හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී…..

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව දැනුම් දී තිබේ.

2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබඳ හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුවත් කිරීම කර ඇත.

ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීම සිදු කර ඇත.

එලෙසම, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර, අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති අතර නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්, අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය සහය දැක්වීම සහ අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කර ඇති බව දැනුම් දෙයි.

දැනටමත් විමර්ශන කටයුතු සිදුවන බැවින්, එම කටයුතු වලට බාධාවක් නොවන සේ, මේ පිළිබඳව යාවත්කාලීන තොරතුරු, සුදුසු ඉදිරි අවස්ථාවක දී ලබා දීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

1 (1)

පාස්කු ප්‍රහාරයට අදට වසර 7ක්…..

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ.

ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, අද පෙරවරුවේ සෑම දෙව්මැදුරකම ප්‍රහාරයේ වින්දිතයින් සැමරීම වෙනුවෙන් මෙම සැමරීම් සිදුකිරීමට නියමිත බවය.

ඒ අනුව මළවුන්ගේ සීනුව නාදකිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවය, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම, යාඤා මෙහෙය සිදුකිරීම සෑම දෙව්මැදුරකම අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙය පැවැත්වීමට නියමිතය.

ඒ අනුව එම දේවස්ථානය අවට විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඊට සමගාමීව අද උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයේදී ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.

මේ අතර යැදුම් පා ගමන මීගමුව මාරිස්ටෙලා ක්‍රිඩාංගණයෙන් අද පස්වරු 4ට රදගුරු හිමිපානන් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි පූජක පිරිස සමඟ ගමන් ආරම්භ කර කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මෙරට මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන සබඳතා පැවැත්වූ ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට….

මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන ඉන්ධන නෞකාවක් අමෙරිකානු භාරයට ගෙන තිබේ.

ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

එමෙන්ම මැරීන් ට්‍රැෆික් හී දත්ත වාර්තා අනුව ටොන් ලක්ෂ 3කට ආසන්න ධාරිතාවක් ඇති බොරතෙල් නෞකාවක් බවත් මෙම නෞකාවට එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇති බවත් වාර්තා විය.

මෙම නෞකාව ඉන්දියානු නැව් සමාමගමකට සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේයට.

මෙම නෞකාව අප්‍රේල් 10 වන දින ගල්ෆ් කලාපයෙන් පිටව ගොස් අප්‍රේල් 18 වන දින මෙරට ගාලු වරායට ආසන්නව කෙටි කාලයක් නතර කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්….

දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙසත්, පළාත් සභා වෙත මේ වන විට සියලු ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අපදා හානි සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පළාත් මටටමින් සොයා බලන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පැවසුවේ Rebuilding Sri Lanka වැඩසටහනේ ක්‍රියාකාරකම් කඩිනම් කිරීම වෙනුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (21) පැවති සාකච්ඡාවේදීය.

අපදා සහන සහ වන්දි ලබාදීම් කඩිනම් කිරීමත්, අපදාවෙන් යටිතල පහසුකම්වල සිදු වූ හානි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සාකචඡාව පැවැත්විය.

දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ හානි වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති අතර 2026 වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන කටයුතු සිදු කර අවසන් විය යුතු බවත්, හානි සඳහා වන වන්දිගෙවීම් ප්‍රමාද වීමට ප්‍රාදේශිය මට්ටමින් පවතින ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය උපදෙස් ලබා දුන්නාය.

දිට්වා සුළිකුණිටුව නිසා සිදු වූ හානිවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දළ වශයෙන් ඩොලර් බිලියන 3.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත්, ඒ අනුව නිවාස හා සමාජ යටිතල පහසුකම්, කෘෂිකර්ම සහ පශු සම්පත්, ධිවර, කර්මාන්ත හා ජීවනෝපාය, වාරිමාර්ග ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් වන්දි ලබා දීමට මුදල් වෙන් කර ඇති බවත් මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්. ආර්.ඩී. අපොන්සු මහතා පැවසුවේය.

25,000 දීමනාව ලබා දීම මේ වන විට 99%ක් අවසන් කර ඇති අතර නැවත පදිංචිය සඳහා ලබා දෙන රුපියල් 50,000 දීමනාව ගෙවිම 95%ක් අවසන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

පූර්ණ හානි සිදු වූ නිවාස  සහ අර්ධ හානි සිදු වූ නිවාස සඳහා වන වන්දි ගෙවීම් තවමත් සිදු වන අතර සුරක්ෂා මධ්‍යස්ථාන වසා දැමීම 99%ක් අවසන් කර ඇති බවද ඔහු අවධාරණය කළේය.

මීට අමතරව ආපදාවට පත් පාසල් සිසුන් සඳහා රුපියල් 25,000ක් ලබා දීම, ආපදාවෙන් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවීම, මව හෝ පියා අහිමි වූ දරුවන් සහ මව, පියා දෙදෙනාම අහිමි වූ දරුවන් සඳහා වන්දි ගෙවීම, අපදාවට ලක් වූ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා වන්දි ගෙවීම, හානි වූ කෘෂිකර්මික කටයුතු සඳහා වන්දි ගෙවීම මෙන්ම අපදාවට පත් නිවාසවල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීම, නව නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් වෙන් කරගැනීම මෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබා ගැනීම කඩිනම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ.

ආපදාවට පත් පාසල්, රෝහල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රාදේශිය මට්ටමින් දත්ත නිවැරදිව ලබා ගැනීම කඩිනම් කිරීම සහ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි…..

දෙදින නිල සංචාරය නිමාවට පත් කරමින් ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

සංචාරය නිම කළ ඉන්දීය උප ජනාධිපතිවරයා අද (20) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් පිටත් විය.

ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට සුබ පැතීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ගුවන්තොටුපොල වෙත පැමිණි අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතාද  එක්විය.

ඉන්දීය උප ජනාධිපතිවරයා පසුගිය 19 වැනිදා මෙරටට පැමිණි අතර සිය දෙදින සංචාරය තුළ වැදගත් සාකච්ඡා සහ වැඩසටහන කීපයකට සහභාගි විය.

ඉන්දීය උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ඊයේ (19) දිනයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විය.

අනතුරුව ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට ඉන්දීය උප ජනාධිපතිවරයා,  බම්බලපිටිය කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවී ආශීර්වාද ලබා ගත්තේය.

මෙම නිල සංචාරයේ දෙවන දිනය වූ අද (20)  දිනයේ  ඉන්දීය උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වූ අතර එහිදී මලෛයගම් ප්‍රජාවද හමු විය.

නුවරඑළිය සීතා අම්මන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් සිය දෙදින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත් විය.

අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි විය.

 

ස්වර්ගස්ථ වු කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ අවමංගල්‍ය කටයුතු 22වෙනිදා….

ස්වර්ගස්ථ වු මෙරට කතෝලික සභාවේ සිටි විද්වත් ගෞරවනීය පූජා ප්‍රසාදීන් වහන්සේනමක් වූ ගරු ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ අවමංගල්‍ය කටයුතු එළඹෙන 22 වෙනිදා සිදුකිරීමට නියමිතයි.

එදින පස්වරුවේ කළුතර කුඩා පයාගල සාන්ත මරියා දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව දැනුම් දී තිබේ.

උන්වහන්සේගේ දේහය හෙට (20) පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ තැන්පත් කිරීමට නියමිතව ඇත.

උන්වහන්සේ ස්වර්ගස්ථ වුයේ අද (19)පෙරවරුවේ  දීය.

ඉන්දීය උප ජනපති, ජනපති හමු වෙයි…

මෙරට දෙදින නිල සංචාරයක නිරත ඉන්දියානු උප ජනාධිපති  ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ ජනාධි‍පති අනුර කුමාර දිසානායක මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඉන්දියානු උප ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳවද ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා වෙත සිය සුබපැතුම් එක් කළේය.

 ශ්‍රී ලංකාවේ සිදු කරන තම ප්‍රථම නිල සංචාරය මෙය බව මෙහිදි සඳහන් කළ ඉන්දියානු උප ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේදී හිමි වූ විශේෂ පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබඳවද  සිය ස්තූතිය පිරිනැමීය.

 අනතුරුව, නායකයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරණු අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලින මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

 ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ආයෝජන සහ වෙළෙඳ ක්ෂේත්‍රයන්හි මෙන්ම විශේෂයෙන් බලශක්ති සුරක්ෂිතතාව සහ වරාය සංවර්ධනයට අදාළ දෙරට අතර  සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය උප ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

 ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙනුවෙන් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

 හදිසි අවස්ථාවලට අමතරව පසුගියදා තමා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරයේදී මෙන්ම නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා මෙරට සිදු කළ සංචාරයේදීද ඇති කරගත් අවබෝධතාව අනුව ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දෙන ආර්ථික සහ සමාජයීය ආදී සෑම ක්ෂේත්‍රයකම සහයෝගීතාව පුළුල් වී තිබෙන බවත්,  ඒ අනුව දැනට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ තුළ ඉදිරියේදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම දිට්වා සුළි කුණාටුව හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂි සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඉන්දියානු අයවැයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදලක් වෙන් කිරීමද කෘතවේදීව අගය කළේය.

 එසේම, මැදපෙරදිග යුදමය තත්ත්වය සමඟ ඇති වූ බලශක්ති අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් මෙරටට එවීමට ගත් පියවරද ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

 තාක්ෂණික වශයෙන් ඉන්දියාව අත්පත් කරගෙන තිබෙන සුවිශේෂි ජයග්‍රහණ මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ක්ෂේත්‍රයන්හිදී ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් විශේෂයෙන් මානව සම්පත් සංවර්ධනයේදී සහ රාජ්‍ය අංශය  ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහිදී ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බවත් පැවසීය.

 ධීවර ගැටලු කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර දෙපාර්ශ්වයම සහයෝගීතාවයෙන් කටයුතු කර ඒ සඳහා දීර්ඝකාලීන ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට ලක් විය.

 ඉන්දියානු දූත පිරිස නියෝජනය කරමින් ධීවර, සත්ව පාලන සහ කිරි නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය එස්.පී. සිං බාගෙල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය කේ. ලක්ෂ්මන්, ආචාර්ය මේධා විශ්‍රම් කුල්කර්ණි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  සන්තෝෂ් ජා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය  විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායකජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්  ජී.එම්.ආර්.ඩී. අපොන්සු, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.ආර්.කේ. ලෙනගල යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ජනතාවගේ නොසැලකිල්ල නිසා නිකරුනේ ජීවිත හානි සිදුවෙනවා – අස්ගිරි පාර්ශවයේ අනුනාහිමි…..

ජනතාවගේ තිබෙන නොසැලකිල්ල හේතුවෙන් නිකරුනේ ජීවිත හානි සිදුවන බව  අස්ගිරි පාර්ශවයේ අනුනායක නාරම්පනාවේ ආන්නද හිමි පවසයි.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (18) පෙරවරුවේ උන්වන්සේව බැහැදැකීමට පැමිනි අවස්ථාවේදී පසුගිය දින කිහිපයේදී දියේ ගිලි සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුවහ.

මාධ්‍ය මගින් සිදුවන අනතුරු සම්බන්ධයෙන් ජනතාව කෙතරම් දැනුම්වත් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැතිව ජනතාව කටයුතු කරමින් අනතුරුවලට ලක් වන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

එහිදී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි, මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි සහ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදි අදහස් දැක්වූ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ ආරක්ෂක අංශවලින් යොදවා ඇති ජීවිතාරක්ෂක නිලධාරීන් ද පසුගිය දින කිහිපයේ දී දියේ ගිලි සිදුවීමට ගිය ජීවිත හානි රැසක් වළක්වා ගැනීමට කටයුතු කර ඇති බවය.

දකුණු පාතාලය සෙලවුණු SF රාජුගේ අත්අඩංගුවට ගැනීම….

මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් එස්. එෆ්. රාජු මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබේ.

ඒ, පැය 72ක කාලයකට ලබාගත් රැඳවුම් නියෝග මතය.

ඉන්දියාවේදී අත්අඩංගුවටගත් සැකකරු ඊයේ (18) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.

සෝබනහන්දි ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් එස්.එෆ්. රාජු ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා පොලිසිය ඉන්දිය බුද්ධි අංශ වෙත ලබාදුන් තොරතුරකට අනුවය.

එස්.එෆ්. රාජු ඉන්දියාවට පැමිණ ග්‍රිසියට හෝ ඉතාලියට පලායාමට සූදානමින් සිට ඇති බව එම තොරතුරේ සඳහන්ව තිබී ඇත.

ඒ අනුව එස්.එෆ්. රාජු කටුනායක ගුවන්තොටුපොළින් ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබීය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා භාරදෙනු ලැබුවේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙතයි.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේම ඔහු රැගෙන එනු ලැබීය.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

එස්.එෆ්. රාජු පොලිස් විශේෂ කාර්ය බලකායේ සිට පසුව යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු ලෙස කටයුතු කර තිබේ.

තම සොහොයුරා වන කරන්දෙණියේ සුද්දා සමග එක්ව හිත හොඳ දොස්තර ඝාතනය කිරීමත් සමග මොහු පාතාලයට අත්පොත් තබා ඇති බව පොලිසිය පැවසුවේය.

කරන්දෙණියේ සුද්දා ලබා ගන්නා කොන්ත්‍රාත් ඝාතන බහුතරයක් මොහු  මෙහෙයවා ඇති බවද වාර්තාවේ.

එමෙන්ම මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ආයුධ ජාවාරම් කිරීම් හා පාතාල ක්‍රියාදාම මෙහෙයවීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ලවී තිබේ.

අකුරේගොඩදී පසුගියදා නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ ද SF රාජු බවට සැක කෙරේ.

කරන්දෙණියේ සුද්දාගේ කල්ලිය දකුණු පළාතේ මේ වන විට ක්‍රියාත්මක දරුණුතම අපරාධ කල්ලියක් වන අතර මොහු අත්අඩංගුවට පත්වීමත් සමග දකුණේ අපරාධ රැසක් පාලනය කරගැනීමට හැකිවනු ඇති බවට පොලිසිය අපේක්ෂා කර ඇත.