දකුණේ හෝටල්හිමිකරුවෙකු ඝාතනයට ආ සැකකරු මාට්ටු…..

වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ ඔහු භාවිතා කළ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව කැඳවයි…..

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මේ පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරු සඳහන් කළේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවය.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යවා අදාළ ඉදිකිරීම පිළිබඳ පරීක්ෂාවක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලයට අනුව සුදුසු තීන්දුවක් ගැනීමට පෙත්සම්කාර සහ වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ එකඟ වුණි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් නියම කළේය.

එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශවයට දැනුම් දුන්නේය.

රට රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට….

කැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් කැනඩාවේ  රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් ලබාගෙන ඇත.

මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි විදේශ රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත  ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් වරකාපොල, අඹගලකන්ද ප්‍රදේශයේ සැකකරුගේ නිවසේදී  ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදීමට රු.75,000 බැගින් ලබාගත් ගිවිසුම් 3ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

මේ අතර ස්විට්සර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17ක මුදලක් වංචාකළ කාන්තාවක්ද පසුගිය (17) අත්අඩංගුවට ගෙන තිබේ.

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකාරිය කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකු ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර, රැකියාව ලබා නොදීම හේතුවෙන් ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

එම කාන්තාව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මහජන සම්බන්ධතා නිළධාරිනියක වශයෙන් සේවය කරන තැනැත්තියක් වන අතර,අදාල පැමිණිල්ල මත සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කළද ඇය නිළධාරීන් මග හැර සැඟව සිට ඇති බව සඳහන්වේ.

පසුව අදාල සැකකාරිය සේවය කරන පුද්ගලික රෝහලේ සිටින බවට ලද තොරතුරක් මත විමර්ශන නිළධාරීන් විසින් අදාළ ස්ථානයේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාල කාන්තාව මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ – අමාත්‍ය චන්දන අබේරත්න…..

නීතිමය කරුණු කිහිපයක් විසඳා ගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය.

අද(19) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මහාචාර්ය චන්දන අබේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෙැමැති බවද ඔහු මෙහිදී අවධාරණය කරයි.

මෙහදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“අපි පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. ඊට අදාළ නීතිමය කරුණු ටිකක් විසඳගන්න තියෙනවා. ඒකට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තියනවා,පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට. අවශ්‍ය කටයුතු කරලා අපිට ජන්දය තියන්න පුලුවන්.

ඔබතුමන්ලා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවා. දන්නවා ඇති අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. අපිට කඩිනමින් විසඳුම් දෙන්න බෑ. අපි විධිමත් ක්‍රමවේදයකට අනුව අවශ්‍ය මැදිහත්වීම් කරලා ජන්දය පවත්වනවා. ඒ පිළිබඳ සැකයක් තියා ගන්න එපා.”

මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩු විභාගය ඇරඹෙයි….

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අයථා ලෙස වක්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව මර්වින් සිල්වා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූ අතර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ගොනුකිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබා ගත් බව සඳහන් කළේය.

එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් විත්තිකරුට දැනුම් දුන් බවත් ඇය සඳහන් කර සිටියාය.

එහිදී විත්තිකරු සිය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වීම හේතුවෙන් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කෙරුණු බවත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ විය.

2010 වසරේ මාර්තු මස 31 වනදා සිට 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩු තුනක අධිචෝදනා භාරදෙයි….

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු විය.

කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා  යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම චෝදනා භාරදී ඇත.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කර ඇත.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධිචෝදනා භාරදීම සිදු කළේය.

ඉන් අනතුරුව ඔවුන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කර ඇත.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියෝග කළේය.

එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි 20 වනදා කැඳවීමට ද එහිදී නියෝග කෙරිණි.

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අයථා ලෙස වත්කම් හා දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩු ගොනු කර තිබෙන බව වාර්තා වේ.

ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්…..

ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු හෙට (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (17)  එම නියෝගය දුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

මෙලෙස චෝදනා එල්ල වන්නේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඊයේ පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සලකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානයක් පිළිබඳව පසුගියදා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානය පසුගිය 14 වනදා පස්වරුවේ වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනුණි.

සොයාගත් ස්ටිකර් ගල්කිස්ස හා බඩෝවිට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බහුලව භාවිත කර ඇතැයි සැක කරයි.

ලොව ප්‍රකට කාටුන් සහ රූපවාහිනී කතා මාලාවන්හි එන චරිත යොදාගෙන සැකසූ ස්ටිකර් තොගයක්ද ඒ අතර වේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1115ක් අත්අඩංගුවට…..

විෂ ‍මත්ද්‍රව්‍ය මුලිනුපා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 1000කට අදික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ වැටලීම් 1131ක් සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් 1115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 531ක් ද, අයිස් ග්‍රෑම් 754ක්, ගංජා කිලෝ 08යි ග්‍රෑම් 953ක්, මත්පෙති 249ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙ ඇත.

එමෙන්ම සැකකරුවන් 31 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 63දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.

තලාවේ තවත් බිහිසුණු අනතුරක් – තරුණයාට බරපතළයි….

තලාව සුනාමි හන්දිය අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම පැමිණි මාර්ගයේ අනුරාධපුර දෙසට නැවත හැරවීම හේතුවෙන් පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණි.

මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

යතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයි…..

වරකාපොල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ.

තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය විසින් සැකකරන අතර, අනතුර සිදු කරන ලද රථය නොනවත්වා පලා ගොස් ඇත.

මෘත ශරීරය වරකාපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.