වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත් – හෙට සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි….

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් වැඩිකළ නව බස් ගාස්තුව මේ මොහොතේදී ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හෙට (24) දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවන කටයුතු සිදුකරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ගොස් ඇති අතර, අවසන් ගාස්තුව ලෙස පැවති රු 2,159 බස් ගාස්තුව රු 2,422ක් දක්වා රු 263කින් ඉහළ ගොස් ඇත.

මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින් වෙත දැනුම් දෙන අතර, නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන අයවළුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්…

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් හෙට (24) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් ක්‍රයාත්මක නොකිරීමට තීරණය කර තිබේ.

බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්….

ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වනවිට පවතින බස් ගාස්තුවට සියයට 10කට වඩා වැඩි අගයකින් බලපා ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර ඇත්තේ ඒ අනුව නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට හෙට (23) දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවය.

වර්තමානයේ ක්‍රියාත්මක වන පසුගිය වසරේ ජූලි මස 04 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද බස් ගාස්තුව වන අතර එය ගණනය කිරීමේදී එම මාසයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක්ව පැවැති බවත් ඒ අනුව එම මිලට ගලපා බස් ගාස්තුව ප්‍රකාශට පත් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර තිබේ.

නමුත් ඊයේ දින සිදුවූ ඉන්ධන මිල වැඩිවීමත් සමග රුපියල් 303 සිට 382 දක්වා ඩීසල් ලීටරයක මිල ඉහළ ගොස් ඇති බවත් එය රුපියල් 79කින් වැඩිවී ඇති බවත් මෙම කාල සීමාව තුළ ලංකා සුදු ඩීසල් මිලෙහි සමස්ත වැඩිවීම රුපියල් 93ක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇත.

ඒ අනුව එය බස්ගාස්තු සූත්‍රයට ගැලපූ විට සියයට 10කට වඩා වැඩි අගයකික් බස් ගාස්තු වැඩි වීමට මෙය බලපා ඇති බවත් මේ හේතුවෙන් නව බස්ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා යොමු කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හෙට (23) දිනයේ බස් ධාවන කටයුතු වලින් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ බස් ගාස්තු ඉහල දමන තෙක් බස් ගාස්තු ධාවනය සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි.

මේ අතර හෙට දිනයේ දී අන්තර් පළාත් බස් රථ ද ධාවන කටයුතුවලින් ඉවත් වන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසීය.

IOC ඉන්ධන වර්ග කිහිපයක මිල යළිත් ඉහළට…

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා  IOC සමාගම ඉන්ධන වර්ග කිහිපයක මිල යළි තවදුරටත් ඉහළ නංවා තිබේ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572ක් දක්වාද ඉහළ දමා තිබේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 487ක් දක්වාද ඉහළ නැංවීමටද පියවර ගෙන ඇති අතර එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල 398කි.

මේ අතර Xtra Green Diese මිල රුපියල් 588ක්ද, XtraMile Diesel මිල 551ක්, මෙන්ම XtraPremium පෙට්‍රල් මිල 465ක් ලෙසද ඉහළ දැමීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබේ.

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට….

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇත.

ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට ලීටර් 20 දක්වා ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

වෑන් රථ සඳහා මීට පෙර සතියකට ලීටර් 40ක් ලබා දුන්න ද එම ප්‍රමාණය ලීටර් 50 දක්වා ඉහළ දැමීමට පියවරගෙන තිබේ.

යතුරුපැදි සඳහා ලබා දුන් ලීටර් 5ක ඉන්ධන කෝටාව ලීටර් 8 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

බස් රථ සඳහා ලබා දුන් ලීටර් 60ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 100 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඉඩම් වාහනය සඳහා මීට පෙර ලබා දුන් ලීටර් 25ක ඉන්ධන ප්‍රමාණය නව සංශෝධනයට අනුව ඉහළ දමා ඇත්තේ ලීටර් 40 දක්වාය.

කෙසේවෙතත් ලොරි රථ සඳහා ලබා දුන් ලීටර් 200ක ප්‍රමාණය සහ විශේෂ කාර්ය වාහනය සඳහා ලබා දුන් ලීටර් 40ක ප්‍රමාණය සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කරයි

සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට….

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 455කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙයි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

චෙම්මනි මිනී වළේ කැණීම් අප්‍රේල් 20 යළි ඇරඹෙයි….

චෙම්මනි මිනී වළේ ඊළඟ අදියරේ කැණීම් කටයුතු අප්‍රේල් මස 20 වෙනිදා යළි ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

“චෙම්මනි සමූහ මිනීවල සම්බන්ධ ප්‍රශ්නය මතු කළා. එතුමාගේ චෝදනාව වුණේ, අධිකරණ ඇමතිතුමාට අපි සමූහ මිනී වළේ පරීක්ෂණ කරන්නේ නැහැ. අපි ජාත්‍යන්තර වශයෙනුත් එක්සත් ජාතීන්ටත් පොරොන්දු වෙලා තියෙනවා. එසේ තිබියදීත් අපි කරන්නේ නැහැ කියලා.

අපි අඩුපාඩුකම් පිළිගන්න ලෑස්ති දේශපාලන ව්‍යාපාරයක්. ඇත්තටම ගත්තට පස්සේ ඉතාමත් කණගාටුව හිතන දෙයක් තමා කරපු දේ අගය නොකරාට කමක් නෑ. කරපු  දේ දැනගෙන විවේචනය කරන එක තමයි වැරැද්ද. 

ගරු මැතිනියනි 1999 තමයි මෙම සමූහ මිනී වළෙන් ඇටකටු සොයාගන්නේ. එදා සිට 2024 දක්වා අවුරුදු 25ක් ගත වුණා. ඒ අවුරුදු 25ටම චෙම්මනි සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිලි 15යි සොයාගත්තේ. 

2015 සිට 2019 දක්වා තිබුණු ඒ ආණ්ඩුව යටතේ තමිල් අරසු කට්චි පක්ෂය විශේෂයෙන් මේකේ හිටපු නායකයන් සුමන්දිරන් මන්ත්‍රීවරයා වගේ අය විපක්ෂයේ හිටියාට සුවිශේෂ බලපෑමක් කළා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිධුරය දරපු කාලයේදී. 

ඔවුන්ට ඇමතිවරුන්ට වඩා බලයක් තිබුණා. අවසන් කාලයේදී ප්‍රදේශයේ වැඩ කටයුතු කරන්න විශාල මුදලක් දුන්නා. අපි ඒකේ විශේෂ වරදක් දකින්නේ නෑ. නමුත් ඒ අවුරුදු පහේදී ඇයි චෙම්මනි මිනීවළ අමතක වුණේ. තමිල් අරසු කච්චි පක්ෂ නායකයන්ට. 

අපි බලය ගත්තේ 2024 සැප්තැම්බර් මාසයේ. පාර්ලිමේන්තු බලය හදාගත්තේ නොවැම්බර් මාසයේ. එදා ඉදන් අද දක්වා මේ මාස 17 තුළදී මේ හොයාගන්නා ලද මිනිස් ඇටසැකිලි ප්‍රමාණය 239ක් වෙනවා. මෙහෙම කරන ආණ්ඩුවට තමයි චෝදනා කරලා තියෙන්නේ.

චෙම්මනි මිනීවළ තියෙන කොට්ඨාසයත් අපි දිනලා තියෙන්නේ. ඒකේ මන්ත්‍රීතුමා ජාතික ජනබලවේගයේ. අපි මේක සම්පූර්ණ කරුණු දන්නවා. හොයලා තියෙනවා. අපිට ජනවරමක් තියෙනවා. 

මේක හොයන්න. මේක විතරක් නෙවෙයි මාතලේ මිනීවළ ගැනත් හොයනවා. අධිකරණ ක්‍රියාවලියක් හරහා යුක්තිය ඉටු කරනකොට කාලයක් යනවා. අප්‍රේල් විස්ස නැවත කැණීම් පටන් ගන්නවා.”

පැහැරගත් කාන්තාවට පහරදීලා පාලු ළිඳකට දාලා – ඒ ළිදෙත් මළ සිරුරක්…..

මඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී පැහැරගනු ලැබූ කාන්තාවක්, නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පොදු ළිඳක අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බේරාගෙන තිබේ.

එමෙන්ම එම ළිඳ තුළම තිබී තවත් කාන්තා මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එම පොදු ළිඳ තුළින් කාන්තාවගේ විලාප හඬක් ඇසී ඇති අතර ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී අදාළ කාන්තාව දියේ ගිලෙමින් සිට ඇති බව ද සඳහන්.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ඇයව බේරාගෙන ඇති අතර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම කාන්තාව කොත්තියාපුලෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මුරුගමූර්ති රනුජා නම් අයෙකු බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

ඊයේ ඇය සිය දියණිය සමඟ යමින් සිටියදී පිරිසක් විසින් ඇයව පැහැරගෙන ඇති අතර ඇයගේ දියණියව විසි කර දමා, රනුජාට පහර දී මෙම ළිඳට දමා ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.

ඇය විසින් ලබාදුන් තොරතුරු මත එම ළිඳේම තිබී තවත් මළසිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ සොයා ගත් මෙම මළසිරුර පසුගිය මාසයේ වෙල්ලාවෙලි පොලිස් බලප්‍රදේශයේ නාර්පතුවට්ටෙයි ප්‍රදේශයේදී අතුරුදන් වූ කාන්තාවකගේ විය හැකි බවටය.

සිද්ධිය වූ ස්ථානයේ තිබූ පාවහන් මගින් ඥාතීන් ඇයව හඳුනාගෙන ඇති නමුත්, විධිමත් මරණ පරීක්ෂණයකින් සහ DNA පරීක්ෂණයකින් පසුව අනන්‍යතාව තහවුරු කරන බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

හිටපු ජනපති මහින්දගේ නමත් ගෑවුණු එයාර්බස් ගනුදෙනුව…..

2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත්තේ යැයි චෝදනා එල්ලවන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලින්, රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන්නේ යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළ බව විමර්ශන නිලධාරින් අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන මහතාගේ නීතිඥයින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට තර්ජනය කර ප්‍රකාශ ලබාගැනීම සිදුකර ඇති බවය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත ප්‍රකාරව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වනදා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගත් අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අදාළ නඩුව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ යළි කැඳවුණි.

අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, අත්අඩංගුවටගත් දින පෙරවරුවේ මේ සැකකාර කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේ උදාර මුහම්දිරම්ගේ නම් නීතිඥවරයෙකුද සමඟින්. එහිදී නීතිඥවරයා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ගාමිණි අබේසිංහගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා තමන්ගේ සේවාදායකයාට වැඩිදුර තොරතුරු අනාවරණයක් කරන්න තියෙනවා, ඒ නිසා ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකර සාක්ෂිකරුවෙකු ලෙස නම්කරන්න කියලා. පසුව නීතිඥවරයා ස්ථානාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයේ whatsapp අංකයට දිවුරුම් ප්‍රකාශයක pdf පිටපත යොමුකරලා තියෙනවා. මෙන්න ස්වාමිනි screenshot. එහි අන්තිම ඡේදයේ සඳහන් වෙලා තියෙනවා ශමින්ද්‍ර රාජපක්ෂ, ප්‍රියංකර ජයරත්න යන නම්දෙක සහ තවත් අය කියලා. පසුව ස්ථානාධිපති ගාමිණි අබේසිංහ සහ සහකාර අධ්‍යක්ෂ සුමේන්ද්‍ර මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් උපදෙස් පතලා තියෙනවා. එහිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇවිල්ලා ” ඔබ සත්‍ය ප්‍රකාශ කරන්න. තවත් අය යනුවෙන් සඳහන් කරන්නේ කව්ද කියා පැහැදිලිව කියන්න” යැයි සැකකරුට කියලා පිටව ගිහින් තියෙනවා. පසුව ස්වාමිනි මේ සැකකරු සම්පූර්ණ ප්‍රකාශයක් සිදුකළා. ගනුදෙනුවේදී ලද අමෙරිකානු ඩොලර් 2ක මුදල බෙදීගිය ආකාරය ගැන ලේඛනගත සාක්ෂි සමඟ පැහැදිලිව නම් ඉදිරිපත් කළා. ඔහු කියනවා අදාළ මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට කොල්ලුපිටියේ ස්ථානයකදී ලබාදුන්නා කියලා. පසුව 2015.03.08 දින මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක තනතුරින් ඉවත්වුණාට පසු අවස්ථාවක එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මොහුගෙන්  මුදල් ඉල්ලූ බව කියනවා. පසුව බෙලිඅත්තේ නිවසේදී එක් අවස්ථාවක සහ තංගල්ලේ කාල්ටන් නිවසේදී අවස්ථා 02ක රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 60ක මුදලක් මොහු හිටපු ජනාධිපතිවරයාට දී තිබෙනවා. මොහු කියන කරුණු සියල්ල සත්‍යයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද අවුරුදු 12ක් තිස්සේ නොකියපු කරුණු මොහු දැන් කියන්නේ. නමුත් ගිණුම්වලින් මුදල් ආපසු ලබාගැනීමට අදාළ රිසිට්පත් පවා ඔහු නිවෙසින් රැගෙනවිත් කොමිසමට ඉදිරිපත් කළා. ඒ නිසා අපි මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.”

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියේ සැකකරු අනාවරණය කළ බවට අල්ලස් කොමිසම පවසන නම්වලට මුදල් ගොස් ඇත්තේ බැංකු ගිණුම් හරහාද යන්නය.

ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා සඳහන් කළේ ” ස්වාමිනි, සැකකරුවෙකු ලෙස නම්කර තිබෙන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට මුදල් ගොස් ඇති බව දැනට අනාවරණය වී තිබෙනවා. සිදුවීමට අදාළ සෙසු ගිණුම් පිළිබඳ අපි තවදුරටත් විමර්ශනය කරනවා. එවකට ඇමති ප්‍රියංකර ජයරත්නට සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට මොහු අතට මුදල් දුන් බවයි කියන්නේ. අදාළ කාලසීමාවේ ඔහුගේ බැංකු ගිණුමින් මුදල් ආපසු ගැනීමට අදාළ රිසිට්පත් ඔහු ඉදිරිපත් කර තිබෙනවා.”

අනතුරුව සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා චෝදනා කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවය.

“ස්වාමිනි, අල්ලස් කොමිසම හරි ලස්සන කතාවක් කිව්වා. නමුත් එදා කොටුව උසාවියේදී ඔය කියන කතා කිව්වේ නැහැ. එදා කිව්වේ සැකකරුට ජීවිත තර්ජනයක් ඇතිවෙන්න පුළුවන් නිසා ඔහු කියපු නම් හෙළිදරව් කරන්නේ නැහැ කියලා. නමුත් අපි එදාම කිව්වා මගේ සේවාදායකයාගෙන් ප්‍රකාශ ගද්දි, යම් යම් නම් එළිදරව් කරන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට තර්ජනය කළා කියලා. කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවකට අදාළව කෙනෙක් එල්ලිලා මැරුණා. ඒ වගේ ඔබටත් මැරෙන්න වෙයි කියලයි අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර තිබුණේ. අල්ලස් කොමිසම පිළිගත්තා මගේ සේවාදායකයා ළඟට අධ්‍යක්ෂ ජනරාල්වරයාව කැඳෙව්වා කියලා. ඔය අධ්‍යක්ෂ ජනරාල් තනතුර හොබවපු තව අයව මම දන්නවා.නමුත් ඒ කවුරුත් මෙහෙම කාමරයට ගෙනල්ලා තර්ජනය කරලා නැහැ. මගේ සේවාදායකයා ඔහුගේ ස්ථාවරය දක්වා තියෙද්දිත් ඊට එහා ගිය දෙයක් වෙන වෙන අයව පටලවාගන්න අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඕන වුණා. මගේ සේවාදායකයා කොමිසමට ගියේ නීතිඥවරයෙකු එක්කනම් ඇයි නීතිඥවරයා සමඟ ඔහුව අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවට ඉදිරිපත් නොකළේ. කනිෂ්ඨ නීතිඥවරයා කෑම කන්න ගියාමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා අහලා තියෙනවා මගේ සේවාදායකයාගෙන් ඔහුව දන්නවාද කියලා. ඔව් දන්නවා. ඔහුම තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙද්දි මාසයක් ඇතුළට මගේ සේවාදායකයාට ඇප දුන්නේ. ඉතිං මහේස්ත්‍රාත්වරයෙක් හැටියට එහෙම ඇප දුන්න සැකකරුවෙකුව පසු අවස්ථාවක මෙහෙම ඔහු ඉදිරියට කැඳවන්න මොනම නෛතික තත්ත්වයක් යටතේදිවත් ඔහුට පුළුවන්ද? ඒක හරිද? මගේ සේවාදායකයාට සිදුවූ සිදුවීම පිළිබඳ මේ දිවුරුම් ප්‍රකාශය අධිකරණයට ගොනුකරනවා.”

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා සිදුකළ එම කරුණු දැක්වීමට අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ තනුජා බණ්ඩාර මහත්මිය පිළිතුරු දුනි.

“ස්වාමිනි, මොකක්ද මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කළා කියන කතාව. 2023 අංක 09 දූෂණ විරෝධි පනතට අනුව අල්ලස් කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ විමර්ශන භාර නිලධාරියා තමයි අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහුට තමයි නඩු පවරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණ ගැනීමේ බලය තිබෙන්නේ. ඉතිං ස්වාමිනි ප්‍රකාශ දෙන්න පැමිණෙන පුද්ගලයෙක් මාව සැකකරුවෙකු ලෙස නම්කරන්න එපා, සාක්ෂිකරුවෙකු ලෙස නම්කරන්න කියද්දි, නොසඟවා කරුණු කියන්න කියන එක කොහොමද තර්ජනයක් වෙන්නේ. අනික මතක තබාගන්න. දැන් ඉන්නේ කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නොවෙයි. විමර්ශන නිලධාරින්ට ගැටලුවක් ඇතිවෙලා ඒකට උපදෙස් පතද්දි නිසි උපදෙස්දීම වරදක් වන්නේ කොහොමද? මේ සිදුවීම සම්බන්ධයෙන් එංගලන්තයේ පවතින නඩුවකට අදාළව එයාර්බස් සමාගම යුරෝ බිලියනයකට ආසන්න වන්දියක් ගෙවලා එකඟවෙලා තියෙනවා සිදුවීමට අදාළව අනෙක් රටවල්වල පවතින නඩුවලට නෛතික සහය දක්වන්න. Airbus සමාගමේ නිලධාරින් මේ නඩුවේදී ලංකාවට ඇවිල්ලා සාක්ෂි දෙන්නත් සූදනාම්. එබැවින් දූෂණ විරෝධි පනතේ පවත්නා විධිවිධාන ප්‍රකාරව මේ සැකකරු නඩු විභාගය අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

අපනයනය ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට උපරිමයෙන් මැදිහත් වෙනවා – ජනපති….

අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට ක්ෂේත්‍රයේ ප්‍රධාන අපනයනකරුවන් හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මෙහිදී විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයට මෙන්ම නිෂ්පාදකයන්ට සහ සේවා සපයන්නන්ට ඉන්ධන සපයා ගැනීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

ජාතික ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම අවම කර ගනිමින් උද්ගතව ඇති තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා අපනයන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ ඒ පිළිබඳ අපනයනකරුවන් සහ ක්ෂේත්‍රයේ නියුතු පිරිස් විසින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු සහ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු,  ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිසිර රණතුංග, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති හුසේෆා අක්බරලි යන මහත්වරුද, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය, ලංකා පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය, ජාතික අපනයකරුවන්ගේ මණ්ඩලය ඇතුළු  අපනයන ක්ෂේත්‍රයේ, නිෂ්පාදන සහ සේවා සපයන ආයතනවල නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.