රැප් ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට….

රැප් ගායන ශිල්පියෙක් වන ‘මාධව ප්‍රසාද්’ නොහොත් ‘මදුවා’ නැමැත්තා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි.

හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මත්ද්‍රව්‍ය සහ පිස්තෝලයක් තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින අයුරු දැක්වෙන විඩීයෝවක් මුහුණුපොත ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව පොලීසිය විසින් මෙම සැකකාර රැප් ගායකයා රැඳී සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සිය පරිශීලකයින් පිරිස වැඩිකර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය පානය කරන වීඩියෝ මුහුණුපොතට මුදාහැරිය බවට අනාවරණය වී ඇත.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෑෂ් ග්‍රෑම් 35ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, 26 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බව දන්වා සිටින අතර එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා වෙත යවන ලද ලිපිය ද මේ සමඟ සබැඳිව එවමි.

WhatsApp Image 2025-08-25 at 14.40.02_a5b7cc74

කුන්ඩසාලේ බස්නැවතුම්පොලේ නාඳුනන මළ සිරුරක්….

පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස්නැවතුම්පොලේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

බස් නැවතුම්පොලේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පල්ලෙකැලේ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ අයෙකු වන බව සඳහන් වේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඇමති සමග සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ස්ථාවරය කියයි….

අද (24) පස්වරු 4 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැත් සේවකයින් එකඟ වූ බව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය.

“ඉදිරිපත් කරපු ප්‍රධන ඉල්ලීම් දෙකක් තිබුණා. නමුත් අපි මුල ඉදළම කිව්වා ඒ ඉල්ලීම් ගැන රජය සාකච්ඡා කරන්න සූදානම් නෑ කියලා. ඉතිරි ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කරන්න සූදානම් කියලා.”

“ඒ අනුව අද සවස 4.00 සිට තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කරලා නියමිත පරිදි තමන්ගේ රාජකාරි කරන්න සියලුම වෘත්තීය සමිත එකඟතාවය පල කළා.”

“වැඩවර්ජනය කළ සියලුම තැපැත් සේවකයින්ට අපි කියන්න කැමති දින 6ක විතර සිදුවෙච්ච පාඩුවක් තියෙනවා. ගොඩ ගැහුණ ලියුම් සහ පාර්සල් කන්දරාවක් තියෙනවා. ඒවා නිදහස් කරලා දෙන්න ඕනේ. බලාපොරොත්තු වෙනවා ඒ වෘත්තීය සමිති වලට අදාළ සියලුදෙනා පැමින ඒ කටයුතු නොපමාව ඉටු කරයි කියලා.”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වර්ජනයේ නියත තැපැල් සේවකයින් පැවසුවේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තුර වර්ජනය සම්බන්ධයෙන් නිෂ්චිතව කිව නොහැකි බවය.

“සාකච්ඡාව පිළිබඳ අවසන් තීන්දුවක් තාම කියන්න බැහැ. තැපැල්පතිවරයා ලිඛිතව අපිට දෙන්න ඕනේ. යම් යම් කාරණා ගැන එකඟතාවයන් තියෙනවා. හැබැයි අපිට ඒක පිළිගන්න වෙන්නේ ලියවිල්ලක් ඉදිරිපත් වුණාට පස්සේ. ඒ ලියවිල්ලත් එක්ක අපි වැඩවර්ජනය ගැන අවසන් තීන්දුවක් ගන්නවා.”

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වේ.

වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

පොලීසියේ 51කට උසස්වීම්…

පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර තිබේ.

තරග විභාගයකින් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරුන් මෙම වසරේ මාර්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

මේ සදහා උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක යන ශ්‍රේණිවල කටයුතු කළ නිළධාරීන් සහ නිළධාරිනියන් ඇතුළත් වේ.

පොලිස් නිලධාරීනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් දෙදෙනෙකු ද මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක….

රජයේ රෝහල් සියල්ලේම හෙට (25) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමත් සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව සඳහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිධ භාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ද, වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සම්පූර්ණයෙන් පාහේ බිඳ වැටී ඇති බවය.

මේ නිසා රට පුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවදානමකට මුහුණ පා තිබෙන අතර අනිත් රෝහල්වලත් වෛද්‍යවරුන් හිඟ වීම හරහා යම් ඒකකවල කටයුතු අඩාල වීමේ අවදාමනක් මතුව ව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළැඹෙන්නේ වැටුප්, දීමනා හෝ පහසුකම් ඉල්ලීම් කරමින් නොවන බවත් ලංකාවේ රෝහල් සමූහයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳවැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට බල කරමින් බවත් එම නිවේදනයේ දැක්වේ.

ජනතාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින මොහොතක පවතින රජය යටතේ පාලනය වන යම් රාජ්‍ය මාධ්‍ය විසින් වගකීම් විරහිත ලෙස මඩ ප්‍රචාර සහ ජනතාව නොමඟ යවන සුලු ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම නිවේදනයේ පෙන්වා දී ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලිපි ශීර්ෂය නීති විරෝධි ලෙස භාවිතා කරමින් සහ ලේකම්තුමාගේ අත්සන අවභාවිතා කරමින් කුඨ ලේඛන සකසා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවය.

එම නීතිවිරෝධි ක්‍රියාවන් සහ අවභාවිතාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත්, මේ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

මධ්‍ය තැපැල් හුවමාරුවට කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි….

කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටට මේ වනවිට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ වනවිට පොලිස් ආරක්ෂාවද ඒ අවට දැඩි කර ඇති බවය.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්වුණි.

ප්‍රධාන ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද 05 වන දිනටත් ක්‍රියාත්මක වන අතර වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටියේය.

මේ අතර සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රවීන්ද්‍ර අමරජීව මහතා සඳහන් කළේ, ජනතාව අපහසුතාවයට පත් නොකර වර්ජනය අවසන් කරන ලෙස සෙසු තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවය.

මේ අතර අද දිනයේ සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව පවසමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

එමෙන්ම සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු පසුගිය 17 වනදා සිට අවලංගු වන බැවින් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවීමට තීරණය කර ඇති බව ද තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නිරත සියලු තැපැල් සේවකයින්ගෙන් තැපැල්පතිවරයා ඉල්ලා සිටී.

වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි….

බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කෙරුණු හිටපු බන්ධනාගාර නිලධාරියා මාකඳුරේ මදූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙකු බවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමයං ඝාතන සිද්ධිය පිළිබඳ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකු බවත් පොලීසිය පවසයි.

බණ්ඩාරගම, බොල්ගොඩ තුංබෝධිය පාලම අසලදී ඊයේ (21) පස්වරු 6:05ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය කරමින් තිබූ මෝටර් රථයක රියදුරු වෙඩික්කරුගේ ඉලක්කය වූ බව පොලීසිය පැවසීය.

වෙඩික්කරුවන් එම මෝටර් රථය ලුහුබඳින අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් වී තිබුණි.

පොලීසිය සඳහන් කළේ, වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර 29ක් පමණ මෙහිදී එල්ල කර ඇති බවය.

ප්‍රහාරයෙන් පසු වෙඩික්කරුවන් කළුතර දෙසට පලාගොස් ඇති අතර ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා මෝටර් රථය තුළම ජීවිතක්ෂයට පත්වුණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර කෝදාගොඩ නමැත්තෙක් වන අතර ඔහු වැඩතහනමට ලක්වූ බන්ධනාගාර නිලධාරියෙකි.

ඔහු සතුව තිබී රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද ඝාතනය වූ අවස්ථාවේදී  පොලිසිය සොයාගෙන තිබේ.

මරණකරු 2021 වසරේ ඩුබායි රාජ්‍යයේදී මාකඳුරේ මදූෂ්ගේ උපන්දින සාදයට සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ අයෙක් බවද පොලීසිය පවසයි.

එමෙන්ම කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතබා අපරාධ කල්ලි සාමාජික සමයං ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේදී ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවෙක් බවද පොලිසිය සඳහන් කරයි.

කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇත

වර්ජනය අත්හැර සාකච්ඡාවට සූදානම් නැහැ – තැපැල් සේවකයින් දැඩි තීරණයක….

වර්ජනය අත්හැර කිසිදු සාකච්ඡාවකට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.

අඛණ්ඩව ක්‍රියාත්මක වන තැපැල් වර්ජනය සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ දක්වාත් විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදී නොමැති බව සඳහන් කළ චින්තක බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හැර සාකච්ඡාවකට පැමිණෙන ලෙස තැපැල්පතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර ඇති බවය.

කෙසේවෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර කිසිඳු සාකච්ඡාවක් සිදුකිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

මේ වනවිටත් ලක්ෂ 17කට ආසන්න තැපැල් මලු ප්‍රමාණයක් තැපැල් ස්ථාන ආශ්‍රිතව ගොඩගැසී ඇති බවද ඔහු පැවසීය.

යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී….

‍යාපනය,කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතරොම් 1393ක් හමුවී ඇත.

කොඩිකාමම් පොලීසිය පවසන ලද්දේ වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි ඊයේ(19) මෙලෙස පතරොම් සහිත බෑගයක් හමුව ඇති බවයි.

අදාළ පතරොම් දිරාපත්ව පැවති අතර,යුද සමයේ කිසියම් පිරිසක් විසින් මෙම පතරොම් ළිඳට දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

හමුවු පතරොම් සහිත බෑගය යාපනය,චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් මෙම පතරොම් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.