ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම 12 වනදාට…

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹදී පවත්වනු ලැබේ.

රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ කලාපීය ප්‍රමුඛතා ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින හවුල්කාරිත්වය සමාලෝචනය කර ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ඉහළ මට්ටමේ රැස්වීමේදී එක්ව කටයුතු කරන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්, අරුණි රණරාජා මහත්මිය සහ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාඕලා පම්පලෝනි මහත්මිය ඒකාබද්ධ කොමිසමේ සම සභාපතිත්වය දරන බව සඳහන් වේ.

මෙරට සංචාරයේ යෙදෙන යුරෝපා සංගම් නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින වත්මන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි සහයෝගී ප්‍රවේශ සහ ඉදිරි පියවර පිළිබඳව පාර්ශව රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

ලංගම බස් රථ රියදුරාට පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා පහරදෙයි….

ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් පහරදී තිබේ.

හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා සඳහන් කළේ, මෙම පහරදීම අද (07) පෙරවරුවේ සිදුව ඇති බවය.

ඩයගම සිට පෙරවරු 6:30ට ගමන් ආරම්භ කරන ලද බස් රථය හැටන් දක්වා ධාවනය කරවන අවස්ථාවේ එයට පිටුපසින් හබා ආ පෞද්ගලික බස් රථයේ රියදුරා විසින් ලංගම බස් රථය හරස් කර රියදුරු අසුනේ දොර විවෘත කර පහරදී ඇති බව ඔහු කියාසිටියේය.

ලිදුල මෙරායා නගරය ආසන්නයේදී මෙම පහරදීම සිදු කර ඇත්තේ, ලංගම බස් රථය විනාඩි 5කට පෙර ධාවනය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙනය.

පෞද්ගලික බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම පහරදීම සිදු කර ඇති බව හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා ප්‍රකාශ කළේය.

ලංගම බස් රථයේ රියදුරාට පහර දෙන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුලු විශාල පිරිසක් සිට ඇත.

මෙම පහරදීම බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත නිතුක් කර ඇති බව ධාවන කලමණාකාරවරයා කියා සිටියේය.

පහර දීම සම්බන්ධයෙන් ලිදුල පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර

ළමා අපචාර දාමයකට හසුවූ එප්ස්ටීන්ගේ ලිපිගොනුවල ශ්‍රී ලංකාවේ නමත්…..

ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අමෙරිකානු ජාතික එප්ස්ටීන් පිළිබඳ එරටදී ප්‍රසිද්ධ කළ නව ලිපිගොනු මාලාවේ ශ්‍රී ලංකාව පිළිබඳ ද ස්ථාන 182ක සඳහන් වේ.

කෙසේවෙතත් ඒ කිසිදු ස්ථානයකට මෙරට තුළ ඔහුගේ වැරදි සිදුකර ඇති බවක් සඳහන් වන්නේ නැත.

ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අමෙරිකාවේ වැරදිකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ නඩුවට අදාළ නව ලේඛන මිලියන ගණනක් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ  ප්‍රසිද්ධ කරන ලදී.

ඒ සමඟ,  මේ වන විට හෙළිවී ඇති, එප්ස්ටීන් හා සම්බන්ධතා පැවැත්වූ ලොව අතිශයින් ම ධනවත් හා බලවත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව තවදුරටත් දීර්ඝ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“එප්ස්ටීන් ලිපිගොනු” ලෙස හඳුන්වන ලද මෙම ලේඛනවල නවතම නිකුතුව ඉකුත් ජනවාරි 30 වන දින එළිදැක්වුණු අතර, එහි පිටු මිලියන තුනක්, ඡායාරූප 180,000ක්, වීඩියෝ 2,000ක් ඇතුළත්ය.

එමෙන්ම බිලියනපතියන් වන රිචඩ් බ්‍රැන්සන්, බිල් ගේට්ස්, ඊලොන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කිහිපයක් ද ඊට ඇතුළත්ව තිබේ.

එම ලේඛනවලට ඔවුන්ගේ නම් ඇතුළත් වූ පමණින් කිසියම් වරදක් සිදු කර ඇති බවට ඉන් ඇඟවෙන්නේ නැත.

එවන් පසුබිමක එප්ස්ටීන් ලිපිගොනු වල ශ්‍රී ලංකාව පිළිබඳ අවස්ථා 182ක සඳහන් වේ.

එහි දැක්වෙන  ඔහුගේ ‘ලිට්ල් සේන්ට් ජේම්ස්” හෙවත් ඔහුගේ රහස් දූපත ගොඩනැගීම සඳහා  ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ අසමසම නිර්මාණ ශෛලීය ආභාසය ගැනීමට උත්සාහා දරා ඇති බවය.

අධිකරණය හමුවේ හෙළි වූ ඊමේල් පණිවුඩවලට අනුව එප්ස්ටීන්ගේ සමීපතමයෙකු වන ජූලියන් ලීස් විසින් ජෙෆ්රි බාවාගේ සුවිශේෂී ගෘහ නිර්මාණවල ඡායාරූප ඇතුළත් විද්‍යුත් ලිපියක් ඔහු වෙත යොමු කර තිබේ.

ස්වභාවධර්මය සහ ගොඩනැගිලි අතර අපූරු සංයෝගයක් ඇති කරන බාවාගේ නිර්මාණ ශෛලීය, තම දූපත තුළ ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

ජූලියන් ලීස් යනු 80-90 දශකවල ප්‍රබල බ්‍රිතාන්‍යය ආයුධ වෙළෙන්දෙකු වූ ඩග්ලස් ලීස්ගේ පුත්‍රයා වේ.

එප්ස්ටයින්ගේ ලේඛන තුළ ජූලියන්‍ගේ නම සටහන්ව ඇත්තේ හුදු මිතුරෙකු ලෙස පමණක් නොව, එප්ස්ටයින් සමග ව්‍යාපාරික සාකච්ඡාවන් සිදුකළ සමීපතම හවුල්කරුවෙකු ලෙසය.

ජූලියන් ලීස් දිර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කරගෙන සිට ඇති බවද එම වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණ වෙයි.

කෙසේවෙතත් එප්ස්ටීන් හා ජූලියන් ලීස් මෙරට තුළ කිසිඳු අපරාධ ක්‍රියාවක් සිදුකර ඇති බවක් ආදළ වාර්තාවල නොමැති අතර ඒ පිළිබඳව මෙරට ආරක්ෂක අංශවලට ද අනාවරණ වී නැත.

මොකක්ද මේ අලුතින් එන කුලී නිවාස නීතිය?

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ  පනත් කෙටුම්පත හරහා නිවෙස් හිමිකරුවන් බරපතළ අගතියකට ලක්වන බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා කරයි.

කෙසේවෙතත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ මෙම කෙටුම්පත පදිංචිකරුවන් ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවය.

කුලී සහ බදු පදනම මත නිවාස හා වෙනත් පරිශ්‍ර බාහිර පාර්ශ්ව වෙත ලබාදීම ඕනෑම සමාජයක සුලබ ක්‍රියාවලියකි.

මෙහිදී හිමිකරුවන් හා ගැනුම්කරුවන් අතර ඇතිවිය හැකි ගැටලු වැළැක්වීම සඳහා මෙම ක්‍රියාවලියට නීතිමය පදනමක් සකස් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2023 අංක 1 දරණ, ” බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ගැනීමේ විශේෂ විධිවිධාන පනත” ඇතුළු නීතිමය රාමු කිහිපයක් දැකගත හැකියි.

මෙවන් තත්ත්වයක වත්මන් ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පදිංචිකරුවන් ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දැඩි කතාබහක් මතුව තිබේ.

එහි පූර්විකාවට අනුව කෙටුම්පතේ මූලික අරමුණ වශයෙන් හඳුනාගත හැක්කේ පරිශ්‍රවලින් පදිංචිකරුවන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට එරෙහිව නීතිමය ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම‍ය.

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත පිරිසකට හානිදායක බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කළ අතර මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා මෙය හැඳින්වූයේ යකාගේ නීතියක් ලෙසය.

මෙම කෙටුම්පතේ 2 වැනි වගන්තියට අනුව යම් පරිශ්‍රයක නීත්‍යනුකූලව රැඳී සිටින එනම්, බදු ගිවිසුමක් හෝ කුලී ගිවිසුමක් යටතේ බැඳුණු බදු ගැනුම්කරුවෙක් හෝ කුලී නිවැසියෙක් වන අයෙකුට මෙය අදාළ වේ.

ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සැකසී ඇති මෙම කෙටුම්පතට අනුව පදිංචිකරුට කලින් ලබා දී ඇති ඕනෑම පහසුකමක්, අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් අත්හිටුවීම හෝ නැවැත්වීම, එවැනි සේවාවක් අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම ඉඩම් හිමියෙකුට කළ නොහැකිය.

මෙහි 4 වන වගන්තිය මගින් පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් සනාථ කර ඇත්තේ ගෙහිමියා හෝ ඔහු විසින් බලය දෙනු ලබන තැනැත්තෙකුට පදිංචිකරු එම පරිශ්‍රයෙන් ඉවත් කිරීම පිණිස සෘජුව හෝ වක්‍රාකාරයෙන් අලාභ හානි සිදුකිරීම, හැරයාම සඳහා පෙළඹවීම සිදු නොකළ යුතු බව ද සඳහන් කරමිනි.

එසේම 5 වන වගන්තියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අධිකරණ ආඥාවක් මත මිස පදිංචිකරුවෙකු පරිශ්‍රයෙන් නෙරපීම සිදු නොකළ යුතු බවය.

එමෙන්ම එවැනි ක්‍රියා සඳහා ඉඩම් හිමියකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පදිංචිකරුවකුට බලය පවරා තිබේ.

මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ද පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් තවමත් අවසන් පියවරකට එළඹ නොමැති බවය.

ටිල්වින් සහ ජයශංකර් අතර හමුවක්…..

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර නිල හමුවක් නව දිල්ලි නුවරදී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, අනාගත වර්ධන අවස්ථා ගවේෂණය කිරීම සහ සමාජ සුබසාධන වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම විශ්වාසවන්ත සහ සැබෑ සහකරුවෙකු ලෙස පෙනී සිටින බව ද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මෙම හමුව සම්බන්ධයෙන් X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිස සමඟ ඉතා සුහදශීලී සහ ඵලදායී අදහස් හුවමාරුවක නිරත වූ බවය.

දෙරට අතර පවතින ගැඹුරු සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම සාකච්ඡාව මනා පිටිවහලක් වූ බව ද ඔහු එහි දක්වා ඇත.

හදිසි නීතිය දීර්ඝ කිරීම යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීමට පමණයි….

හදිසි නීතිය දීර්ඝ කිරීම යළි ගොඩනැඟිමේ වැඩපිළිවෙළ වේගවත් කිරීමට පමණක් බවත් එය කිසිසේත් මර්දනීය උපකරණයක් ලෙස භාවිත නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානිවූ පවුල් සහ නායයෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල්  නැවත පදිංචි කිරීම වෙනුවෙන් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ඉඩම් ලබාදීම සහ නිවාස ඉදිකරගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීමේ අවස්ථාවට අද (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“දිට්වා සුළි කුණාටුවෙන් අපේ රටේ ජනතාවටත්, ආර්ථිකයටත් විශාල බලපැමක් ඇති වුණා. මෙවැනි විශාල ව්‍යසනයක් ඇති වූ විට රට යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැහැ.විශේෂ නීතියක් අවශ්‍යයයි.” 

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ නීති පැනවීම සඳහා අවශ්‍ය බලතල ලබා දී තිබෙනවා. මහජන ආරක්ෂක පනත තුළ විශේෂ නීති පැනවීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා. මෙවැනි ව්‍යසනයකදී ගොඩ ඒමට විශේෂ අධිකාරි බලය සහිත නීති අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි හදිසි නීතිය පණවනු ලැබුවේ. එහෙත් ඉතිහාසයේ හදිසි නීතිය බොහෝ විට උපයෝගී කර ගත්තේ වෘත්තීය සමිති ව්‍යාපාර අඩපණ කිරීම, මාධ්‍ය මර්දනය වැනි කටයුතු සඳහා. අපි හදිසි නීතිය ඒ වෙනුවෙන් උපයෝගි කරගෙන නැහැ. තවමත් මෙම ගොඩනැඟීමේ ක්‍රියාවලිය අවසන් කර නැති නිසා මූලික කටයුතු සම්පූර්ණ කරගන්නා තෙක් අපි හදිසි නීතිය ක්‍රියාත්මක කරනවා.” 

“එය කිසිසේත්ම මර්දන අවියක් ලෙස උපයෝගි කර නොගන්නා බවට මම සහතික වෙනවා. ඒ නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය, මිලදී ගැනීමේ, ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම මෙන්ම, රාජ්‍ය නිලධාරින්ට අවශ්‍යය ආරක්ෂාව ලබාදීම වෙනුවෙන් අපි හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමට කටයුතු කළා. මේ දිට්වා කුණාටුවෙන් විපතට පත් වූ, ඉතා වේගයෙන් ගොඩනැගිය යුතු ප්‍රදේශවලට අවශ්‍ය නීතිමය රැකවරණය අපි ලබා දෙනවා. එය කිසිසේත් මර්දනීය උපකරණයක් ලෙස භාවිතා කරන්නේ නැහැ.” 

වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොලැබෙන ලකුණු….

වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩිකර ලබාදීමට වතු සමාගම් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් ලබාදෙන ලෙස වතු සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිවන් ඔහු සඳහන් කළේ, වැටුප වැඩිවීමට පෙර පැවතියේ කිලෝ 20ක  ප්‍රමාණයක් බවය.

“වතු සේවක වැටුප සම්බන්ධයෙන් ආණ්ඩුව කියලා තියෙනවා රුපියල් 400ක් දෙන්න කියලා. මේ මාසේ 10 වෙනිදා තමයි ඒක හම්බෙන්නේ. නමුත් පඩි වැඩිකරන්න කියපු ගමන් කොම්පැනි කට්ටිය දැන් කිලෝ 20ක් ගත්ත කට්ටිය 25ක් ගෙන්න කියනවා. වත්තේ කළමණාකරුවන්ට ඕන විදිහට වත්තේ වැඩ නතර කරනවා. අද මස්කෙළියේ වත්තක 7 දෙනෙකුගේ වැඩ නතරකලා. වැඩ නතර කරපුවාම කොහොමද ජීවත් වෙන්නේ ඒ අය. ඒ නිසා මම ආණ්ඩුවට කියන්න කැමතී වහාම මේ කොම්පැනි එක්ක සාකච්ඡා කරලා මේකට විසඳුම් දෙන්න. එහෙම නැතිනම් අපිත් එකක් තරහා වෙන්න එපා අපි වෘත්තීය සමිති එකතු කරගෙන අපි උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. වැඩවර්ජන පටන් ගන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. අපි බලයේ ඉන්නකොට මේ වගේ කම්පැනිකාරයේ නැටුවේ නැහැ. කම්පැනිවලට හොඳ ලාභ තියෙනවා. කම්පැනිකාරයෝ බොරු කියන්නේ. ලාභ නැත්නම් කම්පැනි දීලා යන්න පුළුවන්නේ. ඒ බොරුව කරන්නේ. හැමතිස්සෙම ලාභ විතරයි බලන්නේ.”

මාලදිවයින් මහ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම් හමුවෙයි…

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් H.E. Masood Imad මහතා, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය.

අද (05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී එම හමුව සිදුව තිබුණි.

මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

දෙරට අතර සමීප සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දුන් ආරක්‍ෂක ලේකම්වරයා, මාලදිවයින සමඟ පවතින ආරක්‍ෂක සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළිත් තහවුරු කළේය.

මෙම සාකච්ඡාව සඳහා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Fathimath Ghina මහත්මිය ද සහභාගී වූවාය.

ජනපති, පාසල් සංවර්ධන නිලධාරීන්ට කළ ආරාධනය….

පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙසට පාසල් සංවර්ධන නිලධාරීන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ.

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවක දී මෙම ආරාධනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව මෙහිදී  දීර්ඝ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා එම සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පවසා ඇත්තේ, පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණදී සිටින බවය.

මාස 9ක ඉඩෝරය නිමකළ විගණකාධිපති තනතුර….

පුරා මාස 9ක කාලයක් පැවති විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව අද (03) සම්පූර්ණ විය.

ඒ අද පැවැති ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුවය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත පසුගිය සිකුරාදා දින යෝජනා කළ සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අද අනුමත කළේය.

මින් පෙර මාධ්‍ය වාර්තා පළවුණේ ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළ නාමයෝජනා එම සභාව විසින් ප්‍රතික්ෂේප කළ බවය.

සමස්ත රාජ්‍ය ආයතනවල වගකීම තහවුරු කෙරෙන මෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදුවන අතර එහි ප්‍රධානියා වන විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.

මේ හේතුවෙන් විගණකාධිපති ධුරයේ මාස 9ක් පුරාවට පැවති මෙම පුරප්පාඩුව සම්බන්ධව මෙරට පක්ෂ විපක්ෂ රැසක මාතෘකාවක් බවටද පත්වුණු අතර මෙම පුරප්පාඩුව සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක්ද නිර්මාණය විය.

ඒ අනුව නව විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කරන ලෙස ඉල්ලා මෙරට නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක්ද රජයෙන් ඉල්ලීමක්ද කළේය.

එමෙන්ම අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේදී ද මෙම විගණකාධිපති ධුරය සම්බන්ධව කතා කෙරෙනු දක්නට ලැබුණි.

මේ සම්බන්ධව ඇතිවූ තත්ත්වයන් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සිකුරාදා දිනයේදී 5 වෙනි වරටද නව විගණකාධිපති ධුරය සඳහා නමක් යෝජනා කරමින් සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළේය.

පසුගිය සෙනසුරාදා දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබුණද අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බැවින් ව්‍යවස්ථාදායක සභාව අද රැස්විය.

එහිදී සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළේය.

පුරප්පාඩුව

විගණකාධිපති ධුරයේ  කටයුතු කළ චුලන්ත වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

චුලන්ත වික්‍රමරත්න මහතා විගණාධිපති ධුරයට පත්වූයේ පසුගිය 2019 වසරේ අප්‍රේල් 29 වැනි දිනය.

ඒ මෙරට 41 වැනි විගණකාධිපතිවරයා ලෙසය.

40 වැනි විගණකාධිපති ලෙස කටයුතු කළ ගාමිණි විජේසිංහ මහතාගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව චුලන්ත වික්‍රමරත්න මහතා 41 වැනි විගණකාධිපතිවරයා ලෙස පත්විය.

ඒ අනුව පුරා වසර 6ක සිය සේවා කාලය නිම කරමින් ඒ මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

ඒ මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩු වූ විගණකාධිපති ධුරය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨමයෙකු වූ ධර්මපාල ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතව තිබුණද ඒ මහතා සම්බන්ධව පැවැති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම පත් කිරීම සිදු නොවීය.

එමෙන්ම අවස්ථා 4කදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විගණකාධිපති ධුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළද එම නාමයෝජනා සියල්ලද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කවුද මේ සමුදිකා ජයරත්න 

දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ සේවය කර ඇති සමුදිකා ජයරත්න මහත්මිය ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

ඇය මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරිය ලෙසද කටයුතු කරන්නීය.

එමෙන්ම සමුදිකා ජයරත්න මහත්මිය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක්ද වේ.

තවද ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියක්ද විය.