වැල්ලම්පිටිය නිවසක් ඉදිරිපිට අත්බෝම්බයක්……

වැල්ලම්පිටිය, ඩොනල් පෙරේරා මාවතේ, ඇල්බා නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ අත්බෝම්බයක් තිබී හමුව තිබේ.

ඊයේ (26) රාත්‍රියේ එම නිවසේ හිමිකාරිය විසින් නිවස ඉදිරිපිට පිරිසිදු කිරීම් කරමින් සිටියදී සැකකටයුතු යමක් දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද 119 දුරකථන පණිවිඩය මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ මෙම අත්බෝම්බය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති අතර පරණ අත්බෝම්බයක් බවට නිරීක්ෂණය වූ බවය.

කෙසේවෙතත් මෙම අත්බෝම්බය මෙම ස්ථානයට පැමිනි ආකාරය සම්බන්ධව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් පැමින මෙම අත්බෝම්බය පරික්ෂා කර නිෂ්ක්‍රීය කර අධිකරණ කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට….

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයින් දියබෙදුම සහ කපුගොල්ලෑව ප්‍රදේශයන් හිදී අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව ඊයේ (26) අලුයම් කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී පොළොන්නරුව අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 20-43 වයස්වල පසුවන පුත්තලම හා අත්තනකඩවල ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන දියබෙදුම පොලීසිය විසින් සිදුකරති.

මේ අතර ඊයේ දහවල් කාලයේදී හොරොව්පොතාන, කපුගොල්ලෑව පොලිස් වසමේ දුටුවැව ප්‍රදේශයේදී කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ද පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 65ක් වූ දුටුවැව, කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කපුගොල්ලෑව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි….

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

පසුගිය 22 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළේය.

එම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාළ සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව, එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්ගේද සහාය සහිතව අද (26) අලුයම් කාලයේදී කමතක් සඳහා භාවිතා කරන ලද, අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා පරීක්ෂා කර තිබුණි.

එහිදී සැකකරුවෙකු හා සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලීසිය සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීමට යොමුකර ඇති බවද පොලීසිය පවසයි.

මෙහිදී සැකකරුවන් විසින් අපරාධයට භාවිතා කරන ලද යතුරුපැදිවලින් එක් යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොලහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර මෙම සැකකරුවන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එමෙන්ම මෙම සැකකරුවන් සමඟ පොලිස් නිලධාරින් පොර බඳින අවස්ථාවේ පලාගිය සැකකරුවෙකු වන කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරනලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

මෙම සැකකරු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රිසියෙන් ANURADA ලෙස ද වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු ඇත.

මෙම සැකකරුගේ ඡායාරූප මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

පොලිස්පතිට කියන්න (WhatsApp)- 071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය – 011 233 7162 / 071 859 2087

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, මාතර හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතී.

මැදවච්චියේ කනදරා ඔයෙහි තිබී උණ්ඩ තොගයක් හමුවෙයි….

මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ තොගයක් සහ පතොරම් ගැබ් දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මැදවච්චිය පොලිසියට ලද තොරතුරකට අනුව වහමල්ගොල්ලෑව ප්‍රදේශයෙන් ගලා බසිනු ලබන කනදරා ඔයෙහි තිබී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

එහිදී ටී 56 වර්ගයේ ජීව පතරොම් 41ක් හා පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් මෙලෙස සොයාගෙන ඇත.

මෙම උණ්ඩ එම ස්ථානයට ගෙනවිත් දමන ලද පුද්ගලයින් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට….

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදීය.

අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයකට පොලීසියෙන් වෙඩි….

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි ජාවාරම් කළ පුද්ගලයෙකු පැදවු ට්‍රැක්ටර් රථයකට ද පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ මෙම ට්‍රැක්ටර් රථය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් නිසින් අණ කර ඇති බවත් එහිදී ට්‍රැක්ටර් රථයේ රියදුරු විසින් පොලිස් නිලධාරීන්ව අනතුරට ලක් කිරීමට උත්සහා දරා ඇති බවත්ය.

එහිදී පොලීසිය විසින් ට්‍රැක්ටර් රථයේ රෝදයකට වෙඩි තැබීමට කටයුතු කළ බව අප කළ විමසීමකදී පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය 24 වනදා මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් ට්‍රැක්ටර් රථයේ රෝදයකට හානි සිදුව ඇති අතර ට්‍රැක්ටර් රථය පැදවු 18 හැවිරිදි තරුණයෙකු ද තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

තුවාල ලැබු පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන කරුණු හෙළිවෙයි….

රත්මලානේ දී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

අදාළ වෑන් රථය ප.ව. 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇත.

කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබේ.

එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇත.

කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා තිබේ.

එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

පොලීසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවය.

මෙම වාහනය පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන්කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් ද අනතුරට ලක්කරමින් පැමිණ ඇති බවටද මේ වනවිට තොරතුරු අණාවරණය වී ඇත.

ඉහත වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා…..

වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඇයව ඝාතනය කර ඇති සංවේදී පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

එලෙස ඝාතනය කර ඇත්තේ, මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු  71 කාන්තාවකි.

මීට වසර දෙකකට පෙර එම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර, ඝාතනය වූ වයෝවෘධ කාන්තාව තනිව නිවසේ සිට ඇත.

යාබද නිවසක සිටි කාන්තාවක් ඊයේ (24) නිවසට පැමිණ බැලීමේ දී මිරිස් කුඩු මුහුණේ ගෑවී මියගිය කාන්තාව බිම වැටී සිටිනු දැක පොලීසියට දැනුම් දී තිබේ.

මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා  ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස පොලීසියට දැනුම් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට සිදුවු අකරතැබ්බය…..

නාරාහේන්පිට තිඹිරිගස්යාය මාර්ගයේ දී බ්‍රිතාන්‍ය ජාතික සබ්‍රිනා කැමරන් නම් කාන්තාවගේ මුදල් පසුම්බිය අස්ථානගත වී තිබේ.

පසුව එම මුදල් පසුම්බිය තිඹිරිගස්යාය මාර්ගයේ වැටී තිබියදී අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් සමන්මී යන නිලධාරීනියන් විසින් සොයා ගෙන තිබුණි.

පසුව එම මුදල් පසුම්බියේ හිමිකාරිණිය වූ විදෙස් කතව අගමැති ආරක්ෂක කොට්ඨාසයට කැඳවා එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත්‍ර ද සිල්වා මහතා එම මුදල් පසුම්බිය ලබාදී ඇත.

එහි ලංකාාවේ මුදල් රුපියල් 6,000ක් හා මෙරට මුදලින් රු ලක්ෂ 6ක පමණ වටින යුරෝ, අමෙරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදි විදෙස් මුදල් තිබී තිබේ.

කළු ගඟේ ජල මට්ටම ඉහළට – ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙස දන්වයි….

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවය.

එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් ඒ අනුව එහි ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් පවතින වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණ හොත් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බැවින් කළු ගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම්කද සිදුකර තිබේ.

මේ අතර කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාවද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිද යන්න ජනතාව දැනුවත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.