‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය හෙට…..

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක  ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත්වීමට නියමිතව තිබේ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එම උත්සවය පැවැත්වීමට සැළසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

දේශීය, විදේශීය , රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීමෙන් ක්‍රියාත්මක ‘‘රී බිල්ඩින්ග් ශ්‍රී ලංකා‘‘ වැඩසටහනට අදාලව අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පත් කර තිබේ.

එමෙන්ම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා උප කමිටු පිහිටුවීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය

චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් නායයෑම් 4,800ක් හඳුනාගනී…..

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් නායයෑම් 4,800ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව මහත්මිය පවසන්නීය.

අද (12) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.

එහිදී ඇය පවසා සිටියේ, දිට්වා සුළි කුණාටුව ඇතිවීමෙන් පසු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත භාවිත කර නායයෑම් සිතියම් ගත කිරීමක් සිදුකළ බවය.

එම සිතියම් විශ්ලේෂණය කිරීමෙන් මාධ්‍ය මඟින් මෙතෙක් වාර්තා කර ඇති නායයෑම් සංඛ්‍යාවට වඩා ඉතා විශාල ප්‍රමාණයක නායයෑම් සිදුවී ඇති බව හඳුනාගත හැකි වූ බවත් ඇය සඳහන් කළාය.

චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය හරහා රට පුරා නායයෑම් සම්පූර්ණ ලෙස සිතියම්ගත කළ අතර, එමඟින් නායයෑම් සිදුවීම් සම්පූර්ණ සංඛ්‍යාව 4,800කට ආසන්න බව අනාවරණය වී ඇති බවද වාර්තා වේ.

“දිට්වා සුළි කුණාටුව ඇතිවුණ අවස්ථාවේදී චන්ද්‍රකා ඡායාරූප මඟින් ගත්ත තොරතුරු යොදාගෙන අපි නායයෑම් සිතියම් ගත කිරීමකට ලක්කළා. ඒ සිතියම් අනුව අපිට පෙනුනා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන නායයෑම්වලට වඩා විශාල ප්‍රමාණයක් නායයෑම තිබෙනවා කියන එක අපි හඳුනා ගත්තා. ඒ චන්ද්‍රකා ඡායාරූප හරහා 4,800ක පමණ ප්‍රමාණයක සංඛ්‍යාවක නායයෑම් සිදුවුණා.” 

ප්‍රශ්නය – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය චන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රයෙන් කියලා තිබුණේ ස්ථාන 1,241ක විශාල නායයෑම දක්නට ලැබුණා කියලා. ඊට අමතරව කුඩා ඒවා තවමත් පරික්ෂා කරගෙන යනවා කණ්ඩි කඩාවැටීම් ඇතුළ මධ්‍ය පරිමාණ නායගිය ස්ථාන ගැන හැබැයි ඔබතුමියලා කියවා 4,800ක් නිරීක්ෂණය වෙනවා කියලා. ඒ කියන්නේ අරවගේ හතරගුණයක්. ඒ කියන්නේ කොස්ලන්නද වගේ විශාල ප්‍රමාණයේ නායයෑමද මේ 4,800?

ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව – “නැහැ මේකෙදී නායයෑමක් විදිහට පස්කඳු කඩාවැටීම් සුළු ඒවා පවා අපේ චන්ද්‍රකා ඡායාරූපවලින් අපි ලබාගෙන තියෙනවා. සමහර විට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාව ඉන්න සහ ඒ කියන්නේ මැදිහත්විය යුතු ස්ථාන හඳුනාගෙන ඇති නමුත් අපේ චන්ද්‍රකා ඡායාරූපවලට වනාන්තරයක් ඇතුළේ සිදුවුණ නායයෑමක් පවා අපේ ගණනයට ලක්වෙනවා. ඒකයි අපේ ප්‍රමාණ වැඩිවෙන්නේ.”

ප්‍රශ්නය – ඒ කියන්නේ දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ ඇති වුණ සම්පූර්ණ නායයෑම් ප්‍රමාණයද ?  ඒක දිවයින් පුරාමද නැත්නම් මධ්‍යම කඳුකරය ආශ්‍රිතවද ?

ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව – “ඔව් දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ ඇති වුණ ඒවා. වැඩිපුරම තියෙන්නේ නායයෑම් තියෙන්නේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව තමයි. නමුත් මේ සංඛ්‍යාව ලංකාව පුරාම නායයෑම් ගණනය කිරීමක්. සුළු පස් කඳු කඩාවැටීමක් වුණත් මේකෙදි අපි සලකා බලලා තියෙනවා”

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කෙරේ…..

වර්ථමානයේ පවතින අවධානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් සාර්ථකව පවත්වාගෙන යාමට එම ගොවිපොළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙහිදී බිත්තර වී අක්කර එකක් සඳහා රුපියල් 13,600ක රක්ෂණ මුදලක් ගෙවිය යුතු අතර එවිට වගා හානියකදී අක්කර එකක් සඳහා රුපියල් 180,000ක මුදලක් වන්දි වශයෙන් ගොවියා වෙත ලැබෙනු ඇත.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මෙම රක්ෂණ ක්‍රමය මගින්  ගංවතුර, නියඟය, පාලනය කළ නොහැකි රෝග, පලාභෝධ හා කෘමි උවදුරු හානි ඇතුළු සියලුම ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් සිදුවන වගා හානි මෙන්ම වන අලින්ගෙන් සිදුවන වගා හානිද මෙමගින් ආවරණය වන බවය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයෙන් විරෝධය…..

පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන් පැවසීය.

උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව ලියවුණු චරිතාපදාන පොතක් එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක්වෙවෙමිනි.

එමෙන්ම රටේ සංස්කෘතිය විනාශ කරමින් සහ බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩ නැගීමට හැකියාවක් නොමැති බවද මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන්,

”පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියලා අපි පිළිගන්නවා. ඒ පිළිගන්න වෙනස මේක නෙවෙයි. අද මේ අධ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කියනවා කුමරි බඹසර කඩපල්ලා.. කුමර බඹසර කඩපල්ලා.. මහා නායක හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ලින්ක් එක දැම්මට අපි ඒකට යන්න කිව්වේ නෑ අපේ හාමුදුරුවනේ කියලා. මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ. ඇතැම් පාලකයෝ වගේ.. මහා නායක හාමුදුරුවන් තුන් කල් දකින ඥානයක් තියෙනවා.උන්වහන්සේලා මේ විගඩන් දිහා බලන් ඉන්නවා. රටේ සංස්කෘතිය හෝදලා දාලා, රටේ සමාජයේ තියෙන බෞද්ධ උරුමය නැති කරලා ගොඩනගන රට මොකක්ද?” 

මෙම අවස්ථාවට එක්වෙමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කර සිටියේ මෙම ආණ්ඩුව තුළ පිරිවෙන් පනතට පවා අත ගැසීමේ වැඩපිළිවෙලක් තිබූ බවය.

එමෙන්ම මහනායක ස්වාමීන්වහන්සේලා පිරිවෙන් පනතට අත ගැසීමට අවසර දී නොමැති බවත් අවසර දී ඇත්තේ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට පමණක් වන බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්,

”පිරිවෙන් පනතට පවා අත ගැසීමේ වැඩපිළිවෙලකට ගියා. මහනායක හාමුදුරුවරු අවසර දීලානෑ පිරිවෙන් පනතට අතගහන්න.උන්වහන්සේලා පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න විතරයි ඉඩකඩ දීලා තිබුණේ. ඒ නිසා මං කරුණාකරලා කියන්නේ, හාමුදුරුවරු අවදියෙන් ඉන්න. බාධාවක්, සාසනයට අර්බුදයක් ඇතිවෙන දේවල් තියෙනවා නම්, ඒ දේවල් ගැන අපිට නිහඬව ඉන්න බෑ. ඒක විනාශ වුණොත් අපිට ආයේ මේක ගොඩගන්න තැනක් එන්නේ නෑ.”

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී TIN අංකය අනිවාර්යයි…

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳනාගැනීමේ අංකය හෙවත් “TIN අංකය” මේ වනවිට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ ජනවාරි මස 5 වනදා සිට අදාළ නීතිය ක්‍රියාත්මක කර ඇති බවය.

මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් TIN අංකය අනිවාර්යය කර තිබු අතර මේ වසරේ සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්යය කර ඇත.

ඒ අනුව යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු වේ.

අදාළ නීතිය මීට වසර දෙකකට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද එය අවස්ථා ගණනාව‍ෙදී කල් දැමුණු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ආපදා වන්දි දෙන්න ජනපති කුරුණෑගලට….

ව්‍යසනයට මුහුණදුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙන බවත්, එම කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, මල්ලවපිටිය, ඉබ්බාගමුව, ගනේවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා අද (09) පස්වරුවේ රිදීගම, දොඩම්ගස්ලන්ද යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි වු, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වන්දි ප්‍රදානය කිරීම එහි පළමු අදියර යටතේ සිදු කෙරේ.

ව්‍යසනයෙන් පසු රටත්, ජන ජීවිතයත් ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් පැවසුවද, මේ වන විට විනාශ වූ සියලු මාර්ග ජනතාවට යළි විවෘත කරමින් සන්නිවේදනය, විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථාවත් කර යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ වේගවත් කර  තිබෙන බව පැවසු ජනාධිපතිවරයා විශේෂයෙන් එහිදී රාජ්‍ය නිලධාරීන් දිවා රැ නොබලා ඉටු කළ කාර්යභාරය අගයන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය රටත්, ජනතාවත් වෙනුවෙන් සිදු කරන කැපවීම එම ව්‍යසනය හමුවේ ඔප්පු කර තිබෙන බවත් සඳහන් කළේය.

ආපදාවෙන් විපතට පත් ජනතාවට නිවාස ඉදිකර දීම වෙනුවෙන් පූජ්‍ය ඉගුරුවත්තේ ධර්මකීර්ති ශ්‍රී සෝභිත විමලජෝත්‍යාධාන ස්වාමීන් වහන්සේ විසින් සහ රිදීගම ඩී.පී. අබේරත්න මහතා සහ එම මැතිණිය විසින් සිදු කළ ඉඩම් හා මූල්‍ය පරිත්‍යාගද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

”අපි මුහුණ දුන්නේ මෑතකාලීන විශාලතම ව්‍යසනයකටයි. එහිදී බොහෝ අය කිව්වා ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වෙයි කියලා. හැබැයි මේ වන විට ආපදාවෙන් විනාශ වූ සියලු මාවත් අපි විවෘත කර තිබෙනවා. සන්නිවේදනය, විදුලිබලය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ දේශපාලන අධිකාරියත්, විශේෂයෙන් රාජ්‍ය නිලධාරිනුත් විශාල වෙහෙසක් දරා කටයුතු කළා. අපි දන්නවා මේ රටේ ජනතාව තුළ අපේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබද තිබෙන්නේ හොඳ අදහසක් නොවෙයි. හැබැයි මේ දිට්වා සුළි  කුණාටුවේදී අපේ රාජ්‍ය නිලධාරින් කොපමණ රට සහ ජනතාව වෙනුවෙන් වැඩ කරනවාද කියා ඔප්පු කළා. බොහෝ නිලධාරී මහත්ම මහත්මීන් දිවා රෑ නොබලා වැඩ කළා. ඒ වගේම ජනතාව ඒ සඳහා ස්වේච්ඡාවෙන් මැදිහත් වුණා. එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අපි සැලකිය යුතු ප්‍රමාණයකින් යථාවත් වී තිබෙනවා. 

නමුත් මේ ව්‍යසනය අපේ ආර්ථිකයට යම් බලපෑමක් ඇති කරනවා. මෙහි සිටින අපි කවුරුත් දන්නවා මීට පෙර අපේ රටේ ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඒ අර්බුදයේ ප්‍රතිවිපාකවලට අපි සියලුදෙනා මුහුණ දුන්නා. විදුලිය, ඉන්ධන, ගෑස්, කිරි පිටි ආදිය නැති වුණා. මුළු රටම කඩා වැටෙන තැනට පරිවර්තනය වුණා. එවැනි ආර්ථික අර්බුදයක් නිර්මාණය වුයේ ස්වභාවික ව්‍යසනයක් මත නොවෙයි. ඒ වගේම එවැනි ආර්ථික කඩා වැටීමක් සිදු වුණේ ගම්වල ජීවත්වන අපේ අම්මලා, තාත්තලාගේ වැරුද්දකින් නොවෙයි. පැවති දේශපාලන අධිකාරිය පුරා පැතිරි තිබු දූෂණය, අල්ලස, අක්‍රමිකතාව සහ වැරදි තීන්දු ගැනීම ආදී කරුණු මත අපේ රටේ ජනතාව විශාල පීඩනයකට  මුහුණ දුන්නා. 

ඉන් අනතුරුව පැවති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී රටේ ජනතාව විශාල බලාපොරොත්තුවකින් යුතුව අපිව බලයට පත් කර ගත්තා. එහිදී ජනතාවගේ අරමුණු රැසක් තිබුණා. වංචා දුෂණයෙන් තොර පාලනයක්, වංචනිකයන්ට, දුෂිතයන්ට දඩුවම් දීම, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් තරුණ පරපුර බේරා ගැනීම ආදී අරමුණු ඒ අතර ප්‍රමුඛ වුණා. ඒ වගේම සෑම කෙනෙකුටම ජීවත්වීමට හැකි ආදායම් මාර්ගක් සකස් කර ගැනීමේ අපේක්ෂාව තිබුණා. එම අපේක්ෂාවන් සපුරාදීමේදී වැදගත්කම සාධකය වුණේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. අපි ඒ වෙනුවෙන් මේ වන විට සැලකිය යුතුවැඩකොටසක් ඉටු කර තිබෙනවා. 

එවැනි අවස්ථාවක තමයි අපිට මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට සිදු වුණේ. නමුත් එම ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැගීමේ ශක්තිය අපිට තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වසරේදී වියදම් කිරීමට අපි කෝටි 50,000ක් වෙන් කර තිබෙනවා. ඒ හයිය ලැබෙන්නේ ආර්ථිකය ශක්තිමත් කරගත්තොත් පමණයි. 

අපේ ගම්වල ජනතාවගේ ජන ජීවිතය මීට වඩා උසස්විය යුතුයි. මම දන්නවා  නිසි ආහාර වේලක රස නොලැබූ ජනතාවක් සිටිනවා. පරම්පරාවටම හොඳ නිවසක් නැති වූ ජනතාවක් සිටිනවා. අපේ රටේ ජනතාව එසේ ජීවත්විය යුතු නැහැ.  වසර 70-80ක් වැනි ජීවිත කාලය තුළ සියලුදෙනාටම මිනිසෙක් ලෙස ජීවත්වී ජීවිතයෙන් සමුගත හැකි රටක් අපි ගොඩනැඟිය යුතුයි. ඒ නිසා අපි ඉතා සැලසුම් සහගතව සහ විධිමත්ව මේ ආර්ථිකයක්, ජනතාවත් බලා ගන්නා රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවී සිටිනවා. අපි එය සිදුකළ යුතුයි. අපි එය ඉටු නොකළහොත් කිසිදිනක කිසිවෙකු එය ඉටු කරන්නේ නැහැ. එය කරනවා නම් පසුගිය වසර 76 තුළ කිරීමට හැකිව තිබුණා. නමුත් එය සිදු වුණේ නැහැ. මේ රටේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් තිබෙනවා නම් ඒ මේ ආණ්ඩුව පමණයි. ඒ නිසා තමයි ව්‍යසනය හමුවේ ජන ජීවිතය යළි ගොඩනැගීම වෙනුවෙන් කෝටි 50,000ක් වෙන් කළේ. එවන් විශාල මුදලක් කිසිදිනක වෙන් කළේ නැහැ. 

අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට නම් පළමුව හැම කෙනෙකුටම හොඳ ආදායම් මාර්ගයක් හිමි කර දිය යුතුයි. ඒ වගේම අපි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අපි දන්නවා අපේ ගම්වල දරුවන්ට අනාගතය ජය ගත හැකි එකම මාවත වන්නේ අධ්‍යාපනයයි. අපේ අම්මලා, තාත්තලා දරුවන්ට උගන්වන්න මහා වෙහෙසක් දරනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය හොඳ ප්‍රතිඵල ගෙනවිත් දෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ක්‍රමය අපේ දෙමාපියන්ට බරක්. දරුවන්ට දුකක්. 

ලැබී තිබෙන වාර්තා අනුව ළමයින් 50ට අඩු පාසල් 1150ක් පමණ ලංකාවේ තිබෙනවා. ඒවා පාසල් වන්නේ නැහැ. දරුවන්ට සාහිත්‍ය උත්සවයක්, ක්‍රීඩා උත්සවයක් පවත්වන්න බැහැ. අපි ඒ පාසල් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා හොඳ, වැඩිපුර ළමයින් සිටින, ළමයින් එකට මුසු වෙන නව පාසල් පද්ධතියක් අපි ගොඩනැගිය යුතුයි. 

පැරණි පාසල කියා ගමේ පාසල රැකගෙන වැඩක් නැහැ. ඒ වගේම අධ්‍යාපනය අද දෙමාපියන්ට විශාල බරක්. ඒ වගේම දරුවාට දුකක් වෙලා තිබෙනවා. දරුවන්ගේ ළමා කාලය උදුරාගත් මෙම අධ්‍යාපනය වෙනස් විය යුතුයි. එසේ නම් අපි හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි. අපි ඒ සඳහා පියවර ගන්නා විට ඒ විෂයකවත් නැති, අරමුණක්වත් නැති දේවල් මාධ්‍ය හරහා කියන්න පටන් ගෙන තිබෙනවා. 

නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේත් මේ විදියටම ඊට විරුද්ධව පොර බැදුවා. මේ අවස්ථාවේදීත් එහෙමයි. මෙය යහපත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, අපේ දරුවන් බලා ගන්නා අධ්‍යාපනයක්. අපේ දරුවන්ව ලෝකය සමග මුසු කළ හැකි අධ්‍යාපන ක්‍රමයක්. එසේම අපේ දරුවන්ට පෞර්ෂයක්, නායකත්වයක් සහිතව ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක්. මැෂින් හදන හෝ තෙතමනයක්, අධ්‍යාත්මයක් නැති දෙමාපියන්, ගුරුවරුන්, ආගමික නායකයන්  හඳුනන්නේ නැති දරුවන් හදන අධ්‍යාපනයක් නොවෙයි. එවැනි අධ්‍යාපනයකින් අපිට ඵලක් නැහැ. 

මේ අධ්‍යාපන ක්‍රමය තෙතමනයක් සහිත, අධ්‍යාත්මයක් සහිත සහකම්පනයෙන් යුතු දරු පරපුරක් ගොඩනගන අධ්‍යාපන ක්‍රමයක්. කවුරු මොනවා කිව්වත් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ ගම්වල ඉන්න අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. ඒ පිළිබඳ ගැටලු තිබෙනවා නම් අපි සාකච්ඡා කරමු. අපි කියන්නම් මොකක්ද කරන්න හදන්නේ කියලා. මෙහි සිටින කවුරන් හෝ විශ්වාස කරනවාද අපි අධ්‍යාපනය විනාශ කරනවා කියලා. අපි එහෙම අය නොවෙයි. අපි ඈත ගම්වල ඉපදුණ අය. අපිට අධ්‍යාපනයේ යම් ඉඩක් විවෘත වු නිසා තමයි අද මේ වගකීම්වලට පත්වී සිටින්නේ. එසේ නොමැතිව අපේ පවුල් පසුබිම්, අපේ ගම්වල පසුබිම් අපි මෙතනට ගෙනාවේ නැහැ. අධ්‍යාපනය තමයි අපිට මේ පාරවල් කැපුවේ. ඒ නිසා ඈත ගම්වල ඉපදුණ අපිට ඉදිරියට ඒමට පාර කැපුවේ අධ්‍යාපනය නම් ඒ අධ්‍යාපනයට විනාශකාරී පාරක් අපි කපන්නේ නැහැ. අපේ දරුවන්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක් සකස් කර දීමට අපිට අවශ්‍යයි.”

කාලගුණයෙන් රතු නිවේදනයක් – පීඩන අවපාතය ත්‍රිකුණාමලයට 80km දුරින්….

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) රාත්‍රී 10.30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 80ක් පමණ නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් පිහිටා ඇත.

එය හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ තිබේ.

ඒ අනුව හෙට දිනයේ දී උතුරු පළාතට විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා වූ තරමක තද සුළං ඇති විය හැකිය.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයට හෙට දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති වේ.

මොඩියුල ගැටලුව ගැන කියන්න අගමැතිනිය මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී…..

ශ්‍රේණිවල මොඩියුල සඳහා වෙබ් අඩවි ඇතුළත් නොකරන්නැයි උපදෙස් ලබා දී තිබියදී එවැන්නක් සිදුවීම ගැන විමර්ශනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

එමෙන්ම එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉදිරියේ දී පෙළපොත් මුද්‍රණය කිරීමේ වගකීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දෙන බවය.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතුවු ගැටලුකාරී තත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමි ඇතුලු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය
”පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා. ඒක අපිට නැහැ කියන්න බැහැ කිසිසේත්ම. දැන් ඔව් ක්‍රියාවලියේ දුර්වලතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන වෙන විදිහකට මේක ඇතුල් වුණාද කියන එක හොයාගෙන තමා අපි CID එකට ඒ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඒක එකසිය හයක් තියෙනවා. ඒ එකසිය හයම අපි අමාත්‍යංශයට ගෙනල්ලා එකින් එක බලනවා හාමුදුරුවනේ. ආයිත්. ඒක සාමාන්‍යයෙන් කළ යුතු දෙයකුත් නෙමෙයි. අමාත්‍යංශ‍යෙන් එහෙම පොත් බලන් නැහැ. ඒක ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමා බලන්නේ. නමුත් මේ අවස්ථාවේ මේ ප්‍රශ්නේ නිසා එකින් එක අපි බලනවා. ඒවයි තුලත් අපිට යම් යම් වැරදි හම්බවෙලා තියෙනවා..”

EPF හා ETF වෙනුවට විශ්‍රාම වැටුපක් දෙනවා ද?

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවය.

මෙම මුදල් මහජනතාවගේ මුදල්වන බවත්, ඔවුන්ට විශ්‍රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙම මුදලින් 30%ක පමණ ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී ඔහු සඳහන් කළේ සිය ආණ්ඩුව කිසිදු පුද්ගලයෙකුගේ ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට ක්‍රියා නොකරන බවත්, තව තවත් ප්‍රතිලාභ ලබා දීම උදෙසා පමණක් කටයුතු කරන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

“මහජනතාවගේ ලේ දහඩියෙන් ඉතිරි වෙච්ච මුදල ඔවුන්ගේ අවශ්‍යතාවලට තමා පාවිච්චි වෙන්නේ. ඒ වගේම අදහස් මතු වෙනවා සමාජයෙන් විශ්‍රාම වැටුපක් ලබා ගන්න පුලුවන්ද කියන කාරණාව.

විශ්‍රාම වැටුපක් අපිට ලබා ගන්න පුලුවන් නම් හොඳයි. මේ ගැන සමාජයේ කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවෙන් කිසිදු තීරණයක් අරගෙන නෑ මේ EPF එකේ තියන මුදල් විශ්‍රාම වැටුපකට හරවලා ඒ තනි දීමනාව වෙනුවට විශ්‍රාම වැටුප් ගෙවනවා කියලා” යැයි ඔහු පැවසීය.

පනත් කෙටුම්පත සම්මත වූ පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නෑ – ඇමති හර්ෂණ…..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතෙහි පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදු විය.

ඉන් අනතුරව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඉදිරියේදී එය දෙවැනිවර සහ තුන්වනවර කියවීමෙන් පසු එය නීතිය බවට සම්මත කරනවා. එය නීතියක් බවට සම්මත වුණාට පසුව එතැන් සිට කිසිම අයෙකුට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේ පනත සම්මතවීමට පෙර ලබාගත්ත විශ්‍රාම වැටුප්වලට අගතියක් වෙන්නේ නෑ. ඒවා නැවත ගෙවන්න ඕනි කියලා එකක් මේ පනතේ නෑ. මේ පනත සම්මතවන දිනයේ සිට වෙනදේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්වන එක. අපි මේක ගේන්න හේතුව තමයි දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් හැමවිටම තමන්ට වරදාන වරප්‍රසාද බෙදාගන්නා ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා විශේෂයෙන් මහජන විරෝධතාවයක් තියනවා මේ අවුරුදු පහක් රැකියාව කරලා ඒකට විශ්‍රාම වැටුප ගන්නේ. මක් නිසාද සාමාන්‍ය රජයේ සේවකයෙක් උනොත් වසර ගණනාවක් සේවය කරලා කොන්දේසි ගණනාවකට මුහුණදීලා තමයි ඔවුන්ට විශ්‍රාම වැටුප හම්බවෙන්නෙ. මේ විශ්‍රාම වැටුප ගැනීමේදී ඔවුන් කිසිම ආකාරයක කන්ට්‍රිබියුෂන් එකක් කරන්නෙත් නැහැ. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කලේ අපි මේ විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අහෝසි කරනවා කියන කාරණාව. ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැටුප හැර වරප්‍රසාද යම් ප්‍රමාණයකටත් ඉවත් කලා. ඉතිං මේකෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකෙන් එක ඉටු කරමින් අපේ ගමන යනවා කියන කාරණාව. ඉදිරියටත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව දේවල් කරනවා. මේකට අධිකරණයට යන්න පුළුවන් මේක ව්‍යවස්ථා විරෝධී නම්. නමුත් අපි රජයක් වශයෙන් ඉන්න ස්ථාවරය තමයි මේ අපි දීපු පොරොන්දුව මත මෙම විශ්‍රාම වැටුප අහෝසි කිරීම. යම් හෙයකින් යම් මන්ත්‍රීවරයකුට මේ විශ්‍රාම වැටුප නැතිව අපහසුතා තියනවානම් ඒ්ක රජයෙන් වෙනම ඉල්ලීමක් කරන්න පුළුවන් ඉන් පසුව ඒ් මන්ත්‍රීවරයා දිහා බලලා ආර්ථීක සහන අවශ්‍ය නම් ඒ්ක කෙරෙන්නේ කොහොමද කියලා විසඳන්න පුළුවන්”