෝෂයක් නිසා එම යන්ත්‍රයද, 2025 දෙසැම්බර් මස 20 දින ආරක්ෂිතව නවතා දැමීමට සිදුවිය.

දැනට, එහි වූ දෝෂයන් නිවැරදි කිරීමේ නඩත්තු කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර එම යන්ත්‍රයද යථාවත් කර 2026 ජනවාරි මස 18 පමණ වන විට ජාතික පද්ධතිය හා එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුව බව සඳහන්ය.

කෙසේ වුවද අඛණ්ඩව විදුලිය සැපයීමට එය බාධාවක් නොවන බව ‍දන්වා සි‍ටින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු යෙදුමක් – පරීක්ෂණයක් ආරම්භ කෙරේ…

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය මේ වන විට මුද්‍රණය අවසන් කර ඇත.

එබැවින් එම මොඩියුලය බෙදාහැරීම අත්හිටවනු ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ පිළිබඳව හෙට දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලික්ද සිදුකිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ඇමති ඩලස්ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක්….

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026 වසරට පමණක් අදාළ වනසේ 12% දක්වා තාවකාලිකව අඩු කරන ලෙස හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

හිටපු අමාත්‍යවරයා පසුගිය 24 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ බව ඉල්ලීම් කර ඇත.

ශ්‍රී ලාංකීය දරුවන්ගේ අනාගතය පිළිබඳ පොදු ප්‍රමුඛතාවය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් සේ සලකා පවතින තීරුබදු මට්ටම වසරක කාලයක් සඳහා තාවකාලිකව අඩු කරන ලෙස මෙලෙස ඉල්ලා තිබේ.

එමෙන්ම ආපදා අවස්ථාවේදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව හිටපු අමාත්‍ය අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් කෘතඥතාවයද පළ කර ඇත.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට යැවූ සම්පූර්ණ ලිපිය පහතින්,1 (1)

ආපදාවෙන් පීඩා වූ පවුල්වලින් 87%කට රු. 25,000 දීමනාව ලබාදී අවසන්…..

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව රුපියල් විසි පන්දහසක දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූවන්ගෙන් සියයට 87කට වැඩි පවුල් ප්‍රමාණයකට දැනටමත් දීමනා ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දීමනා ගෙවීම් කිහිපයක් නිම කිරීමට බලාපොරොත්තු වන බවය.

දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවටපත්වූවන් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදය යටතේ රුපියල් 25,000ක (විසි පන්දහසක) දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ පවුල් 450,225ක ප්‍රමාණයෙන් 87.4%ක පිරිසකට එම මුදල ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එමෙන්ම රුපියල් 50,000ක දීමනාව සඳහා සුදුසුකම්ලබා ඇති පවුල් 153,593ක ප්‍රමාණයෙන් 8.63%ක් සඳහා අදාළ දීමනාව ගෙවා අවසන්ය.

එසේම පීඩාවටපත් පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 15,000ක දීමනාව
ලබාගැනීමට සුදුසුකම් ලැබූ දරුවන් 216,142ක ප්‍රමාණයෙන් 14.9%ක ප්‍රමාණයක් සඳහා එම දීමනාව ලබාදීමට හැකිවී ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

කොහුවල වෙඩි තැබීමක්…..

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බෝධියවත්ත ප්‍රදේශයේදී නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

අදාළ වෙඩිතැබීමෙන් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ වෙඩිතැබීම සිදුකළ නිවසට යාබද නිවස බව වාර්තා වෙයි.

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා සාර්ථක පල නෙලා ගැනීමට සැබවින්ම අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරු සහ ගුරුවරු සමග ප්‍රමාණාත්මක ලෙස සාකච්ඡාවක් සිදු කර නම්‍යශීලී ලෙස කටයුතු කළ යුතු බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්  නිමල් මුදුන්කොටුව මහතා පවසයි.

එසේ සාකච්ඡාවන් සිදු නොකර ජනවාරි 5වනදා සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ජනවාරි 5වනදාට ප්‍රථම මේ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.

එමෙන්ම 6 ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම හරහා අනෙක් පංති 5 තුළ සහ උසස් පෙළ පංති තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බවත් මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට නම් අධ්‍යාපන වෘත්තීය සමිති සහ ප්‍රාමාණිකයින් සමග සාකච්ඡා කළ යුතු බවත් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.

ලෝක බැංකුව හා ආසියා බැංකුව සමග සාකච්ඡා සිදු කිරීම හරහා මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැල කළ නොහැකි බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ නම් ඊට කලින් සිදු කළ යුතු ක්‍රියාදාමයන් ඇති බවත් ඒවා අනුගමනය නොකොට අවසානයට කළ යුතුව ඇති ප්‍රතිසංස්කරණ මුලින්ම සිදු කිරීමට යාම හරහා මෙය සාර්ථක කර ගැනීමට නොහැකි බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

ඔහු පැවසුවේ පාසල පස්වරු 2.00 දක්වා පැවැත්වීම හා කාලච්ඡේද මිනිත්තු 50 දක්වා දීර්ඝ කිරීම අසාර්ථක බවත් එය වහාම හකුලා ගැනීමට කටයුතු කළ යුතු බවත් ය.

ජනවාරි 5වනදා පාසල් ආරම්භ කිරීමත් සමග 6 ශ්‍රේණියට සහ ජනවාරි අග භාගයේ දී 1 ශ්‍රේණියට බදවා ගන්නා සිසුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද මේ වන විට එය බරපතළ ගැටලුවක් වී ඇති බව ද ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම අනෙක් ශ්‍රේණි සඳහා පාසල් කාල සටහන් සකස් කළ යුතු බවට පැවසුවද එය මේ වන විට සිව් වතාවක් චක්‍රලේක මගින් වෙනස් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කලින් වර්ෂවලදී පාසල් කාලසටහන මේ වන විට අනුමත කරගෙන අවසන් බවද නමුත් මෙම වසරේ තවමත් එම අනුමැතිය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය සහයෝහය ලබා දී නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියේය.

නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේ එය විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ගැටලුවක් වී ඇති බවත් එමෙන්ම කාලසටහන අනුමත කිරීමට අවශ්‍ය උපදෙස් කලාප කාර්යාලවලට හා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලවලට ලබා දී නොමැති බවත් ය.

මිනිත්තු 40 කාලච්ඡේදයකට සෑදු විෂය නිර්දේශයක් මිනිත්තු 50ක කාලච්ඡේදයකට අනුව සිදු කිරීම ගැටලුවක් වන බවත් එය සිදු කරන ආකාරය පිළිබඳව මේ වන තෙක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කිසිඳු දැනුම් දීමක් සිදු කර නොමැති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

එමෙන්ම ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩුයුල එකක්වත් කිසිදු පාසලකට මේ වන තෙක් ලැබී නොමැති අතර ජනවාරි 5වනදා පාසල් ආරම්භ කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ කෙලෙස ද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බව ද ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.