දික්ඔය අඹුසැමි යුවළ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට…..

හැටන්, දික්ඔය නගරයේ වෙළෙඳසැලක සිටි අඹුසැමි යුවළක් ගෙල කපා ඝාතනය කර පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු අද (23)  පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසීය.

සැකකරු බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ නිවසක සැගව සිටියදී, තමන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව හෙතෙම පැවසීය.

සැකකරු විසින් රැගෙන ගිය ස්වර්ණාභරණද පොලිස් භාරයට ගත් බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු, දික්ඔය ප්‍රදේශයේ විවාහ වී සිටි බව මූලික විමර්ශනයේදී අනාවරණය ගෙන ඇත.

අඹුසැමි යුවල ඝාතනයෙන් පසු ඔහු මුහුණු පොත ඔස්සේ හදුනාගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ නිවසක සැගව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මියගිය අඹුසැමි යුවලගේ දේහ ඔවුන් ඝාතනයට ලක්වූ වෙළෙඳසැලේම තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (24) දික්ඔය පොදු සුසාන භූමියේදි සිදු කිරිමට නියමිතය.

ජාතික කලා භවනේ චිත්‍ර අස්ථානගතවීම ගැන 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි….

ජාතික කලා භවනේ චිත්‍ර 42ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිසිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙක් ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අස්ථානගත වූ එම චිත්‍ර අතර මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර මෙන්ම සිතුවම් කලාව සඳහා මෙරට ප්‍රචලිත වූ 43 කණ්ඩායමේ නිර්මාණ කිහිපයක් ද ඇති බවයි  විමර්ශනවලදී අනාවරණ වී ඇත.

ජාතික කලා භවනේ චිත්‍ර 42ක් අස්ථානගත වීමක් පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා අනාවරණ කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අද දෙරණ සිදුකළ සොයාබැලීමේදී තවත් වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි විය.

එහිදී හෙළිවුණේ, අස්ථානගතව ඇති චිත්‍ර 42 හි සේයාරුවක් හෝ නෙැමැති නිසා ඒවා වෙන් වෙන්ව හඳුනාගැනීමට නොහැකි බවය.

2008 වසරේදී මුද්‍රණය කර ඇති ඇල්බමයකට අනුව එම චිත්‍ර 42න් 14ක් පහසුවෙන් හඳුනාගත හැකි වූවද සෙසු 28 හඳුනාගත නොහැකි බවයි වාර්තා වෙයි.

1987 වසරේදී ජාතික කලා භවනේ තොග භාණ්ඩ ලේඛනයට අනුව එහි චිත්‍ර 42ක් සඳහන් වූවද එම තොග පොතද මේවනවිට අස්ථානගතව පවතී.

එමෙන්ම 2008 වසරේදී සකසන ලද චිත්‍ර ඇල්බමයේ ඇති චිත්‍ර 247න් මේවන විට කලා භවනේ පවතින්නේ චිත්‍ර 233ක් පමණය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියක් 2023 වසරේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට මේ පිළිබඳ සිදුකළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු කෙරේ.

එහෙත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය 2025 වසර වනවිටත් මේ සම්බන්ධව  කිසිදු පරීක්ෂණයක් සිදුකර නොතිබුණු අතර විෂය භාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ උපදෙස්මත බුද්ධශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කර ඇතැයි සඳහන්ය.

මේ අතර අස්ථානගතවී ඇති චිත්‍ර අතර මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර රැසක් ද ඇති බවයි වාර්තා වෙයි.

එමෙන්ම විශිෂ්ට නිර්මාණ ශිල්පී ලයනල් වෙන්ඩ්ට් ඇතුළු පිරිසක් විසින් නිර්මාණය කරන ලද 43 කණ්ඩායමේ චිත්‍ර කිහිපයක් හා ඩඩ්ලි සේනානායක මහතාගේ රුව සහිත චිත්‍ර දෙකක්ද ඇති බව පැවසේ.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, මෙහි පසුගිය කාලයේ නිසි ක්‍රමවේදවලට බැහැරව කටයුතු සිදුව ඇති බවය.

එමෙන්ම සිතුවම් ඇතුළු කලා භාණ්ඩ පිළිබඳ නිසි දත්ත ලේඛනයක් පවත්වාගෙන ගොස් නැතැයි යන්න ද පොලිසිය අනාවරණ කරගත් තවත් කරුණකි.

මෙහි තිබූ චිත්‍ර 63ක් අබලි චිත්‍ර යැයි පවසමින් රුපියල් 1500කට 1999 වසරේදී අලෙවි කර ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳ වගකිවයුතු නිලධාරීන් කිසිවෙක් සතුව කිසිඳු ලියවිල්ලක් නොමැතිවූවත් එම චිත්‍ර බලාගැනීමට සිටි පුද්ගලයා සතුව පමණක් ලියවිල්ලක් ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

එමෙන්ම වෙනත් රටක පැවැති චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා මෙහි ඇතම් චිත්‍ර රැගෙන ගොස් ඇතත් ඉන් ඇතැම් ඒවා යළි ජාතික කලා භවන වෙත රැගෙනවිත් නැත.

මෙහි නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය මීට සම්පූර්ණ හේතුවී ඇති බවයි පොලිසිය සඳහන් කරයි.

මේ නිසා මෙහි විමර්ශන සිදුකිරීම ද ඉතා අපහසු බවත් පොලිසිය පැවසීය.

ජාතික කලා භවනේ හිටපු නිලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් මෙම චිත්‍ර අස්ථානගතවී ඇතිද? විනාශවී ඇතිද? එසේත් නොමැති නම් සොරකම් කර ඇතිද යන්න සොයාගැනීමට දැඩි උත්සාහයක් ගැනීමට පොලිසිය සිදුව තිබේ.

කාලගුණයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 27,000 ඉක්මවයි…..

අයහපත් කාලගුණය හමුවේ දිවයින පුරා පුද්ගලයින් 27,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය විසින් අද (23) පස්වරුවේ නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනුයේ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පවුල් 6,907කට අයත් පුද්ගලයින් 27,419ක් බලපෑමට ලක්ව ඇති බවය.

ආපදාවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක් බලපෑමට ලක්ව ඇති අතර ආපදාවෙන් එක් පුද්ගල මරණයක්ද වාර්තා වී තිබේ.

මේ අතර ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 02ක් වාර්තා වී ඇති අතර තවත් නිවාස 807ක් අර්ධ හානියකට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි…..

සයිබර් අපරාධ සම්බන්ධයෙන් මේ වන විට විදෙස් ජාතිකයින් 700කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (23) පැවැති මාධ්‍ය හමුවක එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මොවුන් අතරින් බොහොමයක් චීනය, වියට්නාමය, ඉන්දියාව, කාම්බෝජය වැනි රටවල්වලින් පැමිණ ඇති බවය.

ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඔවුන් අතරින් ඇතැම් පාර්ශ්වයන් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවය.

එමෙන්ම යමකිසි පාර්ශ්වයක් හෝ පිරිසක් තමන්ගේ ස්ථානයක කුලී පදනම මත පැමිණෙන්නේ නම් එම සියලු පාර්ශ්වයන්ගේ තොරතුරු ළඟම තිබෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධයෙන් රහසිගත විමර්ශන ආරම්භ කරනු ඇති බවත් පැවසූ ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ විදෙස් රටවල්වලින් පැමිණ මෙරට තුළ සයිබර් අපරාධ සම්බන්ධ වංචනික කටයුතු සිදු කිරීම මේ වන විට අභියෝගයක් බවටද පත්ව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා,

“මේ වන විට විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් 700කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අපිට හැකිවුණා. මොවුන් ඉන්දියාව, චීනය, වියට්නාමය, කාම්බෝජය වැනි මේ සියලු රටවල්වල සිට පැමිණි අය. ඔවුන්ගෙන් සැකකරුවන් බොහොමයක් නැවත එම රටවල්වලට පිටුවහල් කිරීමට කටයුතු කරලා තියෙනවා. මින් කිහිප දෙනෙක් පරිගණක අපරාධ සම්බන්ධයෙන් වැරදිවලට සම්බන්ධ වූ අය. ඔවුන් සම්බන්ධව මේ වන විට පරිගණක අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කරලා තියෙනවා.  

ඔබගේ වසමේ, ඔබගේ නිවසක්, හෝටලයක්, හෝ ඕනැම ස්ථානයක් යම් කිසි පාර්ශ්වයකට කුලියට දෙනවානම් ඒ කුලියට දිම පිළිබඳව ඒ සියලු අයගේ අනන්‍යතාව පිළිබඳව ළඟම තිබෙන පොලිස් ස්ථානය දැනුවත් කිරීමේ හැකියාවක් පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ තිබෙනවා. පොලීසිය විසින් ඒ සෑම තොරතුරක් සඳහාම රහසිගත විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. අපිට ඇත්තටම මේක අභියෝගයක් විශේෂයෙන්ම විදෙස් රටවලින් ඇවිල්ලා මෙවැනි අපරාධයන් සඳහා පෙළඹවීම.”

තද වැසි තවදුරටත් – ගංඟා කිහිපයක් සුළු ගංවතුර මට්ටමේ…..

නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් අද (22) රාත්‍රියේදී සහ හෙට (23) දිනයේදී බස්නාහිර හා සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100ක තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගතවූ පැය 24 තුළ මිලිමීටර 336.5ක් වූ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කෑගල්ල පඹේගම වතුයායෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය ප්‍රදේශ කිහිපයකින් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇති බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කිරිඳිවැලෙන් මිලිමීටර 332ක්  අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායෙන් මිලිමීටර 291.5ක් කලටුවාවෙන් මිලිමීටර 237ක් ලබුගමින් මිලිමීටර 224.4ක් සහ හංවැල්ලෙන් මිලිමීටර 216ක වර්ෂාපතනයක් වාර්තා වූ බවය.

වාර්මාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන 10ට නිකුත් කළ නිවේදනයෙන් අනතුරු අඟවා තිබුණේ ඉදිරි පැය 48 තුළ කැලණි ගංගා නිම්නයේ හංවැල්ල ප්‍රදේශයෙන් පහළ පිහිටි සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රදේශ ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි මහජනතාව මෙන්ම එම මාර්ග භාවිත කරන රියදුරන් මෙන්ම මගීන්ද මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම්දුනි.

කැලණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් වාර්තා වුණි.

ඒ අනුව කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබුණි.

පුවක්පිටිය තුම්මෝදර හංදිය, සීතාවක උද්භිත උද්‍යානය මෙන්ම යටියන්තොට ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවී පවතී.

හංවැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගය පූගොඩ නගරයෙන් යටවීමෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වුණි.

පවතින අධික වර්ෂාපතනය හමුවේ අත්තනගලු ඔය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දූනමලේ මිනුම් මධ්‍යස්ථානයට අනුව මිලිමීටර් 200 ඉක්මවූ වැසි වාර්තා වී ඇති බවත් ඉහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ඉක්මවූ වැසි වාර්තා වී ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් ගම්පහ, මීරිගම, අත්තනගල්ල, මහර, මිනුවන්ගොඩ, ජා ඇල කටාන, දිවුලපිටිය හා වත්තල වැනි පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් දැනුම්දී තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මීරිගම මීගමුව ප්‍රධාන මාර්ගයේ මැල්ලවගෙදර ප්‍රධාන පල්ලිය ඉදිරිපිට පාලම සම්පූර්ණයෙන්ම කඩාගෙන ගොස් තිබුණි.

ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

අධික වර්ෂාව හේතුවෙන් රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 3ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 4ක් වසා දැමීමට කලාප අධ්‍යක්ෂවරයා පියවර ගෙන තිබුණි.

පවතින අධික වැසි හමුවේ හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවී ඇති අතර එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු කරා යොමු කිරීමට පියවර ගැනුණි.

එමෙන්ම ධාරාණිපාත වර්ෂා තත්ත්වය හමුවේ පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවූ අතර ඇතැම් මාර්ගවලට ගස් කඩා වැටී ඇති ආකාරය ද දක්නට ලැබුණි.

හලාවත ප්‍රදේශ කිහිපයක් හරහා අද අලුයම හමාගිය සුළි සුළඟකින් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයට ගලහිටියාව ප්‍රදේශයෙන් විශාල ගසක් කඩාවැටී තිබුණි.

සුළඟින් පුත්තලම ප්‍රදේශයේ නිවාස රැසකට ද හානි සිදුවී ඇත.

මේ අතර පන්නල කුලියාපිටිය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබුණි.

පන්නල වැටකෙයාව ශ්‍රී බිම්බාරාමයේ බෝධීන් වහන්සේට ද හානි සිදුවී ඇති අතර රන්වැට ඇතුළු කොටස් කිහිපයකටම හානි සිදුව තිබුණි.

පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගත්තේය.

ඒ අනුව කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක් සඳහා තුන්වන මට්ටමේ එනම් “ඉවත්වීමේ රතු නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දෙවන මට්ටමේ “අවධානයෙන් සිටින්න” නායයෑම් අනතුරු ඇඟවීම්, දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නිකුත් කෙරුණි.

මීට අමතරව විමසිල්ලෙන් සිටින්නැයි දන්වමින් පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ගම්පහ, කළුතර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක් සඳහාය.

මෙවන් පසුබිමක කොස්ගම පොහොරබාව ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට අද පස් කන්දක් නාය ගොස් තිබුණි.

නායයෑමෙන් නිවසේ බිත්ති කඩාවැටීමෙන් ඊට යටවූ නිවසේ නිදා සිටි 65 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරුණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් අද රාත්‍රියේ සහ හෙටත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි ඇතිවන බවය.

විදෙස්ගතවීම සඳහා කටුනායකට එන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්….

අයහපත් කාලගුණික තත්ත්වය මත කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට මුහුණ පාමින් සිටින බැවින් ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින නිසා ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04 කට පමණ පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට කටයුතු කරන ලෙසය.

ඒ සඳහා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිත කරන ලෙසත් ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා දැනුම්දෙයි.

මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ නයිකන්ද ප්‍රදේශය ගංවතුරින් යටවී ඇති අතර කෝවින්න ප්‍රදේශය ද ගංවතුර ආපදා තත්ත්වයට ලක්වී තිබේ.

මස්කෙළියේ ධාවනය වු වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට…..

මස්කෙළිය ප්‍රදේශයේ අද (21) ධාවනය කළ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා, ඇතුළු නිලධාරීන් සහ හැටන් කොට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරීන් මස්කෙළිය පොලීසියේ නිලධාරීන් අද මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ, මස්කෙළිය හැටන් මාර්ගයේ, මස්කෙළිය සාමිමලේ මාර්ගයේ සහ අතුරු මාර්ගවල ධාවනය කළ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, කැබ් රථ, ත්‍රී රෝද රථ ඇතුලු වාහන 40ක් පරීක්ෂාවට ලක්කර ඇත.

පරික්ෂා කළ වාහන අතරින් වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරිම, අන්ත්‍රාදායක ලෙස වාහනවල අමතර කොටස් සවි කිරීම සහ වාහනවල තිරිංග පද්ධති නිසිලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා යටතේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත්
කිරිමට පියවර ගෙන තිබේ.

තාවකාලිකව ධාවනයෙන් ඉවත්කළ එම වාහන දින 30ක ඇතුළත අඩුපාඩුකම් සපුරා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියාකර නැවත පරික්ෂාවකට ඉදිරිපත්කරන තෙක් එම වාහනවල ධාවන බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයා භාරයට ගෙන තිබේ.

සමීරා මෙහෙබුදීන් ආරක්ෂිතව ගෙන්වාගැනීම කටයුතු කරන බව රජය කියයි…..

ඊශ්‍රායල අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවීර් විසින් පළ කරන ලද ග්ලෝබල් සමුද් ෆ්ලෝටියාහි රැඳවියන්ට අමානුෂික ලෙස සලකන ආකාරය නිරූපණය කෙරෙන වීඩියෝ පට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය දැඩි කනස්සල්ල සහ සංවේගය පළ කර තිබේ.

බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණියක වන සමීරා මෙහෙබුදීන් ආරක්ෂාව, යහපැවැත්ම සහ ගෞරවය සහතික කිරීම සහ කඩිනමින් සහ ආරක්ෂිතව මෙරටට නැවත ගෙන්වාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනය කළේය.

ඊට ඇතුළත් වන ක්ෂණික කොන්සියුලර් සහාය සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, දැනටමත් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින බව එහි සඳහන් වේ.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, විදේශයන්හි සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මුළුමනින්ම කැපවී කටයුතු කරන බවය.

ගාසාහි ජනතාව වෙත ආධාර රැගෙන තුර්කියේ සිට ගමන් ඇරඹූ යාත්‍රා 50කින් පමණ යුතු ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා සහන කණ්ඩායමට අයත් මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් මේ වනවිට ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ පසුවෙති.

මෙලෙස අත්අඩංගුවට පත් පිරිස විවිධ අඩත්තේට්ටම්වලට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික ඇමති බෙන් ගවියර් පසුගියදා සිය සමාජ මාධ්‍යයේ පළ කර ඇත.

මෙම වීඩියෝව මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය, නවසීලන්තය, කැනඩාව සහ බෙල්ජියම යන රටවල් හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූ පිරිස අතරට ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන සමීරා මෙහෙබුදීන් ද අයත්ය.

තවත් කාන්තා මළ සිරුරක් ගමන් මල්ලකින් හමුවෙයි…..

සීදුව පොලිස් බලප්‍රදේශයට අයත් ප්‍රදේශයකදී 79 හැවිරිදි කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කර ඇයගේ මළසිරුර ගමන් මල්ලක සඟවා තිබියදී සොයාගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සීදුව, මුක්කලංගමුව, පියසමර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි ගර්ලි චනිද්‍රනි නැමැති කාන්තාවකි.

ඊයේ (20) සීදුව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් අදාළ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක තිබූ ගමන් මල්ලක් තුළින් කාන්තාවගේ මළසිරුර සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, නිවසේ නඩත්තු කටයුත්තක් සඳහා පැමිණ සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවට අනාවරණය වී ඇති අතර, කාන්තාව සතුව තිබූ රන් ආභරණ කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

පසුව මළසිරුර ගමන් මල්ලක සඟවා තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වූ ස්ථානයට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීවරයා පැමිණ මූලික විමර්ශන සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර තිබේ.

මෙම ඝාතනය සහ කොල්ලකෑම සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26…….

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26 වෙනිදා පැවැත්වීමට සැලැසුම් කර තිබේ.

මෙම සමුළුව මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පත්වා ඇත.

මෙම සමුළුවේ මූලික අරමුණ වන්නේ, විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ පරපුර මුදා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙරට තරුණ පරපුරෙහි විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් තරුණ්‍යය ඒකරාශී කිරීමය.

ජාතික තරුණ සේවා සභාව සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කරන බව සඳහන්වේ.

විෂ මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවීම හේතුවෙන් මෙරට තරුණ පරපුර විශාල වශයෙන් සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය බිඳවැටීම්වලට ලක්වෙමින් පවතී.

මේ සඳහා බොහෝ ලෙස ගොදුරුවී ඇත්තේ වයස අවුරුදු 20–35ත් අතර වයසේ පසු වන තාරුණ ප්‍රජාව බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

මෙය මෙරට ශ්‍රම බලකායෙහි ඵලදායිතාවට මහත් බලපෑමක් එල්ල කරන්න බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම උවදුර රටින් මුලිනුපුටා දැමීම සහ තරුණ්‍යය එයින් ගලවා ගැනීමට රජයේ ප්‍රධාන වැඩසටහනක් ලෙස “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවනු ලබයි.

විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවේ සැලසුම් සහ මූලික සංවිධාන කටයුතු පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.