හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප…..

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අදාළ නඩුව අද (24) වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

පාස්කු නඩුවට අදාළව හිටපු පොලිස්පති පූජිත්ගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි……

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්ති කූඩුවේ සිට තමන් ඉකුත්දා සිදු කළ ප්‍රකාශයට අමතර කරුණු එක් කිරීමට අවසර දෙන ලෙස විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන් සමන්විත ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින නන්දන මුණසිංහ සහ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගෙන් සාක්ෂි කැඳවීමට අපේක්ෂා නොකරන බව සඳහන් කළේය.

එහෙත් සිය සේවාදායකයා ඉකුත් නඩු දිනයේ විත්ති කූඩුවේ සිට ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදී කාරණා දෙකක් ඉදිරිපත් කිරීම ඔහුට මග හැරී ඇතැයි සඳහන් කළ නීතිඥවරයා එම කාරණා පිළිබඳව පැහැදිලි කිරීම සඳහා සිය සේවාදායකයාට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ විත්තිකරුවෙකුට විත්ති කූඩුවේ සිට ඉදිරිපත් කළ හැක්කේ එක් ප්‍රකාශයක් පමණක් බවය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… විත්තිකරු මීට පෙර දින විත්ති කූඩුවේ සිට පැය තුනකට අධික දීර්ඝ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. මෙවැනි ඉල්ලීමකට ඉඩ දුන්හොත් වැරදි පූර්වාදර්ශයක් මතුවිය හැකියි. මෙවැනි ඉල්ලීමකට ඉඩදීමට නීතිමය ප්‍රතිපාදනත් නැහැ” යනුවෙන් සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා යලි අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… විත්තිකරු අවසර ඉල්ලන්නේ තමන්ට මග හැරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කිරීමටයි. එය දෙවන ප්‍රකාශය ඉදිරිපත් කිරීමක් නෙවෙයි. කලින් ඉදිරිපත් කළ ප්‍රකාශයේ දිගුවක් වශයෙන් ඉදිරිපත් කිරීමටයි ඔහු අදහස් කරන්නේ. සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් එය වැදගත්” යනුවෙන් සඳහන් කර සිටියේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ” විත්තිකරු ඉකුත්  මාර්තු මස 26 වනදා විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහුට හිමි වරප්‍රසාදය භුක්ති විඳ තිබෙනවා. එදින ඔහුගේ ප්‍රකාශය අවසානයේදී ඔහු සඳහන් කළා මා අවසන් කරනවා මෙතැනින් මගේ කරුණු දැක්වීම. කරුණු දැක්වීමට අවසර දීම ගැන ගෞරවය හා ස්තුතිය පළ කරන බව ප්‍රකාශ කළා. එයින් පැහැදිලි වන්නේ ඔහුට විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථාව ඔහු සම්පූර්ණයෙන්ම භුක්ති විඳ තිබෙන බවයි. විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් ඉදිරිපත් කරන විට විත්තිකරුවකුට විශේෂ වරප්‍රසාදයක් හිමි වෙනවා. එවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කරන අවස්ථාවක විත්තිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පැමිණිල්ලට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් මත අදාළ වරප්‍රසාදය භූක්ති විඳීමට විත්තිකරුට නැවත නැවත අවස්ථාව සලසා දීම නීතියට පටහැනි බව අධිකරණයේ මතයයි. ඊට අමතරව විත්තිකරුවකු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ඉදිරිපත් කරන අවස්ථාවක එය පාලනය කිරීමට අධිකරණයට හැකියාවක් නෑ. එසේ තිබියදී අමතර කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළත් විත්තිකරු විත්ති කූඩුවේ සිට අලුත් කරුණු ඉදිරිපත්  කළහොත් එය අධිකරණයට නැවැත්විය නොහැකියි. එම නිසා විත්තිකරු තමන්ට ලැබී ඇති එම වරප්‍රසාදය අවභාවිතා කිරීම වැළැක්වීමට අධිකරණය වග බලා ගත යුතුයි. ඒ අනුව විත්ති කූඩුවේ සිට අමතර ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස විත්තිකරු විසින් කරනු ලබන ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන බව” සභාපති විනිසුරුවරයා සිය නියෝගය ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන් අනතුරුව විත්තිකාර හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා සඳහන් කළේ තමන් තවදුරටත් විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමට අපේක්ෂා නොකරන බවය.

ඒ අනුව විත්තිය වෙනුවෙන් සාක්කිදීම සඳහා අධිකරණයට කැඳවා තිබූ නන්දන මුණසිංහ සහ වරුණ ජයසුන්දර යන සාක්ෂිකරුවන් මුදාරීමටද අධිකරණය නියම කළේය.

ඉන් පසුව නඩුව යළි මැයි මස 22 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින නඩුවට අදාළ දේශන ඉදිරිපත් කරන ලෙසත් දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.

ID ඔෆිස් එකේ නම භාවිත කරමින් සිදු වන මූල්‍ය වංචාවක තොරතුරු හෙළි වෙයි…..

සිය 011 52 26 126  ක්ෂණික දුරකථන අංකය භාවිත කරමින් කිසියම් පාර්ශ්වයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්න බවට හා මූල්‍යමය වංචා සිදුකරන බවට තොරතුරු වාර්තාවී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, +94 11 52 26 126, +011 52 26 126 යන දුරකථන අංක මඟින් හා 077 11 67 739, 074 27 56 098 යන ජංගම දුරකථන අංකය  මඟින් දෙපාර්තමේන්තු නාමය අවභාවිත කරන බවය.

මෙම පිරිස විසින් රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඩිජිටල් හැඳුනුම්පතක් හෝ ඊ ජාතික හැඳුනුම්පතක් සඳහා තොරතුරු ලියාපදිංචි කරන ගන්නා බව පවසමින්, දෙපාර්තමේන්තු නාමය අවභාවිත කරන බවට තොරතුරු ලැබී ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ,  එවැනි ලියාපදිංචියක් තමන් විසින් සිදු නොකරන බවය.

මෙලෙස  ජංගම දුරකථන මගින් ලැබෙන ඇමතුම් සඳහා තොරතුරු ලබා නොදෙන ලෙසට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ක්ෂණික දුරකථන අංකය හා සමාන අංකයකින් ඇමතුම් ලබාගෙන https://drpgov-lk.com යනුවෙන් දෙපාර්තමේන්තු වෙබ් අඩවියක් හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් තොරතුරු ඉල්ලා සිටින්නේ නම් එම තොතරතුරු ලබාදීමෙන් වළකින ලෙසට ඉල්ලීමක් සිදු කරයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඊ ජාතික හැඳුනුම්පතක් හෝ ඩිජිටල් හැඳුනුම්පතක් සඳහා මේ වන තෙක් කිසිදු ලියාපදිංචියක් සිදු නොකරන බව දන්වන අතර වංචනික පුද්ගලයින්ගේ ආරක්ෂා වන ලෙස මහජනතාව වෙත කාරුණිකව දන්වනු ලැබේ

‘සාගරිකාගේ’ පීලි පැනීම සිල්පර පිටින් යයි ද?

සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් කොන්ක්‍රීට් සිල්පරවලට හානි සිදුව ඇති අතර සිල්පරවල ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදු වූයේ ද යන්න පිළිබඳව නිශ්චිතවම සඳහන් කළ නොහැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවැති මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉදිරි ප්‍රවාහන කටයුතු සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවය.

එමෙන්ම මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් සිදුව ඇති හානිය මේ වන තෙක් තක්සේරු කර නොමැති බවත් මාර්ගයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කිව හැක්කේ බලවේග කට්ටලය ඉවත් කිරීමෙන් පසුව වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා,

”ද්විත්ව බලවේග කට්ටලයක් තමා හානියට ලක්වුණේ… සිදු වූ හානිය පිළිබඳව මේ වන තෙක් තක්සේරු කරලා නෑ.. මාර්ගයට වෙච්ච හානිය සහ බලවේග කට්ටලය අයින් කරලා තමා කියන්න පුළුවන් මේකෙන් කොච්චර හානියක් වෙලා තියෙනවද කියලා..  කොන්ක්‍රීට් සිල්පරවලට හානි වෙලා තියෙනවා.. සිල්පර බාල තත්ත්වයේ ඒවා කියලා කියන්න බෑ. අපි මේව ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ ගන්න දේවල්.. දුම්රිය මාර්ගයේ හැමතැනම තියෙන්නේ ඒ සිල්පර කොට.. සිල්පර කොටවල ප්‍රශ්නයක් නිසා මේක වුණාද කියලා අපිට දැන්ම නිශ්චිතවම කියන්න බෑ.. අපි කමිටුවක් පත් කරලා තියෙනවා ඒකෙන් පස්සේ තමා නිශ්චිතවම තීරණයක් දෙන්න වෙන්නේ”

හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි……

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මූලික විමර්ශනවලදී මෙය අනාවරණ වූ බව ඔවුන් සඳහන් කරයි.

එමෙන්ම නැවත එම මුදල් ලබාගැනීම තාක්ෂණික අභියෝග මැද සිදුකළ යුත්තක් බවත් එම ආයතනය ප්‍රකාශ කළේය.

මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ රටතුළ දැඩි ආන්දෝලනයක් මතු කරනු ලැබීය.

ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ද මේ වන විට සිදු කෙරේ.

ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක්ම මුදල් අමාත්‍යාංශයේදී අද (24)පැවැත්විණි.

මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට තාක්ෂණික සහාය ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසිනි.

මෙහිදී හැකර්වරු “ෆිෂින්ග් ඇටෑක්” ක්‍රමවේදය හෙවත් පරිගණක භාවිත කරන්නන් ව්‍යාජ තොරතුරු ලබාදී නොමඟ යවා මෙම මුදල් අත්පත් කරගෙන ඇති බව පරිගණක විශේෂඥයන්ගේ අදහස්වී ඇත.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනට විමර්ශනවලින් අනාවරණ වූ කරුණු පිළිබඳ මෙලෙස සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ  ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා අවධාරණය කළේ, අහිමි වූ මෙම මුදල් යළි ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ එය දැඩි අභියෝගාත්මක ක්‍රියාවලියක් බවය.

“මූලික පරීක්ෂණවලින් අඳුරගන්න පුළුවන් මේ Business Email Compromise (BEC) හෙවත් ආයතනික විද්‍යුත් තැපැල් ගිණුමකට අනවසර ප්‍රවේශයක් ලබාගෙන හෝ අනෙක් පාර්ශ්වය විදිහට බොහෝ වෙලාවට පෙනී සිටිමින් සිදුකරන වංචාවක් විදිහට. මෙහිදී බොහෝ වෙලාවට විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනීසිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කොට අදාළ මුදල් ලබාගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවෙන්නේ. තෙවන පාර්ශ්වයක් කාලයක් ඉඳලා මේ ගනුදෙනුව විමර්ශනය කරමින්, බොහෝ වෙලාවට නිසි වේලාවේදී වෙනත් ගිණුමකට අදාළ විස්තරයක් එවලා තමයි මුදල් ලබාගෙන තියෙන්නේ. ඉතින් එහිදී බොහෝවෙලාවට අදාළ පාර්ශ්වයට හා සමාන වෙබ් අඩවි පාවිච්චි කරමින්, වෙබ් ලිපි පාවිච්චි කරමිනුයි සූක්ෂ්මව මෙවැනි e – mail පණිවිඩයක් එවලා තියෙන්නේ. බොහෝමයක් මේ BEC මිනිසුන්ගේ තිබෙන සාමාන්‍ය දුර්වලකමක් පාවිච්චි කරමින් තමයි සිදුවෙන්නේ. ඒක නිසා තමයි එවැනි දේවල් හඳුනාගැනීමටත් ඉතා අපහසු වෙන්නේ. මේ සම්බන්ධයෙන් තිබෙන දැනුම්වත්භාවය තමයි ඉතා වැදගත්.

මේක මොන රටක, මොන ගිණුම් හරහා ගිහිල්ලා තිබෙනවද? ඒත් එක්කම වෙන රටකනම් මේ මුදල් හුවමාරුවෙලා තිබෙන්නේ ජාත්‍යන්තර පොලිසියේ සහායත් ලබාගන්න පුළුවන් වෙයි. මෙවැනි මුදල් විවිධ ක්‍රම ඔස්සේ ඇතැම්විට මුදල් විශුද්ධිකරණය හා සම්බන්ධවෙන්න පුළුවන් එවැනි Cryptocurrency වැනි දේවල් පවා අදාළ වෙන්න පුළුවන්. හැබැයි මේ කුමන කාරණයකදී වුණත් අදාළ විශේෂඥ සේවා ලබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඇතැම් විට මෙවැනි ඩිජිටල් මාදිලියේ Virtual Assets වලට මේවා යනවනම් ඒ සේවා සපයන ආයතනවලත් සහාය ලබාගන්න පුළුවන් ජාත්‍යන්තර පොලිසිය හරහා. ඒ සියල්ලම තාක්ෂණික අභියෝගත් එක්ක තමයි තියෙන්නේ.” 

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් සාමාන්‍ය ධාවනයට විවෘත කරයි……

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබාදීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පවසයි.

ඒ, ‘සාගරිකා’ දුම්රිය අද (24) පෙරවරුවේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමෙන් සිදුවූ අවහිරය ඉවත් කිරීමත් සමඟය.

ඒ අනුව පස්වරු 07.00 සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවන කාල සටහන ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්…..

වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ 2009 සැප්තැම්බර් 02වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද ලිඛිත පැමිණිල්ලකට අනුව ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ විභාග කරන ලද නඩුවට අදළවය.

ඉදිරිපත් කළ සියලු සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට එරෙහිව ගෙන ආ චෝදනා තුන සම්බන්ධයෙන්ම ඔහු වරදකරු වන බව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් තීන්දු කර ඇත.

ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා එකවර ගෙවී යන සේ වසර 06 බැගින් සිර දඬුවම් සහ එක් එක් චෝදනාවට රු. 5,000 බැගින් වූ දඩ මුදල් මෙන් ම අල්ලස් ලෙස ලබාගත් රු. 15,000ක මුදලට සමානව අමතර දණ්ඩන මුදලක් ද නියම කර තිබේ.

දෙහිවල ටූ ටෝන් අත්අඩංගුවට….

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රබල පාතාල අපරාධ කල්ලි නායකයෙකු වන බඩෝවිට අසංකගේ ගෝලයකු වන දෙහිවල “ටූ ටෝන්” නැමැත්තා හෙරොයින් කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරකට අනුව, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංජීව ප්‍රනාන්දු නොහොත් “ටූ ටෝන්” නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් කෝටි හතර හමාරකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 03 ග්‍රෑම් 150 කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය රත්මලානේ කුලියට ලබාගත් නිවසක ගබඩා කරමින්, අවට ප්‍රදේශවලට බෙදාහැරීමට සූදානම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තවද අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙවැනි වැටලීම්වලදී එම මෙහෙයුම්වලට එරෙහිව පලායාම හා නිලධාරීන් මුලාකර නීතිමය ආවරණය ලබා ගැනීම සඳහා වන උපක්‍රම පිළිබඳව මනා පුහුණුවක් සහිත ජාවාරම් කරුවෙකු බවට ද කරුණු අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවා වැඩිදුර විමර්ශන සිදුකරන අතර පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්‍ෂණ යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි එම බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක චතුරංග, පොලිස් සැරයන් වරුන් වන 409 විජේරත්න, 74313 සම්පත්, පොලිස් කොස්තාපල් වරුන් වන 39850 අෂාන්, 93728 ජයසිංහ, 100683 හේමන්ත, 105123 ශ්‍රිමන්ත, 102726 ජයසුන්දර, 106039 පෙරේරා, කාන්තා පොලිස් කොස්තාපල් 13103 සමිතා යන  නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්…..

ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ‘දිනුෂ චතුරංග’ නමැත්තා මැයි 5 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය.

රැඳවුම් භාරයේ පසුවූ අදාළ සැකකරු කෙසෙල්වත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

එහිදී පොලීසිය අධිකරණයේ ඉල්ලා සිටියේ, මෙම සැකකරුට අදාළ රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත් ඒ අනුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.

ඒ අනුව සැකකරු මැයි මස 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

ණය වාරික ගෙවීමේදී ඇතිවූ සිද්ධිය විමර්ශනයට ඔස්ට්‍රේලියාවේ සහායත්……

ශ්‍රී ලංකා රජය ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදල් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන, තමන් දැනුම්වත් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පවසා තිබේ.

ඒ අනුව දෙරටේම නිලධාරීන් එක්ව අදාළ ගැටලුව විමර්ශනය කරමින් සිටින බව ඔහු පවසා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මේ බව පවසා තිබේ.

කෙසේ නමුත් අදාළ නිවේදනයෙන් ඔවුන් ශ්‍රී ලංකාවට දැනුම්දී ඇත්තේ, මෙම විමර්ශනය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවට ණය තිරසාරභාවයට පැමිණීමට සිය රට තවදුරටත් සහාය වන බවය.

මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මේ වනවිට මත‍භේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

අදාල සිද්ධියේ දී ශ්‍රී ලංකාව විසින් සිදුකළ ඩොලර් මිලියන 2.5ක ණය ගෙවීමක්, සයිබර් හැකර්‌වරුන් අතට පත්ව ඇති බවට මේ වනවිට තොරුතුරු වාර්තා වේ.