ලොකු පැටී එළැඹෙන 04 වනදා දක්වා යළි රිමාන්ඩ්……

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදවා එල්ලවී සිටින අපරාධ කල්ලි නායකයෙකු වන “ලොකු පැටී” නැමැත්තාව එළැඹෙන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ සැකකරු රැඳවුම් නියෝග අවසන් කර අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැති අපරාධකරු පසුගිය මැයි මස 4 වැනිදා දිවයිනට රැගෙන ආවේය.

බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසු වූ ඔහු දිවයිනට රැගෙන ඒමෙන් පසුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරිණි.

ඒ අනුව දින 90ක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කළ විමර්ශන නිලධාරීන් ඔහු සතු වූ ගිනිඅවි හා දේපළ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගත්තේය.

ඔහුගේ දින 90ක රැඳවුම් කාලය එළැඹෙන 4 වනදා අවසන්වීමට නියමිතව තිබුණද විමර්ශන නිලධාරීන් අද දිනයේදී ඔහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ පාතාල කල්ලි රැසකින් ඔහුට තර්ජන එල්ලවීමත් සමගය.

ඒ අනුව ලොකු පැටී නැමැත්තාව එළැඹෙන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අමෙරිකානු තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි…..

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබේ.

ඒ අනුව දකුණු ආසියානු රටවල්වන බංග්ලාදේශයෙන් 20%ක්, පාකිස්තානයෙන් 19%ක් දක්වා ද අඩුකර තිබේ.

කෙසේ වෙතත් අමෙරිකාව ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකෙරෙන තීරුබදු ප්‍රතිශතය වෙනස්කර නොමැති අතර, එය 25% සීමාවේ එලෙසින්ම පවතියි.

මේ අතර 50%ක දැවැන්ත තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ බ්‍රසීලයේ ආනයන මත පනවන බද්ද 10%ක් දක්වා අඩුකර තිබීමද විශේෂත්වයක්ය.

එමෙන්ම අමෙරිකාවේ ප්‍රධානම මිතුරු රාජ්‍යයක් වන ඊශ්‍රායලයෙන් අයකරන තීරු බදු අනුපාතයද 15%ක් දක්වා පහත හෙළා ඇත.

මෙම පහත දැමූ තීරුබදු අනුපාත අතර ඉහළම ප්‍රතිශතය 41%ක් වන අතර, එය සිරියාව වෙනුවෙන් දක්වා තිබේ.

එමෙන්ම ලාඕසයෙන් හා මියන්මාරයෙන් 40% බැගින් අය කරන බවද ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අගෝස්තු මස ඉන්ධන මිලේ වෙනසක් නොවෙයි…..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාවක නිවේදනය කරයි.

හිටපු ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.ඒ අනුව, පහත දැක්වෙන හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය යනුවෙන් එහි දැක්වෙයි.

 

නව අගවිනිසුරු පිලිගැනීමේ උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වෙයි…

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්විය.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය.

මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීම වේගවත් කරන බවත් ඔහු කියා පැවසීය.

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට….

පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30)  රාත්‍රියේ දිවයිනට පැමිණියේය.ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) මහතාගේ ආරාධනයකට අනුවය.  

 මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වීය.මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසු‍මක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනිණි.

 ජනාධිපතිවරයා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් කුරුම්බා මෝල්ඩිව්ස්නිවාඩු නිකේතනයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි.

 මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ජනාධිපතිවරයා විසින් පැළයක් රෝපණය කරන ලදී.එසේම, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කර තිබූ ව්‍යාපාරික සංසදයද, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ හමුවද ඇමතීය.වසර 60ක් පුරා දෙරට අතර දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම  පිළිබඳව මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කෙරිණි. ඒ අනුව, දෙරට අතර සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක් වූහ.

මන්ත්‍රී රෝහිතගේ දියනිය හෙට අධිකරණයට….

ආන්දෝලනාත්මක එකලස් කරන ලදැයි සැලකෙන  ලෑන් කෘෂර්  වර්ගයේ ජීප් රථයේ වත්මන් අයිතිකරු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අද (30) උදෑසන වලාන දූෂණ මර්දන ඒකකයටභාරවීමෙන් අනතුරුව වලාන දූෂණ මර්දන නිලධාරීන් විසින් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද (30) සහ 3.30ට පමණ මතුගම  මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් රාත්‍රී 8 දක්වා අධිකරණයට ඉදිරිපත් නොකළ අතර  පානදුර වලාන දූෂණ මර්දන ඒකකය නිලධාරීන් විසින් මතුගම පොලිසියට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හෙට  මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව  ඇති බව නීතිඥවරයා වෙත දැනුම් දී ඇති බවට වාර්ථා වෙයි…..

කළුතර චන්දන පෙරේරා

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්…..

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් එළැඹෙන අගෝස්තු මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (30) පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසු ගිය 28වනදා අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව, හිටපු නාවික හමුදාපතිවරයාව එදින පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

ශ්‍රී ලංකා තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා FR පෙත්සමක්…

ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජනමාධ්‍යවේදියෙකු සහ දැයට සවිය ආයතනය  විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා,  ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ සභාපති ධූරය මාස හයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පවතින බවය.

එම කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඉන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පුරප්පාඩුව හටගත් බවත් ඔවුන් පෙන්වා දෙයි.

තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත්වීම් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණද එම පුරප්පාඩුව සඳහා වැඩබලන සභාපතිවරයෙකු හෝ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව පෙත්සම්කරුවන් පවසයි.

ඒ අනුව තොරතුරු ඉල්ලීම්වලට අදාළ අවසන් තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙත්සමෙන් පෙන්වා දෙයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ පුරප්පාඩුව පවතින අදාළ කොමිසමේ සභාපති ධුරය සඳහා සුදුසු අයෙකු නම් පත්කරන ලෙස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මන්ත්‍රී රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ.

ඒ, ආන්දෝලනාත්මක ජීප්රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලද තොරතුරකට අනුව පසුගිය ජූලි 19 වෙනිදා පස්වරුවේ එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාළ ජීප් රථය සමග එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා වන අතර ඔහු මේ වනවිට ඇප මත මුදාහැර තිබේ.

අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.

පොලීසිය සැක පළ කරන්නේ එම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවත්ය.

ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවනවරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ පුත්‍රයා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාළ ජීප් රථය මිලදී ගත් බවය.