කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමකට පැමිණෙද්දී අද රු. බිලියන 10.5ක වාර්තාගත පිරිවැටුමක්….

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (23) දින නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයයන් වාර්තා කිරීමට සමත් වූ අතර එහිදී කැපීපෙනෙන කාරණය වූයේ දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණීමයි. කෙසේවෙතත් දිනය නිමාවේ දී එහි අගය ඒකක 23,956.51 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 142.74ක ඉහළ යාමක් වේ.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 31.65ක ඉහළ යාමක් වාර්තා කරමින් ගනුදෙනු අවසන් වන විට ඒකක 6,649.50ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර අද දින රු. බිලියන 10.50ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී කළම්බු කොඩ්යාර්ඩ් සමාගමේ රු. බිලියන 2.12 ක හා   LOLC හෝල්ඩිංග්ස් හි රු. බිලියන 1.24ක වටිනාකමකින් යුතු කොටස් හුවමාරු වී තිබුණි.

මිල දර්ශකවල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් LOLC හෝල්ඩිංග්ස්, කළම්බු ඩොක්යාර්ඩ්, කොමර්ෂල් බැංකුව, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හා මෙල්ස්ටාකෝප් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.

 

2025 දී සෘජු විදෙස් ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවයි – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය….

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණයෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී  ඩොලර් බිලියන 1 ක විදේශ සෘජු ආයෝජන (FDI) ඉක්මවා යමින් එහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යක් වෙත පැමිණ ඇත.

2024 වසරට සාපේක්ෂව 72% ක වැඩිවීමක් නියෝජනය කරමින් 2025 වසර සඳහා  සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඇ.ඩො. මිලියන 1,057 ලෙස වාර්තා වේ. මෙම ප්‍රගතිය, ආර්ථික ස්ථාවරත්වය, පැහැදිලි ප්‍රතිපත්ති දිශානතිය සහ වැඩිදියුණු කළ ආයෝජන පහසු කිරීමේ ක්‍රියාවලිය මගින් ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීය ආයෝජකයින්ගේ විශ්වාසය අලුත් වී ඇති බව පිළිබිඹු කරයි.

සමස්තයක් වශයෙන්, සමාගම් 188 ක්, 2025 වසර තුළ සෘජු විදේශ ආයෝජන ගලා ඒම සඳහා දායකත්වය ලබා දුන් අතර, ඉන් 24 ක් එම වසර තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කළ නව ආයෝජන ව්‍යාපෘතින් වේ. මෙම නව ව්‍යාපෘති මගින් ඇ.ඩො. මිලියන 134 ක දායකත්වයක් ලබා දී ඇති අතර, එය වසර සඳහා වන මුළු සෘජු විදේශ ආයෝජන ගලා ඒමෙන්  13% ක් වේ. සමාන්‍යයෙන්, නව ආයෝජන වලින් ලැබෙන සෘජු විදේශ ආයෝජන  මුලු සෘජු විදේශ ආයෝජන ලැබීම් වලින් 2% – 10% ක ප්‍රමාණයක් වන අතර, මෙම වසරේදී එය 13% දක්වා වර්ධනයක් පෙන්වීම විශේෂත්වයකි. ඉතිරි ඇ.ඩො. මිලියන 923 ක සෘජු විදේශ ආයෝජන ගලා ආවේ දැනට පවතින ආයෝජකයින්ගේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ව්‍යාප්ත කිරීම සඳහා සිදු කරනු ලබූ ආයෝජන වලිනි.

නව ආයෝජන ආකර්ශනය කර ගැනීම ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිවීමේ දර්ශකයකි.  පළමු-වරට ආයෝජනය කිරීම සාමාන්‍යයෙන් ඉහළ අවදානමක් සහ දිගු කාලීන පැවත්ම සඳහා වූ අපේක්ෂාවක් සහිතව සිදුකරන්නකි. 2025 වසර තුල නව ආයෝජකයින්ගේ සාර්ථක ප්‍රවේශය ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නැවත ලබා ගත් විශ්වසනීයත්වය පෙන්නුම් කරයි. ඒ අතරම, දැනට ක්‍රියාකාරීව පවතින ආයෝජකයින් විසින් ආයෝජනය සඳහා මුදල් රට තුලට ගෙන ඒම සහ ලාභය  නැවත ආයෝජනය කිරීම හරහා අඛණ්ඩව ඒවා පවත්වාගෙන යාම සහ පුළුල් කිරීමේ ව්‍යපෘති සඳහා ආයෝජනය කිරීම, පවතින ආයෝජකයින් අතර ගොඩනැගුනු තිරසාර විශ්වාසයත්, වර්ධනය වන ආයෝජන පරිසරයක ධනාත්මක සහ අපේක්ෂිත ප්‍රවණතාවයත් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත සමාගම් වලින් ලබා ගන්නා ලද, යාවත්කාලීන කරන ලද දත්ත වලට අනුව, ඇ.ඩො. මිලියන 1,057 ක සෘජු විදේශ ආයෝජන, ඇ.ඩො. මිලියන 167 කොටස් ප්‍රාග්ධනය,  ඇ.ඩො. මිලියන 213 ප්‍රති- ආයෝජන, ඇ.ඩො. මිලියන 567 අන්තර්-සමාගම් ණය සහ ඇ.ඩො. මිලියන 110 ආයෝජන සඳහා ලබාගත් වාණිජමය ණය වලින් සමන්විත වේ.

මුළු සෘජු විදේශ ආයෝජන ගලා ඒමෙන් 46% ක් නිශ්පාදන අංශයෙන් ද, 26%ක්  වරාය සංවර්ධන අංශයෙන් ද 11% සංචාරක අංශයෙන්ද් විය. සිංගප්පූරුව, ඉන්දියාව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග්, 2025 වසරේදී සෘජු විදේශ ආයෝජන ලැබුනු ප්‍රධාන රටවල් පහ බවට පත්ව ඇත.

මීට අමතරව, 2025 වසර තුළදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජන ව්‍යාපෘති 146 ක් අනුමත කර ඇති අතර එහි මුළු ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 1,906 කි. මෙයට නව ව්‍යාපෘති 70ක් සහ ව්‍යාපෘති පුළුල් කිරීම් 76ක් ඇතුළත් වේ. අනුමත කරන ලද මුළු ආයෝජනවලින් ඇ.ඩො. මිලියන 896 ක් විදේශ ප්‍රාග්ධනය ලෙස ගලා එනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 2026 වසර සඳහා ඉලක්ක ගත ඇ.ඩො බිලියන 1.5 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සපයයි.

ව්‍යාපෘති ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීම, ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ රේඛීය ආයතන සහ නියාමන ආයතන සමඟ සමීප සම්බන්ධීකරණය ඇතුළුව පසුගිය වසර තුළ ස්ථාපිත ශක්තිමත් ආයතනික පදනම මෙම සාර්ථකත්වයට හේතු වූ බව  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. මෙම පියවරයන් ආයෝජන මණ්ඩලයේ තුළ පමණක් නොව පුළුල් ආයෝජන පරිසර පද්ධතිය හරහා ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීමට හේතු වී ඇත.

2025 වසර තුල පෙන්වූ ප්‍රගතිය මත, ආයෝජන මණ්ඩලය ආයතනික පරිවර්තනයේ කේන්ද්‍රීය මාවතකට අවතීර්ණ වී ඇත. මෙම ගමනේ ප්‍රධානතම මුලපිරීමක් වන්නේ ආයතනික හැකියාව ශක්තිමත් කිරීම, ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගෝලීය වශයෙන් තරඟකාරී සහ ආයෝජක හිතකාමී නියෝජිතායතනයක් ලෙස ස්ථානගත කිරීම ඉලක්ක කරගත් දෙවසරක ක්‍රියාකාරී සැලැස්මක් මඟින් පැහැදිලි උපාය මාර්ගයක් සහ මාර්ග සිතියමක් සකසන BOI Accelerate වැඩසටහන දියත් කිරීමයි.

ආයෝජන මණ්ඩලයේ ආයෝජන පහසුකම් සැපයීමේ කාර්යභාරය වැඩිදියුණු කිරීම සඳහා විශේශිත වූ තවත් මුලපිරීම් කිහිපයක් ද සිදු කර ඇත. ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සහයෝගීතාවයෙන් ආයෝජන               ප්‍රවර්ධනය, ආයෝජන ව්‍යාපෘති ඇගයීම සහ ඉඩම් වෙන්කිරීම් පිළිබඳ  පුළුල් ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සකස් කරන ලද අතර ඒවා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආයතනය තුළ මානව සම්පත් සංවර්ධනයේ වැදගත්කම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2025 දී විවිධාංගීකරණය වූ නිපුණතා සහිත කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගන්නා ලද අතර, තීරණාත්මක පුරප්පාඩු වූ සේවක තනතුරු පිරවීම සඳහා අවශ්‍ය අනුමැතිය ද ලබා ගන්නා ලදි.  තවද, කලමණාකාරීත්වය සවිබල ගැන්වීම සමඟ තිරසාර පුහුණු කිරීමේ ක්‍රියාවලියක් තුලින් මානව සම්පත සංවර්ධනය සඳහා ද කටයුතු කරන ලදි.

ව්‍යුහගත සහ ඉහළ බලපෑමක් ඇති කරන ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින්, BOI විසින් ව්‍යුහගත ආයෝජන අවස්ථා” හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා නව මුලපිරීමක් ද දියත් කරන ලදී. මෙම මුලපිරීම යටතේ, තිරසාර සහ උසස් තත්ත්වයේ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉලක්කගත සහ ශක්තිමත් ප්‍රවර්ධන වැඩපිලිවලක සහාය ඇතිව පළමු අදියරේදී ව්‍යුහගත ව්‍යාාපෘති 20ක් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ..

2026 දෙස බලන විට,  සැලකිය යුතු ආයෝජන ව්‍යාපෘති කිහිපයක් සමඟ ගිවිසුම් ගත වීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ මෙම ව්‍යාපෘති සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ආයෝජන මණ්ඩලය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකමය, දේශපාලනිකව හා සමාජමය වශයෙන් සිදුවන ප්‍රගතිය හා සමගාමීව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමට දැඩි ලෙස කැපවී සිටින අතරම පවතින ආයෝජකයන්ගේ ව්‍යාපෘතීන් පුළුල් කිරීම් සඳහා ද නිරතුරුව සහය වෙමින්, තිරසාර, සහ දිගුකාලීන ආර්ථික වර්ධනයක්  වෙනුවෙන් සිය දායකත්වය දක්වයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් අරඹයි…..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තුන්වන නැව් තටාකාංගණයේ මෙහෙයුම් අද (23) ආරම්භ කෙරිණි.

මෙහෙයුම් ආරම්භය සංකේතවත් කරමින් ලොව ප්‍රධාන නැව් සමාගම් 3ක නෞකා 3ක් නැව් තටාකාංගණය පැමිණියේය.

ගැන්ට්‍රි දොඹකර 12ක් සහ ස්වයංක්‍රිය අංගණ දොඹකර 40කින් සමන්විත මෙම  නැව් තටාකාංගණය හරහා කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ මෙහෙයුම් තවත් ශක්තිමත්වනු ඇත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මුල්වරට ආරම්භ කෙරුණේ 2022 වසරේ ජනවාරි 12 වැනිදාය.

හෙක්ටයාර 75ක භූමියක් තුළ ඉදිවන නැගෙනහිර පර්යන්තයේ මුළු දිග මීටර 1320කි.

ඉන් මීටර් 1090ක් සහ අනෙකුත් ඉදිකිරීම්වලින් 82%ක් මේ වන සම්පූර්ණකර අවසන් කර ඇත.

2025 වසරේදී නැගෙනහිර පර්යන්තය මගින් බහාලුම් පන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා ඇති අතර සම්පූර්ණ ඉදිකිරීම් අවසන් වූ පසු  බහාලුම් මිලියන 1.5ක් මෙහෙයවීමට හැකියි.

කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් වරාය අධිකාරියේ අධීක්ෂණය හා අයෝජනය මත මෙම නැගෙනහිර පර්යන්තය ඉදිකෙරේ.

ඒ නැගෙනහිර පර්යන්තය හා අදානි සමාගම පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වය මත ඇතිවූ විරෝධතාවලින් පසුව වීමත් විශේෂත්වයකි.

කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් පත් කිරීමේ ප්‍රමාදය ගැන CoPF අවධානය…..

කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (Authorized person) පත් කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතට අනුව සමාගමක් ව්‍යාපාරයක නිරත වීමට අදහස් කරන අවස්ථාවකදී, ඒ යම් ඉල්ලුම්කරුවෙකුට කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාරයේ නිරත වීම සඳහා බලයලත් තැනැත්තෙකු ලෙස සුදුසුකම් ලැබීම සහ අවසර ලැබීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම සිදු කළ යුතුය.

මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මේ වන විට එම ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ අයදුම්පත් 72ක් පවතින බවය.

මේ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සඳහා අත්සන් කරන ලද අභිප්‍රාය ප්‍රකාශ ලිපිය හේතුවෙන් 2025.07.04 දින සිට මෙම ක්‍රියාවලිය අත්හිටුවන බවට දැනුවත් වූ බවය.

එබැවින් මෙම අයදුම්පත් සලකා බැලීම සිදු නොකළ බව ඔවුහු පෙන්වා දුන්හ.

එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ 2025 ජුලි මස වන විටත් අයදුම්පත් 54ක් ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන්ද සලකා බැලීම ආරම්භ කොට නැති බවය.

ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ පනතේ සංශෝධන සිදුවීමට නියමිත බැවින් මීට අදාළ ක්‍රියාවලිය ඉදිරියට සිදු කරන ආකාරය වෙනස් විය හැකිද යන්න සැකයක් පැවති බවත් මේ නිසා ඉදිරි කටයුතු සිදු නොකළ බවත්ය.

එසේම සංශෝධිත පනත ජනවාරි 20වනදා බලාත්මක වූ බැවින් මේ සම්බන්ධ ඉදිරි කටයුතු ඉක්මනින් සිදු කරන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටට නව ආයෝජන පැමිණීම රටේ සියලු දෙනාගේ අරමුණ බවත් මේ නිසා ඉක්මනින් මේ සම්බන්ධව ක්‍රියාත්මක වීම වැදගත් බවත් ය.

තවද සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.

මින් පෙර 2025 ඔක්තෝබර් මස නිලධාරීන් කාරක සභාවට පැමිණි අවස්ථාවේදී පෙන්වා දුන්නේ VAT ක්‍රමවේදය යටතේ නැවත ගැනීමේ හැකියාව සහිත ගෙවීම (Refund payments delays) නැවත ගැනීමේදී 100%ක විගණනයක් කරන බවත් මේ නිසා ප්‍රමාදයක් පවතින බවත්ය.

නමුත් මෙම SVAT ක්‍රමවේදය මගින් එම ප්‍රමාදය අවම කරමින් දින 45ක් ඇතුළත කඩිනමින් එම නැවත ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බවද සඳහන්.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ජනවාරි 15 වන විට ආපසු ගෙවීම් 96%ක් පමණ සිදු කර ඇති බවත් පැරණි ගෙවීම් බහුතරයක් ද සිදු කර ඇති බවත්ය.

කාරක සභාව හමුවේ ඉදිරිපත් කළ තොරතුරු අනුව SVAT ක්‍රමවේදය මගින් පැහැදිලි ප්‍රගතියක් අත්කරගෙන කිබෙන බව නිරීක්ෂණය කළ කාරක සභාව ඒ සම්බන්ධයෙන් තම ප්‍රසාදය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පල කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්. කේ. එම්. අස්ලම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටි ආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් දැනුවත් කරයි…..

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ අපනයන උපායමාර්ගික ප්‍රමුඛතා සහ වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා දූත මණ්ඩලවල කාර්යභාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සැසියට විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අලුතින් පත් වූ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් රැසක් සහභාගී වූහ. ඒ අතර මැලේසියාවේ මහා කොමසාරිස් දර්ශන එම්. පෙරේරා මහතාජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ ස්ථිර නියෝජිත ඩී.එම්.එස්.පී. දසනායක මහතාඔස්ට්‍රියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ ස්ථිර නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මියරුමේනියාවේ තානාපති එස්.පී.ඩබ්ලිව්. පතිරණ මහතාඉතියෝපියාවේ සහ අප්‍රිකානු සංගමයේ තානාපති එන්.අයි.ඩී. පරණවිතාන මහත්මියඊශ්‍රායලයේ තානාපති සමන් කුමාර චන්ද්‍රසිරි මහතාකෙන්යාවේ මහා කොමසාරිස් ධම්මික ප්‍රනාන්දු මහතා සහ පලස්තීනයේ නියෝජිත එම්. ෆවුසර් ෆාරුක් මහතා ද වියමීට අමතරවලෙබනනයේ තානාපති අනුර විතානගේ මහතාඉරානයේ තානාපති මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි මහත්මියලොස් ඇන්ජලීස් හි කොන්සල් ජනරාල් බී.ඒ.ඩී.ඒ.පී. පෙරේරා මහත්මියටොරොන්ටෝ හි කොන්සල් ජනරාල් එස්.ඩී.එම්. පීරිස් මහත්මියජෙඩා හි කොන්සල් ජනරාල් එම්.ටී. මොහොමඩ් ලෆාර් මහතා සහ ඩී.ඩී.පී. සේනානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන ක්‍රියාකාරීත්වය සහ ජාතික ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. නව වෙළඳපල අවස්ථා හඳුනා ගැනීම, වෙළඳ බාධක ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපල සමඟ සම්බන්ධතා ඇති කර දීම සඳහා විදේශ දූත මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර සමීප සම්බන්ධතාවයක ඇති වැදගත්කම ඔහු අවධාරණය කළේය.

වෙළඳපල සංවර්ධන අංශයේ වැඩබලන අධ්‍යක්ෂිකා සෞම්‍යා කන්නන්ගර මහත්මිය විසින් ද්විපාර්ශ්වික වෙළඳ ප්‍රමුඛතා සහ අපනයන හැකියාවන් ඇති ක්ෂේත්‍ර පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරන ලදී. මෙම වැඩසටහනේ විශේෂ අවධානයක් යොමු වූයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන ශ්‍රී ලංකා එක්ස්පෝ 2026″ (Sri Lanka Expo 2026) ප්‍රවර්ධනය කිරීම කෙරෙහිය. විදේශීය වෙළඳ සංවිධාන සහ ගැනුම්කරුවන් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී කරවා ගැනීමට දූත මණ්ඩල ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බව එහිදී ප්‍රකාශ විය.

වැඩසටහන අවසානයේදී, අලුතින් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධන මුලපිරීම් සඳහා සහාය වීමටත්, ගැනුම්කරුවන් සම්බන්ධ කිරීමටත්, ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 වැනි ජාතික වෙළඳ ඉසව් ප්‍රවර්ධනය කිරීමටත් සිය කැපවීම ප්‍රකාශ කළහ. තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා රටේ අපනයන වෙළඳපල පුළුල් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ දූත මණ්ඩල අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී එකඟතාවය පළ විය.

හේලීස් අතුරු ලාභාංශයක් සහ හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කරයි…..

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2026 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහිදී එක් කොටසක් වෙනුවෙන් රු. 6ක ලාභාංශයක් නිවේදනය කර ඇත.

මේ අතර මීට සමගාමීව සමාගම විසින් රු. බිලියන 9ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් නිකුතුවක් ද ප්‍රකාශයට පත් කර තිබේ. දැනට පවතින ඡන්ද බලය හිමි සෑම කොටස් 50කටම 3ක් බැගින් වන පරිදි මෙම හිමිකම් නිකුතුව සිදුකෙරෙන අතර එහිදී කොටස් මිලියන 45ක් අලුතෙන් නිකුත් කෙරෙනු ඇත. ඒ එක් කොටසක් රු. 200 බැගිනි.

සමාගම පවසන්නේ යෝජිත නව ආයෝජනයන් සහ පවතින ණයවලින් කොටසක් පියවීම වෙනුවෙන් මෙම අරමුදල් භාවිත කිරීමට නියමිත බවයි.

හේලීස් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ සමසභාපති හා අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා ඉහත ඡායාරූපයෙන් දැක්වේ. හේලීස් පීඑල්සී පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතු වන අතර සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් කොටස් මිලියන 382.59 ක් හෙවත් 51.01%ක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබේ.

‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක්….

‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඊට අදාළ චෙක්පත කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක සහ ජ්‍යෙෂඨ උප සභාපති කුසල් නිශ්ශංක යන මහත්වරු විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙනු ලැබීය.

අග්‍රාමාත්‍යවරිය සහ ඉහළ පෙළේ ආයතනික නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා…..

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.

ඒ, ඊයේ (21) හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණය පිළිබඳ යුරෝපීය කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමුවී කරුණු සාකච්ඡා කිරීමේදීය.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, අග්‍රාමාත්‍යවරිය ඊයේ යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ගෝලීය පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී වී තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණය පිළිබඳ යුරෝපීය කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමුවී ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් පසු යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සූදානම් කිරීම සහ රට යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව ද පවසා ඇත.

අග්‍රාමාත්‍යවරිය ලෝක බැංකුවේ GRADE වාර්තාවේ සඳහන් තොරතුරු කොමසාරිස්වරයා සමඟ බෙදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ නැවත ගොඩනැගීම සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව ද පවසා ඇත.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරන Alexander De Croo මහතා ද හමු වී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය අගයකර ගංවතුර සහනාධාර සහ ජන ජිවිතය යථාතත්ත්වයට පත්කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දුන් සහයෝගය පැසසුමට ලක්කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරමට සාධාරණයක් ඉටු කරමින්, මහජන විශ්වාසය, යහපාලනය සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂා වැඩපිළිවෙළක් සකස් කරමින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන ජාතියක් ගොඩනැගීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බව ඇය තවදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම A.P. Moller Holding (MAERSK)හි සභාපති වන Robert M. Uggla මහතා සමඟ ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහාය වීමට පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වීම සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු වී තිබේ.

රට නැවත ගොඩ නැගීම, සංවර්ධනය කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ළඟාකර ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සහ ගෝලීය කොටස්කරුවන් සමඟ ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙල පිළිබඳ මෙම සාකච්ඡාවලින් අවධාරණය කර ඇති බව සඳහන් වෙයි.

ඉතිහාසය වෙනස්කළ ලෝක රන් මිල…..

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති බවය.

එමෙන්ම ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අද උදෑසන රත්‍රං මිලේ සමස්ත වැඩිවීම රුපියල් 10,000ක් බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 351,500ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 370,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 380,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දැක්වීම IMF යළිත් තහවුරු කරයි….

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා තම අඛණ්ඩ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළි තහවුරු කර තිබේ.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවැති හමුවකදීය.

මෙම හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවත්විය.

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේය.