‘දිට්වා’ වන්දිවලින් අල්ලස්ගත් නිලධාරියා යළි රිමාන්ඩ්……

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවකගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකාර නිලධාරියා, ජූනි 9 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කළේය.

සැකකාර නිලධාරියා ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ කාන්තාවකට වන්දි ප්‍රදානය කිරීමේදී, ඊට අදාළ කටයුතු කිරීම සඳහා ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතකර සිටින්නේ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරියෙක්ය.

මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද (25) කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් කරුණු දැක්වූ එහි නිලධාරිනියක අධිකරණයට දන්වා සිටියේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පැමිණිලිකාර කාන්තාව වෙත රජය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ලබා දී ඇති බවය.

ඊට අදාළ කටයුතු ඉටු කරදීම සඳහා මෙම සැකකරු විසින් අදාළ කාන්තාවගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා  ලබාගෙන ඇති බවත් ඇය අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බව  පෙන්වා දුන් එම කොමිසමේ නිලධාරණිය, තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට කැබ් රථ 134ක්……

ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දියානු රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක් වන අතර, මෙම කැබ් රථ උතුරු පළාත් පොලිස් ස්ථාන වෙත භාර දීමට නියමිතය.

ඉදිරියටත් මෙවැනි ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී සඳහන් කළේය.

ඉන්දියානු රජය විසින් සිදු කරන ලද මෙම පරිත්‍යාගය අගයමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉන්දීයානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, ඩිමෝ ආයතනයේ  සාමාන්‍යාධිකාරි රජිව් පණ්ඩිතගේ යන මහත්වරුද, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද, ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 24දා කැඳවන ලෙස නියෝග……

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පැමිණිල්ල අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී විරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

මීට පෙර දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීමට තමාට අවශ්‍ය බව පැවසුවේය.

සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නැති නිසා මෙම නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බවත් නීතිඥවරයා සඳහන් කළේය.

එහෙත් මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිය විසින් සඳහන් කරන ලේඛන පරිගණක උත්පාදිත ලේඛන නොවන බවත් එම ලේඛන ස්කෑන් කොට දත්ත පද්ධතිය තුළ ගබඩා කර තැබීම පමණක් සිදු කර තිබෙන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් විත්තිය ඉල්ලා සිටින ආකාරයට අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදීම සඳහා වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසිය අද දින අධිකරණයට ලබාදෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මීට අදාළව මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා ජූලි මස 24 වනදා කැදවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විමල්ට ඇප ලැබෙයි……

මැයි 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අබියස ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) පස්වරුවේ නියෝග කළේය.

තලංගම පොලීසිය මඟින් අද පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගැනුණේ රජයේ නිලධාරීන්ට බලහත්කාරය පෑම යන චෝදනාව මතයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඉකුත් මැයි 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර පිහිටි රණවිරු ස්මාරකය අබියසට පැමිණියේ පුෂ්පෝපහාර දැක්වීමට බව පවසමිනි.

විජයග්‍රහණයේ සැමරුම් වැඩසටහනේ පෙරහුරු ඒ වන විටත් පැවැත්වෙමින් තිබූ අතර එම පරිශ්‍රයට ඇතුළුවීම සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් ඔහුට අවසර ලබා දුන්නේ නැත. ඒ හේතුවෙන් එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගැනුණි.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට විමල් වීරවංශ මහතාට තලංගම පොලීසියට කැඳවීමක් කර තිබූ අතර ඒ අනුව ඔහු අද පෙරවරු 10ට පමණ එහි පැමිණියේය.

ප්‍රකාශය ලබාගැනීමෙන් පසු දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ රජයේ නිලධාරීන්ට බලහත්කාරය පෑම යන චෝදනාව මත විමල් වීරවංශ මහතාව තලංගම පොලීසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුණි.

අනතුරුව විමල් වීරවංශ මහතා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තලංගම පොලිස් ස්ථානයෙන් රැගෙන ගියේය.

මේ අතර මෙම සිද්ධියට අදාළව විමල් වීරවංශ මහතා සමඟ එදින ප්‍රශ්නගත අවස්ථාවට සහභාගී වූ තවත් අයෙකු තලංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් දෙදෙනාම අද පස්වරුවේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී සැකකාර විමල් වීරවංශ මහතා සහ අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර තිබුණි.

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වෙයි……

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලි‍මේන්තුවේදී රැස් විය.

මැතිවරණ ක්‍රමයට අදාළ වන නීති, එනම් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවක් තුළ සිදු කරන ලද සංශෝධන සහ එකී පනත්වල විධිවිධානයන්ට අදාළ වන විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීමද මෙම කාරක සභාවේ මුඛ්‍ය අරමුණ වේ.

ඊට අමතරව, උක්ත පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීම ද මෙම කාරක සභාව වෙත පැවරී තිබේ.

ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් හෝ ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව හෝ, ලබා ගැනීමට ද කාරක සභාවට බලය හිමිවේ.

තවද, කාරක සභාවේ කටයුතුවලට සහාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද අවස්ථාව හිමි ව තිබේ.

ඒ අනුව, කාරක සභාවේ කටයුතු සඳහා මහජන අදහස් ලබා ගැනිමට සහ මෙම සමාලෝචන ක්‍රියාවලිය පිළිබඳ පුළුල්ව මහජනතාව දැනුවත් කිරීමටද සාමාජික මන්ත්‍රීවරයන්ගේ ඒකඟතාවය හිමි විය.

මෙම කාරක සභාවට නියෝජ්‍ය අමාත්‍ය (නීතිඥ) සුනිල් වටගල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, (නීතිඥ) තුෂාරි ජයසිංහ, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

කහතුඩුවේදී ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් පෙරළෙයි……

කහතුඩුව, දියගම මාර්ගයේ ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් අද (25) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

ඉන් 19 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූ 19 දෙනා අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් සහ සෙසු පුද්ගලයා වෑතර රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

රුපියල් කෝටියක රන් භාණ්ඩ සොරකමේ ප්‍රධාන සැකකරු O/L විභාගයට පෙනී සිට A සමාර්ථ 07 ක් හා B සමාර්ථ 02 ක් ලැබූවෙක්……

රුපියල් කෝටියකට ආසන්න වටිනා රන්බාන්ඩ සොරා ගත් 29 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙකු සොරා ගත් එම රන්බාන්ඩ සමඟ අත්අඩංගුවට ගත් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සොර බඩු උගස්කළ පුද්ගලයා බව පොලිසියකියයි

එම රන්බාන්ඩ අතර පවුම් 13 ක් බර අත් පළඳනාවක් සහ පවුම් 10 ක් බර රන්දම්වැලක් , රිදී මුදුවක්, රන්මුදුවක් හා කරාබු යුගලක් වන බව පොලිසිය කියයි

සැකකරු එම දේපළ උගස්කර ලබාගත් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත

ඉකුත් 19 වෙනිදින බණ්ඩාරගම ගුංගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා පවුම් 23 ක් බර. රන් අත් පලඳනවාක් සහ රන් දම්වැලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර වාරයේ රන්බාන්ඩ සොරාගෙන තාප්පයෙන් පලා යන පුද්ගලයා හොරණ මීවන පලානේ පදිංචිකරුවකුබවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාට ලද රහසිගත තොරතුරකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන්කරයි

ඉකුත් 19 වෙනිදින සැකකරු ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු ඇනවුම්කර එම මත්කුඩු ලබා ගැනීම සඳහා ගුංගමුව ප්‍රදේශයේට පැමිණි අවස්ථාවේදී වසා දමා තිබූ දෙමහල් නිවසේ ඉදිරිපස ජනේලයේ කඩා ඇතුළු වී ඉහළ මහලට ගොස් නිදන කාමරයේ අල්මාරියක ලාච්චුවක බහා තිබූ රන් අත් පළඳනාව සහ රන් දම්වැල සොරාගත් බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි

අනතුරුව එම රන් දම්වැල හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ මිතුරු කුළවා ඉංගිරිය ප්‍රදේශයේ උගස්මධ්‍යස්ථානයකට උගස්කර රුපියල් ලක්ෂ 14 ක මුදලක් ලබාගත් බවත් අත් පළඳනාව හොරණ ප්‍රදේශයේ උගස්මධ්‍යස්ථානයකට උගස්කර රුපියල් ලක්ෂ 10 ක් ලබා ගත් බවත්, අනාවරණය කළ බව පොලිසිය කියයි

එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මේ ආකාරයෙන් ඉකුත් මාස කිහිපය තුල හොරණ පොලිස් වසමේ ද නිවාස තුනකින් රන් භාණ්ඩ සොරා ගත් බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එම රන්භාණ්ඩ ද සැකකරුවන්ගේ ප්‍රකාශ මත හොරණ ප්‍රදේශයට උකස් කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට “ඒ “සමාර්ථ 07 ක් හා “බි” සමර්ථ” 02″ ලැබූවෙක් බවත්
අනෙක් සැකකරු ගවයින් 150 ක පමණ ගව පට්ටියක හිමිකරුවකු ව සිටි පුද්ගලයකු බවත් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත

සැකකරුවන් දෙදෙනාම තදින් මත්ද්‍රව‍ය වලට ඇබ්බැහි වූවන්ය

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි

මිල්ලනිය –  ඉරේෂ් උදයංග

පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ සැමියා කළ පාපොච්චාරණය…..

තම බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයෙකි.

පසුගිය 18 වෙනිදා පස්වරු 5.30ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි ඔහු අදාළ කාන්තාවකගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා පළා ගොස් තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති අතර මේ වන විටත් ඇය කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඇයගේ මුහුණ සහ පපුව ප්‍රදේශය බරපතළ පිළිස්සුම් ලැබීම හේතුවෙන් ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවය.

කෙසේ වෙතත් ඇයගෙන් මේ වන විටත් කටඋත්තර ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, මෙම කාන්තාවගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවය.

ඒ අනුව ක්‍රියාත්මක වුණු පොලිසිය අද (22) මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ලද ප්‍රකාශ අනුව සිද්ධිය සඳහා භාවිත කරන ලද පෙට්‍රල් බෝතලයක් සහ ත්‍රී රෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තමන් විසින් ගිනි තබා ඇත්තේ තමන්ගේම බිරිඳට  බවය.

ඔවුන් දෙදෙනා පෙර විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වීමෙන් අනතුරුව විවාහ වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව විවිධ පුද්ගලයන් ඇසුර කර ඇති බවත්, දින ගණනාවක් යන තුරු නැවත නිවසට නොපැමිණෙන බවත් සැකකරු පාපොච්චාරණය කර තිබේ.

ඇයට කොපමණ උපදෙස් ලබාදුන්න ද ඇය දිගින් දිගටම මෙලෙස අනාචාරයේ යෙදී ඇති බවට ඔහු ප්‍රකාශ කර ඇත.

ගිනි තැබීමෙන් අනතුරුව තමන්ද සියදිවි නසාගන්නා බවට සැකකරු කාන්තාවට පවසා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසි සඳහන් කරයි.

මෙම සැකකරු මීට ඉහතදී කිසිම අපරාධයකට කිසිම චෝදනාවකට ලක් නොවූ ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළ අය බවට ප්‍රදේශවාසීන් පැවසු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරු අද (24) දින‍ අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ල දංගෙදර සිදුකළ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට…..

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු වලාන දූෂණ ර්මධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 12 වනදා ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, වලාන දූෂණ මධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉහත අපරාධයට ආධාර අනුබල දුන් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (23) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 260 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 24 හා 38 වයස්වල පසුවන ගිරාඳුරුකෝට්ටේ සහ මහව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

වලාන දූෂණ ර්මධන ප්‍රහාරක ඒකකය මගින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

මේ අතර, මෙම ඝාතනයටම සම්බන්ධ ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකුව ඊයේ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 22 ක් වන කල්පේ, හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මහනුවර ගොඩනැගිල්ලක බැල්කනියක් කඩා වැටී දෙදෙනෙකු තුවාල……

මහනුවර ඊ.එල් සේනානායක වීදියේ ඉන්ධන පිරවුම්හලකට යාබදව තිබූ මහල් 6කින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර අද (24) පෙ.ව. 11.30 ට පමණ සිදුව තිබෙන අතර, කඩා වැටුණු කොන්ක්‍රීට් කැබැල්ලකට යටවී සිටි අයෙකු අසළ සිටි පිරිස් විසින් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

අදාළ ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිටතට පන්නා තිබූ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීමෙන් මෙම සිදුව තිබෙන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.