‘ශ්‍රීලන්කන්’ නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි…..

‘ශ්‍රීලන්කන්’ නාමය භාවිත කරමින් මුදල් වංචාවක් සිදු කරන බවට තොරතුරු අනාවරණවී ඇති බව පොලිසිය පවසයි.

එය සිදු කරනු ලබන්නේ, වට්ස්ඇප් ගිණුම් හරහා එම ආයතනයේ සේවාවක් බවට අඟවමින් දුරකථන සම්බන්ධතා ඇති කරගනිමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් හරහා ‘SriLankan.apk’ යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කරවීමට සැලැස්වීම හරහාය.

මෙම යෙදවුම අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුමක් බවත් යෙදුම ස්ථාපනය කිරීම මඟින් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබාගැනීමක් බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවණය කරගැනීමේ හැකියාව ලැබෙව බවට නිරීක්ෂණයවී තිබේ.

ඒ අනුව අනිශ්ඨ ක්‍රියාකරුවන් විසින් මුදල් ගනුදෙනුවක් සිදු කරවීමට සලස්වමින් OTP, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත ලබාගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදු කරන බව අනාවරණයවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා 077 45 58 361, 011 77 71 979, 074 11 42 208, 077 57 91 209 සහ 074 32 68 200 යන අංක භාවිත කරනු ලබන බවට නිරීක්ෂණවී ඇත.

ක්ෂණික මූල්‍ය වාසි ලබාගැනීමේ අරමුණින් මහජනතාව මෙවැනි වංචාවන්ට හසුවන අවස්ථා නිරන්තරව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් සිදු කරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි……

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව සඳහන් කෙරුණේ එම ආයතනයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී ය.

එමෙන්ම වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය ද කඩිනමින් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඉස්සර පළාත ගහලා තිබුණා.. දැන් ඉවත් කරලා”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“යුද්ධය කාලයේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න නිසා ඒ වාහනය කොහාට අයිති එකක්ද කියලා හඳුනගන්න Frequency ID එකකුත් එක්ක තමයි ඒක දාලා තිබුණේ. නමුත් ඒ Frequency ID එක රීඩ් කරන්න ඒ වෙනකොට පොලිසියේ රීඩස් තිබුණේ නැහැ. ඒ නිසා අයින් කරන්න තීරණය කළා. දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා තමයි කියන්නේ.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඩඩ්ලි මහත්තයා මාත් එකක් තරහා වෙන එකක් නැහැ මේක කිව්වට. දැන් ඔය ඩඩ්ලි මහත්තයාගේ කාර් එක ගැන හැමෝම කතා වුණානේ. අපේ බැරිද අංක තහඩුවට ඩඩ්ලි කියලා නම ගහලම ගන්න.”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“පුළුවන් සර්. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”

ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි….

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions – TFS) ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ පවසයි.

එම සම්බාධක යටතේ, ත්‍රස්තවාදයට හෝ එයට මූල්‍ය සහය ලබාදීමට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් හෝ සංවිධාන වල බැංකු ගිණුම්, දේපළ හා අනෙකුත් වත්කම් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කිරීමට හැකි වේ.

ඒ අනුව, එම වත්කම් භාවිතය, මාරු කිරීම හෝ විකිණීමද නීතිමය වශයෙන් තහනම් වේ.

මෙම ක්‍රමවේදය, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ බලාත්මක කරන ලද 2012 අංක 01 දරන රෙගුලාසිය මගින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 1373 (2001) අනුව ක්‍රියාත්මක කෙරේ.

සම්බාධක නිකුත් කිරීමේ බලය විදේශ කටයුතු අමාත්‍යවරයා සතු වන අතර, එහි මෙහෙයුම් කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇත.

බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙම පියවර මඟින් ත්‍රස්තවාදය මුල් අවස්ථාවේදීම වැළැක්වීමට, රටේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට හැකි වන බවයි.

එසේම මහජනතාවට තොරතුරු ලබාදීම සහ විවෘතභාවය වර්ධනය කිරීම සඳහා නිසි බලධාරී කාර්යාලය විසින් www.competentauthority.gov.lk වෙබ් අඩවියද හඳුන්වා දී තිබේ.

මෙම නවීන නීතිමය හා පරිපාලන ක්‍රමවේදය මඟින් ශ්‍රී ලංකාව තුළ සාමය, ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් අල්ලස් දැලේ…..

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් (විශ්‍රාමික) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නීති නිලධාරී වශයෙන් කටයුතු කරමින් ගොඩනැගිල්ලක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බදු පදනම ලබාගෙන ඇත.

පසුව ඊට අදාළ බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට බදු ගිවිසුම් 03ක් සකස් කිරීම වෙනුවෙන් එකී ගිවිසුම් සකස් කිරීමේ ගාස්තු යැයි පවසා රු.4,134,887/- ක මුදලක් ඉල්ලා එයින් 2,000,000/- ක මුදලක් ලබාගෙන, ඉතිරි මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබේ.

එම ඉතිරි මුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් අදාළ සමාගම නමින් මහජන බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුමකින් නිකුත් කරන ලද චෙක්පතක් මුදල් කර ලබාගනිමින් තුටු පඬුරු ඉල්ලීම හා භාරගැනීම යන චෝදනාව මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (21) ප.ව 3.45ට අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්…..

කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබා නොදුන්නැයි උරණවී එහි පොම්පකරුට අදාළ මෝටර්රථයේ රියදුරු කම්මුලට පහරදීමක් සම්බන්ධයෙන් කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව කැස්බෑව පොලීසිය පවසයි.

අද (22) දින ක්‍රියාත්මක වන ලියාපදිංචි අංක තහඩුවේ ඉරට්ටේ සංඛ්‍යාවට ප්‍රතිවිරුද්ධ ඔත්තේ සංඛ්‍යාව හිමි එම වාහනයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදුකළ බව එම පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය සඳහන් කරයි.

මෝටර් රථයේ වම්පස අසුනේ සිටින කාන්තාව පෙන්වා ඇය තෙල් සංස්ථාවේ නිලධාරිනියක් බව පවසා රියදුරු විසින් ඉන්ධන ලබා ගැනීමට පැමිණ එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පවසයි.

පැමිණිල්ලේ සඳහන් මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුකර පහරදීමට සම්බන්ධයෙන් සැකකාර රියදුරු අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.

ප්‍රේමලාල් ජයසේකරට ඇප…..

නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්නපුර දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර “චොකා මල්ලි” ඇප මත මුදාහැර තිබේ.

මෙම සැකකරු අද (22) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය විසින් රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත, දැඩි කොන්දේසි යටතේ මුදාහැරීමට නියෝග කළාය.

එමෙන්ම නඩුව සැප්තැම්බර් 14 දින නැවත කැඳවීමටත්, අදාළ ගිනිඅවිය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ තබා ගැනීමටත් නියෝග කර ඇත.

මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණයට භාර දීමට ද නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පවුලේ සාමාජිකයන් සමඟ ඊයේ (21) නුවරඑළියේ සංචාරයකදී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී පිස්තෝලයක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව, 1996 ගිනි අවි ආඥා පනත යටතේ සාපරාධී බිය ගැන්වීම සහ මරණ තර්ජන කිරීම යන චෝදනා යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත්තේ, ඔහු විසින් එවැනි සාපරාධී ක්‍රියාවක් සිදු කර නොමැති බවත්, එම නිසා ඇප මත මුදාහැරීමට අවසර ලබාදෙන ලෙසයි.

පැමිණිල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ, විමර්ශන කටයුතු තවම අවසන් නොවීම හේතුවෙන් ඇප ලබාදීමට විරුද්ධ බවයි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, පැමිණිලිකරුට හෝ සාක්ෂිකරුවන්ට කිසියම් ආකාරයකින් තර්ජනයක් සිදු වුවහොත්, ඇප කොන්දේසි අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරයට යොමු කරන බවය.

අදාළ ගිනි අවිය සම්බන්ධයෙන්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍රය සම්බන්ධ තොරතුරු විමසීමෙන් පසුව එය නීත්‍යානුකූලව ලබාදී ඇති බවටද පොලීසිය අනාවරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර සියලු කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ 8 වැනි සංවත්සරයට පෙර සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට විමර්ශන ක්‍රියාත්මක බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22)  දැනුම් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

මෙහිදී දැනට රැඳවුම් භාරයේ සිටින සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාද අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

2018 වසරේ නොවැම්බර් 29 වනදා වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු, 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදුහි නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙලෙස කැඳවනු ලැබීය.

රැදවුම් භාරයේ සිටින මෙම නඩුවේ තුන්වැනි සැක්කාර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහේස්ත්‍රාත්වරයා විසින් කර තිබූ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

“ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කියන්නේ ඉතාම සංවිධානාත්මක මෙහෙයුමක්. 2015 වසරටත් පෙර සිටයි මේ සිද්ධි මාලාව සංවිධාන වෙන්නේ. මඩකලපුවේ ඉන්න මුස්ලිම් පිරිසකට තියා, ISIS,අල්ඛයිඩා වැනි පිරිසකටවත් මෙවැනි සංවිධානාත්මක ප්‍රහාරයක් කරන්න බැහැ අභ්‍යන්තර සහයක් නැතුව. ඒ ශක්තිය තමයි මේ තුන්වැනි සැකකරු දීලා තියෙන්නේ. 

වව්නතිව් සිද්ධිය කියන්නේ ඒ සංවිධානාත්මක මෙහෙයුමේ එක් අවස්ථාවක් විතරයි. නමුත් ඒ සිදුවීමට අදාළව විමර්ශනය සහරාන් හෂීම් කරා යාමට තිබූ ආවස්ථාව කුමන්ත්‍රණකාරීව යටගහලා තියෙනවා. වව්නතිව්හි ඝාතනය වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ආයුධ සොයාගත්තේ සහරාන් හෂිම්ගේ ඥාතී ගෆූර් මාමාගේ නිවසේ තිබියදී. නමුත් අජන්තන් නැමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ ජැකට් එකක් දාලා මේ විමර්ශනය ගෆූර් මාමා දෙසට යාම වළක්වා තිබෙනවා. 

මේ දෙවැනි සැකකරු ඔය කියන ගෆූර් මාමාව පොලිස් ස්ථානයට කැඳවලා ප්‍රකාශයක්වත් ගන්නේ නැතුව යළි යන්න ඉඩහැරලා තියෙනවා. කාගේ අනුදැනුම මතද ඒක වුණේ? සහරාන් ඇතුළු පිරිස අනාවරණය වෙන්න තිබ්බ අවස්ථාවක් තමයි දැනුවත්ව යටගහලා තියෙන්නේ” යැයි පැවසීය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පාස්කු ප්‍රහාරයට පෙර සමයේ මෙරට තුළ සිදුවූ සිදුවීම් මාලාවක සම්බන්ධතාවයක් ඇති බවට අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

“ස්වාමිනි, වසර 10ක රාජපක්ෂ පාලනය නිමා වෙලා 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට එනවා. පස්සේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර්ට පහරදීම වගේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පටන්ගන්නවා. 

එහිදී අත්අඩංගුවට ගැනෙන්නේ මේ සැකකාර සුරේෂ් සලේ යටතේ සිටි යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්. මේකත් හරියට අර මාතර දේශබන්දු තෙන්නකෝන් නඩුව වගේ. මොහුත් දේශපාලන කණ්ඩායම් රකින්න ප්‍රහාරක කණ්ඩායම් මෙහෙයවලා. 

පස්සේ 2018 වසරේ දින 52 ආණ්ඩුවට එරෙහිව දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනවා. ඊට පස්සෙයි මාවනැල්ලේ බුදු පිළිම කැඩෙන්නේ. එය මුස්ලිම් අන්තවාදී ක්‍රියාවක් කියලා යුධ හමුදා නිලධාරීන් පැමිණිලි කරනවා. අන්තවාදී බෞද්ධ භික්ෂුවක් වන ඥානසාර හිමි සහ සහරාන් හෂීම්ව යුද්ධ හමුදා බුද්ධි අංශය නඩත්තු කළා. 

පාස්කු ප්‍රහාරයට සති කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා Indian Express පුවත්පතට කියනවා මම තමයි රටේ අනාගත ජනාධිපති කියලා. මොහු ඇමරිකානු පුරවැසියෙක් වෙලා ඉද්දියි පාස්කු ප්‍රහාරය වෙන්නේ. පසුව ලංකාවට ඇවිල්ලා ජනාධිපතිවෙලා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පොලිසියෙන් පරිබාහිරව සුරේෂ් සලේ කියන මේ සැකකරුව ගේනවා. 

ඔවුන්ම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පටන් අරගෙන ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් 70 දෙනෙකුව ස්ථාන මාරු කරනවා. ඒ මේ කුමන්ත්‍රණය ආරක්ෂා කරන්න. නමුත් අපි පාස්කු ප්‍රහාරයේ 08 වැනි සංවත්සරයක් එන්න ඉඩ තියන්නේ නැහැ. වසරක් ඇතුළට සියලුම කුමන්ත්‍රණකරුවන්ව අධිකරණය ඉදිරියට ගේනවා”.

මෙහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණය හමුවේ මෙලෙස පැවසීය.

“මේක ක්‍රීඩාවක් නොවෙයි. සංවේදී ප්‍රශ්නයක්. අධිකරණය හමුවේ කියන සෑම වචනයක්ම ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට යොමුවීමක් වියයුතුයි. යුක්තිය ඔප්පු වෙනවානම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙන්න ඕනේ. එතැනින් පහළ සියලු දේවල් හුදෙක් මතවාද. 

සත්‍යය අසත්‍ය මොකක් වුණත්, ඔප්පු කරගන්න බැරිනම් වැඩක් නැහැ. විමර්ශන නිලධාරීන් සාධාරණ සැකයෙන් ඔබ්බට කියන භාරය හිතේ තියාගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න.”

ඊට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

“ස්වාමිනි, විමර්ශන අවස්ථාවේ අපි බලන්නේ සාධාරණ සැකය. එය ඔප්පුවනවාද, නැද්ද යන්න තිබෙන්නේ අධිකරණය ඉදිරියේ. නමුත් මේ වෙද්දි මේ විමර්ශනය කරගන්න බැරි තරමින් බාධා එල්ලවෙමින් තිබෙනවා. 

මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබාදුන් සාක්ෂිකරුවන්ට දිගින් දිගටම යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ප්‍රකාශ ඉවත්කරගන්න කියලා බලපෑම් එල්ලවෙමින් තිබෙනවා. දැනට ඔබ ඉදිරියේ ප්‍රකාශ දී තිබෙන කලීල් කියන සාක්ෂිකරුගේ නිවසට පසුගිය නඩුවාරයෙන් පස්සේ යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් ගිහින් තර්ජනය කරලා තියෙනවා.

පස්සේ එම පුද්ගලයාගේ නිවසට අත්බෝම්බ 05ක් සහ පිස්තෝලයක් දාලා දැනට නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මාර්ගයෙන් STF හරහා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරලා තියෙනවා. මොකද ඔහු තමයි රාජපක්ෂ යුගයේ STF අණදෙන නිලධාරියා”.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ස්වරයෙන් මෙසේ ප්‍රශ්න කළා.

“ඔබ කියන්නේ දැනටත් පොලිස් සේවයේ සිටින ඉහළම නිලධාරියෙක් මේ විමර්ශනවලට බලපෑම් කිරීමට සම්බන්ධයි කියලාද? “

ඊට පිළිතුරු දුන් දිලීප පීරිස් මහතා,

“ඔව් ස්වාමිනි, මම වගකීමෙන් කියන්නේ. ඔහු සම්පූර්ණයෙන්ම මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක්. ඔහු TID අධ්‍යක්ෂවෙලා ඉද්දි පාස්කු ප්‍රහාරයට දවස් 7කට කලින් ජමීල් කියන්නේ අහිංසකයෙක් කියලා Report එකක් එවලා. එහෙම ජමීල් තමයි පස්සේ බෝම්බ පුපුරුවාගත්තේ.”

මෙහිදී නැවතත් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා,

“ඔය කියන නිලධාරියාට එරෙහිව සෘජු සාක්ෂි තිබෙනවාදැයි  ප්‍රශ්න කළා.

“නැහැ. ස්වාමිනි දැනට සෘජු සාක්ෂි නැහැ. නමුත් අපි විමර්ශන කරමින් යනවා” යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දුන්නේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විශේෂ ඉල්ලීමක් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම විමර්ශනයට සහය ලබාදෙන ලෙස යුද්ධ හමුදාපතිවරයාට සහ යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, රටේ සෑම රාජ්‍ය නිලධාරියෙක්ම නීතිපතිවරාගේ බලයට යටත්වන බැවින් එය අභිබවායාමට කවරෙකු හෝ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නීතිපතිවරයාටම පියවරගත  හැකි බවය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිල්ලෙයාන් සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශන පිළිබඳවද අදහස් දැක්වීය.

“ස්වාමිනි, 2018 – 2019 සමයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරයේ සිටින සමයේ සහරාන් හෂිම්ගේ මල්ලිවන ශෙයිනිව බන්ධනාගාරය තුළදී හමුවූ බවට අසාද් මවුලානා ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ හමුවීම සඳහා හඳුන්වාදීම කර ඇත්තේ මේ සැකකාර සුරේෂ් සලේ”.

එහිදී මහෙස්ත්‍රාත්වරයා අසාද් මවුලානා සම්බන්ධ ඉදිරි විමර්ශන පිළිබඳ විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,

“ඔහු ඉන්න තැන අපි සොයාගෙන ඉන්නේ. ඔහු රැඳී සිටින්නේ ප්‍රංශයේ. ඔහු සමග අපිට සම්බන්ධකම් තියෙනවා. අපි ඔහුව ප්‍රංශ තානාපති කාර්යාලයට ගෙන්වා ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරමින් ඉන්නවා”.

අනතුරුව සැකකාර ‍රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන කරුණු දැක්වීය.

“ස්වාමිනි, පැමිණිල්ල කිව්වා ඝාතන කිහිපයක නම් කියලා මගේ සේවාදායකයා ප්‍රහාරක කණ්ඩායම් යැව්වා කියලා. ඔය සිද්ධි බොහෝමයක් වෙද්දි ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නොවෙයි. ඒ වගේම ඇතැම් සිද්ධි වෙද්දි ඔහු රටේත් නැහැ. ඒ වගේම මගේ සේවාදායකයාට එරෙහිව චෝදනා එල්ල කරන අසාද් මවුලානා කියන පුද්ගලයා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට ලබාදී තිබෙන පිටු 18ක ප්‍රකාශය මම කියෙව්වා. 

එකේ ඔහු සහරාන්ව හඳුන්වා තිබෙන්නේ Hero ලෙස. ඒ වගේම දේශපාලන සරණාගතභාවය වෙනුවෙන් ඔහු අපේ රට බොහෝ පහළට දාලා තිබෙනවා. ඔහු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් කිහිපදෙනෙක් සහ අධිකරණ පද්ධතියත් විවේචනය කරලා තියෙනවා. 

ඉතිං මම නිශ්චිතව කියන්නේ ඔහු කවදාවත් මේ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්න ලංකාවට එන්නේ නැහැ. ආවොත් ඔහුගේ ප්‍රකාශයේ තියෙන අනිත් කරුණුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. 

මගේ සේවාදායකයා රඳවා තිබෙන කුටිය අසල කුටියක පුද්ගලයෙක්ට මේ වෙද්දි මීයෙක් කාලා මහාමාරිය හැදිලා තියෙනවා. ඒ වගේම ඔහු මානසිකව පසුබැහැලා ඉන්නේ. 

ඔහු වෙනුවෙන් මම ඉල්ලීම් කිහිපයක් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඔහු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට ඉල්ලීමක් කරනවා. ඒ පිළිබඳවත් සලකා බලන්න”.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිය නියෝග ප්‍රකාශයට පත්කළේය.

“අධිකරණය විමර්ශනය පිළිබඳ සෑහීමකට පත්වෙනවා. තුන්වැනි සැකකරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන ත්‍රස්තවාදීන්ට පල්ලි පෙන්වීමේ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි පවතිනවා. නමුත් අනිත් කරුණු සම්බන්ධයෙන් තවදුරත් විමර්ශන සිදුකර කරුණු තහවුරු කළ යුතුයි. 

ඔප්පු කළ නොහැකි කරුණු ඉදිරිපත් කර වැඩක් නැහැ.තුන්වැනි සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙනවා නම් ඒ පිළිබඳ යළි සිතා බලා එම ඉල්ලීම ඉදිරිපත් කරන්න”.

ඒ අනුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් වූ රැදවුම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බැවින් ඔහු රැඳවුම් භාරයේ තබාගෙන ඉදිරි නඩු දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

වැඩිදුර විමර්ශන වාර්තා සඳහා නඩුව මැයි 20 වනදා යළි කැඳවීමට නියමිතය.

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ බස් රථයක් ගසක ගැටී අනතුරක්…..

ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ උප්පාරු ගඟ පාලම අසලදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අද (22) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා පොදු ප්‍රවාහනයේ යෙදී සිටි බස්රථයක්, ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් 20කට ආසන්න සංඛ්‍යාවක් මුතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගෙන් බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු ත්‍රිකුණාමලය මහ රෝහල ඇතුළත්කර ඇති අතර, ඉන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

තුවාල ලැබූ මගීන් තවත් කිහිප දෙනෙකු කින්නියා සහ මුතූර් රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

අනතුර හේතුවෙන් පැය කිහිපයක් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී…..

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව දැනුම් දී තිබේ.

2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබඳ හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුවත් කිරීම කර ඇත.

ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීම සිදු කර ඇත.

එලෙසම, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර, අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති අතර නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්, අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය සහය දැක්වීම සහ අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කර ඇති බව දැනුම් දෙයි.

දැනටමත් විමර්ශන කටයුතු සිදුවන බැවින්, එම කටයුතු වලට බාධාවක් නොවන සේ, මේ පිළිබඳව යාවත්කාලීන තොරතුරු, සුදුසු ඉදිරි අවස්ථාවක දී ලබා දීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

1 (1)

ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි – පොලිසිය…..

කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් තහවුරු කළේ එවැනි සිදුවීමක් වාර්තාවී නොමැති බවය.

කෙසේවෙතත් කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.