බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි…..

මොනරාගල – සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ සිරිගල, කිරිමණ්ඩල හන්දිය අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 14 හැවිරිදි පාසල් දැරියකගේ පාදයක් ඉවත් කිරීමට සිදුව ඇති අතර ඇය මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මොනරාගල දෙස සිට ඔබ්බේගොඩ දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඔබ්බේගොඩ දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය සහ ඇයගේ පියා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

මොනරාගල, මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් දැරියක් සහ 47 හැවිරදි ඇයගේ පියා මෙලෙස තුවාල ලබා තිබුණි.

අනතුර හේතුවෙන් දැරියගේ එක් පාදයක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇති අතර ඇය ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බව අතර පියා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්,  කැබ්රථය පැද වූ 17 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවා ඇප මත මුදාහැර තිබේ.

ඔහු මොනරාගල, මදුරුකැටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මොනරාගල පොලිස් සඳහන් කර ඇත්තේ කැබ් රථය පැදවූ බාලවයස්කාර සිසුවා සතුව බරවාහන පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබී නොමැති බවය.

ඔහු සතුව තිබී ඇත්තේ සැහැල්ලු වාහන පුහුණුවන්නන් සඳහා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රිය පුහුණු බලපත්‍රයක් පමණි.

එම බලපත්‍රයෙන් කිසිදු අයුරකින් බර වාහන ධාවනය කිරීමට නීතිමය අවසරයක් නොමැති බව පොලීසිය පවසයි.

කැබ් රථයේ රියදුරු අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස සහ අපරීක්ෂාකාරී අයුරින් රිය ධාවනය කිරීම අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුරෙන් පසු අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු බාලවයස්කාරයෙකු වීම සැලකිල්ලට ගෙන රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මොනරාගල පොලිස් රථ වාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විශේෂ විමර්ශන සිදුකරයි.

අධිබලැති විදුලි රැහැනක් කැඩී මැල්සිරිපුර අවට ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී….

මැලිසිරිපුර ප්‍රදේශයේ විශාල කොටසකට විදුලිය සපයනු ලබන ප්‍රධාන අධිබලැති විදුලි රැහැනක් (High Tension Line) අද (20) පස්වරුවේ කැඩීයාම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.

මෙම බිඳවැටීම හේතුවෙන් මැල්සිරිපුර ගොවිපොළ අසල සිට ඕමාරගොල්ල දක්වා, ඕමාරගොල්ල සිට මඩහපොල කන්ද දක්වා හා හෙවනතැන්න සිට කටුවාලන්ද දක්වා යන ප්‍රදේශවලට විදුලි සැපයුම බිඳවැටී ඇත.

විදුලි රැහැන කැඩී ගොස් ඇත්තේ ඝන කැලෑබද ප්‍රදේශයක බැවින්, පවතින රාත්‍රී කාලය තුළ නඩත්තු වාහනවලට එම කැලෑව මැදින් අදාළ ස්ථානය වෙත ළඟාවීම දැඩි අපහසු කටයුත්තක් වී තිබේ.

ඒ අනුව පවතින ප්‍රවේශ වීමේ අපහසුතා හේතුවෙන් අදාළ නඩත්තු කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා හෙට (21) දහවල් 2:30 පමණ වනු ඇති බව වාර්තා වේ.

විදේෂිය දුම්වැටි 66000 ප්‍රමාණයක් අත්අඩංගුවට…….

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂා කාර්ය බලකායේ සහය ඇතිව කොළඔ  පරණ යෝන් විදිය ප්‍රදේශයෙන්  විදේෂිය දුම්වැටි 66000 ප්‍රමාණයක් අත්අඩංගුවට  ගෙන ඇති අතර වටිනා කම 6600000 ආසන්න වේ

අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට……

කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසා ඇත්තේ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 568යි මිලි ග්‍රෑම් 100ක්, ජංගම දුරකථන 2ක්, බැංකු කාඩ්පත් 3ක් සහ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

41 හැවිරිදි වියේ පසුවන සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි…..

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

පසුගිය පෙබරවාරි මස 16වනදා සිදුකළ මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සඳහා වෙඩික්කරුවන් ගමන් ගන්නා ලද මෝටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙලෙස සහාය ඉල්ලා තිබේ.

මෙම සැකකරුගේ විස්තර පහතපරිදි වේ.

නම – කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ
ලිපිනය – වීරසිංහ මල්ශාලාව, පරගොඩ, ඉමදුව
ජා.හැ.අංකය -199714103549

සැකකරුගේ ඡායාරූපය –

මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071- 859 2279
ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071- 859 6065

චාමරට එරෙහි තවත් නඩුවක විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි…..

අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ තවත් දුෂණ චෝදනා නඩුකරයක් සම්බන්ධයෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර තිබුණි.

ලබන 23 වනදා සිට එළැඹෙන 06 වනදා දක්වා කාල සීමාව තුළ චීනයේ සංචාරයක නිරත වීම සඳහා තමන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ කාල සීමාව තුළ සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස නියෝග කර ඇත.

චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන තවත් නඩුවක් ඊයේ (18) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ද එම නඩුකරයට අදාළව ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කර තිබුණි.

කපිලට ඇප තැබූ අයගෙන් සාක්ෂි නොකැඳවූයේ ඇයි? – මහේස්ත්‍රාත් පොලීසියෙන් විමසයි…..

සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබූ පුද්ගලයන් දෙදෙනාගෙන් පොලිසිය තවමත් සාක්ෂි කැඳවා නොමැති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (19) හෙළිවුණි.

ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් දැඩි ස්වරයෙන් මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශ හෝ සටහන් කරගෙන නොමැතිනම් විමර්ශන සිදුකරන්නේ කෙසේ ද යන්නයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද තෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණි.

විමර්ශන නිලධාරින් අද සඳහන් කළේ මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුළුවීමට හැකියාව ඇති අතර එම නිසා අවට තිබූ සී.සී. ටී.වී දර්ශන ද පරීක්ෂා කළ නමුත් 2026 වසරේ මැයි මස 05 වනදා සහ 07 වන දා අතර කිසිඳු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නැතැයි තොරතුරු අනාවරණ වූ බවය.

මෙම නිවසේ මෙන්ම මරණකරු පදිංචිව සිටි නිවසේද  සී.සී.ටී.වී. දත්ත ගබඩාවී නැතැයි විමර්ශනවලදී හෙළි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුනි.

ඒ අනුව එම සීසීටීවී කැමරාවල ඩී.වී.ආර් යන්ත්‍ර මෙන්ම මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් හඳුනානොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීම සඳහා විමර්ශන නිලධාරින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

එම ස්ථානයේ නාඳුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් පොලිසිය අනාවරණ කළේය.

මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන කපිල චන්ද්‍රෙස්න මහතාගේ ඇපකරුවන් සම්බන්ධයෙන් ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

”මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණ වුණා. ඒ අය සාක්ෂියට කැඳවන්නේ නැද්ද? ”

ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ ” ස්වාමීනි ඒ අයගෙන් තවම ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා.” යනුවෙන්ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ස්වරයෙන් “ප්‍රකාශ සටහන් කරගන්න බැරිවුණා කියලා සාක්ෂි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ අයවනේ කලින් සාක්ෂියට කැදවන්න ඕන.  ප්‍රකාශ සටහන් කර ගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද?”  යනුවෙන් ප්‍රශ්න කළේය.

ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියා සඳහන්කෙළේ ” ස්වාමීනි… මේ ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙන්නේ” යනුවෙන්ය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා ” රිමාන්ඩ් බාරයට පත් කරලා තියෙන්නෙ ඒ ඇපකාරයෝ දෙන්න නෙවෙයිනේ. රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවනම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියිනේ. මගෙන් නියෝගයක් අරගෙන ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්” යනුවෙන් ප්‍රකාශ කළේය.

විමර්ශන සඳහා පොලීසිය ඉල්ලා සිටි නියෝග සියල්ල නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවන ලෙස නියම කළේය.

ඒ අනුව අද පළමුව සාක්ෂි දුන්නේ කොළඹ පුද්ගලික රෝහලේ හෙද නිලධාරියෙකු වන කෝසල රත්නජීව මහතායි.

”සිද්ධිය වූ දින පෙරවරු 7.45ට පමණ පළමු දුරකථන ඇමතුම ආවා. අපි අදාළ නිවසට ගිලන් රථයෙන් ගියා. පසුව ඒ නිවසේ සිටි ලෝයර් කෙනෙක් අපිව උඩ තට්ටුවට එක්ක ගියා. කාමරයේ ලයිට් ඕෆ් කරලා තිබුණා. ඇඳ උඩ ඇඳුම් බෑග් එකක් තබා තිබුණා. පුද්ගලයෙකු බිම් දිගා වෙලා වගේ හිටියා. බෙල්ලේ රෙදි පටියක් ගැටගහලා තිබුණා. මුහුණ පුටුවක් උඩ තිබුණා. වෛද්‍යවරිය ඒ පුද්ගලයා පරීක්ෂා කළා. ඔහු මියගොස් ඇතැයි තහවුරු කළා. මියගිය පුද්ගලයා කපිල චන්ද්‍රසේන කියලා දැනගත්තා. රෝහල් පාලනාධිකාරියෙන් ලද උපදෙස් අනුව මම කොල්ලුපිටිය පොලිසියට දුරකථනයෙන් දැනුම් දුන්නා ” යනුවෙන් සඳහන් කළේය.

එම අවස්ථාවේදී පොලීසිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ඔහු අදාළ ස්ථානයේ නිරීක්ෂණය කළේ මොනවාද යන්නයි.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, ” මරණය සිදුවූ ස්ථානයේ ඇඳ මත  බෑග් එකක් තිබ්බා. බෙහෙත් වර්ගයක් තිබුණා. ඒවා රුධිර සීනි මට්ටම පාලනය කරන බෙහෙත් පෙති බව අපිට පෙනී ගියා.” යනුවෙන් පැවසීය.

ඉන් පසු සාක්ෂි ලබාදුන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සේවය කළේ රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර්.

“මැයි 07 වනදා හවස 3.30 ට විතර කපිල මහත්තයා අපේ ගෙදර ආවා. එයා රාත්‍රී කෑම ගත්තේ නෑ. රාත්‍රීයේ කපිල මහත්තයා අරවින්ද සර් එක්ක කතා කරමින් ඉන්නවා දැක්කා. රාත්‍රී 12. 10 විතර මම නිදාගන්න ලෑස්ති වුණා. අන්තිමට මම තේ එකක් හදලා දුන්නා. ඒ වෙනකොට වෙලාව රාත්‍රී 12.00 ත් 12.05 ත් අතර ඇති. මම රාත්‍රි 12.15 ට විතර මම නිදාගන්න ගියා. රාත්‍රී 1.30 ට පමණ වොෂ් රූම් යන්න මම ඇහැරුණා. පැන්ට්‍රි කාමරය පැත්තේ ලයිට් දාලා තියෙනවා දැක්කා. මම ජනේලෙන් එබිලා බැලුවා. ඒ වෙලාවේ මම දැක්කා කපිල මහත්තයා සුදුපාට බෝතලයක් අතේ තියාගෙන ෆිල්ටර් එක ළග හිටියා. මම සර්ගෙන් ඇහුවා මොනවද ඕන කියලා. වතුර ගන්න ආවා කියලා කිව්වා. මම කිව්වා කාමරයේ වතුර තියලා තියෙනවා කියලා. පස්සේ උඩට ගියා. මම නිදාගන්න ගියා”  යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

පසුව සාක්ෂි ලබාදුන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සීසීටීවී කැමරා සවි කළ ආයතනයේ ඉංජිනේරුවකු වන ක්‍රිෂාන්ත කමලසිරි මහතායි.

”අරවින්ද ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඔහූගේ නිවසේ කැමරා පහක් සවිකලා. 2022 වසරේ වගේ තමයි ඒවා සවිකළේ. ඒ අවස්ථාවේදී එම නිවසේ සිටි ප්‍රසන්න නමැත්තාට පෙන්නුවා රෙකෝඩ් වෙනවා කියලා. දත්ත මාසයක් පමණ තියාගන්න විදියටයි තිබුණේ. අවුරුද්දකට විතර පස්සේ කතා කරලා කිව්වා එලාම් එකක් වදිනවා බලන්න කියලා. පරීක්ෂා කළාම ඒකේ හාඩ් “ඩිස්ක් එක”  ඩැමේජ් වෙලා කියලා දැනගත්තා. පසුව මාරු කළා. මේවා සර්විස් කිරීම ගැන ඇග්‍රීමන්ට් එකක් තිබුණේ නැහැ. මේ කැමරාවල දත්ත ගබඩා නොවෙන්නේ ඇයි කියලා මට කියන්න බෑ. මම පරීක්ෂා කරලා නෑ” යනුවෙන් සඳහන් කළා. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 22 වනදා දක්වා කල් තැබුණි.

රු. කෝටි 14කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට…

රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සමග කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටවීමට තැත් කිරීමේදී  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (18) උදෑසන 9.30ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.

මෙම සැකකරුවන් දෙදෙනා, ගමන් මලු දෙකක් තුළ සඟවාගෙන තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක ප්‍රමාණයක් රැගෙන ආ බව වාර්තා වේ.

ඇඳුම් අතර සූක්ෂම ලෙස ඇසුරුම් 28ක් ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු 23 හැවිරිදි මත්පැන් හලක සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා 30 හැවිරිදි නාටාමි වරයෙකු බවද අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

සීනි බදු වංචාව යළි කරළියට – නඩුව සලකා බලන්නත් දිනදෙයි……

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදුවූ රුපියල් කෝටි 1,590 ක් පාඩුව අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද (18) ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 27 වනදා කැඳවන ලෙසය.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා, පිරමීඩ් විල්මා පෞද්ගලික සමාගම, එහි අධ්‍යක්ෂ සජාත් මවූසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා,  සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ දේශීය සීනි නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා 2020 වසරේ දී ආනයනික සීනි සඳහා රුපියල් 50/- ක බද්දක් පැනවූ අතර පසුව එම බද්ද ශත 25 ක් දක්වා අඩු කෙරුණු බවය.

මෙසේ බද්ධ අඩු කිරීමෙන් ලැබෙන සහනය පාරිභෝගිකයින්ට නොලැබුණු බවත් එය වග උත්තරකාර සමාගම් විසින් අත්පත් කර ගැනීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

මෙසේ බදු අඩු කිරීම නිසා රජයට අහිමි වූ රුපියල් කෝටි 1,590 කට අධික මුදල යලි අය කරගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

දින 171කට පසු ගොඩගත් මස්පන්නේ දිට්වා මතකය……

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඌව පරණගම මස්පන්න කුඩා නගරය ආසන්නයේ දී පස් කන්දකට යට වු ත්‍රීරෝද රථයක් දින 171ට පසු සොයා ගෙන තිබේ.

මස්පන්න නගරයේ බස් නැවතුම ආසන්නයේ සිදු වු නායයෑමක් හේතුවෙන් ඒ ආසන්නයේ නවතා තිබු බස් රථ කිහිපයක්, යතුරුපැදි කිහිපයක්, ත්‍රීරෝද රථ කිහිපයක් හා වෙළෙඳසැල් කිහිපයක් ද පස් හා ගල්වලින් යටවිය.

එම ස්ථානයේ පැවති අවදානම හේතුවෙන් පස් හා ගල් ඉවත් කිරීම මන්දගාමීව සිදු වූ අතර මේ දිනවලදී එම කටයුතු සිදු කරමින් පවතී.

මෙලෙස පස් සහ ගල් ඉවත් කරන අවස්ථාවේ මෙම ත්‍රීරෝද රථය හමුව ඇති අතර එය වලපනේ ඩිපෝවේ සේවය කරන කොන්දොස්තර මහතෙකුගේ බව ද පැවසේ.

ඔහු එදින රාත්‍රියේ මෙම බස් නැවතුම්පොළ අසල තම ත්‍රීරෝද රථය නවතා ගිය අවස්තාවේ මෙම අවාසනාවත්ත ඉරණමට මුහුණ දී ඇත.