මිය ගිය කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි…..

මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.

ඒ, මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳ නිශ්චිතව සොයාගැනීම සඳහාය.

එම වාර්තාව ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී හමුවූයේ ඊයේ (08) උදෑසන හමුවිය.

ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

මේ අතර චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කරනු ලැබීය.

ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (08) ලබාදුන් නියෝගයට අනුවය.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී අද (09) පෙරවරුවේ සිදු කෙරුණි.

එහිදී ඔහුගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

මේ සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද එක්ව තිබේ.

ඒ අනුව චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක් ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ රසායනික පරීක්ෂණවලින් අනතුරුව ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස ඊයේ (08) මියගොස් තිබුණේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමකය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 05 වනදා අධිකරණය විසින් මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමිනි.

එහිදී අධිකරණයට වාර්තා වූයේ කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් දෙනෙකු ඉදිරිපත් කර ඇති බවය.

අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට යළි වරෙන්තු නිකුත් කළේය.

චන්ද්‍රෙස්න මහතා මියගොස් තිබුණේ එම වරෙන්තුව අනුව ඊයේ (08) ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණු පසුබිමකය.

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන තවත් තොරතුරු එළියට……

අල්ලස් චෝදනා එල්ලවී සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක මියගොස් සිටියදී ඔහුගේ සිරුර අද (08) උදෑසන හමුවුණි.

ඔහුගේ මළසිරුරේ ගෙලෙහි කැඩුණු රෙදි පටියක කොටසක් තිබී ඇති අතර පොලිසිය සැක කරන්නේ මෙය දිවි නසාගැනීමක් බවටය.

මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරු පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර හමුවී තිබුණේ කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදී ය.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් එම නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ තිබී මළසිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.

සිරුර සොයාගත් අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක, චන්ද්‍රසේන මහතාගේ හිස කුෂන් පුටුවක් මත සිටින ලෙසත් සිරුරේ පහළ කොටස පොළොවේ ස්පර්ෂ වන ලෙස වැටී ඇති අයුරුත් දැකගත හැකිය.

සිරුරේ ගෙල ප්‍රදේශයේ රෙදි පටියක් වැනි යමක් තිබෙන අයුරු සහ ඊට යාබදව තිබුණු දොරෙහි ද රෙදි පටියක් වැනි යමක් එල්ලී තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබේ.

අරවින්ද සිල්වා මහතාගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා වන කපිල චන්ද්‍රසේන මහතා ඊයේ පස්වරුවේ එම නිවසට පැමිණ එහි රාත්‍රිය ගතකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහු අද අලුයම, ඔහු සිටි කාමරයේ දොරක එල්ලී ගෙල වැළලාගෙන දිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක පළකරයි

එය දිවි හානි කරගැනීමක්ද ? වෙනත් අපරාධයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ සෙවීමට කොල්ලුපිටිය පොලිසිය විමර්ශන සිදුකරයි.

පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සඳහන් කළේ, සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවය.

එමෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණයට නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගෙන් පොලිසිය ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සඳහා අද දහවල් එම නිවසට පැමිණියේය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද එම ස්ථානයට පැමිණි බවයි අප වාර්තාකරු පැවසීය.

අනතුරුව චන්ද්‍රසේන මහතාගේ දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මකය.

කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර අද පෙරවරුවේ මෙසේ සොයාගනු ලැබුවේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (07) වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමකය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 05 වනදා අධිකරණය විසින් මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමිනි.

එහිදී අධිකරණයට වාර්තා වූයේ කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවය.

පසුව අත්අඩංගුවට ගැනුණු එම පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගැනීමට අධිකරණය යළි වරෙන්තු නිකුත් කළේය.

පසුව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ මූලිකත්වයෙන් කපිල චන්ද්‍රසේන මහතාට නීති උපදෙස් ලබාදීමේ සැසියක් ඊයේ රාත්‍රියේ පැවැත්වී ඇති අතර ඊට චන්ද්‍රසේන මහතා සහභාගි නොවුවද, ඔහු වෙනුවෙන් සමීපතමයින් කිහිපදෙනෙකු සහභාගී වී ඇති බවද පැවසෙයි.

කපිල චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වී ඇති අතර ඒ පිළිබඳ දුරකථන මාර්ගයෙන් කපිල චන්ද්‍රසේන මහතාට දැනුම් දීම ද සිදුකර ඇතැයි සඳහන් ය.

ඒ අනුව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු අද පෙරවරු 7:30ට පමණ කපිල චන්ද්‍රසේන මහතා හමුවීමට කොල්ලුපිටිය නිවසට පැමිණ ඇත්තේ මෝසමක් මගින් නඩුව කැඳවා අධිකරණයට ඉදිරිපත්වීම පිළිබඳ දැනුම්දීමටය.

එහිදී නිවෙස් හිමි කාන්තාව කපිල චන්ද්‍රසේන මහතා රැඳී සිටි කාමරයේ දොරට තට්ටු කළ ද ඔහු ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වෙයි.

පසුව ඇය අතිරේක යතුර රැගෙන නීතිඥවරයා ද සමග ගොස් කාමරයේ දොර විවෘත කර ඇති අතර එහිදී දැක ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතා බිම ඇදවැටී සිටින අයුරුය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරුණි.

එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරදක් ද මතුවී තිබූ බැවින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද විමර්ශනයක් ඇරඹූ අතර ඊට අදාළව පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනුණි.

විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද, රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදුන් බව කපිල චන්ද්‍රසේන පැවසූ බවය.

නමුත් ඊට විරෝධය දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවය.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එළඹෙන 12 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද එම කොමිසම දැනුම්දී තිබුණි.

මේ අතර කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, මරණකරුගේ සිරුර සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත්කරනු ලබන 05 දෙනෙකුගෙන් යුත් අධිකරණ වෛද්‍ය මණ්ඩලයකින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසත් එළඹෙන 12 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් නියෝග කර තිබුණි.

ශ්‍රී ලංකාවත් මියන්මාරය මෙන් සයිබර් අපරාධවල තෝතැන්නක් වෙයිද?

මියන්මාරය මෙන් ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙරට තදාසන්න ප්‍රදේශවල පහසුවෙන් විශාල පිරිසකට නවාතැන් ස්ථාන සොයාගත හැකිවීම, පහසුවෙන් වීසා ලබාගැනීමට හැකිවීම, ඊට නිසි තක්සේරුවක් කිරීමේ ක්‍රමවේදයක් නොපැවතීම, ආගමන විගමන නීති ලිහිල්වීම, වේගවත් අන්තර්ජාල සබඳතා පැවැතීම හා යටිතල පහසුකම් පහසුමිලට සපයාගත හැකිවීම ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ට තෝතැන්නක් වීමට ඉවහල් වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

සයිබර් අපරාධකරුවන් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් විදෙස් රටවල පුද්ගලයන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සබඳතා ගොඩනගාගෙන, ඒ හරහා මුදල් ඩැහැගැනීම මෙන්ම ආයෝජන අවස්ථා පිළබඳ සාවද්‍ය තොරතුරු පෙන්වා මුදල් ලබාගෙන මඟහැරයාම් සිදු කරන බව පරිගණන අපරාධ විමර්ශන අංශය පෙන්වා දී සිටී.

මේ අතර මෙලෙස මෙරට තුළ සිට සයිබර් අපරාධකරුවන් ක්‍රියාත්මකවීම, ලෝකයේ සෙසු රටවල් ලංකාව කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීමට හේතුවක් වී ඇති බව විමර්ශන නිලධාරීන් පවසයි.

ඒ අනුව පොලීසිය මහජනතාවට දැනුම්දී සිටින්නේ චීන, තායිවාන, වියට්නාමය වැනි රටවල පිරිස් විශාල වශයෙන් එක් ස්ථානයක සැකකටයුතු ලෙස රැඳී සිටින්නේ නම්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට හෝ ළඟම ඇති පොලිසියට දැනුම්දෙන ලෙසය.

මෙරට තුළ සයිබර් අපරාධවල නිරතවූ විදෙස් ජාතිකයන් රැසක් පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි……

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (06) තහවුරු කළේය.

අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුවක් ලබා දුන්නේය.

කෙසේ වෙතත් තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද අධිකරණය විසින් නියම කරනු ලැබීය.

මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් තුන් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මෙම විත්තිකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

2015 වසරේ මැයි මස 13 වනදා හෝ ඊට ආසන්න දිනයක යාපනය පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසල් ගොස් ආපසු එමින් සිටිය 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබීය.

එම නඩුවෙන් වැරදිකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළේය.

එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණි.

මෙම අභියාචනා විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවකු මිය ගොස් තිබුණි.

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් හදිසියේම මියයයි……

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

රැඳවියා බන්ධනාගාරයෙන් පලාගොස් ඇති අතර නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ඔහු යළි රැගෙන විත් ඇති බව පැවසේ.

රැඳවියාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරින් ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බවය.

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව සිර දඬුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු එහි නිලධාරින් ඊයේ (03) පස්වරුවේ බන්ධනාගාර අභ්‍යන්තර එළිමහන් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් තිබුණේ එය සුද්දපවිත්‍ර කර ගැනීම සඳහාය.

ඒ අතරතුර සිරකරු එක්වරම පලාගොස් තිබේ.

පලාගිය සිරකරු වහාම ලුහුබැඳ ගිය බන්ධනාගාර නිලධාරින් බොරැල්ල ප්‍රදේශයේදී ඔහු අල්ලාගෙන ඇත්තේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුවය.

එහිදී රැඳවියා හා නිලධාරීන් අතර පොරබැදීමක් සිදුවූ බව වාර්තා වේ.

සිරකරු යළි බන්ධනාගාරයට රැගෙන විත් සුළු වේලාවකට පසු නැවතත් යම් සිදුවීමක් සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඊට හේතුව තවමත් අනාවරණ නොවන අතර එම සිදුවීමෙන් පසු දැඩිලෙස රෝගාතුර වූ බව කියන සිරකරු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව සඳහන් වේ.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැකකරු එහිදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පමණ වන ආර්.ඕෂධ සංජීව නැමැති පුද්ගලයෙකි.

මොහු මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 110ක පමණ ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමේ සිදුවීමකට දඩයක් නියම වූ අයෙක් වන අතර රුපියල් 5,000ක එම දඩය ගෙවීමට නොහැකි වීම මත මාස තුනක සිරදඬුවම් නියම වූ අයෙක් බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර බොරැල්ල පොලීසියේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර ජීවිතක්ෂයට පත් රැඳවියාගේ ඥාතින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා බොරැල්ල පොලීසියට අද (04) කැඳවා තිබුණි.

ඉකුත් අප්‍රේල් 27 වෙනිදා ද මැගසින් බන්ධනාගාරය තුළදී බන්ධනාගාර නියාමකවරයෙක් සමග ඇති වූ පොරබැදීමකින් රැඳවියෙක් මියයාමේ සිදුවීමක් වාර්තා විය.

මෙම මරණය වාර්තා වන්නේ පෙර සිදුවීමේ විමර්ශන ද ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමකය.

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්……

ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් දෙදෙනෙකු පලායෑමට උත්සහා කිරීමේදී නිලධාරින් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

එහිදී තුවාල ලැබූ එක් අයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ නවතම තොරතුරු….

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

වැඩතහනමට ලක්ව සිටින මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට අද පස්වරුවේ කුලියාපිටිය පොලීසියට තොරතුරක් ලැබී ඇත.

පොලිසිය පැවසුවේ රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බවය.

ඒ අනුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.

එමෙන්ම රාජපක්ෂ මහතාගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක්ද හමුවී තිබේ.

ඒ අනුව මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය අද පස්වරුවේ එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

එලෙස ඔහුව කැඳවා ඇත්තේ, සේවයේ නිරතව සිටින සමයේ එක් අවස්ථාවකත් වැඩ තහනමට ලක්ව සිටින සමයේ අවස්ථා දෙකකදීත් ලෙසයි.

ඒ සෑම අවස්ථාවකදීම ඔහු පැමිණ විමර්ශන සඳහා සහාය ලබා දී ඇති බවත්, ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, හැකර්වරුන් විසින් ව්‍යාජ ඊ මේල් පණිවුඩය මගින් ලබාදුන් බැංකු ගිණුමට මුදල් බැරකිරීමේ මූලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවය.

හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේද මොහු විසින් බව වාර්තා වෙයි.

මොහුට අධිකරණය මගින් විදෙස්ගමන් තහනමක් ද  පනවා තිබේ.

ඔහුගේ පසුබිම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු වාර්තාවීමක් නොවූ බවද විමර්ශන නිලධාරීන් පවසයි.

කෙසේවෙතත්, වැඩ තහනමට ලක්වීමෙන් පසුව ඔහු සිත්තැවුලෙන් සිට ඇති බවද වාර්තාවෙයි.

රාජපක්ෂ මහතාගේ මරණය විමර්ශනවලට දැඩි බාධාවක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සැක කටයුතු ලෙස මරණයට පත්වෙයි….

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ මහතා අබිරහස් ලෙස මියගොස් තිබේ.

ඔහුගේ මළසිරුර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී හමුවී ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් පොලිසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව මේ වනවිට පොලිසිය අදාළ ස්ථානය වෙත ගොස් මූලික විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේවෙතත් කවුරුන් විසින් හෝ මොහුව ඝාතනය කළේද ? එසේ නොමැතිනම් සියදිවි හානි කරගත්තේද ? හෝ අත්වැරදීමකින් පාදයේ නහරයක් කැපී යෑම හේතුවෙන් මියගියේද ? යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

රංග රාජපක්ෂ මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකුද වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩ වරදියි…..

සම්මන්ත්‍රණයක් සඳහා පැමිණ නාරාහේන්පිට පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් කිහිපදෙනෙකු නාන කාමර තුළ දිය නාමින් සිටියදී, ජංගම දුරකථන මගින් රූගත කළ බවට සැකපිට තරුණයක් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු බව නාරාහේන්පිට පොලීසිය පැවසීය.

ඔවුන් මෙලෙස පිරිමි පුද්ගලයින්ගේ වීඩියෝ දර්ශනද ලබාගෙන ඇති අතර, එලෙස ලබාගන්නා දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇත්ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවද සඳහන් කළේය.

අදාළ තරුණයින් දෙදෙනා අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්……

මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ඕස්ටේලියානු රජයට අයත් ආයතනයකට ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනික පාර්ශවයක් අතට බැරවීම සම්බන්ධයෙන් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල්වරට අධිකරණයට කරුණු වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ප්‍රශ්නගත ගෙවීම සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ
e-mail පද්ධතිය භාර සමාගම පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබියදීත්, පසු විපරමකින් තොරව මෙම මුදල් බැහැරකිරීම සිදුකර ඇති බවය.

ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිදූවීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් නිර්මාණයවී ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද මුල්වරට ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

සිදුකෙරෙමින් පවතින විමර්ශනය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා ඉල්ලා සිටියේ මෙම විමර්ශනය සංවේදී, සූක්ෂ්ම කරුණු ඇතුළත් ක්‍රියාවලියක් වන බැවින් ඊට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන පිටු 27කින් යුතු වාර්තාව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා සතු ආරක්ෂක සේප්පුවෙහි තැන්පත් කරන ලෙසය.

වැඩිදුර වාර්තාවේ විවෘත අධිකරණයේ සඳහන් කරන කරුණුවලට අමතර සංවේදී සියුම් කරුණු ඇතුළත් බැවින් ඒ පිළිබඳ මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමුකරන ලෙසද විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

“ස්වාමිනි, ශ්‍රී ලංකා මහබැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ව්‍යාජ e-mail ලිපිනයක් හරහා වංචනික පිරිසකට බැහැර කිරීම සම්බන්ධයෙන් 2026 මාර්තු 24 ලද පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය සිදුකරනවා. ස්වාමිනි, විවිධ කටයුතුවලට අදාළව මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 05ක් සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරටට ණය ආධාර ලැබී තිබෙනවා. පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා එම ණය ගෙවීම සිදුකරමින් සිට තිබෙනවා. එහිදී ඔස්ට්‍රේලියානු රජයේ Export finance australia නැමැති ආයතනයට සිදුකරන ලද ගෙවීමක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්න සහගත තත්ත්වය ඇතිවී තිබෙන්නේ. ගනුදෙනු සිදුවෙමින් පවතින එක් අවස්ථාවකදී අදාළ සමාගමේ e-mail ලිපිනයට සමාන e-mail ලිපිනයකින් ගෙවීම්වලට අදාළ ඉන්වොයිසය ඇවිල්ලා තියෙනවා. මෙහිදි මුදල් ගෙවීම සිදුකළ යුතු ආයතනයේ Domain එක කුඩා වෙනසකට තමයි ලක්වෙලා තියෙන්නේ. නිවැරදි domain එක ඕස්ට්‍රේලියානු රජයට අයත් “exportfinance.gov.au” වෙද්දි, ව්‍යාජ domain එක “exportfinance.av.com” නමින් වාණිජ අරමුණක් සහිත domain එකක් ලෙස වෙනස්කර තිබෙනවා. එසේ තිබියදී පසු විපරමක් නොකර මුදල් බැර කිරීමකුයි සිදුවී තිබෙන්නේ.”

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා මෙම වංචනික සිදුවීමේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ e-mail පද්ධතියට අනවසර ප්‍රවේශයක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු දක්වනු ලැබීය.

“ස්වාමිනි අපි මේ වෙද්දි ප්‍රශ්නගත e-mail ලිපිනවලට අදාළ පද්ධතිය පවත්වාගෙනයාම භාරව කටයුතු කළ ශ්‍රී ලංකා සමාගම වූ “එනෙබල්” නැමැති සමාගමින් Server login පරික්ෂා කරමින් කරමින් ඉන්නේ. එම පද්ධතියට අනවසර ප්‍රවේශයක් සිදුවී ඇති බවක් දැනට අනාවරණය වී නැහැ. සාමාන්‍යයෙන් මේ පද්ධතිය හරහා දිනකට e-mail 15,000ක් පමණ හුවමාරු වෙනවා. ඒ නිසාම එවැනි අනවසර ප්‍රවේශයක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙමින් තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 162, 386, 396, 399 සහ 400 වගන්ති යටතේත්, පරිගණක අපරාධ පනත හා පොදු දේපළ පනත යටතේත් වැරදි සිදුවී ඇති බව දැනට අනාවරණය වී තිබෙනවා.”

මෙහිදි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ මෙම සිදුවීමේදී චේතනාන්විතව, සාපරාධි මනස සහිතව අපරාධයක් සිදුවූ බවට කරුණු අනාවරණය වී ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා,

“ස්වාමිනි, ව්‍යාජ ලෙස domain එක වෙනස්වීම පිළිබඳ 2025.10.28 දින e-mail ලිපිනවලට අදාළ පද්ධතිය පවත්වාගෙනයාම භාරව කටයුතු කළ සමාගම දැනුවත් කිරීමක් කර තිබෙනවා.” යැයි සඳහන් කළේය.

එහිදි මහේස්ත්‍රාත්වරයා පෙරළා ප්‍රශ්නකර සිටියේ මුදල් මුදාහැරීම සිදුකර ඇත්තේ එම අනතුරු ඇඟවීමට පෙරද, පසුවද යන්නයි.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා සඳහන් කළේ අදාළ අනතුරු ඇඟවීම සිදුකිරීමෙන් පසු මුදල මුදාහැරීම සිදුකර ඇති බවයි.

e-mail හුවමාරු කරගැනීම හැර මුදල් බැරකිරීමට පෙර වෙනත් තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කර ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරියාගෙන් විමසීය.

එහිදි විමර්ශන නිලධාරියා කියාසිටියේ “සාමාන්‍යයෙන් මෙම ගනුදෙනු හා තහවුරු කරගැනීම් සිදුවන්නේ e-mail පණිවුඩ හරහායි. අනතුරු ඇඟවීමෙන් පසු, පියවරක් ගත් බව දැනට පෙනීයන්නේ නැහැ. නමුත් ගනුදෙනුව සිදුවන නිශ්චිත මොහොතේ නිවැරදි e-mail ලිපිනයෙන්ද පණිවුඩයක් ඇවිල්ලා තියෙනවා. එබැවින් තවදුරටත් Server login අපි පරික්ෂා කරමින් ඉන්නවා. අපේ පද්ධතියට වගේම ඕස්ට්‍රේලියාවේ අදාළ ආයතනයේ පද්ධතියටත් අනවසර ඇතුල්වීමක් සිදුවී තිබෙද යන්න විමර්ශනය කරනවා. මේ විමර්ශනයට මේ වෙද්දිත් Interpol එක සහ Australian Federal Police සහාය ලැබෙමින් තිබෙනවා.” 

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේ නීති කෘත්‍යයට අදාළව දැනට සැකකරුවන් නම්කර ඇත්ද යන්නයි.

එහිදි විමර්ශන නිලධාරියා මෙසේ පිළිතුරු දුන්නේය.

“දැනට සැකකරුවන් නම් කිරීමක් නැහැ ස්වාමිනි. නමුත් වැඩිදුර වාර්තාවේ දක්වා ඇති මේ e-mail ගනුදෙනුවලට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයින් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනම් පනවන ලෙස අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු පරික්ෂා කිරීමට අවසර දෙමින් නියෝග නිකුත් කරන්න. ඒ වගේම මේ විමර්ශනය සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, රජයේ රස පරීක්ෂක, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන පීඨයේ නියෝජනය සහිත තාක්ෂණික කමිටුවක් පත්කරන ලෙස අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

එකී ඉල්ලීම්වලට අවසර ලබාදුන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුර විමර්ශන සඳහා මෙසේ නියෝග කළේය.

“පළමුව මේ සිදුවීමේදී අපරාධයක් සිදුවී ඇත්දැයි සොයාබැලිය යුතුයි. එසේ වී ඇත්නම් එම අපරාධය සිදුකළේ කවුදැයි දෙවනුව සොයාබැලිය යුතුයි. ඒ වගේම මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වළක්වා රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගැනීම අවශ්‍යයි. එම පියවර සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන්න.”

ඒ අනුව වැඩිදුර විමර්ශන ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුව ජුනි මස 03 වැනිදා යළි කැඳවීමට නියමිතයි.