මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් මෝටර් රථ දෙකක් පොලිස් භාරයට…..

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෝටර් රථ දෙකක් ගණේමුල්ල ප්‍රදේශයේ දී අද (13) පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක දීය.

ගණේමුල්ල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 300ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 946ක් සමග ඊයේ (12) අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම මෝටර් රථ පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ මෝටර් රථ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගෙන ඇති බව දැනට සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

CCD හිටපු අධ්‍යක්ෂ සහ නිලධාරීන් 4ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් CID අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක්….

පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වන ජනක් නන්දන ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ එම නිලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකරන අතර ඊට අදාළව තමන්ව කොයි මොහොතක හෝ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවය.

වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ මෙම විමර්ශනය සිදුකරන බවත් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බවත් පෙත්සම්කරුවන් සඳහන් කරයි.

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විසින් මෙම නියෝග නිකුත් කළ අතර එම නඩුකරය යළි මැයි මස 15 වනදා කැඳවීමටද නියම කෙරුණි.

ඊට අමතරව වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට වැඩවරදී…..

දුම්රිය තුළ සහ දුම්රිය ආපන ශාලාවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක නොමැතිව වෙළෙඳාම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි නීතිමය පියවර ගනිමින් සිටින බව එම අධිකාරිය පවසයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සහ විමර්ශන සිදු කරන ලෙස සියලුම දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

පසුගියදා මීනගයා රාත්‍රී දුම්රිය තුළ පිහිටි ආපන ශාලාවක් හදිසි වැටලීමකට ලක් කර ඇති අතර, එහිදී පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව වාර්තා වේ.

එමෙන්ම අද (09) දිනයේ මරදාන දුම්රිය ස්ථානය තුළ පිහිටි ආපන ශාලාවක්ද නිලධාරීන්ගේ වැටලීමකට ලක්ව තිබේ.

පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදු කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක නොමැතිව වෙළෙඳාම් කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙම මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධිකාරිය සඳහන් කරයි.

එවැනි අසාධාරණයකට ලක්වන පාරිභෝගිකයන් වහාම දැනුවත් කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කර ඇත.

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක – තුවාල ලැබූ අයෙකු රෝහල් ගතකෙරේ….

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක්, ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි බවත්, පහරදී ඇත්තේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන උපාලි වැලිවත්ත බවත් වාර්තා වේ.

පහරදුන් මන්ත්‍රීවරයා කොළඹ නගරයේ වෙළඳසැල් පරීක්ෂාවක්, විනය විරෝධී ලෙස සිදුකළ බවට නාගරික මන්ත්‍රී රම්සි ටෝනි මහතා අද (9) සභාවාරයේදී විවේචනාත්මක අදහස් ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ වැලිවත්ත මන්ත්‍රීවරයා සභාගර්භයේ නොසිට ඇති අතර, පසුව ඔහු එය දැනගැනීමෙන් අනතුරුව මෙම බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම ගැටුමෙන් රම්සි ටෝනි මන්ත්‍රීවරයාගේ නාසයට බරපතළ හානි සිදුව ඇති අතර, ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, පහරදීමට සම්බන්ධ මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

මේ දක්වා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය හැකිවී නොමැත.

අලුත් අවුරුදු කාලසීමාවේ විශේෂ ප්‍රවාහන සැලැස්ම පිළිබඳ දැනුම්දීමක්…

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන නිලධාරීන් සඳහන් කළේ හෙට (09) සිට බස් සහ දුම්රිය විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසුවේ හෙට සිට 13 වනදා දක්වා කොළඹින් බැහැරට යාමට සහ 15 වෙනිදා සිට 21 වෙනිදා දක්වා කොළඹට පැමිණීමට බස් රථ යොදවා ඇති බවය.

“අප්‍රේල් 09 වෙනිදා සිට අප්‍රේල් 21 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අප්‍රේල් 9, 10, 11, 12, 13 හවස දක්වා කොළඹින් එළියට ප්‍රවාහනය කරනවා. ඊට පස්සේ 15, 16, 17, 18, 19 , 20 , 21 දක්වා ගම් බිම් වලින් ආපසු නැවත කොළඹ දක්වා ප්‍රවාහනයට  බලාපොරොත්තු වෙනවා. මේ දවස් ටිකේ මගී ජන ගහනය ලක්ෂ දෙකහාමාරක් විතර අවුරුදු උත්සව කාලය තුළ දැක ගන්නට පුළුවන්. ඒ නිසා අපි අමතර බස් සේවාවන් 1500ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. “

එහිදි අදහස් දැක්වූ ආචාර්ය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ විශේෂයෙන්ම මගීන්ට සුවපහසු ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබා සඳහා කටයුතු කර ඇති බව.

ඒ සඳහා පොලීසියේ සහාය ද ලබාගෙන තිබේ.

විශේෂයෙන්ම කොළඹ බැස්ටියන් මාවත බස් පරියන්තය මාකුඹුර, කඩවත, කඩුවෙල බස් පර්යන්තවල සිට අන්තර් පළාත් බස් සේවාවන් ක්‍රයාත්මක වන අතර බැස්ටියන් මාවත බස් පර්යන්තයේ පානීය බල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් සලසා ඇති බවය.

මේ අතර එහිදී අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවුසුවේ මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර ද සැලසුම් කර ඇති බවය.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්…..

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා පැවසුවේ අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් හෙට (08) දින සිට එක්දින සේවය මගින් ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාලවල ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවය.

තවද රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා ලබා දෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය කිරීම හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කිරීම ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බවත් අදාළ ආයතන ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවය/ පෙරටු කාර්යාලය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොවන බවත් පද්ධතිය නැවත යථාවත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ..

සලේගේ රීට් පෙත්සමේ සම්පූර්ණ විස්තරය මෙන්න…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු පිරිසකි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු‍කෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේවන විට දින 90ක රැඳවුම් නියෝග මත ඔහු එම දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.

එම අත්අඩංගුවට ගැනීම සහ රඳවාගෙන ප්‍රශ්න කිරීම අභියෝගයට ලක්කරමින් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා කියා සිටින්නේ, 2016 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුළ තමන් මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බවය.

අනතුරුව 2019 වසරේ ජනවාරි මස 07 වනදා සිට එම වසරේ නොවැම්බර් මස 29 වනදා දක්වා කාල සීමාව තුළ තමන් ඉන්දියාවේ ආරක්ෂක පුහුණු වැඩසටහනකට සහභාගී වී සිටි බව සඳහන් කරන පෙත්සම්කරු පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ තමා ශ්‍රී ලංකාවේ නොසිටි බවත් පෙන්වාදී තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසුව දේශීය වශයෙන් විජිත් මලල්ගොඩ කමිටුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කොමිසම, මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් ද විමර්ශන සිදුකළ අතර විදේශීය පරීක්ෂණ ආයතන කිහිපයක් විසින්ද විමර්ශන සිදු කළ බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඔහු සඳහන් කරන්නේ ඒ සෑම පරීක්ෂණ වාර්තාවක් මගින්ම පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආධාර සහරාන් හෂිම් ඇතුළු තව්හිද් ජමාත් සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකළ බවට කරුණු අනාවරණය කර තිබූ බවය.

ඒ කිසිදු වාර්තාවක තමන් මෙම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට හෝ සහාය ලබාදුන් බවට තොරතුරු අනාවරණය කර නොතිබූ බවද සලේ මහතා අවධාරණය කරයි.

ඒ අනුව එම කිසිදු පරීක්ෂණ වාර්තාවක් මගින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කර නොතිබූ බවයි ඔහු පෙන්වා දෙයි.

එසේම පෙත්සම්කරු පවසන්නේ ඉකුත් පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් තමාව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවන් අත්අඩංගුවක් හෝ රඳවාගැනීමක් සඳහා කිසිදු සාධාරණ සාක්ෂියක් නොමැති බවය.

ඒ අනුව තමා සහ සෙසු සාක්ෂිකරුවන් මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ අධිකරණය හමුවට කැඳවා විමර්ශනය කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඔහු වැඩිදුරටත් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බී වාර්තාවේ තමන්ව තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

පුද්ගලයින් සිව්දෙනෙක් සද්ධන්තයින්ට බිලිවෙයි…..

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එප්පාවල කැලේඅමුණුකොළය ප්‍රදේශයේ දී සිදු වූ වන අලි ප්‍රහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

එමෙන්ම හුරිගස්වැව ප්‍රදේශයේදී ද වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේදී එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මිහිදන් කළ මෘතදේහයක හිස කොටස අතුරුදන්…

වවුනියාව, මාරම්බයිකුලම් ප්‍රදේශයේ මිහිදන් කර තිබූ මෘතදේහයක හිස කොටස අතුරුදන්ව තිබේ.

කිසියම් පිරිසක් විසින් අදාළ මළසිරුර මිහිදන් කළ ස්ථානය නැවත හාරා එහි තිබූ හිස කොටස පමණක් රැගෙන ගොස් ඇති බව  වාර්තා වේ.

එම සුසාන භූමිය ආශ්‍රිත ප්‍රදේශය පුරා පැතිර ගිය දැඩි දුර්ගන්ධය හේතුවෙන් සිදුකළ සොයා බැලීමක දී අදාළ මළසිරුර ගොඩගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

මීට මාස තුනකට පමණ ඉහතදී මියගිය මාරම්බයිකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ මළසිරුරක කොටසක් මෙලෙස අතුරුදන්ව ඇති බව ද සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් වවුනියාව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වවුනියාව අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කෝටි ගණනින් මත්ද්‍රව්‍ය හසුකරගත් නාවික හමුදා මෙහෙයුම……

විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය සමග භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව ගැන තවත් කරුණු හෙළිකරගැනීමට හැකිව තිබේ.

ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඉරාන නෞකාවකින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙම යාත්‍රාවට ලබාදි ඇති බවය.

‘අවේමරියා’ නම් මෙම යාත්‍රාව පසුගිය පෙබරවාරි 4 වැනිදා වෙල්ලමංකඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබේ.

අත්අඩංගුවට පත් වූ ධීවරයින් 6 දෙනා මෙම ගමන පිටත්ව ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය රැගෙන එන බව දැනුවත්ව බව සඳහන්ය.

එම එක් අයෙකුට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බවට ජාවාරම්කරුවන් පොරොන්දු වී ඇති බවත් සිදුකළ මූලික ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත.

ඒ අනුව ඔවුන් පිටත්වීමට පෙර රුපියල් 50,000ක අත්තිකාරමක්ද ලබාගෙන තිබේ.

එමෙන්ම මෙම යාත්‍රාවේ හිමිකරුද මෙම ජාවාරම පිළිබඳ දැනුවත්ව ඇති බවට ආරක්ෂක අංශ සැක කරන අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම දිසානායක නමැති අයෙකු විසින් ගොඩබිමේ සිට යාත්‍රාවේ සිටි ධීවරයින් මෙහෙයවා ඇති අතර ඔහුව මෙහෙයවා ඇත්තේ ‘අයියා’ ලෙස හඳුන්වන අයෙක් බව මේ වනවිට අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබීය.

එම මත්ද්‍රව්‍ය උර, යාත්‍රාවේ ඉදිරිපස ටැංකියේ සඟවා තිබියදී සොයාගැනීමට හැකිව ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එහිදී සිදුකළ මූලික විමර්ශනයේදී හෙළිවුණේ යාත්‍රාවේ තිබූ උරවල අසුරන ලද පැකට් 298ක හෙරොයින් කිලෝග්‍රෑම් 323ක ප්‍රමාණයක් ඇති බවය.

එම මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 620කට අධික බව සඳහන්ය.

එමෙන්ම යාත්‍රාවේ තිබී සැටලයිට් දුරකථනයක් ද සොයාගැණුනි.