තැපෑලේ නමින් වෙන මහා පරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක්….

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කර සිදුකරමින් පවතින වංචාවක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නිල අඩවිය සහ නාමය අවභාවිත කරමින් ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබා ගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල Online Payment ක්‍රමය හරහා බැංකු කාඩ්පත් භාවිතයෙන් ගෙවීමට පාරිභෝගිකයින් ඉලක්ක කරන Phishing Scam ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

මෙම වංචනික ක්‍රියාවලිය යටතේ පාරිභෝගිකයින් විසින් Payment Gateway හරහා තම බැකු කාඩ්පත් විස්තර ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කර ගැනීම මෙහිදී සිදුවනු ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මේ පිළිබඳව අගතියට පත්වූ හා අදාළ කෙටි පණිවුඩ ලද මහජන පැමිණිලි බොහොමයක් ලැබී ඇති බවත් මෙම Phishing Scam පිළිබඳව මීට පෙර පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දන්වා ඇත.

මේ හේතුවෙන් මහජනතාව මෙම වංචාකාරී කෙටි පණිවිඩ සහිත සබැඳි (SMS Links) ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් නොහඳුනන Links මත Clicl නොකරන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ගලයින් හෝ වෙබ් අඩවි වෙත ලබා නොදෙන ලෙසත් තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක්ද සිදුකර තිබේ.

CCD යේදී ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් සූදානම් කළ උපන්දින සාදය…..

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සාදයක් සූදානම් කිරීමේ පුවතක් වාර්තා විය.

සැකකාරියගේ උපන්දිනය පසුගිය ඉරිදා (29) යෙදී තිබී ඇති අතර ඒ වෙනුවෙන්  කොළඹ දිසා අපරාධ කොට්ඨාසය තුළ කේක් කපා සැමරුමක් සූදානම් කර ඇති බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබී තිබේ.

එම තොරතුර එම කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් තහවුරු කරගැනීමෙන් පසු එහි ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන එම ක්‍රියාව වහාම නවත්වන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩිව පවසා ඇති බව සඳහන් වේ.

අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට යවා ඒ පිළිබඳ සොයාබලන ලෙස උපදෙස් ලබාදී ක්ෂණිව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාද එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා කේක් ගෙඩිය එහි ගෙනැවිත් ඇති බවය.

උපන්දින සැමරුමට සෙව්වන්දිගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාද කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

අනතුරුව ඉෂාරා සෙව්වන්දි, ඇය රඳවා සිටින සිර කුටියෙන් පිටතට ගෙන ඒ අසල වූ ස්ථානයක කේක් ගෙඩිය කැපීමට සියල්ල සූදානම්කර තිබී ඇති බවත් මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අවසර ලබාදී ඇති බවද අනාවරණ වන බවය.

එමෙන්ම “කේක් එක කපලා ෆොටෝ ගන්න එපා. පස්සේ ඔවා ඉන්ටර්නේට් එකේ යයි” යනුවෙන් ඔහු පවසා ඇති බවත් සඳහන් වේ.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා, ඇයගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාගෙන් මෙන්ම අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගෙන් ද ඇතුළුව 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන තිබේ.

එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිඛිතව දැනුම්දී තිබුණි.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම කේක් ගෙඩිය රැගෙන ඒම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයා සමග අදාළ ස්ථානාධිපතිවරයා දුරකථනය ඔස්සේ කතාබහකර ඇති බවත් කලක සිට ඔවුන් දෙදෙනා දුරකථනය ඔස්සේ කතාබහ කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.

ඒ අනුව පොලීසිය පවසන්නේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ උපන්දින සාදය සැලසුම්කර අවස්ථාව ලබාදී ඇති බවය.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ බොහෝදුරට අදාළ ස්ථානාධිපතිවරයාගේ වැඩ ඉදිරියේදී තහනම් කිරීමට නියමිත බවය

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිස්සා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

RMV ලොක්කා ලබන 30 දක්වා රිමාන්ඩ්….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මාර්තු 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහුව අද (28) පස්වරුවේ කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විමර්ශනයක් ආරම්භ කළේය.

අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබීය.

එහිදී අනාවරණ වී තිබුණේ නීති විරෝධීව එකලස් කිරීම සඳහා කැබ් රථයක ලියාපදිංචි චැසි අංකය වෙනස් කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර ”බර සහතික” ලබාගෙන ඇති බවය.

අනතුරුව එම ලේඛන මගින් අදාළ කැබ් රථයට E කාණ්ඩයේ අංකයක් ලබාගැනීම සහ චැසි සංශෝධනයට ඉදිරිපත් කර තිබූ චැසි සංශෝධන ගොණුව නීති විරෝධීව නීති විරෝධී ලෙස සඟවා තබා අසත්‍ය ප්‍රකාශ ලබා දෙමින් අදාළ රථය ව්‍යාජ ලෙස එකලස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ආධාර අනුබලදී ඇති බවට චෝදනා එල්ල වේ.

ඒ අනුව සැකකරු ඊයේ (27) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබීය.

ඒ, කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේදීය.

මේ අතර අදාළ සැකකරු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

RMV ලොක්කා CID අත්අඩංගුවට….

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සුරේෂ් සලේ ගැන අධිකරණය CIDයට දුන් නියෝගය….

රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අප්‍රේල් 22 වැනිදා අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මෙහස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) නියෝග කළේය.

2018 වසරේ නොවැම්බර් 29 වැනිදා වව්නතිව්හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු සයින්දමරුදු නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම පිළිබඳව වූ නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේ තෙවැනි සැකකාර සුරේෂ් සලේ අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ඇයිද යන්නය.

සැකකරු රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින බැවින් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව විමර්ශන නිලධාරීන් පැවසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ කොටුව මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ.

“තෙවැනි සැකකරු මේවෙද්දි හුදෙක් රැඳවුම් භාරයේ සිටින තැනැත්තෙක් නොවෙයි. ඔහු අපරාධ නඩුවක සැකකාරයෙක් ලෙස නම් කළ තැනැත්තෙක්. ඒ නිසා මීළඟ දිනයේ  අනිවාර්යයෙන්ම ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනවා.”

තවදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ පෙර නඩු වාරයට පසුදින නඩුවේ සාක්ෂිකරුවෙකුගේ නිවසට යුද හමුදා බුද්ධි නිලධාරියෙකු යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරඇති බවය.

“ස්වාමිනි, සැකකාර සුරේෂ් සලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර යුද හමුදා බුද්ධි අංශය මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තොරතුරුකරුවෙකු හරහා මුස්ලිම් අන්තවාදීන් සිව්දෙනෙකුට කතෝලික පල්ලිපෙන්වූ බවට ප්‍රකාශ ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් පසුගිය නඩුවාරයේ අප අනාවරණ කළා. පසුදින යුද හමුදා බුද්ධි නිලධාරියෙකු එම සාක්ෂිකරුගේ නිවසට ගිහින් තියෙනවා. දැන් ඔහු නිවස අත්හැර ගිහින්. ඒ හරහා සාක්ෂිකරුට යම් බලපෑමක් වෙලා තියෙනවා”

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට කරුණු දැක්වුවේය.

“ස්වාමිනි, මේ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ජාත්‍යන්තර කණ්ඩායම් සිදුකළ විමර්ශනවලදී පවා මාගේ සේවාදායකයාට එරෙහිව කිසිදු කරුණක් අනාවරණය වී නැහැ. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ හෝ මගේ සේවාදායකයාට එරෙහිව නිර්දේශ නැහැ. සැකකාරයෝ 25කට එරෙහිව අධිචෝදනා 23,000ක් තියෙන කොළඹ මහාධිකරණ නඩුවේවත් මගේ සේවාදායකයාගේ නම නැහැ. එහෙම තියෙද්දි මේ ප්‍රහාරය ගැනම විමර්ශනය කළ ජයකි ද අල්විස් වාර්තාවෙන් නඩු පවරන්න කියලා නියෝග කරපු වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ කොන්ත්‍රාත් පදනමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ශානි අබේසේකර යටතේ සිදුකරන නඩුවකට මගේ සේවාදායකයාට චෝදනා ගොනුකරලා තියෙනවා.”

මෙහිදී සැකකාර සුරේෂ් සලේට එරෙහිව දැනට ක්‍රියාත්මක විමර්ශනය පක්ෂග්‍රාහීව අඩුපාඩු රැසක් සහිතව සිදුවෙමින් පවතින බවටද නීතිඥවරයා විවෘත අධිකරණයේ චෝදනා කළේය.

“ස්වාමිනි, මේ සිදුකෙරෙන විමර්ශනයට පාදකවෙලා තියෙන්නේ චැනල් 4 වාර්තා වැඩසටහන. එහෙම තියෙද්දිත් ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මේ නඩු ගොනුවේ නැහැ. ඒ වාර්තාවේ තියෙනවා දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබමින් ඉන්න අසාද් මව්ලානා නමැත්තා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ සිදුකරන ලද ප්‍රකාශය මෙරට පත්කරන ලද කමිටුව විසින් ඉල්ලපුවාම එය දෙන්න බැහැ කිව්වා කියලා. මොකද අසාද් මව්ලානා ඒ ප්‍රකාශය දෙනවාට අකමැත්ත පළකරලා තියෙනවා. එහෙම ප්‍රකාශය දෙනවාටත් අකමැති පුද්ගලයෙක් කරපු ප්‍රකාශයක් මත පදනම්වෙලා කොහොමද ස්වාමිනි මේ විමර්ශනය කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වුණු රෝහාන් ප්‍රෙමරත්න සාරා ජෙස්මින්ගේ DNA වාර්තා සිදුකිරීම සම්බන්ධයෙන් මේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. එම ප්‍රකාශයේ මගේ සේවාදායකයාට වාසි සහගත කරුණු ඇතුළත් වන බැවින් විමර්ශන නිලධාරීන් එය අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. ස්වාමිනි, මේ විමර්ශනය සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහිව සිදුකරන්නේ. ප්‍රධාන විමර්ශන නිලධාරියා වෙච්ච අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂවරයා ශ්‍රෙෂ්ඨාධිකරණයට දුන්නු දිවුරුම් ප්‍රකාශයකින් පිළිගෙන තිබෙනවා ඔහු එම තනතුරට ඒමට මාස 02කට කළින් දේශපාලනය කළා කියලා. ස්වාමිනි ස්වාභාවික යුක්තියේ මූලධර්මයක් තමයි තමන්ගේ නඩුවේ විමර්ශනය තමන්ම නොකළ යුතුයි කියන එක. ඉතිං ස්වාමිනි මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ විමර්ශනය වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂවරයා යටතේ නොමැති වෙනත් ඕනෑම විමර්ශන කණ්ඩායමකට යොමු කරන්න කියලා. ”

කෙසේවෙතත් විත්තියේ නීතිඥවරයා සිදුකළ මෙම කරුණු දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි විවෘත අධිකරණයේ ප්‍රතිචාර දැක්වුවේය.

“ස්වාමිනි, විත්තිය කියන විදිහට මේ විමර්ශනය ශානි අබේසේකර මහත්තයාගෙවත් වෙන කාගෙවත් වුවමනාවට සිදුවෙන්නේ නැහැ. මේ තුන්වන සැකකරුව අත්අඩංගුවට ගත්තේ ඔහුගේ සැකකාරභාවය පිළිබඳ පැහැදිලිව ප්‍රමාණවත් කරුණු තියෙන නිසයි. හැමදේම විවෘත අධිකරණයේ කියන්න බැරිවුනාට අපි මේ වෙද්දිත් සාක්ෂිකරුවන් 05 දෙනෙකුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරලා ප්‍රකාශ ලබා දී තිබෙනවා. මේ විමර්ශනය සිදුවෙන්නේ විශාල සිද්ධින් දාමයක සම්බන්ධතාවයන් ගැන. ඒ සිදුවීම් සියල්ලට යුද්ධ හමුදා බුද්ධි අංශයේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධතා තිබුණාද කියලා විමර්ශනය වෙනවා.”

සියලු කරුණු සලකා බැලීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙසේ නියෝග නිකුත් කළේය.

“රැඳවුම්භාරයේ සිටින තුන්වැනි සැකකරුගෙන් නීතිඥවරයා උපදෙස් ලබාගන්නා අවස්ථාවේ එම සන්නිවේදනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇහුම්කන් නොදිය යුතුයි. චැනල් 4 වැඩසටහනේ අදාළ ප්‍රකාශ සිදුකරන තැනැත්තාගෙන් ප්‍රකාශ ලබාගෙන නැහැ කියලා විත්තිය චෝදනා කරනවා. එම ප්‍රකාශ ලබාගැනීම අතිශයින් වැදගත්. වහාම ඊට උත්සාහ කරන්න. ඒ වගේම විමර්ශකයා මාරු කරන්න කියන එක බරපතළ ඉල්ලීමක්.  මේ විමර්ශනය මුලසිටම කරලා තියෙන්නේ ඒ විමර්ශකයා. ඔහුගෙන් විමර්ශනය ඉවත්කිරීම හරහා යම් වරදක් වුවහොත් එය නිවැරදි කරන්න බැහැ. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා විමර්ශකයා ඉවත්කරන්න කියන ඉල්ලීම මෙම අවස්ථාවේ ඉවතදමනවා. ”

වැඩිදුර විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව අප්‍රේල් 22 යළි කැඳවීමට නියමිතයි.

වලානේ ස්ථානාධිපති බව පවසමින් ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට….

ප්‍රදේශ කිහිපයක ව්‍යාපාරිකයන්ව WhatsApp මගින් අමතා තමන් වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ ලෙස පවසමින් එම ව්‍යාපාරිකයන් බියගන්වා බලපෑම් කර මුදල් ලබාගත් පුද්ගලයෙකුව අද (25) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීණ් පිරිසක් විසින් බණ්ඩාරගම අධිවේගී මාර්‌ග පිවිසුම අසළ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සොරකම් කිරීම, කොල්ලකෑම් හා කප්පම් ලබාගැනීම් ඇතුළු විවිධ දූෂණ චෝදනා යටතේ වරදකරු වී බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ සිටි “තුසිත බ්‍රහ්මරත්න” නැමති පුද්ගලයා බවය.

පොලීසිය පැවසුවේ අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ගැවසෙමින් ව්‍යාපාරිකයන්ව හෙලෙස රවටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ඉපයා ඇති බවය.

මෙම සැකකරු විසින්,  වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ නිලධාරියාගේ නිල ඇඳුමින් සැරසුනු ඡායාරූපයක් ඔහුගේ WhatsApp ගිණුමේ ඡායාරූපයට යොදා තිබී ඇත.

ඒ අනුව එම WhatsApp ගිණුමෙන් ව්‍යාපාරිකයන් අමතා, ඔවුන් විසින් සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා පිළිබදව සියලු තොරතුරු තමන් සතුව ඇති බවත්, ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම් ඔහු විසින් යොමු කරනු ලබන පුද්ගලයාට නියම කරනු ලබන මුදල් ලබාදෙන ලෙසට බිය ගන්වා මුදල් ලබාගෙන ඇත.

මීට අමතරව මෙම සැකකරු විසින්, යම් ප්‍රසිද්ධියක් උසුලන ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාට ද WhatsApp හරහා ඇමතුම් ලබා දී පවසා ඇත්තේ සිය නැගණිය එංගලන්තයේ පදිංචිව සිටින බවත්, ඇයට දානමය පුන්‍ය කර්‌මයක් සිදුකිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව, අවශ්‍ය මුදල් ලබාදීමට ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ බැංකු ගිණුම් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ මුදල් ලබාගැනීම සඳහා භාවිතා කරන ජංගම දුරකථන යෙදවුම (App) ආදී සියළු තොරතුරු සැකකරු විසින් ලබාගෙන ඇත.

පසුව එම ගිණුම්වලට මුදල් යොමු කරන බව හඟවමින් අන්තර්ජාලය හරහා ගිණුම්වලට ඇතුළු වී එහි රහස්‍ය අංකය (OTP) ලබා ගනිමින් එම ගිණුම්වල ඇති මුදල් ඔහුගේ ක්‍රිප්ටො කරන්සි හරහා ඔහුගේ ‘VOLAT’ ගිණුම වෙත බැරකර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි අනුව අධිකරණයට කරුණු වාර්තා කර විර්මශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහයන නිලධාරීන් විසින් සකස් කරන ලද සැළසුමකට අනුව මෙම විර්මශනය වලාන මධ්‍යම දූෂණ මදන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්‍ෂක චතුරංග මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

ඒ අනුව, අද දිනයේ දී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී  සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 620 ක ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

වසර 6කට පසු හෙළිවූ ඝාතන අබිරහස….

මීට වසර 6කට පමණ ඉහත කොවිඩි සමයේදී ඝාතනය කර සඟවන ලද අඹුසැමි යුවළකගේ මෘතදේහ අද ගොඩගැනුණි.

ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක වළදමා තිබියදීය.

2020 වසරේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ පදිංචි  සුනිල් කුමාරසිංහ සහ කාමන්ද සිල්වා නම් 62 හැවිරිදි අඹුසැමි යුවළ අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

එහිදී අදාළ යුවළ සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවුණු පසුබිමක ඥාතීන් එසමයෙහිම ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඒ පිළිබඳව දැනුම්දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිද්ධිය පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණයෙන් ආරම්භ කෙරුණු විමර්ශන වලදී , අතුරුදන් යුවළ පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචි යුවළකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී. විජේතුංග මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී  අනාවරණ වී තිබුණේ අතුරුදන් වූ යුවළ පෞද්ගලික ආරවුලක් මත ඝාතනය කර නිවස අසළ වූ ඇළ මාර්ගයක වළදමා ඇති බවය.

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර අඹුසැමි යුවළ හා ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට පත්වූ පුරුෂයන් දෙදෙනාම දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවද පොලිසිය සඳහන් කළේය.

වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ  තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදුකර, කාන්තවගේ ගෙළබැඳි රන් මාලයද ගලවාගෙන අනතුරුව කොටස් කළ සිරුරු ඇළ මාර්ගයේ වළ දමා ඇති බවය.

පසුව අවස්ථා ගණනාවකදීම මළ සිරුරුවල කොටස් උඩට මතුවුවද ප්‍රධාන සැකකරු විසින් ඒවා නැවත වළදමා ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් අදාල ස්ථානයට ගෙන්වා ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිරුරු කොටස් අද ගොඩගැනුණි.

ඝාතනයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

මඩකලපුවේ පාළු ළිඳකට දමා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට රැඳවුම් නියෝග….

මඩකලපුව, කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීම සහ රන් ආභරණ කොල්ලකෑම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු දින හතරක් රඳවා තබා‌ගෙන ප්‍රශ්න කිරීමට මඩකලපුව අධිකරණය අවසර ලබාදී තිබේ.

කොල්ලකන ලද රන් භාණ්ඩ මිල ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයින් දෙදෙනා ලබන 27වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය 20වෙනිදා කාන්තාවක් පැහැරගෙන ගොස් ඇයගේ රන් ආභරණ කොල්ල කා ඇයව පාළු ළිඳක දමා ගිය සිද්ධියක් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුව එම කාන්තාව බේරාගැණුන අතර එම ළිඳෙහි තිබූ කාන්තා මළ සිරුරක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශන අනුව සිද්ධියට ඍජුව සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ රන් ආභරණ මිලදී ගත් බව කියන තවත් දෙදෙනෙකු  පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පිරිස අද (23) දින මඩකලපුව මහේස්ත්‍රාත්වරිය හමු‌වේ ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් නිලධාරින් අවසර ඉල්ලා සිටියහ.

එය සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රධාන සැකකරුවන් බව පැවසෙන තිදෙනා දින හතරක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන් අතර සෙසු සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

ඒ අනුව මෙම නඩු විභාගය ලබන 27 වෙනිදා සිදු කිරීමට නියමිතය.

ගබඩාවක් පිරෙන්න යාපනයෙන් ඇල්ලූ තෙල්…..

යාපනයේ ඌරේලු ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඉන්ධන තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ කොට්ඨාශය විසින් සිදු කරන ලද මෙහෙයුමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ගබඩාවේ තිබී ඩීසල් ලීටර් 4700ක්, පෙට්‍රල් ලීටර් 800ක් සහ භූමිතෙල් ලීටර් 400ක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කථිකාචාර්යවරියගේ ඝාතනයේ සුලමුල QR එකෙන් හෙළි වෙයි….

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකගේ ඝාතකයින් ඉන්ධන QR කේතය හරහා සොයාගැනීමට පොලීසිය සමත්වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 54 හැවිරිදි තිලීපන් දයාලිනි නමැති අයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමියන් යැයි පැවසෙන19 හැවිරිදි කාන්තාවක් සහ 21 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා දික්කසාදවීම සඳහා අයදුම් කර සිටි අය බවට ද සඳහන් ය.

මෙවන් පසුබිමක කථිකාචාර්යවරිය වන සිය මව සහ නැගණියව ඇයගේ සැමියා විසින් පැහැරගෙන ගොස් ඇති බවට මියගිය කාන්තාවගේ පුත්‍රයා යාපනය පොලීසියට පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සඳහා යාපනයේ පොලීස් නිලධාරින් මරණකාරිය ජීවත් වූ නිවසට ගොස් ඇති අතර එහි වහළ සෙවිලි කළ උළු ඉවත් කර කඹයක් ආධාරයෙන් නිවසෙන් පිටත්ව ඇති ආකාරය සහ කපන ලද හිස කෙස් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඒ අනුව සිදු කරන ලද විමර්ශනවලදී ඔවුන් විසින් පරන්තන් ඒ.ටී.එම් යන්ත්‍රණයෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණ විය.

ඉන් අනතුරුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම්හලකින් QR කේතය භාවිත කරමින් ඉන්ධන ලබාගෙන ඇති බවට ද පොලීසිය විසින් තොරතුරු හෙළි කර ගෙන ඇත.

එවන් පසුබිමක එම ඉන්ධන පිරවුම්හලේ ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන උපයෝගී කරන පොලිස් නිලධාරින් විසින් සිදු කළ විමර්ශනවලට අනුව ඊයේ (20) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී 19 හැවිරිදි බිරිඳ සහ 21 හැවිරිදි සැමියාව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අනතුරුව ඔවුන් යාපනය පොලිස් ස්ථානයට රැගෙනවිත් ප්‍රශ්න කර ඇති අතර තමන් විසින් කථිකාචාර්යවරියගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට ඇයගේ බෑනා පාපොච්චාරණය කර ඇත.

ඉන් අනතුරුව මළ සිරුර යාපනය – තනංකිලප්පු, අරුගුවෙලි ප්‍රදේශයේ ඇති වගුරුබිමක දැමූ බවට ද සැකකාර බෑනා පොලීසියට පවසා තිබේ.

ඒ අනුව සිදු කළ මෙහෙයුමකින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර ඒ වනවිටත් එය විකෘති වී තිබූ බවට තොරතුරු වාර්තා වේ.

මේ වනවිට අදාළ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරේ.