ආපදා සහන පැකේජය ජනපති හෙළිකරයි….

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රු බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම තුළ ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.

ඩොලරයේ අගය නොවෙනස්ව පවත්වා ගැනීමට අවශ්‍ය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපේක්ෂා කළ බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2026 සැලසුමේ තිබූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක් අලුතින් උපයාගැනීම තුළින් ඩොලරයට එන බලපෑම වළක්වා ගත හැකි බවද පැවසු ජනාධිපතිවරයා ඒ තුළින් ජනතාවට ලබාදෙන සහන පැකේජය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

පූර්ණ නිවාස හානි 6,228ක්,  NBRO අවසර ලබානොදෙන අර්ධ හානි වූ නිවාස 4,543ක්, කිසිදු හානියක් නොවූ NBRO අවසර ලබානොදෙන නිවාස 6,877ක් ඇති අතර, මුළු නිවාස 17,648ක් සඳහා මාස තුනකට රු 50,000 බැගින් ලබාදීමට රජය කටයුතු යොදා ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

සහන පැකේජය

* හදිසි ආපදා තත්ත්වය පහව යෑමෙන් පසුව ආපදාවට ලක්වූ පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීමට රු 25,000ක් ලබාදීම.

* නිවාසට හානි වූ හෝ නිවසේ ගෘහ භාණ්ඩවලට හානි වූ නිවාස සඳහා මුලික උපකරණ ලබාගැනීම සඳහා රු 50,000ක් ලබාදීම.

* පළමු වටයේ දී මුළුමනින්ම නිවාස අහිමි වූ  ආදායම් මාර්ග අහිමි වූ, NBRO නිර්දේශ ඇති අර්ධ වශයෙන් හානි වූ නිවාසහිමියන්ට හෝ නිවාස හානි වී නොමැති වුවත් අවදානම් තත්ත්වය තුළ නිවාසට යෑමට නොහැකි ජනතාවට රු 50,000ක දීමනාවක් ජනවාරියේ සිට මාස තුනක කාලසීමාවක් ලබාදීම.

* නිවාස සම්පූර්ණයෙන් හානි සිදුව ඇති, අර්ධ නිවාස හානි හෝ නිවසට හානි සිදුව නොමැතිව NBRO නිර්දේශ මත නිවසින් බැහැරවීමට උපදෙස් දුන් පිරිසට රු 25,000 බැගින් ලබාදීම.

* ආපදාවට ලක්වූ මුළු නිවාස 17,648ක ජනතාවට රු ලක්ෂ 50 බැගින් ලබාදීම.

* වී, බඩඉරිඟු, රටකජු සහ ධාන්‍ය වගා කර ඇති අයට හෙක්ටයාරයකට රු 150,000ක දීමනාවක්.

* මිරිස්, ලූනු, ගස්ලබු, කෙසෙල් ඇතුළු එළවළු වගාකළ ගොවීන්ට හෙක්ටයාරයකට රු 200,000ක දීමනාවක්.

* ඝණත්වය අනුව ගම්මිරිස්, එනසාල් සහ කෝපිවලට වන්දි ලබාදීම. (ගම්මිරිස් වැළකට රු 250ක්.)

* පශු වෛද්‍ය කාර්යාලවල ලියාපදිංචි වූ දෙමුහුන් ගවයෙක් වෙනුවෙන් රු 200,000ක බැගින් උපරිම ගවයින් 10ක් සඳහා ආධාර මුදලක් ලබාදීම.

*දේශීය ගවයෙකු වෙනුවෙන් රු 50,000ක දීමනාවක් උපරිම ගවයින් 20 දෙනෙකු සඳහා ආධාර ලබාදීම.

*සූකරයින්, එළුවන් සහ බැටලුවන් සත්ත්ව පාලනයේ යෙදෙන ලියාපදිංචි වී සිටින පිරිසට එක් සතෙකුට රු 20,000 බැගින් සතුන් 20 දෙනෙකු සඳහා ආධාර මුදලක් ලබාදීම.

*කුකුළු පාලනයේ යෙදෙන පිරිසට මියගිය එක් ලේයර් සතෙකුට රු 500 බැගින් උපරිම සත්තු 2,000ක් දක්වා ආධාර ලබාදීම. බ්‍රොයිලර් සතෙකුට රු 250 බැගින් සත්තු 4,000ක උපරිමයකට යටත්ව ලක්ෂ 10ක් ලබාදීම.

* කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටුවට රක්ෂණයක් ඇති අයට, රක්ෂණයේ මුදල සීනෝර් ආයතනයට ලබාදී එම පිරිසට අලුත් බෝට්ටුවක් ලබාදීම.

* දැල් ආම්පන්න නැති වූ සෑම ධීවරයෙකුටම රු 100,000 වවුචරයක් ලබාදීම.

* ආපදාවට ලක්වූ බෝට්ටු සීනෝර් ආයතනයෙන් නොමිලේ සාදා දීම.

* මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ඔරුවක් අහිමි වූ අයෙකුට රු 100,000 මුදලක් හා හානියට පත්වූ ජලාශවලට පැටව් ලබාදීම.

* ආපදාවට ලක්වූ පාසල් සිසුන්ට රු 25,000 දීමනාවක්.

* කර්මාන්ත අමාත්‍යාංශයයේ ලියාපදිංචි වූ කර්මාන්ත 9,600ට ලක්ෂ 2ක මුදලක්

* අර්ධ හානියට පත්වූ ව්‍යාපාර ගොඩනැගිලි සඳහා ලක්ෂ 5ක් හෝ තක්සේරු කිරීමෙන් පසු උපරිමය ලක්ෂ 50ක්

* කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ ප්‍රාදේශීය ව්‍යාපාර සඳහාත් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවෙන් පසු දීමනාවක්

* මහා පරිමාණ ව්‍යාපාර සඳහා සහනශීලි ණයක් යටතේ කුඩා කර්මාන්ත සඳහා ලක්ෂ 2.5 සිට ලක්ෂ 10 දක්වාත් සහ විශාල කර්මාන්ත සඳහා රුපියල් මිලියන 25ක්

ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි….

ඉදිරි පැය 36 දී නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

දේශබන්දුට එරෙහි පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවට මහාධිකරණයෙන් තීන්දුවක්…..

2022 වසරේ මැයි මස 9 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවෙකු විසින් එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව එම පැමිණිල්ල පිළිබඳව සලකා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් කොළඹ මහාධිකරන විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියම කර ඇත.

ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙසත් මහාධිකරණ විනිසුරවරයා විසින් නියෝග කළේය.

අදාළ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එහි පැමිණිලිකරු වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචි සෙයිද් මොහොමඩ් මවුලානා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචක විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීමකින් තොරව එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් 2022 දෙසැම්බර් මස 02 වනදා ප්‍රතික්ෂේප කර තිබූ බව තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කිරීමට පෙර විනිසුරුවරයා නිසි මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් අධිකරණ මනසකින් යුතුව ඒ පිළිබඳව සලකා බැලීම අවශ්‍ය බවත් විනිසුරුවරයා පැවසුවේය.

මෙවැනි පැමිණිල්ලක් විභාග කිරීම සදහා සිතාසි නිකුත් කරන්නේද? යන්න තීරණය කිරීමට පෙර චෝදනාවලට සම්බන්ධ වරදේ අංග සහ සාක්ෂිවල ස්වභාවය මහේස්ත්‍රාත්වරයා විසින් සලකා බැලිය යුතු බවත් විනිසුරුවරයා කියා සිටියේය.

එහෙත් මෙම නඩුකරයේදී මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව නිසි අධිකරණ මනසකින් සලකා බලා නොමැති බවත් ඔහු පුද්ගලික දැනුම මත මෙම තීන්දුව ලබා දී තිබෙන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

චෝදනාවල අංග සහ සාක්ෂිවල ස්වභාවය සැලකිල්ලට භාජනය නොකොට මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දී තිබෙන මෙම තීන්දුව නීතියට පටහැනි බවත් ඒ අනුව එය තම අධිකණය විසින් ඉවත දමන බවත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව මෙම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් සලකා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස වර්තමාන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසත් නියම කළේය.

‘දිට්වා’ ට මුහුණදෙන්න සූදානමක් නොතිබීම ගැන සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි…..

ආපදා තත්ත්වයට පෙර සූදානමක් නොමැතිවීම ගැන පූර්ණ අධ්‍යනයක් සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු 25 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

භාර දී ඇති ලිපියේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය ලෙස සැළකෙන දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හානි, දේපළ හානි හා ජනතාවට සිදුව ඇති හානි මේ දක්වා තක්සේරු කර නොමැති බවය.

එබැවින් මෙම ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර වාර්තාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට කටයුතු කරන මෙන් ලිපියක් ඉදිරිපත් කරමින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය….

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබාදෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙරට සංචාරයක නිරත චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ මෙම දරුණු ව්‍යසනය පිළිබඳ චීන රජයත්, ජනතාවත් මහත් සේ කණගාටුවට පත්වන බව ප්‍රකාශ කළ උප සභාපතිවරයා, ආපදාවට පත් සහෝදර ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට චීන රජය පළමු අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ බවද සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ආර්ථික, සංස්කෘතික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවද ඔහු පවසා තිබේ.

මෙම ආපදා අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස වෙත ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර සපයා දෙමින් චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හෘදයාංගම සහාය කෘතවේදීව අගය කළ බව සඳහන් වේ.

විශේෂයෙන් හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන රජයෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ආපදා තත්ත්වය සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා චීන නියෝජිත පිරිස දැනුවත් කර ඇත.

රජයේ මූලික පියවර වූයේ ආපදාවට පත් ජනතාව මුදා ගැනීම බවත්, ඉන්පසුව ඔවුන් ඉතා සුරක්ෂිත ස්ථානවලට යොමු කර ආහාර, සෞඛ්‍ය ආදී මූලික පහසුකම් සපුරා දීමට පියවර ගත් බවත් පැවසු ජනාධිපතිවරයා මේ වන විට ඔවුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් සැලැසුම්සහගත වැඩපිළිවෙළක්  ඔස්සේ කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශ කර තිබේ.

ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්….

කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරුකරගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද (17) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ විසින් පරීක්ෂණ කණ්ඩමකින් යොදවා වෙනම පරීක්ෂණයක් සිදුකරන බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්ද පරීක්ෂණයක් සිදුකරන බවත් ඒ මහතා පවසයි.

මියගිය රෝගීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබාගත් සාම්පල මේ වනවිට පරීක්ෂණ තත්ත්වයේ පවතින බවත් ඒ මහතා පැහැදිලි කළේය.

එහිදී අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා පැවසුවේ ප්‍රශ්නගත ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නතේ කාණ්ඩ 4ක් රෝගීන්ට ලබාදීම තාවකාලිව නවතා දැමුවේ අදාළ රෝගීන් දෙදෙනා මියයාමට ප්‍රථමයෙන් බවය.

පසුව මෙම මරණ දෙක වාර්තාවීමත් සමග එම ඖෂධයේ අනෙකුත් කාණ්ඩ ද තාවකාලික නවතා දැමූ බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම එම නිෂ්පාදන ආයතනයෙන් ආනයනය කර ඇති අනෙකුත් ඖෂධ 10ක් ද තාවකාලිකව නවතා දැමීට කටයුතු කර ඇති බව ඔහුද ප්‍රකාශ කළේය.

එහිදී මාධවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා පැවසුවේ, මෙම ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත සිදුකරන ක්‍රියාවලියක් නොවන බවය.

“ඇමතිවරු හෝ රජයන් මත නොවෙයි ඖෂධ ලංකාවට ආනයනය සිද්ධ වෙන්නේ. එය ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතුයි. 

අමාත්‍යංශයක් විදියට කාර්ය භාර්යයක් තියෙනවා. අවුරුද්දක් පාසා අවශ්‍ය වාර්ෂික සැපයුමට අදාළ ටෙන්ඩරය ප්‍රසම්පාදනය කිරීම සඳහා ඖෂධ සංස්ථාවට ලබාදීම. ඒ අනුව ඒ කාර්ය සිදුවෙනවා අදාළ ප්‍රසම්පාදන කමිටු කාර්ය අනුව. 

2022 ටෙන්ඩරයක් ගියා, 2025 ටෙන්ඩරයක් ගියා. 2025 ටෙන්ඩරය එන්නේ 2024. 2025ට බෙහෙත් අවශ්‍ය නම් ඒ ටෙන්ඩර් එක දාන්නේ 2024. අඩුම තරමේ මාස 11ක විතර කාලයක් දැනට යනවා ඕඩර් එකක් දාලා ඖෂධ ටික රටට එන්න. ක්‍රමවේදය එහෙමයි. 

ඕනේ ඕනේ වෙලාට කඩෙන් ගන්නවා වගේ ගන්න බෑ. ඒවා හදන්න ලෝකු කාලයක් යනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්ය භාරයක් විදියටයි යන්නේ. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි”.

ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි….

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ අදාළ එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදු වූ යම් දෝශයක් හේතුවෙන් මෙම සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත මෙම තීරණය ගත් බවය.

මේ අතර භාවිතය අත්හිටුවා ඇති ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එන්නතේ කාණ්ඩ කිහිපයක් භාවිතය අත්හිටුවනු ලැබුවේ එහි විෂබීජයක් ඇතැයි සැක මතුවීම සහ රෝහල් කිහිපයකින් ලද පැමිණිලි සලකා බලමින්ය.

‘ඔන්ඩැන්සෙට්‍රෝන් යනු වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබාදෙන එන්නතකි.

එය මෙරට රෝහල් තුළ බහුලව භාවිතයට ගැනේ.

නමුත් ඔන්ඩැන්සෙට්‍රෝන් නමැති එන්නතේ කාණ්ඩ හතරක් මෙරට සියලු රෝහල්වලින් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙසට ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම ඖෂධය මෙරටට ගෙන්වන පෞද්ගලික සමාගමට ලිඛිතව නියෝග කර තිබුණි.

ඒ පසුගිය දෙසැම්බර් 12 වැනිදාය.

එලෙස මෙම එන්නත අත්හිටුවීමට නියෝග කර තිබුණේ එන්නතේ සංකූලතා වාර්තාවීම සහ මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශය මෙම එන්නත සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකින්, එම සාම්පලයක විෂබීජයක් අන්තර්ගත බවට සැකයක් ඇතැයි වාර්තා කිරීමත් සමගින්ය.

මෙම එන්නත ලබාදුන් පසු මහනුවර ජාතික රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට උණ වැළඳීම හේතුවෙන් මෙම එන්නත විශේෂ පරික්ෂාවකට ලක් කර තිබුණි.

එමෙන්ම තවත් රෝහල් කිහිපයකින්ම මේ සම්බන්ධයෙන් මූලික වාර්තා ලැබුණු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර කොළඹ අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් දෙදෙනෙක් එම එන්නත ලබාගැනීමෙන් පසු මියගොස් ඇති බවට ජාතික පුවත්පත් ඊයේ වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේ අදාළ එන්නත් දෙලක්ෂ 70,000ක් පමණ මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය සිකුරාදා සිට එම එන්නත් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවය.

නමුත් එම එන්නත රෝහල්වලින් ඉවත් කිරීමට පෙර එන්නත් 220,000ක් පමණ භාවිතයට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

අදාළ එන්නත ලබාදුන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසීය.

ඔන්ඩැන්සෙට්‍රෝන් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන පරීක්ෂණවලට අමතරව වෛද්‍ය පර්යේෂණායතනයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියෝග…

දූෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිල්ල ලබන මාර්තු මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බව අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන මාර්තු මස 13 කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපොළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබා ගත් බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ආපදාවෙන් සිදුවූ පාඩුව ගැන හෙළිදරව්වක්….

දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පවසයි.

මේ පිළිබඳව කරුණු අනාවරණය වූයේ රට තුළ පවතින ආපදාවේ ස්වභාවය විශ්ලේෂණය කිරීම සහ එයින් සිදුවන සමාජීය, ආර්ථික හා පාරිසරික හානිය තක්සේරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.

එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමේ දී සිදුකළ යුතු අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සමග ඒ සඳහා රුපියල් බිලියන 190 ක පමණ මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බව එම නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ආපදා තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග 316 ක් සහ පාලම් 40කට හානි සිදුවී ඇති බව පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්රිය මාර්ගවලට සිදුවූ හානිය සහ දිවයින පුරා ප්‍රාදේශීය මාර්ගවලට සිදුවූ හානිය පිළිබඳව තවමත් තක්සේරු කිරීමක් සිදුව නොමැති බවය.

ප්‍රාදේශීය මාර්ග නැවත පිළිසකර කිරීමේ දී ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා අමාත්‍යාංශය මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව දැනට ලෝක බැංකුව මගින් රුපියල් බිලියන 2ක මුදලක් ණයක් ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවත් තවත් ආයතන කිහිපයක් මගින් මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේක්ෂා කරන බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මේ අතර මෙම ආපදා තත්ත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

ලෝක බැංකුවෙන් මේ සඳහා යම් ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා සිදුවන බවත් එම නිලධාරීන් කාරක සභාව හමුවේදී පැවසූ අතර මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම මුදල ණය මුදල් ලෙස ලබා නොගෙන ප්‍රදානයක් ලෙස ලබාගැනීමට උත්සාහ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ණය මුදලක් ලෙස එම ප්‍රතිපාදන ලබා ගැනීම ඔස්සේ පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පතේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බැවින් එම මුදල ප්‍රදානයක් ලෙස ලබාගැනීමේ වැදගත්කම සභපතිවරයා අවධාරණය කළේය.

තවද සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් මිලියන 252 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූහ.

එම එම අළුත්වැඩියා කටයුතු සඳහා වැයවන මුදල ඔවුනට අයවැය මගින් වෙන් කර තිබෙන ප්‍රතිපාදන මගින් ප්‍රතිපුර්ණය කරගත හැකි බැවින් අමතර ණය හෝ ප්‍රදානයක් අවශ්‍ය නොවන බව සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ නිලධාරීහු වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභාවට දැන්වූහ.

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් බිලියන 5.6 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීහු කාරක සභාව දැන්වූහ. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජල සැපයුම් යෝජනාක්‍රම 156 කට හානි සිදුව ඇති බවත් ඒ සියල්ලම නඩත්තු කටයුතු සිදු කර මේ වනවිට  යථා තත්ත්වයට පත් කර ඇති බවත් නිවාස ,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ  ලේකම්වරයා  කාරක සභාවට පැවසීය.
එමෙන්ම  ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රදානයක් ලෙස ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද ලේකම්වරයා කාරක සභාවට දැන්වීය.

ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදාවන්ට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාවේ සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ඒ සඳහා අවශ්‍ය සහාය අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන් වෙත ලබාදීමට සුදානම් බවද පැවසුවේය.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, අජිත් පී. පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිව ඩිජිටලර්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනා ගෙන තිබුණි.

එම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය හඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වාදී සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ e-CMS පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහා ද අනුවර්තනය කර යොදා ගැනීම e-Court ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන අතර එමගින් ජාතික අධිකරණ දත්ත ජාලයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇත.

මෙමගින් මෙරට දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමය අකාර්යක්ෂමතා මගහැරවීමට හැකි වනු ඇති බවත් අපේකෂා කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා ක්ලීන් ශ්‍රී ලංකා උපාය මාර්ග සමග අනුකූල වෙමින් e-Court ව්‍යාපෘතිය ඵලදායිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදනවලින් e-Court ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.