චමල්ගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්…..

2013 වසරේදී සිදුවූයේ පැවසෙන ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (02) නියෝග කළේය.

ඒ අදාළ නඩුවේ තුන්වන සැකකරු ලෙස ශමින්ද්‍ර රාජපක්ෂ නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දීමත් සමඟය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවකදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.

අනතුරුව ඔවුන් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණි.

මෙවැනි පසුබිමක අදාළ නඩුවේ තෙවන සැකකරු ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කටයුතු කළේය.

එහිදි සැකකරු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එසේම දැනට විදේශගතව සිටින සැකකරු අත්අඩංගුවට ගැවීම සඳහා රතු වරෙන්තුවක් ලබාගැනීමට කටයතු කරන ලෙසද කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

සජබ බේරුවල පක්ෂ ක්‍රියාකාරී හමුවේ උණුසුම් තත්ත්වයක්….

සමගි ජන බලවේගය බේරුවල ආසනයේ පක්ෂ ක්‍රියාකාරී හමුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මෙම ක්‍රියාකාරී හමුව පවත්වා තිබුණි.

එහිදී බේරුවල ආසනයේ සමගි ජන බලවේගය සම සංවිධායක ඉෆ්තිකාර් ජමිල් මහතා සභාව අමතමින් සිටියදී ඊට උරණ වූ සමගි ජන බලවේගය ක්‍රියාකාරිකයින්   ඔහුට විරෝධය පළකර ඇත.

එහිදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවීම නිසා පක්ෂ ක්‍රියාකාරී හමුව උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබුණි.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය සමඟ සන්ධානගතව පිහිටුවාගත් බේරුවල නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් බේරුවල ආසන සංවිධායකවරයා වගකිවයුතු බව එම ක්‍රියාකාරී හමුවට පැමිණි පක්ෂයේ ක්‍රියාකාරීන් පවසා තිබේ.

මේ අතර, එම සන්ධානය සඳහා ඔවුන්ගේ විරෝධයද මෙහිදී එල්ල කර තිබේ.

ලබන 03 වෙනිදා ශිරන්තිට FCIDයෙන් කැඳවීමක් – නාමල් CIDයට…..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 03 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ලබන 03 වන දින පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී  තිබුණි.

ඇය සිය නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට තමාට පැමිණීමට නොහැකි අතර ඒ සඳහා සති 02ක කාලයක් ලබාදෙන ලෙසය.

කෙසේ වෙතත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බැවින් පෙබරවාරි මස 03 වනදින යළි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ද ලබන 03 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

මීට පෙර ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු දිවයිනේ රැඳීනොසිටීම හේතුවෙන් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට අනුව මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට හත්වැනියත් එකතුවෙයි…..

කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ලංකා පාසල් සංවර්ධන නිලධාරින් විසින් සිදු කරණ මාරාන්තික උපවාසය සඳහා අද (01) රාත්‍රියේ තවත් පුද්ගලයෙක් මෙම උපවාසයට එක්විය.

ඒ එම උපවාසයේ නිරතව සිටින අවසන් පාසල් සංවර්ධන නිලධාරියා ද අද පස්වරුවේ රෝහල්ගත කිරීමත් සමඟය.

ඒ අනුව, මාරාන්තික උපවාසේ යෙදී සිටි හයදෙනකු රෝහල්ගත කර ඇත අතර උපවාසය අද ක්‍රියාත්මක වුයේ 7වැනි දිනටය.

මේ අතර ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය පැවසුවේ, සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට (02) දිනට පෙර ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබානොදුන් බැවින් කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හෙට දැවැන්ත විරෝධතාවකට අවතීර්ණ වන බවය.

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළේය.

මාරාන්තික උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්……

උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරින් සමඟ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

මේ බව ජනාධිපති  මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා උපවාසකරුවන්ට අද (30) දැනුම් දුන්නේය.

ඒ අනුව ලබන අඟහරුවාදා (03) සවස හයට මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇති බව සඳහන් වේ.

ලබන සඳුදා දින සියලු සංවර්ධන නිලධාරින් කොළඹට කැඳවා ඇති බවත් ඒ හේතුවෙන් ඊට පෙර එම සාකච්ඡාව ලබා දෙන ලෙසත් ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා ඉල්ලා සිටියේය.

තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද පස්වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ජනවාරි 26 වැනිදාය.

උපවාසයේ නිරතව සිටි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී පසුගියදා රෝහල්ගත කෙරුණු අතර සෙසු දෙදෙනාගෙන් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ද අයහපත්වීම නිසා අද පෙරවරුවේ ඔහු රෝහල්ගත කෙරිණි.

ඒ අනුව මේ වනවිට මාරාන්තික උපවාසයේ නිරතව සිටින්නේ එක් අයෙකු පමණය.

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්…..

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙය සිදුකරයි.

ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, සයිබර් ආරක්ෂාව, නීති,  පර්යේෂණ ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි IMF නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (28) පැවති හමුවේදී එහි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා විසින් මේ බව තහවුරු කර ඇත.

මෙරටට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සාර්ථකත්වය සොයා බැලීමට සහ IMF අඛණ්ඩ සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබාදීම සහතික කිරීම සඳහා ඇය දිවයිනට පැමිණෙන බව සඳහන්.

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා….

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට වැඩබලන අමෙරිකානු තානාපතිනී ජේන් හොවෙල් මහත්මිය අතර එම සාකච්ඡාව බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණු බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බව එහිදි වැඩබලන අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ.

මෙහිදි මෙරට බලශක්ති හා විදුලිබල යන ක්ෂේත්‍ර දෙකෙහිම විවිධ වෙනස්කම් හා වර්ධනයන් පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇමරිකානු ආයෝජන සහ තාක්ෂණික සහය ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම ගොඩනැගෙන නව අවස්ථා පිළිබඳවද පැහැදිලි කර ඇති බව සඳහන්ය.

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුව වෙනුවෙන් ඔහු අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

————————————

UPDATE

අද පැවති නඩුකරයේ දී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා,

“ස්වාමීනි…. මෙම නඩු කරයේ දෙවැනි සැකකරු හැටියට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නම් කර තිබෙනවා. මේ පුද්ගලයා නීතිය මගහැර සිටීමට දක්ෂ පළපුරුදු අපරාධකාරයෙක්. රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ සංචාරය  පුද්ගලික සංචාරයක් වශයෙන් තමයි මුලින්ම ලිපිවල සඳහන් කලේ. පසුව මේ පුද්ගලයා තමයි එම ලිපිවල තිබෙන  ප්‍රයිවට් කියන වචනය ඉවත් කර ඊට  official කියන වචනය එකතු කලේ. මොහු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක්. මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා.” ඒ නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ සැකකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… මේ සැකකරු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහු කිසිදු ආකාරයක රාජ්‍ය මුදල් අභාවිතාවක් කරලා නෑ. ඔහුට කිසිම ලාභයක් මේකෙන් ලැබිලත් නෑ.  ඔහු අධිකරණයට ඇවිත් ඉදිරිපත් වී තිබෙනවා”. ඒ නිසා ඔහු ඇපමත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් “එක් කරුණක් හැර ඉදිරිපත් වී ඇති සියලු කරුණුවලින් බැලූ බැල්මටම මේ සැකකරු නිරත වී ඇති සංචාරය  පුද්ගලික සංචාරයක් බව පෙනී යනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වෙනවා. නමුත් මීට පෙර අධිකරණය කළ එක් නියෝගයක් තවම සම්පූර්ණ වෙලා නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව කියන ආරාධනා ලිපිය ගැන අදාළ විශ්ව විද්‍යාලයෙන් ප්‍රකාශ  ලබාගෙන නෑ. ඒ නිසා එම ප්‍රකාශ ඉක්මනින් ලබාගන්න. ඒ සඳහා බ්‍රිතාන්‍යයට යාමට අවශ්‍ය නෑ. මාර්ගගත ක්‍රමයකින් එය කිරීමට හැකියාවක් තිබෙනවා” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාට යළි අප්‍රේල් මස 29 වනදා පෙනී සිටින ලෙස නියම කළේය.

ඉන් අනතුරුව සැකකාර සමන් ඒකනායක මහතාගේ ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීමේදී පොදු දේපල පනත කෙරෙහි අධිකරණය අවධානය යොමු කරනවා. පොදු දේපල පනත යටතේ ඇප ප්‍රධානය කිරීමට නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් විය යුතුයි. මේ සැකකරු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානියා වශයෙන් සඳහන් කළ යුතුයි. එසේ නම් ඔහුට දැඩි වගකීමක් තිබෙනවා. නමුත් මේ නඩුකරයට අදාළ රුපියල් මිලියන 16කට වැඩි මුදල අනුමත කිරීමේදී ඔහු දැඩි අවධානයෙන් කටයුතු කර තිබෙන ආකාරයක් පෙනී යන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාව තුළ සුපිළිපන් භාවයක් හෝ පරීක්ෂාකාරී භාවයක් තිබී නෑ. සැකකර ජනාධිපති ලේකම්වරයා කියන කාරණය අමතක කර  සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් සැලකුවොත් මේ අධිකරණය කටයුතු කරන්නේ කෙසේද?  ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩි අවධානය යොමු වෙනවා” යනුවෙන් පැවසීය.

වැඩිදුරටත්  කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා “සැකකාර සමන් ඒකනායක අධිකරණය මගහැර ගිය පුද්ගලයෙකු ලෙස පැමිණිල්ල පැවසුවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට එකඟ වීමට හැකියාවක් නෑ. මොකද ඔහු එක් අවස්ථාවකදී හැර  සැම අවස්ථාවක දීම අධිකරණයේ පෙනී  සිටියා. නමුත් ඔහුට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන කරුණු අසාමාන්‍ය කරුණු වශයෙන් අධිකරණයට පිළිගන්න බැහැ” ඒ අනුව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර  සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් බන්ධනාගාරය තුළදී මේ සැකකාර සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස  ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා හෙට දින සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

මෙම නඩු විභාගය පැවැති අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා සහ විත්තියේ නීතිඥවරු අතර වරින් වර  උණුසුම් වචන හුවමාරු වූ අතර ඒවා මහේස්ත්‍රාත්වරයා මැතිහත්වී  සමථයට පත් කරන ආකාරයක්ද දක්නට ලැබිණි.

සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට….

හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි පහරකෑ පුද්ගලයා විරෝධතාවය ඉදිරිපිට යතුරුපැදිය නවතා “බත් කන හරක් තවමත් සිටිනවාදැයි” විමසා තිබේ.

ඊට උරණවූ සැකකාර නාගරික මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්ය. ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පහරදීම සිදුකල නාගරික මන්ත්‍රීවරයා ද ඔවුන් විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට බාධා කල බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කල බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් පහරකෑ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පැවසීය.

හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන් මේ පිළිබඳ විමසීමේ දී ඔහු සඳහන් කළේ, එවැන්නක් වාර්තා වී ඇති බවත්, තමන් එම ස්ථානයේ නොසිටි බවත්ය.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.