ඩයනා ගමගේට එරෙහි නඩුව කල් යයි……

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 12 වනදා කැඳවන ලෙසය.

2016 වසරේ ජුලි මස 14 වන දා සිට 2020 වසරේ නොවැම්බර් මස පළවනදා අතර කාල සීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍යය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයාගේ උපදෙස් මත  චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය ඇමතිනියට එරෙහිව චෝදනා හතකට අදාළව මෙම නඩු ගොනු කර තිබේ.

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි…..

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ මුදල් කටයුතු පාලනය කළ බව කියන ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු වන දිනේෂ් කුමාරගේ බැංකු ගිණුම් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහි දී එම දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ සැකකාර කපු මහතාගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 30 අධික මුදලක් සංසරණය වී ඇතැයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බව සඳහන් කළේය.

මෙම සැකකරු “ලොකු පැටී” සමග සමීප සම්බන්ධතා පවත්වා තිබෙන බවත් ලොකු පැටි නමැත්තා නීති විරෝධී ආකාරයට උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය කිරීමේ කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුරු විමර්ශන පවත්වා ඉදිරියේදී ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයට නියම කළේය.

ඉන්දීය යුද නෞකාවක් කොළඹට…..

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වීම සඳහා අද ( 21) උදෑසන කොළඹ වරායට පැමිණි ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකර තිබුණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි Diving Support Vessel වර්ගයට අයත් ‘INS NIREEKSHAK’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Sailesh Kumar Tyagi කටයුතු කරනු ලබයි.

මෙම යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලය තුළ, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව මිශ්‍ර වායු කිමිදුම් පුහුණු වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

එමඟින් දෙරටේහි කිමිදුම් අංශයන්ගේ අත්දැකීම් හුවමාරුව සහ ශක්‍යතා වර්ධනය සඳහා අවස්ථාව සැලසීම අපේක්‍ෂා කෙරේ.

එමෙන්ම, එහි නැව් මුළුව දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය හා සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණින් සංවිධානය කර ඇති වැඩසටහන් කිහිපයකට සහභාගී වීමටත්, සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා සංචාරයන්හි නිරත වීමටත් නියමිතය.

අධික වර්ෂාවෙන් හැටන් – දික්ඔය වතු නිවාස 50ක් ජලයෙන් යට වෙයි…

හැටන් දික්ඔය ප්‍රදේශයට අද (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දික්ඔය ෆොඩයිස් වතුයායේ පහත්බිම්වල පිහිටි වතු නිවාස 50ක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව සඳහන් වෙයි.

මේ හේතුවෙන් හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ ගමනාගමන කටයුතුද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව හැටන් පොලීසිය පැවසීය.

පොලීසිය පවසා සිටියේ එම වතුයාය හරහා කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇල පිටාර ගැලීමෙන් මෙසේ වතු නිවාස සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති බවයි.

ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක් – ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය…..

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ සැපයුම බරපතළ අනතුරකට ලක්ව ඇති බවත්, එය වළක්වා ගැනීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ගෝලීය සහ දේශීය ආර්ථික සාධක රැසක් හේතුවෙන් ඖෂධ සැපයුම් දාමය මත එල්ල වී ඇති පීඩනය තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව එම මණ්ඩලය අවධාරණය කරයි.

ඉන්ධන මිල 38% කින් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 40% කට වඩා ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ අමුද්‍රව්‍යවල ගෝලීය මිල ඇතැම් අවස්ථාවල 70% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන පිරිවැය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ආනයන බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රමාදය සහ මිල සමාලෝචන ක්‍රියාවලියේ පවතින ගැටලු හේතුවෙන් ඖෂධ නියමිත වේලාවට වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.

මෙය හුදෙක් කර්මාන්තයට පමණක් සීමා වූ ගැටලුවක් නොව ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බව මණ්ඩලය පවසයි.

වහාම පියවර නොගතහොත්, රජයේ සහ පෞද්ගලික රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වනු ඇති අතර රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම හෝ අඩාල වීම සිදුවනු ඇති බව සඳහන් වේ.

ඖෂධ සැපයුම ස්ථාවර කිරීම සඳහා SLCPI පහත පියවර වහාම ගන්නා ලෙස යෝජනා කර තිබේ.

ආනයන බලපත්‍ර ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් වහා විසඳීම.

පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව විනිවිදභාවයකින් යුත් මිල සමාලෝචන ක්‍රමවේදයක් සකස් කිරීම.

සැපයුම් දාමයේ අඛණ්ඩතාව රැක ගැනීම සඳහා නියාමකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ව කටයුතු කිරීම.

“අද පවතින මෙම පීඩනය හෙට ජාතික ඖෂධ හිඟයකට හැරෙන්නට පෙර, සියලුම අදාළ පාර්ශව මෙම ගැටලුව උපරිම හදිසිතාවයකින් සලකා බැලිය යුතුයි,” යනුවෙන් SLCPI සිය නිවේදනය මගින් අවසන් වශයෙන් අවධාරණය කර සිටී.

මෙරට මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන සබඳතා පැවැත්වූ ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට….

මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන ඉන්ධන නෞකාවක් අමෙරිකානු භාරයට ගෙන තිබේ.

ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

එමෙන්ම මැරීන් ට්‍රැෆික් හී දත්ත වාර්තා අනුව ටොන් ලක්ෂ 3කට ආසන්න ධාරිතාවක් ඇති බොරතෙල් නෞකාවක් බවත් මෙම නෞකාවට එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇති බවත් වාර්තා විය.

මෙම නෞකාව ඉන්දියානු නැව් සමාමගමකට සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේයට.

මෙම නෞකාව අප්‍රේල් 10 වන දින ගල්ෆ් කලාපයෙන් පිටව ගොස් අප්‍රේල් 18 වන දින මෙරට ගාලු වරායට ආසන්නව කෙටි කාලයක් නතර කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ස්ථාන දෙකකදී මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි…..

ස්ථාන දෙකකදී දියේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මෙම අනතුරු බෙන්තොට සහ කන්කසන්තුරය පොලිස් වසම් තුළින් ඊයේ (19) දිනයේදී වාර්තා වූ බවය.

ඒ අනුව ඊයේ උදෑසන බෙන්තොට පොලිස් වසමේ බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙන්තොට පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

එහිදී අනාවරණය වී ඇත්තේ මරණකරු අවුරුදු 25ක් වූ චුන්නාගම්, යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

මරණකරු මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වන අතර ඔහු තවත් සිසුන් පිරිසක් සමග දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට දැනට සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මේ අතර කන්කසන්තුරය පොලිස් වසමේ කීරිමලෛ මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකුද ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 42ක් වූ තෙලිප්පලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තවත් පුද්ගලයෙකු සමග දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවට දැනට සිදුකරනු ලැබූ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුරු සම්බන්ධව බෙන්තොට සහ කන්කසන්තුරය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

රුපියල් 2,000ක ඔට්ටුව මරණයෙන් කෙළවර වෙයි…..

බලංගොඩ, සීතගල හංදිය ප්‍රදේශයේ දී පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

රුපියල් 2000ක ඔට්ටුවක් හේතුවෙන් බූරු පොළක ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වේ.

එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය⁣ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වන සීතගල රාස්සගල බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පිය – පුතු දෙපළක් එක්ව මෙම පහරදීම සිදු කර ඇති බව දැනට සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

කෙසේවෙතත් පහරදීමට අදාළව සැකකරුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම සිද්ධියට සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳාහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

RMV ලොක්කාට ඇප….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඇප මත මුදා හැර තිබේ.

අද (20) පෙරවරුවේ පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහැරිමට පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්. එම්. එම්. අයි. වාසල මහත්මිය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව කමල් අමරසිංහ මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප 02ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

ඊට අමතරව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

වාහනයක් ලියාපදිංචි කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පසුගිය මාර්තු  මස 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප….

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්  2015 වසරේ මෙම සැකකරු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නියමිත නීතිමය පටිපාටියෙන් බැහැරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයින් එකසිය තිස් හතර දෙනෙකු කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇතැයි පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සිය දේශපාලන හිතවාදී පුද්ගලයින් මෙලෙස බඳවාගෙන ඇති බවත්  විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඊට අමතරව විනය හේතු මත ස්ථාන මාරුවීම් ලබා සිටි යාපනයේ තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂ එන්. යෝගරාජා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කිරීම සම්බන්ධයෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා බලපෑම් සිදුකර ඇති බවත්  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ක්‍රියා තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා සිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් “දූෂණය”  නැමැති වරද සිදුකර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේය.

අල්ලස් කොමිස්මේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් අවවාද කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 21 වනදා යළි කැඳවීමට නියම කෙරුණු අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කළේය.