කුරුළු උයනේ හිමිකරුට ඇප

කුරුළු උද්‍යාන ගබඩාවේ රුපියල් මිලියන 250ක් වටිනා අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි ගබඩා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇප මත මුදාහැර තිබේ.

ඒ අද (30) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම පුද්ගලයා මුදාහැර තිබේ.

ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට හිටපු ජනපති ගෝඨාභය සුදානම්……

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත්කර තිබෙන හබයාස් ‘කෝපුස් නඩුකරයට’ අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය.

මෙම කරුණට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

කෙසේ වෙතත් පවතින ආරක්ෂක හේතූන් මත තම සේවා දායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත්, කොළඹ අධිකරණයක ඒ සඳහා සූදානම් බවත් නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට දැනුම් දී ඇත්තේ, මෙම ඉල්ලීම අද සිට සති හතරක් තුළ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු නියෝග ලබාගැනීමට කටයුතු කරන ලෙසය.

තම සේවා දායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සූදානම් බැවින් මෙම නඩුකරයේ විභාගය අවසන් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පෙත්සම්කාර අතුරුදන් වූවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බෝපගේ මහතාද ඒකකතාවය පළකළේය.

ඒ අනුව එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

2011 වසරේ දෙසැම්බර් මස 9 වනදා ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුකරයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස 2019 වසරේ දී එවක හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිතාසි නිකුත් කර තිබුණි.

ආරක්ෂක හේතුන් මත තමන්ට යාපනය අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බව සඳහන් කරමින් එම සිතාසි නිකුත් කිරීමේ තීරණයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සම විභාග කළ අභියාචනාදීකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට සාක්ෂි දීම සඳහා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අභියාචනාධිකරණයේ එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය…

යටිනුවර ප්‍රා.ස. මන්ත්‍රී, බිරිඳ සහ දියණියගේ මරණ ගැන තොරතුරු රැසක්…..

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවස තුළ මියයෑම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය මන්ත්‍රීවරයා විසින් තවත් පුද්ගලයෙකු  සමග සිදුකළ මුල්‍ය ගනුදෙනුවක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බවය.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි අදාළ මන්ත්‍රීවරයාගේ දෙමහල් නිවස තුළ තිබී අද උදෑසන මෙම මළසිරුරු සොයාගෙන තිබිණි.

මන්ත්‍රීවරයා නිවසේ පිටුපස පිහිටි තාවකාලිකව ඉදිකර ඇති ස්ථානයක ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගෙන සිටි අතර ඔහුගේ බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ ඉහළ සහ පහළ මහලේ කාමර දෙකක් තුළ තිබී පොලීසිය විසින් සොයාගෙන ගත්තේය.

කෙසේවෙතත් බිරිඳ සහ දියණියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සැකකරනු ලබන්නේ බිරිඳට සහ දියණියට නින්දයාම සදහා පසුදින රාත්‍රියේ යම් පෙතිවර්ගයක් ලබා දීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරයා විසින් ඔවුන්ගේ ගෙල සිරකර ඝාතනය කරන්නට ඇති බවය.

මන්ත්‍රීවරයාගේ බාල දියණිය 12 හැවිරිදි වියේ පසුවන අතර ඇය පෙරදින අධ්‍යාපන චාරිකාවක් ගොස් මධ්‍යම රාත්‍රීය පසුවී නිවසට පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

එම දැරිය පොලීසියට පවසා ඇත්තේ පියා තමන්ටත් යම් පෙති වර්ගයක් පානය කිරීමට ලබාදුන් බවය.

අලුයම් කාලයේ තම ගෙල සිරවන බවක් දැනීමෙන් අවදි වූ තමාට, වයරක් අතැතිව සිටින පියා දැකගැනීමට හැකිවූ බවත් ඒ අවස්ථාවේ පියා තමාව බදාගනිමින් හැඩූ බවත්  බාල දියණිය පොලිසිය හමුවේ පවසා තිබේ.

ඉන්පසු පියා නාන කාමරයට යන බව පවසා පිටව ගොස් ඇති අතර මදවේලාවකට පසු ගෙරවිලි ශබ්දයක් තමාට ඇසුණු බවත් , එහි ගොස් බැලීමේදී පියා එල්ලී සිටින ආකාරය දැකගන්නට ලැබුණු බවත්  දැරිය පවසා ඇත.

එමෙන්ම සිදු කළ වැඩිදුර විමර්ශන වලදී මියගිය චම්පික නිලන්ත මන්ත්‍රීවරයා විසින් ලියන ලද බව කියන  පිටු 4ක ලියුමක්ද මෙහිදී විමර්ශන නිලධාරීන්ට හමුව තිබේ.‍

උපුටා ගැනීම

”විජේසිංහ උඹට ශාප වේවා..මට මරණ තර්ජනය කරලා ගේ විකුණන්න බැරිනම් උඹව මරනවා කියලා හැම වෙලාවේම තර්ජනය කරනවා. දුවගේ ස්කෝලේ ළඟට ඇවිත් දවසක් දුව ළඟ ඉන්නකොට කොලරයෙන් අල්ලා ගෙදර ඇවිල්ලා අත්සන් කරන්න කියනවා.මට අත්සන් කරන්න බෑ කිව්වාම යකඩෙකින් ඔළුවට ගැහුවා. තවමත් නළලට උඩින් ඒ කැළල තියෙනවා.”

උපුටා ගැනීම අවසන්.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය මහනුවර මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් සිදුකළේය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්……

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ තර්ජන සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීමට ලැබුණු නියෝගය

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, ධුරයේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන අගෝස්තු 05 කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.

එදිනට විශේෂ පොලීස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නොතිසි නිකුත් කර තිබේ.

අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදිනට ගොනුකරන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් කර ඇත.

අරගලය පැවැති අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ නඩුවක් ගොනු කර ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් හිටපු පොලිස්පතිවරයාඅපේක්ෂිත ඇප ඉල්ලුමක් ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.

දුම්රිය වර්ජනය අත්හිටුවයි…..

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

දුම්රිය බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තීරණය ගෙන තිබේ.

බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය….

බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමේ ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමව තිබේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද 2025 අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි රු. 2 සිට රු. 3 දක්වා වැඩි කිරීම සඳහා වන 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/16 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර තිබුණි.

මේ පිළිබඳ සලකා බලනු ලැබුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

අදාළ බදු ඉහළ නැංවීම 2025 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය 1999 අංක 8 දරන දුම්කොළ බදු පනත යටතේ, 2 වන වගන්තියට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද නියෝගයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය වසරේ බීඩි නිෂ්පාදකයින් සඳහා බලපත්‍ර 1,140ක් නිකුත් කර ඇති නමුත්, බදු ඉහළ නැංවීමේන් අනතුරුව මෙම වසරේ බලපත්‍ර අලුත් කර ඇත්තේ 840ක් පමණක් බවය.

බීඩි නිෂ්පාදන බදු ආදායමද අපේක්ෂා කළ මට්ටමට වඩා පහත වැටී ඇති අතර, පසුගිය වසරේ අපේක්ෂිත ඉලක්කය රුපියල් බිලියන 2ක් වුවද ලැබී ඇත්තේ රුපියල් මිලියන 1,055ක් පමණක් බවත්, මෙම වසරේ මේ දක්වා රැස් කර ඇත්තේ රුපියල් මිලියන 469ක් පමණක් බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම සහ එවැනි ක්‍රියා සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු සඳහා හේතු වී ඇති බවය.

මෙහිදී කාරක සභා සාමාජිකයින් විමසා සිටියේ බලපත්‍ර අලුත් කිරීම් අඩුවීම සහ බීඩි නිෂ්පාදකයන් නීතිවිරෝධී වෙළෙඳපොළවල් වෙත ආකර්ෂණයවීම බදු බර වැඩිවීමේ ප්‍රතිඵලයක්ද යන්නයි.

ඉහළ බදු පැනවීමෙන් නීත්‍යානුකූල ව්‍යාපාර නීතිවිරෝධී තත්ත්වයට යොමුවිය හැකි බවට වන ආර්ථික මූලධර්මය හුවා දක්වමින් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්නේ බීඩි බදු අඩු කිරීමෙන් කර්මාන්තය සඳහා නීත්‍යානුකූල නිෂ්පාදකයන්ගේ සහභාගීත්වය වැඩි කළ හැකි අතර එමගින් සමස්ත ආදායම් රැස් කිරීම ඉහළ නැංවිය හැකි බවය.

ආදායම් ඉලක්ක සපුරා ගැනීමේදී අනාගත බදු ගැලපීම් සඳහා ඒවායේ කාර්යක්ෂමතාව පෙන්නුම් කිරීමට අදාළ විද්‍යාත්මක සාක්ෂි මත තීරණ ගන්නා ලෙස කමිටුව මෙහිදී දැනුම් දුන්නේය.

නාමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි……

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද (29) එම අධිකරණය නියෝග කළේය.

ඒ, මාලදිවයි‍නේ සංචාරය නිමා කරමින් අද උදෑසන දිවයිනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුවය.

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුව ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කර තිබුණි.

එවන් පසුබිමක් තුළ නාමල් රාජපක්ෂ මහතා අද මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිට තිබුණි.

හම්බන්තොට කුරුලු උයනේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

හම්බන්තොට කුරුලු උද්‍යානයේ තිබී සොයා ගන්න ලද නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව එම උද්‍යානයේ හිමිකරු වූ අජිත් ගාල්ලගේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (29) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මෝටර් බයිසිකල් මහා මාර්ගයේ භාවිතා කිරීමේ චේතනාවෙන් ගෙන්වන ලද බයිසිකල් නොවන බව ප්‍රකාශ කළේය.

මෝටර් රථ පනතට අනුව මෙම චෝදනාව ඇප ලබා දිය හැකි වරදක් බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

මෙම සිද්ධියට අදාළ නඩුව හෙට දින හම්බන්තොට මහෙස්ත්‍රත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවත් එහිදී සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම හෙට දින මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කරන ලෙස දැනුම් දුන් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පිරිසක් ද නම් කර ඇත.

හැටන් වික්ටර්න් මාර්ගයේ පාලමක් ගිලාබැසීමේ ප්‍රවෘත්තිය විකාශනය වීමත් අඹගමු ප්‍රාදේශීය සභාවේ සභාපති වහාම ක්‍රියාත්මක වෙයි

හැටන් සිට වික්ටර්න් වත්තට යන පාර පාලමක් ගිලා බැහැලා අවුරුද්දයි අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් තවමත් විසඳුම් නෑ මහජනතාවගෙන් මැසිවිලි .

ඊයේ දිනය මෙම ප්‍රවෘත්තිය විකාශනය වීමත් සමගම අඹගමුව ප්‍රාදේශීය සභා සමගි ජන බලවේග සභාපති කපිල නාකන්දල මහතා අද දින එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණියාය .

එතුමා වැඩිදුරටත් පවසා සිටියේ මෙම පාලම සුද්දාගේ කාලයේ නිර්මාණය කරන පාලමක් බවත් මෙය නවීකරණය කිරීමට විශාල මුදලක් සභාවෙන් වැය කිරීමට සිදුවන බවත් අගෝස්තු මස පලවන දින දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවැත්වීමට නියමිත බැවින් මෙම ගැටලුව එම කමිටුවට ඉදිරිපත් කර ඉතා ඉක්මන් විසඳුමක් වික්ටර්න් වතුයායේ ජනතාවට  සලසා දෙන බවයි.

IMG-20250729-WA0016 IMG-20250729-WA0017 IMG-20250729-WA0018 IMG-20250729-WA0019