ජනපති සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

බදු ආදායම පුළුල් කිරීම, බදු අනුකූලතාව උපරිම කර ගැනීම සහ හිඟ බදු අය කර ගැනීම ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළත්, එම දෙපාර්තමේන්තුව 2026 වසරේ මේ දක්වා ළඟා කර ගෙන ඇති ප්‍රගතියත් මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

මෙම  අරමුණු ඉටු කර ගැනීමේදී ආයතනය තුළ සිදු විය යුතු ප්‍රතිව්‍යුහගතකරණ සහ ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳව ද එහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව ජාතික e-invoicing පද්ධතිය හඳුන්වා දීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන පිළිබඳවද විමසා බැලුණු අතර එම සමස්ත ව්‍යාපෘතිය නිශ්චිත කාලරාමුව තුළ සම්පූර්ණ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

චීවරය අවභාවිත කරමින් සිදුකළ නීතිවිරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානාහිමිවරු හෙළාදකී……

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනයක් ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂු භුමිකාවන් සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදු කරන ලද ශාසන විරෝධී, සමාජ විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා තරයේ හෙළා දකිමින් මෙම නිවේදනයක් නිකුත් කර ඇත.

ලාංකේය සමාජය තුළ භික්ෂුන් වහන්සේ නමක් වෙත උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශුද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදුකරන ලද මෙම නිතී විරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බව මාහානාහිමිවරු අවධාරණය කරයි.

බුද්ධ චීවරයක් ශාසනික අනන්‍යතාවත් අවභාවික කරමින් මෙවැනි නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයින් පිළිබඳ ඉදිරියේ දී කරුණු විභාග කොට සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතා යළිත් ප්‍රකට වන මෙම අවස්ථාවේ දී ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය බව ද උන්වහන්සේලා පෙන්වා දෙති.

ඒ අනුව අදාළ නිකාය පාර්ශ්වයන් මගින් ඉදිරියේ දී මෙම ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයාබලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ද එම ලිපියේ සඳහන් වේ.

තව ද උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකට තරුණ භික්ෂූන් වහන්සේලා මෙබඳු නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකොට නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කළ යුතු බව මෙහිලා බරපතළ ලෙස අවධාරණය කරයි.

එමෙන්ම සෑම තරුණ භික්ෂුවක් පිළිබඳව ම නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් ශාසන විරෝධී යම් කටයුත්තක නිරත වන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එවැනි තරුණ භික්ෂූන් ආයති සංවරයෙහි පිහිටුවීමට සෑම ආචාර්යන් වහන්සේ නමක් ම නිරන්තරයෙන් ව්‍යාවෘත විය යුතු බවට ද මාහානාහිමිවරු දනුම් දී ඇත.

මන්ත්‍රී නලින් කළ ප්‍රකාශයට ‘RDA’ පිළිතුරු දෙයි…….

මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවට ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අධිකාරිය පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ, එම අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් පමණ 2023 වසරේදී ගෙවීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට, වැරදීමකින් යළි ගෙවා ඇති බවය.

ඒ අනුව අදාල නිවේදනයෙන් එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දී සිටින්නේ, නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය හරහාඅසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා සත්‍ය කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇති බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

නිල ප්‍රකාශය – මාර්ග සංර්වධන අධිකාරිය (RDA)

කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් කල බවට සමාජ මාධ්‍ය වේදිකාවල දැනට සංසරණය වෙමින් පවතින, ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ කරන ලද අසත්‍ය සහ නොමඟ යවන චෝදනා මාර්ග සංර්වධන අධිකාරිය (RDA) තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර සත්‍ය කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇත.

කිසිදු ද්විත්ව ගෙවීමක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති බවට වන චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරනු ලැබේ. මාර්ග සංවර්ධන අධිකාරිට අයත් ගිණුම් වලින් එවැනි ද්විත්ව ගෙවීමක් සිදු කර නොමැති බවත්, මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු මූල්‍ය අලාභයක් සිදුවී නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය තහවුරු කරයි.

මෙම කාරණයේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට වන කාරනය සමග මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නොමඟ යවන, වගකීම් විරහිත සහ පදනම් විරහිත ය. ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශ ද්වේශ සහගත සහ සත්‍ය පදනමකින් තොරව කරන ලද බවට මාර්ග සංවර්ධන අධිකාරිය සලකයි. මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මෙම කරුණ සමාලෝචනය කරමින් සිටින අතර මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටිති.

සත්‍යාපනය නොකළ තොරතුරු පැතිරීම රාජ්‍ය ආයතනවල කීර්ති නාමයට හානි කරන අතර මහජනතාව නොමඟ යවන බැවින්, එවැනි අන්තර්ගතයන් බෙදා ගැනීමට පෙර වගකීමෙන් කරුණු සත්‍යාපනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතන වලින් කාරුනිකව ඉල්ලා සිටී.

මාර්ග සංවර්ධන අධිකාරිය හි සියලුම මෙහෙයුම් වලදී විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය කැපවී සිටී.

මාර්ග සංර්වධන අධිකාරියේ කළමනාකාරීත්වය

කොල්ලකරුවන් පැහැරගත් නෞකාවක ශ්‍රී ලාංකිකයෙකුත් සිටින බවට තොරතුරු…….

මුහුදු කොල්ලකරුවන් විසින් සෝමාලියානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී පැහැරගත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

17 දෙනෙකුගෙන් සමන්විත නෞකා කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකිකයෙකු, පකිස්තාන ජාතිකයින් 10දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ ඉන්දිය ජාතිකයෙකු මෙන්ම මියන්මාර ජාතිකයෙකු ද අයත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්ධන බැරල් 18,500ක් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව පසුගිය බදාදා රාත්‍රියේ සෝමාලියානු වෙරළට නාවික සැතපුම් 30ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබියදී තුවක්කුකරුවන් පිරිසක් සිය භාරයට ගෙන තිබූ බව සඳහන්.

මේ වන විට එම නෞකාව සහ කාර්යය මණ්ඩලයේ 17දෙනා මුහුදු කොල්ලකරුවන්ගේ පාලනය යටතේ සෝමාලියානු වෙරළට ආසන්නව නැංගුරම් ලා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් සෝමාලියානු බලධාරීන් හෝ සෝමාලියානු මුහුදු තීරයේ මුහුදු කොල්ලකෑම් මර්දනය කරන මෙහෙයුම් අධීක්ෂණය කරන යුරෝපීය නාවික හමුදාව මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

මේ සම්බන්ධයෙන් විමසීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට අද දෙරණ උත්සාහ කළ ද එය ව්‍යවර්ථ විය.

SF රාජුගේ නිවසින් හමුවූ ගිනිඅවිය ගැන තවත් තොරතුරු රැසක්…..

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන SF රාජු නමැත්තාගේ ගෙවත්තේ සිදුකළ සෝදිසියකදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක් අද (25) පෙරවරුවේ සොයාගෙන තිබුණි.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ, SF රාජු විසින් මෙහෙයවන ලද ඝාතන රැසකට මෙම ගිනි අවිය භාවිත කර ඇතැයි සැකකරන බවය.

එමෙන්ම මෙම සැකකරු සමග සමීප සබඳතා පවත්වන නීතිඥවරයෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.

සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් SF රාජු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගියදා දිවයිනට රැගෙන එනු ලැබීය.

දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සැකකරු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහුගේ නිවසට අද උදෑසන රැගෙන එනු ලැබූ අතර ගෙවත්තේ වළලා තිබූ පිස්තෝලයක්, මැගසින් එකක් සහ උණ්ඩ 15ක් එහිදී සොයා ගනු ලැබූ අතර එය රුසියාවේ නිෂ්පාදිත, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ද වේ.

සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තමා ඝාතන 15ක් පමණ මෙහෙයවා ඇති බවද සැකකරු පිළිගත් බව විමර්ශකයන් සඳහන් කළේය.

විමර්ශන නිලධාරීන් මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණියහොත් ඔවුන් පැමිණෙන වාහනවල රෝද සිදුරු කිරීම සඳහා ඇණ සවිකළ ලෑලිද දමා තිබූ බවද පොලිසිය මෙහිදී පැවසුවේය.

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනයද SF රාජු විසින් මෙහෙයවා ඇති අතර, සිය සහෝදරයා වන කරන්දෙණියේ සුද්දා බන්ධනාගාරගතව සිටින අවධියේ සිරිදත් ධම්මික මහතා ඔහුව දැඩි ලෙස පරීක්ෂා කිරීම ඊට හේතුව බවද ඔහු පවසා ඇත.

එලෙස සිදුකළ දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් කරන්දෙණිය සුද්දාට නිසි ආහාර පාන පවා ලැබී නැති බවත්, ඔහු බැලීමට පැමිණෙන පිරිස්ද සිරිදත් ධම්මික මහතා විසින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කර ඇති බවත් සැකකරු මෙහිදී පවසා තිබේ.

මේ අතර, SF රාජු විසින් හික්කඩුව සහ මීටියාගොඩ යන ප්‍රදේශවල ඝාතන සිදුකළ ස්ථාන කිහිපයක් විමර්ශන නිලධාරීන්ට පෙන්වා ඇත.

දුම්පානය හෝ මත්ද්‍රව්‍ය භාවිත නොකරන පුද්ගලයෙකු වන සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පිළිගෙන ඇත්තේ, සිය සහෝදරයා වන කරන්දෙනිය සුද්දා භාරගන්නා ඝාතන කොන්ත්‍රාත්තු තමා මෙහෙයවූ බවටය.

එමෙන්ම පවුල් ආරවුල් මත ඔවුන්ගේ ඥාතීන් කිහිපදෙනෙකුද මොහු ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මේ අතර SF රාජු සමග සමීප සබඳතා පවත්වන නීතිඥයෙකු සම්බන්ධයෙන් ද  මෙහිදී අනාවරණ වී ඇති අතර, එම නීතිඥයා අපරාධවලට ආධාර අනුබල දුන්නේදැයි සහ වෘත්තිය ආචාරධර්මවලට පටහැනිව සැකකරු සමග සබඳතා පැවැත්වූයේදැයි විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය පැවසීය.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කරන්දෙණිය සුද්දාගේ සහ SF රාජුගේ ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් රහසිගතව එම තොරතුරු ලබාදෙන ලෙසය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ඍජු අධීක්ෂණයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා විසින් සිදු කරනු ලබයි.

හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි……

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මූලික විමර්ශනවලදී මෙය අනාවරණ වූ බව ඔවුන් සඳහන් කරයි.

එමෙන්ම නැවත එම මුදල් ලබාගැනීම තාක්ෂණික අභියෝග මැද සිදුකළ යුත්තක් බවත් එම ආයතනය ප්‍රකාශ කළේය.

මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ රටතුළ දැඩි ආන්දෝලනයක් මතු කරනු ලැබීය.

ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ද මේ වන විට සිදු කෙරේ.

ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක්ම මුදල් අමාත්‍යාංශයේදී අද (24)පැවැත්විණි.

මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට තාක්ෂණික සහාය ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසිනි.

මෙහිදී හැකර්වරු “ෆිෂින්ග් ඇටෑක්” ක්‍රමවේදය හෙවත් පරිගණක භාවිත කරන්නන් ව්‍යාජ තොරතුරු ලබාදී නොමඟ යවා මෙම මුදල් අත්පත් කරගෙන ඇති බව පරිගණක විශේෂඥයන්ගේ අදහස්වී ඇත.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනට විමර්ශනවලින් අනාවරණ වූ කරුණු පිළිබඳ මෙලෙස සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ  ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා අවධාරණය කළේ, අහිමි වූ මෙම මුදල් යළි ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ එය දැඩි අභියෝගාත්මක ක්‍රියාවලියක් බවය.

“මූලික පරීක්ෂණවලින් අඳුරගන්න පුළුවන් මේ Business Email Compromise (BEC) හෙවත් ආයතනික විද්‍යුත් තැපැල් ගිණුමකට අනවසර ප්‍රවේශයක් ලබාගෙන හෝ අනෙක් පාර්ශ්වය විදිහට බොහෝ වෙලාවට පෙනී සිටිමින් සිදුකරන වංචාවක් විදිහට. මෙහිදී බොහෝ වෙලාවට විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනීසිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කොට අදාළ මුදල් ලබාගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවෙන්නේ. තෙවන පාර්ශ්වයක් කාලයක් ඉඳලා මේ ගනුදෙනුව විමර්ශනය කරමින්, බොහෝ වෙලාවට නිසි වේලාවේදී වෙනත් ගිණුමකට අදාළ විස්තරයක් එවලා තමයි මුදල් ලබාගෙන තියෙන්නේ. ඉතින් එහිදී බොහෝවෙලාවට අදාළ පාර්ශ්වයට හා සමාන වෙබ් අඩවි පාවිච්චි කරමින්, වෙබ් ලිපි පාවිච්චි කරමිනුයි සූක්ෂ්මව මෙවැනි e – mail පණිවිඩයක් එවලා තියෙන්නේ. බොහෝමයක් මේ BEC මිනිසුන්ගේ තිබෙන සාමාන්‍ය දුර්වලකමක් පාවිච්චි කරමින් තමයි සිදුවෙන්නේ. ඒක නිසා තමයි එවැනි දේවල් හඳුනාගැනීමටත් ඉතා අපහසු වෙන්නේ. මේ සම්බන්ධයෙන් තිබෙන දැනුම්වත්භාවය තමයි ඉතා වැදගත්.

මේක මොන රටක, මොන ගිණුම් හරහා ගිහිල්ලා තිබෙනවද? ඒත් එක්කම වෙන රටකනම් මේ මුදල් හුවමාරුවෙලා තිබෙන්නේ ජාත්‍යන්තර පොලිසියේ සහායත් ලබාගන්න පුළුවන් වෙයි. මෙවැනි මුදල් විවිධ ක්‍රම ඔස්සේ ඇතැම්විට මුදල් විශුද්ධිකරණය හා සම්බන්ධවෙන්න පුළුවන් එවැනි Cryptocurrency වැනි දේවල් පවා අදාළ වෙන්න පුළුවන්. හැබැයි මේ කුමන කාරණයකදී වුණත් අදාළ විශේෂඥ සේවා ලබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඇතැම් විට මෙවැනි ඩිජිටල් මාදිලියේ Virtual Assets වලට මේවා යනවනම් ඒ සේවා සපයන ආයතනවලත් සහාය ලබාගන්න පුළුවන් ජාත්‍යන්තර පොලිසිය හරහා. ඒ සියල්ලම තාක්ෂණික අභියෝගත් එක්ක තමයි තියෙන්නේ.” 

සාමයේ පාද යාත්‍රාව කිලෝමීටර් 25ක් දුර ගෙවා අද මාවනැල්ලට….

‘ඒහිපස්සිකෝ’ සාම පාගමන තුන්වැනි දිනය මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන් අද (24) පස්වරුවේ අවසන් විය.

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගයෙන් ආරම්භ වු පාගමන අද කිලෝමීටර් 25ක් දුර ගමන් කළේය.

‘ඒහිපස්සිකෝ’ සාම පාගමනේ වඩින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ 13නම අද (24) පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත්තේය.

එහිදී භික්ෂූන් වහන්සේ පිළිගනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.

ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගය ඉදිපිටදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් පාගමනේ වඩින භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ විදෙස් බෞද්ධ සැදැහැවතුන්ට ආශිර්වාද කළේය.

අද දිනයේදීත් සාම පාගමනේ වඩින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ 13නම මෙන්ම ලෝකයේම අවධානය දිනාගත් අලෝකා සුනඛයා දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් මාර්ග දෙපසට පැමිණ සිටිනු දක්නට ලැබුණි.

අදත් භික්ෂූන් වහන්සේ පැමිණෙන අතරමඟ බෞද්ධ සැදැහැවතුන් පාවඩ එළමින්, කෙසෙල් කොළ අතුරමින් , ජලය ඉසිමින් මාර්ගයේ ඉඩ සලසා දී තිබුණි.

අද දිනයේදි පාගමන ගමන් කළ කිලෝමීටර් 25 පුරාම බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් මාර්ගය දෙපස රැස්ව සිටින ආකාරය දක්නට ලැබුණි.

මෙහිදී සාම පාගමනේ මතක සටහනක් ලෙස වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි විසින් පහළ කඩුගන්නාවේදි පැලයක් ද රෝපණය කළේය.

”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම්…..

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක  මුදලෙන් හැකි ප්‍රමාණයක් යළි ලබාගැනීමට උත්සහා කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම හැකර්වරුන් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිස ඇති බව ද අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු තානාපතිවරයා සහ ණයහිමියා ද දැනුවත් කළ බව ද හර්ෂණ සූරියපෙරුම මහතා පැවසීය.

“ජනවාරි මාසයේදී අපිට දැනගන්නට ලැබුණු සයිබර් අපරාධකරුවන් පද්ධතියට ඇතුළු වෙන්න උත්සහා කරන බව. මේ ගැන තොරතුරු වාර්තා වුණාම, අදාළ විදේශ රටවල් සම්බන්ධ කරගෙන උත්සහා කරපු රටට හානියක් වෙන්න දුන්නේ නැහැ. ඒක විසඳුවා. අපිට අවශ්‍යතාවය තිබුණා, ජනවාරි මාසයේ එහෙම දෙයක් කරන්න හැඟුණාට මීට පෙරත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා තමයි පසුගිය ගෙවීම් ගැන හොයලා බලන්න අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කළා. ඒ අනුව කාලයක් ගත්තා. ඒ වෙලාවේදී තමයි පසුගිය ගෙවීමකට හැකර්වරුන්ගේ ක්‍රියාකාරීත්වය පසුගිය ජනවාරි මාසයෙත් සිදුවෙලා තිබුණා කියලා අනාවරණ වුණේ.” 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්…..

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම  සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ.

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(2026 අප්‍රේල් 20 සිට අප්‍රේල් 26 දක්වා)

  1. තිරිගු පිටි – 158.00 – 176.00
  2. සුදු සීනි –   200.00 – 217.00
  3. පරිප්පු –   248.00 – 271.00
  4. අර්ථාපල් (ඉන්දියා) – 160.00 – 228.00
  5. අර්ථාපල් (පාකිස්තාන්) – 140.00 -177.00
  6. බී ලූනු (ඉන්දියා) – 145.00 – 189.00
  7. බී ලූනු (පාකිස්තාන)  – 112.00 – 140.00
  8. රතු ලූනු (ආනයනික)  – 280.00 – 332.00
  9. වියළි හාල්මැස්සන් (තායිලන්ත)  – 1054.00 – 1159.00
  10. වියළි මිරිස්  – 1046.00 – 1067.00
  11. බිත්තර (සුදු)  ඒකකයක් – 32.00 – 42.00
  12. බිත්තර (දුඹුරු) ඒකකයක් – 34.00 – 44.00
  13. ටින්මාළු (දේශීය) මැකරල් 425g  – 420.00 – 480.00
  14. ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g  – 450.00 – 560.00
  15. දේශීය කැකුළු සහල් (සුදු)  – 190.00 – 220.00
  16. දේශීය කැකුළු සහල් (රතු)  – 165.00 – 220.00
  17. දේශීය නාඩු සහල් (සුදු)  – 210.00 – 230.00
  18. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – 1000.00 – 1207.00
  19. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g  – 990.00 – 1150.00

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර සියලු කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ 8 වැනි සංවත්සරයට පෙර සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට විමර්ශන ක්‍රියාත්මක බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22)  දැනුම් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

මෙහිදී දැනට රැඳවුම් භාරයේ සිටින සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාද අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

2018 වසරේ නොවැම්බර් 29 වනදා වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු, 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදුහි නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙලෙස කැඳවනු ලැබීය.

රැදවුම් භාරයේ සිටින මෙම නඩුවේ තුන්වැනි සැක්කාර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහේස්ත්‍රාත්වරයා විසින් කර තිබූ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

“ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කියන්නේ ඉතාම සංවිධානාත්මක මෙහෙයුමක්. 2015 වසරටත් පෙර සිටයි මේ සිද්ධි මාලාව සංවිධාන වෙන්නේ. මඩකලපුවේ ඉන්න මුස්ලිම් පිරිසකට තියා, ISIS,අල්ඛයිඩා වැනි පිරිසකටවත් මෙවැනි සංවිධානාත්මක ප්‍රහාරයක් කරන්න බැහැ අභ්‍යන්තර සහයක් නැතුව. ඒ ශක්තිය තමයි මේ තුන්වැනි සැකකරු දීලා තියෙන්නේ. 

වව්නතිව් සිද්ධිය කියන්නේ ඒ සංවිධානාත්මක මෙහෙයුමේ එක් අවස්ථාවක් විතරයි. නමුත් ඒ සිදුවීමට අදාළව විමර්ශනය සහරාන් හෂීම් කරා යාමට තිබූ ආවස්ථාව කුමන්ත්‍රණකාරීව යටගහලා තියෙනවා. වව්නතිව්හි ඝාතනය වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ආයුධ සොයාගත්තේ සහරාන් හෂිම්ගේ ඥාතී ගෆූර් මාමාගේ නිවසේ තිබියදී. නමුත් අජන්තන් නැමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ ජැකට් එකක් දාලා මේ විමර්ශනය ගෆූර් මාමා දෙසට යාම වළක්වා තිබෙනවා. 

මේ දෙවැනි සැකකරු ඔය කියන ගෆූර් මාමාව පොලිස් ස්ථානයට කැඳවලා ප්‍රකාශයක්වත් ගන්නේ නැතුව යළි යන්න ඉඩහැරලා තියෙනවා. කාගේ අනුදැනුම මතද ඒක වුණේ? සහරාන් ඇතුළු පිරිස අනාවරණය වෙන්න තිබ්බ අවස්ථාවක් තමයි දැනුවත්ව යටගහලා තියෙන්නේ” යැයි පැවසීය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පාස්කු ප්‍රහාරයට පෙර සමයේ මෙරට තුළ සිදුවූ සිදුවීම් මාලාවක සම්බන්ධතාවයක් ඇති බවට අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

“ස්වාමිනි, වසර 10ක රාජපක්ෂ පාලනය නිමා වෙලා 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට එනවා. පස්සේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර්ට පහරදීම වගේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පටන්ගන්නවා. 

එහිදී අත්අඩංගුවට ගැනෙන්නේ මේ සැකකාර සුරේෂ් සලේ යටතේ සිටි යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්. මේකත් හරියට අර මාතර දේශබන්දු තෙන්නකෝන් නඩුව වගේ. මොහුත් දේශපාලන කණ්ඩායම් රකින්න ප්‍රහාරක කණ්ඩායම් මෙහෙයවලා. 

පස්සේ 2018 වසරේ දින 52 ආණ්ඩුවට එරෙහිව දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනවා. ඊට පස්සෙයි මාවනැල්ලේ බුදු පිළිම කැඩෙන්නේ. එය මුස්ලිම් අන්තවාදී ක්‍රියාවක් කියලා යුධ හමුදා නිලධාරීන් පැමිණිලි කරනවා. අන්තවාදී බෞද්ධ භික්ෂුවක් වන ඥානසාර හිමි සහ සහරාන් හෂීම්ව යුද්ධ හමුදා බුද්ධි අංශය නඩත්තු කළා. 

පාස්කු ප්‍රහාරයට සති කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා Indian Express පුවත්පතට කියනවා මම තමයි රටේ අනාගත ජනාධිපති කියලා. මොහු ඇමරිකානු පුරවැසියෙක් වෙලා ඉද්දියි පාස්කු ප්‍රහාරය වෙන්නේ. පසුව ලංකාවට ඇවිල්ලා ජනාධිපතිවෙලා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පොලිසියෙන් පරිබාහිරව සුරේෂ් සලේ කියන මේ සැකකරුව ගේනවා. 

ඔවුන්ම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පටන් අරගෙන ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් 70 දෙනෙකුව ස්ථාන මාරු කරනවා. ඒ මේ කුමන්ත්‍රණය ආරක්ෂා කරන්න. නමුත් අපි පාස්කු ප්‍රහාරයේ 08 වැනි සංවත්සරයක් එන්න ඉඩ තියන්නේ නැහැ. වසරක් ඇතුළට සියලුම කුමන්ත්‍රණකරුවන්ව අධිකරණය ඉදිරියට ගේනවා”.

මෙහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණය හමුවේ මෙලෙස පැවසීය.

“මේක ක්‍රීඩාවක් නොවෙයි. සංවේදී ප්‍රශ්නයක්. අධිකරණය හමුවේ කියන සෑම වචනයක්ම ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට යොමුවීමක් වියයුතුයි. යුක්තිය ඔප්පු වෙනවානම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙන්න ඕනේ. එතැනින් පහළ සියලු දේවල් හුදෙක් මතවාද. 

සත්‍යය අසත්‍ය මොකක් වුණත්, ඔප්පු කරගන්න බැරිනම් වැඩක් නැහැ. විමර්ශන නිලධාරීන් සාධාරණ සැකයෙන් ඔබ්බට කියන භාරය හිතේ තියාගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න.”

ඊට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

“ස්වාමිනි, විමර්ශන අවස්ථාවේ අපි බලන්නේ සාධාරණ සැකය. එය ඔප්පුවනවාද, නැද්ද යන්න තිබෙන්නේ අධිකරණය ඉදිරියේ. නමුත් මේ වෙද්දි මේ විමර්ශනය කරගන්න බැරි තරමින් බාධා එල්ලවෙමින් තිබෙනවා. 

මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබාදුන් සාක්ෂිකරුවන්ට දිගින් දිගටම යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ප්‍රකාශ ඉවත්කරගන්න කියලා බලපෑම් එල්ලවෙමින් තිබෙනවා. දැනට ඔබ ඉදිරියේ ප්‍රකාශ දී තිබෙන කලීල් කියන සාක්ෂිකරුගේ නිවසට පසුගිය නඩුවාරයෙන් පස්සේ යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් ගිහින් තර්ජනය කරලා තියෙනවා.

පස්සේ එම පුද්ගලයාගේ නිවසට අත්බෝම්බ 05ක් සහ පිස්තෝලයක් දාලා දැනට නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මාර්ගයෙන් STF හරහා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරලා තියෙනවා. මොකද ඔහු තමයි රාජපක්ෂ යුගයේ STF අණදෙන නිලධාරියා”.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ස්වරයෙන් මෙසේ ප්‍රශ්න කළා.

“ඔබ කියන්නේ දැනටත් පොලිස් සේවයේ සිටින ඉහළම නිලධාරියෙක් මේ විමර්ශනවලට බලපෑම් කිරීමට සම්බන්ධයි කියලාද? “

ඊට පිළිතුරු දුන් දිලීප පීරිස් මහතා,

“ඔව් ස්වාමිනි, මම වගකීමෙන් කියන්නේ. ඔහු සම්පූර්ණයෙන්ම මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක්. ඔහු TID අධ්‍යක්ෂවෙලා ඉද්දි පාස්කු ප්‍රහාරයට දවස් 7කට කලින් ජමීල් කියන්නේ අහිංසකයෙක් කියලා Report එකක් එවලා. එහෙම ජමීල් තමයි පස්සේ බෝම්බ පුපුරුවාගත්තේ.”

මෙහිදී නැවතත් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා,

“ඔය කියන නිලධාරියාට එරෙහිව සෘජු සාක්ෂි තිබෙනවාදැයි  ප්‍රශ්න කළා.

“නැහැ. ස්වාමිනි දැනට සෘජු සාක්ෂි නැහැ. නමුත් අපි විමර්ශන කරමින් යනවා” යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දුන්නේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විශේෂ ඉල්ලීමක් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම විමර්ශනයට සහය ලබාදෙන ලෙස යුද්ධ හමුදාපතිවරයාට සහ යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, රටේ සෑම රාජ්‍ය නිලධාරියෙක්ම නීතිපතිවරාගේ බලයට යටත්වන බැවින් එය අභිබවායාමට කවරෙකු හෝ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නීතිපතිවරයාටම පියවරගත  හැකි බවය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිල්ලෙයාන් සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශන පිළිබඳවද අදහස් දැක්වීය.

“ස්වාමිනි, 2018 – 2019 සමයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරයේ සිටින සමයේ සහරාන් හෂිම්ගේ මල්ලිවන ශෙයිනිව බන්ධනාගාරය තුළදී හමුවූ බවට අසාද් මවුලානා ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ හමුවීම සඳහා හඳුන්වාදීම කර ඇත්තේ මේ සැකකාර සුරේෂ් සලේ”.

එහිදී මහෙස්ත්‍රාත්වරයා අසාද් මවුලානා සම්බන්ධ ඉදිරි විමර්ශන පිළිබඳ විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,

“ඔහු ඉන්න තැන අපි සොයාගෙන ඉන්නේ. ඔහු රැඳී සිටින්නේ ප්‍රංශයේ. ඔහු සමග අපිට සම්බන්ධකම් තියෙනවා. අපි ඔහුව ප්‍රංශ තානාපති කාර්යාලයට ගෙන්වා ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරමින් ඉන්නවා”.

අනතුරුව සැකකාර ‍රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන කරුණු දැක්වීය.

“ස්වාමිනි, පැමිණිල්ල කිව්වා ඝාතන කිහිපයක නම් කියලා මගේ සේවාදායකයා ප්‍රහාරක කණ්ඩායම් යැව්වා කියලා. ඔය සිද්ධි බොහෝමයක් වෙද්දි ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නොවෙයි. ඒ වගේම ඇතැම් සිද්ධි වෙද්දි ඔහු රටේත් නැහැ. ඒ වගේම මගේ සේවාදායකයාට එරෙහිව චෝදනා එල්ල කරන අසාද් මවුලානා කියන පුද්ගලයා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට ලබාදී තිබෙන පිටු 18ක ප්‍රකාශය මම කියෙව්වා. 

එකේ ඔහු සහරාන්ව හඳුන්වා තිබෙන්නේ Hero ලෙස. ඒ වගේම දේශපාලන සරණාගතභාවය වෙනුවෙන් ඔහු අපේ රට බොහෝ පහළට දාලා තිබෙනවා. ඔහු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් කිහිපදෙනෙක් සහ අධිකරණ පද්ධතියත් විවේචනය කරලා තියෙනවා. 

ඉතිං මම නිශ්චිතව කියන්නේ ඔහු කවදාවත් මේ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්න ලංකාවට එන්නේ නැහැ. ආවොත් ඔහුගේ ප්‍රකාශයේ තියෙන අනිත් කරුණුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. 

මගේ සේවාදායකයා රඳවා තිබෙන කුටිය අසල කුටියක පුද්ගලයෙක්ට මේ වෙද්දි මීයෙක් කාලා මහාමාරිය හැදිලා තියෙනවා. ඒ වගේම ඔහු මානසිකව පසුබැහැලා ඉන්නේ. 

ඔහු වෙනුවෙන් මම ඉල්ලීම් කිහිපයක් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඔහු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට ඉල්ලීමක් කරනවා. ඒ පිළිබඳවත් සලකා බලන්න”.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිය නියෝග ප්‍රකාශයට පත්කළේය.

“අධිකරණය විමර්ශනය පිළිබඳ සෑහීමකට පත්වෙනවා. තුන්වැනි සැකකරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන ත්‍රස්තවාදීන්ට පල්ලි පෙන්වීමේ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි පවතිනවා. නමුත් අනිත් කරුණු සම්බන්ධයෙන් තවදුරත් විමර්ශන සිදුකර කරුණු තහවුරු කළ යුතුයි. 

ඔප්පු කළ නොහැකි කරුණු ඉදිරිපත් කර වැඩක් නැහැ.තුන්වැනි සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙනවා නම් ඒ පිළිබඳ යළි සිතා බලා එම ඉල්ලීම ඉදිරිපත් කරන්න”.

ඒ අනුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් වූ රැදවුම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බැවින් ඔහු රැඳවුම් භාරයේ තබාගෙන ඉදිරි නඩු දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

වැඩිදුර විමර්ශන වාර්තා සඳහා නඩුව මැයි 20 වනදා යළි කැඳවීමට නියමිතය.