එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි….

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා ප්‍රදේශයේදී අද (20) උදෑසන 9:30ට පමණ මෙම අනතුර සිදු ව ඇත.

මෙම ත්‍රීරෝද රථය තුළ මව, පියා සහ දියණියන් දෙදෙනා ගමන් කර ඇති අතර එය ධාවනය කර ඇත්තේ වැඩිමල් දියණිය බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් පොලීසිය පැවසුවේ ඇයට ත්‍රීරෝද රථය ධාවනය කිරිම සඳහා නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක්ද ඇති බවය.

මීගමුවේ සිට හැටන් ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වාහනයකට වංගුවක් සහිත ස්ථානයකදී ඉඩ ලබා දීමට යෑමෙදි ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහී මෙසේ ප්‍රපාතයට පෙරළී ඇත.

මෙම අනතුරින් දියණියන් දෙදෙනා සහ මව තුවාල ලබා ඇති අතර ත්‍රීරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු ව තිබේ.

එප්පාවල දී හමුවූ ජීව අත් බෝම්බය නුරාධපුර විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පැමිණ නිෂ්ක්‍රීය කරයි…

ඊයේ (18) පස්වරුවේ එප්පාවල නබඩවැව පාළම අසල දිය නෑමට පැමිණි පුද්ගලයකුට වැව තුළ තිබී මෙම අත්බෝම්බය හමු වී ඇති අතර, ඒ පිළිබඳ එප්පාවල පොලීසිය දැනුම්වත් කර ඇත. ඒ අනුව අදාළ බෝම්බය ඇති ස්ථානයට එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් ආරක්ෂාවට යොදවා තිබූ අතර, මේ පිලිබඳව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු, එම අත් බෝම්බය මහජනතාවට පීඩාවක් හෝ හානියක් නොවන ලෙස විනාශ කරන ලෙස විශේෂ කාර්ය බලකාය කැඳවා විනාශ කර දමන ලෙස නියෝග කර තිබිණි.

ඒ අනුව එම අත්බෝම්බය අනුරාධපුර විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිළධාරීන් පැමිණ සුරක්ෂිතව එප්පාවල කොන්වැව ඉහළ පිහිටි රක්ෂිතයට රැගෙන ගොස් අද (19) පස්වරුවේ පුපුරුවා විනාශ කරනු ලැබීය.

මෙම අත්බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් බව විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පැවසූහ.

පසුගිය දින 7 තුළදී දියේ ගිලී සිදු වූ ජීවිත හානි ගණන 26ක්…

මෙවර අලුත් අවුරුදු සමයේ ගෙවුණු දින 7 ක කාලය තුළ දියේ ගිලීම්වලින් මේ දක්වා පුද්ගලයින් 26දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

දියේ ගිලීම්වලින් ඊයෙත් (18) උපකාරක පන්ති ගුරුවරයෙක් හා උසස් පෙළ සිසුවෙක් මිය ගිය අතර අවුරුදු උත්සව අවස්ථාවකට සහභාගි වූ හය හැවිරිදි දැරියක්ද නාන තටාකයක වැටී මියගොස් තිබේ.

උපකාරක පන්ති ගුරුවරයෙකු සහ උසස් පෙළ සිසුවෙකු තඹුත්තේගම නල්ලච්චිය වැවේ දියනෑමට ගොස් තිබුණේ ඊයේ පස්වරු 3.30ට පමණි.

වාරි ඇලේ දියනාමින් සිටි ඔවුන් දෙදෙනා එක්වරම ජලපහරට හසුව  මීටර් 300ක පමණ දුරක් ගසාගෙන ගොස් ඇත.

ඒ වනවිට ඊට යාබදව දිය නාමින් සිටි තවත් පිරිසක් දිය පහර ඔස්සේ ගසාගෙන පැමිණි තරුණයින් දෙදෙනා වහා දියෙන් ගොඩට ගැනීමට පියවර ගෙන තිබුණි.

කඩිනමින් ඔවුන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණත් රෝහල්ගත කරන විටත් තරුණයින් දෙදෙනා මියගොස් තිබුණි.

සිද්ධියෙන් මියගිය එක් තරුණයෙක් තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ධනුෂ්ක උදයංග නම් උපකාරක පන්ති ගුරුවරයෙකි.

සිද්ධියෙන් මියගිය අනෙක් තරුණයා අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුවෙකි.

මේ අතර හය හැවිරිදි දැරියක් පිහිනුම් තටාකයකට වැටී මියයාමේ අනුවේදනීය පුවතක් පිළියන්දල දම්පේ ප්‍රදේශයෙන් වාර්තා විය.

දම්පේ ප්‍රදේශයේ හෝටලයකදී පිරිසක් අවුරුදු උත්සවයක් ඊයේ පවත්වා තිබුණේ පවුල් කිහිපයක ඥාති හිත මිතුරන්ගේ සහභාගීත්වයෙනි.

පස්වරුවේ එම පිරිස පිහිනුම් තටාකය භාවිත කරමින් සිටින අතරතුර පිහිනුම් තටාකයේ වැඩිහිටි පිරිස භාවිත කරන කොටසේ තිබී කළු පැහැ යමක් නිරීක්ෂණය වී තිබේ.

කුඩා දැරියක් ඒ තුළ ගිලී සිටින බව තහවුරු කරගත් එහි සිටි අයෙක් වහා දැරිය තටාකයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබුණි.

කුඩා දැරිය කඩිනමින් පිළියන්දල දිසා රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් ඇය සිය දිවියට සමුදී තිබුණේ අවුරුද්දේ සතුට සැණින් සැමට අහිමිකරමිනි.

කස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා අදාළ හෝටලයට පැමිණ ඊයේ රාත්‍රියේම ස්ථානීය පරීක්ෂාව සිදුකළ බවය.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගියේ පැලැන්වත්ත, මිහිඳුපුර පදිංචිව සිටි ඉහන්සා පෙරේරා නම් හය හැවිරිදි දැරියකි.

ඇගේ මව විදෙස්ගතව සිටින අතර ඇය සිය පියාගේ සහෝදරියකගේ රැකවරණ යටතේ හැදී වැඩී ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් තිසාවැවේ ගිලෙමින් සිටි තරුණයෙකුගේ දිවි බේරාගැනීමට ඊයේ සමත්ව තිබුණි.

තිසාවැවේ අනාරක්ෂිත ස්ථානයක දියනාමින් සිටියදී මෙලෙස දියේ ගිලීමට ලක්ව තිබුණේ 27 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර අද දහවල් බෙන්තොට මුහුදු තීරයේ දියනාමින් සිටියදි මුහුදට ගසාගෙන ගිය තරුණයෙකුගේ සිරුරද ජීවිත ආරක්ෂක භටයන් විසින් සොයාගනු ලැබීය.

මෙලෙස මියගොස් තිබුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

මහරගම දෙමහල් නිවසේ ඇති වූ ගින්නට හේතුව කුළිය සම්බන්ධයෙන් ඇති වු ආරවුලක්…

මහරගම පමුණුව පාරේ දෙමහල් නිවසක ඉහළ මහලේ ඊයේ (18) පස්වරුවේ ඇතිවූ ගින්න, නිවසේ කුළිය සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් මුල්කර ගනිමින් නිවසේ හිමිකරු විසින්ම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

කාලක සිට නිවසේ හිමිකරු සහ කුළි පදනම මත සිටි අදාළ පුද්ගලයින් අතර ආරවුලක් පැවති බවට මහරගම පොලිස් ස්ථානය වෙත ද පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.

මහරගම පමුණුව පාරේ, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමඟ අංක 17/2 දරන දෙමහල් නිවසේ ඉහළ මහලේ ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.

පසුව එය දුටු ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවාදැමීට කටයුතු කළේය.

එහිදී නිවස අභ්‍යන්තරයේ සිටි බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් රෝහල්ගත කිරීමට පළමුව ඔවුන් කටයුතු කර ඇත.

එලෙස රෝහල්ගත කර ඇත්තේ නිවසේ හිමිකරු සහ කුලී පදනමට නිවසේ පදිංචිව සිටි පවුලේ ගෘහ මූලිකයාය.

කෙසේ වෙතත් අනතුරුව සිදුකළ සෝදිසියේදී නිවසේ කාමරයක් තුළ මියගොස් සිටීයදි එම ගෘහ මූලිකයාගේ බිරිඳගේ සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ රන්තකාන්ති වික්‍රමආරච්චි නම් 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වූ තත්සරණි රත්නායක නම් 16 හැවිරිදි දැරියකි.

එසේම රෝහල්ගත කර සිට 76 හැවිරිදි නිවසේ හිමිකරුද අද (19) පෙරවරුවේ මිය ගොස් ඇතැයි මහරගම පොලීසිය සඳහන් කළේය.

‍සිදුවීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වයෝවෘද්ධ පුද්ගලයෙකු තල්ලුකර මුදල් කොල්ලකෑ මත්ලෝලියා කොටුවෙයි….

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ, දෙහිවල ප්‍රදේශයේදී වයෝවෘද්ධ පුද්ගලයෙකු තල්ලුකර බිමදමා මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරු දෙහිවල පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය අප්‍රේල් 17 වැනිදා දෙහිවල, වෛද්‍ය පාරේ ගමන් කරමින් සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු තල්ලු කර බිම දමා, ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 2,100ක මුදලක් කොල්ලකා සැකකරු පළා ගොස් තිබුණි.

මෙලෙස කොල්ලකා ඇත්තේ එම වයෝවෘද්ධ පුද්ගලයා කුලී වැඩකර උපයාගත් මුදලක් බව පැවසේ.

මෙම අමානුෂික ක්‍රියාව දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමග පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

ඒ අනුව දෙහිවල පොලිස් අපරාධ අංශය මගින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

ඒ වනවිට ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 23ක් වන ඔපන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (20) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට…..

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයෙකු වූ ‘පොඩි පැටී’ව වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඉකුත් 16වනදා අහුංගල්ල, ලෝකන්වත්ත කනත්ත අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි ‘පොඩි පැටී’ට ටී56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණි.

ඒ සම්බන්ධයෙන් අහුංගල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු ඊයේ (17) රාත්‍රියේ කොස්ගොඩ, හෑගල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 760 ක්ද සොයාගැනීමට හැකිව ඇත.

සැකකරු අවුරුදු 45ක් වන පිටිගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

දියේ ගිලෙන දරුවන් බේරගන්න වැවට පැන්න පියා වැව් පතුලේ සැඟවෙයි…..

මිහින්තලය, මරදන්කුලම වැවේ දියේ ගිලි පුද්ගලයෙකු ඊයේ (17) දහවල් මරණයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ, අවුරුදු 55ක් වූ මරදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

මරණකරු ඔහුගේ මිතුරෙකු සමග මරදන්කුලම වැවට ගොස් සිටි අවස්ථාවේ, දිය නාමින් සිටි ඔහුගේ පුත්‍රයා හා තවත් දරුවෙකු දියේ ගිලෙනවා දැක තිබේ.

එම අවස්ථාවේ ඔහු වැවට පැන එම දරුවන් බේරාගැනීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කෙසේ නමුත් මෙහිදී අවුරුදු 11 හා 12 වයස්වල පසුවන දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නොමැත.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ස්ථාන තුනකදී කාන්තාවන් තිදෙනෙකුට අමානුෂික ප්‍රහාර 3ක්….

මොරගහහේන ප්‍රදේශයේදී රතිඤ්ඤා ශබ්දය තම නිවෙසෙහි සුනඛයින්ට පීඩාවක් බැවින් එය නවත්වන ලෙස ඉල්ලීමක් කළ අසල්වැසි කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන විඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබුණි.

මෙම සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹූ මොරගහහේන පොලිසිය පහර කෑමට ලක්වූ කාන්තාවගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 54ක් වන වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඊයේ (17) හොරණ ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ගොකරැල්ල මැදලන්ද හංදිය අසළදී ද කිසියම් පිරිසක් විසින් කාන්තාවකට පහර දී තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වූයේ පෞද්ගලික ආරවුලක් මත ඇයගේ පුතුන් දෙදෙනා ඇතුළු පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවය.

අදාළ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ගොකරැල්ල පොලීසිය පැවසීය.

මේ අතර රාගම ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි කාන්තාවක් භාණ්ඩ සොරකම්කල බවට චෝදනා කරමින් වෙළඳසැල් සේවකයන් අදාළ කාන්තාවකගේ හිසකෙස් කපා දමන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය විය.

එහි දැක්වෙන්නේ අදාළ කාන්තාය සිය කෙස් කපා නොදමන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියදීත් අදාළ වෙළෙඳසැල් සේවකයන් එය නොතකමින් කටයුතු කරන ආකාරය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබුණි.

පොලිසිය ප්‍රකාශ කළේ එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බවය.

ප්‍රධාන සැකකාරිය අවුරුදු 27ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සෙසු සැකකරුවන් අවුරුදු 20, 21, 22 සහ 23 වයස්වල පසුවන රාජාංගනය, කඩවත, රාගම, ත්‍රිකුණාමලය, චිනවරාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

රාගම ප්‍රදේශයේ කාන්තාවකට අඩත්තේට්ටම් කළ ප්‍රධාන සැකකාරිය ඇතුළු පිරිස රිමාන්ඩ්…

රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් සිදු කිරීමේ සිද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් 5 දෙනා එළැඹෙන 20 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගත් අදාළ පිරිස අද (18) වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ ප්‍රධාන සැකකාරිය වූ අවුරුදු 27ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ අවුරුදු 20,21,22 සහ 23 වන වයස්වල පසුවන රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලීසිය වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමන්කොල්ලාගේ ගෝලයෙකු අත්අඩංගුවට…..

හෙරොයින් ග්‍රෑම් 120ක් සමග සැකකරුවෙකු අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ අල්ලිය දේවාලය අසල නිවසක දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා විදෙස්ගතව සිටින ඉඩන්තොට අගම්පොඩි සජිත් ප්‍රියන්ත නොහොත් ”සමන්කොල්ලා” නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු බවට අනාවරණය වී තිබේ.

අදාළ සැකකරු මාදම්පාගම දේවගොඩ පදිංචි වයස 23ක් වන විවාහක පුද්ගලයකු වන අතර ඔහුව වැඩිදුර විමර්ශනය සදහා අම්බලන්ගොඩ පොලීසිය වෙත භාර දී ඇත.