අපරාධ රැසකට සෙවූ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි…..

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දරුණු ගණයේ අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර මෙරටට රැගෙන එනු ලැබුවා.

ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලිසියට අවශ්‍යව සිටින රාජු, ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සහෝදරයෙකු වේ.

අපක්ෂපාතී සහ ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසා බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වෙති…..

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.

 අද (17) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගල්අඟුරු ආනයනයේදී හා ඒ ආශ්‍රිත විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සිදු වී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලද අතර බලශක්ති අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත්තේ එම කොමිසමේ අපක්ෂපාතී හා ස්වාධීන ක්‍රියාවලියට සහය පළ කිරීමක් ලෙසය.

 ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කර ඇත්තේ ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් මගින් ජනාධිපතිවරයා වෙත ඇති දූෂණයට එරෙහි සහ ජන වරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය තමන් අගය කරන බවය.

 ඒ අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට තමන් විශ්වාස කරන බවත් විමර්ශනය සිදු වන අතරතුර තමා  එම තනතුරේ රැඳී සිටීම පවා ඊට බාධාවක් වනු ඇත යන ස්ථාවරය මත පිහිටා අද (17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා තම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත විමර්ශනවලට අවහිරයක් නොවීම සහ විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ඊට පහසුකම් සැලසෙන පරිදි තමන් දරන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම යෝග්‍ය බවට තමන් විශ්වාස කරන බවය.

දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්…..

දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ ගිලී අනතුරක් සිදුවී තිබේ.

දියේ ගිලුණු පිරිස අතරින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇත.

මෙලෙස සොයාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සහ කාන්තාවකගේ මළසිරුරකි.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් 6 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවය.

අනතුර සිදුවී ඇත්තේ කොබෙයිගනේ පොලිස්බල ප්‍රදේශයේ කුරටියාගහමුල ප්‍රදේශයේදී ය.

කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර පසුව එම නිවසේ තවත් පිරිසක් සමඟ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා මෙලෙස දැදුරු ඔයට ගොස් ඇති බව පොලීසිය පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පැවසුවේ, කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ටී 56 මැගසින් දෙකක්, පතොරම් 221ට වැඩි ප්‍රමාණයක් සහ ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකි වූ බවය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

 

Update

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා සතුව අවි ආයුධ ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද (16) ඔහුගේ නිවස පරීක්ෂා කෙරුණි.

එහිදී T56 උණ්ඩ 221ක්, T56 මැගසින් 2ක්, 7.2 උණ්ඩ 31ක්, 0.2 උණ්ඩ 103ක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

‍අදාළ ජීව අත්බෝම්බය චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත එකක් බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නිවසේ තවදුරටත් සෝදිසි කිරීම් සිදුකර ඇති අතර එහිදී  ලියාපදිංචි ගිනිඅවි 4ක් ද සොයාගැනීමට හැකිවී ඇත.

ඉන් එක් ගිනිඅවියක් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නමට ලියාපදිංචි කර තිබෙන අතර අනෙක් ගිනිඅවි 3 චන්දන කත්‍රිආරච්චි මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ බව අනාවරණය වී තිබේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි 2ක් සහ 9mm වර්ගයේ ගිනිඅවි 2කි.

ඒ අනුව චන්දන කත්‍රිආරච්චි මහතා සතුව මෙතරම් ගිනිඅවි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා වෙනම විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

කාර්යාල දුම්රිය හෙට සාමාන්‍ය පරිදි – පෞද්ගලික බස් රථ ධාවනය අඩු වෙයි…..

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව මේ වනවිට කොළඹට පැමිණෙමින් සිටිති.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී ජනතාවගේ අවශ්‍යතාව පරිදි සැලසුමකට අනුව අද (15) සිට බස්රථ ධාවනයට එක් කර තිබේ.

එම බස් රථ ධාවනය ලබන 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේය.

මගී අවශ්‍යතාව පවතින්නේ නම් 20 වෙනිදායින් පසුවත් පිට පළාත්වල සිට ගම්බිම් බලා ගිය ජනතාව කොළඹ සහ ප්‍රධාන නගර බලා රැගෙන ඒමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේය.

මේ අතර දිවයින පුරා හෙට (16) දිනයේ සියයට 50ක පමණ බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මේ දිනවල මගී ජනතාවගේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

“දුර සේවාත් ඇතුළුව බස් රථ 7000ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතු කරනවා. සිකුරාදා වනවිට බස්රථ සේවාව යථාතත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා. ගම්බිම් බලා ගිය ජනතාවට කල්වේලා ඇතිව කොළඹට පැමිණෙන්න කියලා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.”

මේ අතර හෙට (16) සිට කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්ම කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා කියා සිටියේය.

“බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් හෙට (16) දින උදෑසන පැමිණෙන සාගරිකා දුම්රිය සාමාන්‍ය විදිහට 16 සහ 17 යන දිනවල අලුයම 04.15ට කොළඹ බලා පිටත් වෙනවා. කොළඹ – කොටුවෙන් සවසට සාමාන්‍ය වෙලාවට ගමන් ආරම්භ කරනවා. 18 සහ 19 දෙදිනත් උදෑසන 08.20 බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වෙනවා. මාතර දුම්රිය ස්ථානයේ රුහුණු කුමාරි සහ ගාලු කුමාරි දුම්රිය සාමාන්‍ය පරිදි පිටත් වෙනවා. ඒ වගේම ගාල්ල දුම්රිය ස්ථානයෙන් අලුයම 03.15ට 04.00ට 04.10ට 05.00ට 05.15ට පැය භාගයෙන් භාගයට කොළඹ කොටුව බලා දුම්රිය පිටත් වෙනවා. ඒ වගේම හෙට දින සිට උදෑසන මහව, ගනේවත්ත, කුරුණෑගල, රඹුක්කන සහ පොල්ගහවෙල සිට සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය කිරීමට සැලැසුම් කරලා තියෙනවා. හලාවතෙන් තව දුම්රිය දෙකක්, අවිස්සාවේල්ලෙන් දුම්රිය තුනකුත්, කොස්ගමින් දුම්රියකුත් හෙට දින උදෑසන කොළඹට ඇවිත් සාමාන්‍ය පරිදි සවස කාර්යාල දුම්රිය ටික ධාවනය කිරීමට සැලැසුම් කරලා තියෙනවා.” 

ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්….

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගොස් ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමාත්‍යංශය සඳහන් කරන්නේ, එහි ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් සිය ආසනය වෙන් කරගත හැකි බවය.

එසේ නොමැති නම් www.busticket.gov.lk හෝ 011 200 1266 යන ක්ෂණික දුරකතනය අංකය හරහා ප්‍රවේශ පත්‍ර වෙන් කරගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

එළියට ආ හඬපටය ගැන ගල්අඟුරු සභාපතිගෙන් නිවේදනයක්…..

සමාජ මාධ්‍යවල සංසරණය වන තමා සහ ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල්අඟුරු සැපයුම්කාර සමාගමේ නියෝජිතයෙකු අතර ඇතිවූ බව කියන දුරකතන සංවාදය පිළිබඳව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස ගල්අඟුරු සැපයීම සඳහා කැඳවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම ඒ වනවිටත් කැබිනට් අනුමැතියද සහිතව කොන්ත්‍රාත් ප්‍රධානය කර තිබූ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාළව බැංකු විසින් නිකුත් කරන කාර්යය සාධන ඇපකරය එය අදාළ බැංකුව විසින් නිකුත් කරන ලද දිනය යන මාර්තු 25 දිනැතිව ලබාදෙන ලෙස කළ දැනුම්දීමක හඬපටයක් විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කොට සමාජ මාධ්‍ය ජාලතුළ ප්‍රචාරය කර ඇති බවය.

හන්තාන කටුසු කොන්ද ප්‍රදේශයේ අතරමං වූ පුද්ගලයකු බේරා ගනී…..

හන්තාන කඳු පන්තියේ “කටුසු කොන්ද” තරණය කිරීමට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු බේරාගැනීමට යුද හමුදාව සමත්ව තිබේ.

අද (13) පෙරවරුවේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඔහු බේරගත් බව යුද හමුදාව සඳහන් කළේය.

මෙම මෙහෙයුම සඳහා යුද හමුදාවේ 111 වන පාබල බලසේනාවට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්  එක්වූහ.

මහනුවර පොලීසිය වෙතින් ලද තොරතුරකට අනුව ඊයේ (12) පස්වරු 06:40 ට පමණ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම දුෂ්කර ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන ලදී.

දැඩි අන්ධකාරය හා මීදුම් සහිත පරිසරය මධ්‍යයේ රාත්‍රී කාලය පුරාම සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බව යුද හමුදාව සඳහන් කරයි.

ඒ අනුව, අද (13) පෙරවරු 07:45 ට පමණ අතුරුදන්ව සිටි පුද්ගලයා නිරුපද්‍රිතව සොයා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත් වූහ.

කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්…

පිළියන්දල පොලිස් වසමේ කරදියාන කසළ අංගණයේ අද (10) පස්වරුවේ හටගත් හදිසි ගිනි ගැනීම හේතුවෙන් ප්‍රදේශය පුරා අධික දුමාරයක් පැතිර යමින් පවතින බව පොලිසීය පවසයි.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවීමේ ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ පිළියන්දල පොලිසිය එක්ව කටයුතු කරමින් සිටී.

මින් පිටවන දුමාරය විෂ සහිත වීමට ඉඩ ඇති බැවින් එම කසළ අංගණයට ආසන්න අතුරු මාර්ග භාවිත කරන මහජනතාව එම ප්‍රදේශය මගහැර ගමන් කිරීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසිය දැනුම්දෙයි.

තවද එම ප්‍රදේශය ආශ්‍රිතව වාසය කරන මහජනතාව එම දුම ආග්‍රාහණය වීමෙන් සිදුවන සංකූලතා වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙසද සඳහන් කරයි.

ලැබ් එකේ අවුල කලින්ම දැනසිටි බව ගල්අඟුරු සාමාන්‍යාධිකාරීවරයා පිළිගෙන….

ට්‍රයිඩන්ට් සමාගමේ ගල්අඟුරු තොග මෙරටට පැමිණි මුල් අවධියේ සිටම, එම සාම්පල පරික්ෂා කළ පැටවුම් වරායේ පරීක්ෂණාගාරයට නිසි ප්‍රතීතනතාවයක් නොතිබුණු බව ලංකා ගල්අඟුරු සමාගම දැන සිටියේ යැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා කෝප් කමිටුව හමුවේ පිළි ගෙන තිබේ.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා එම කමිටුව හමුවේ පෙනී නොසිටි අතර ඔහු කෝප් කමිටුවට සහභාගී වීම සිතාමතා මඟහැර ඇති බවට ද එහිදී චෝදනා එල්ල විය.

එමෙන්ම රැස්වීම අතරතුර කෝප් කමිටු සභාපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල විය.